
කෘතිය-ආනන්දේ මතක පොත
කර්තෘ- ආචාර්ය අරවින්ද ශ්‍රී මෙවන්
ප්‍රකාශනය- WORTHIES Books
මිල- රුපියල් 590 ⁄ පිටු ගණන-192
විමසීම්- 0711 831 393
බොහෝ අයගේ ජීවිතයේ දෙවැනි මව ලෙස පිදුම් ලබන්නේ පාසල් මාතාවයි. වසර ගණනාවක පාසල් ජීවිතය නිමා කර සමාජය නමැති විසල් ලෝකයට අවතීර්ණ වන බොහෝ දෙනා ආපසු හැරී සිය පාසල් මාතාව දෙස බලන්නෙත් ඇයට ගෞරව කරන්නේත් යහපත් පුරවැසියකු ලෙස තමා සමාජයට දායාද කිරීමේ අප්‍රමාණ ගෞරවය මුළු හදවතින්ම ඇයට පුද කරමිනි. මේ කෘතිය ද එවැනි උපහාරයකි. අරවින්ද ශ්‍රී මෙවන් නමති කතුවරයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ගත කළ පාසල් ජීවිතයේ රසවත් නොමැකෙන මතක සටහන් ඇසුරින් මේ කෘතිය රචනා කර ඇත. ඒ තුළින් එක් එක් යුගයන්හි පාසල තුළ වූ සංස්කෘතිය හා වෙනස්කම් පිළිබඳ වැටහීමක් ලබාගත හැකිය. අනෙක් අතට මේ කෘතියේ සඳහන් කතුවරයාගේ අත්දැකීම් කියවන ආදි ආනන්දීයන්ගේ සිතෙහි මැවෙන්නේ සිය පාසල් වියේ මතක පිළිබඳ ආනන්දනීය හැඟීම් සමුදායකි. සිය පාසල් මාතාවට ආදරය කරන කාහටත් මේ කෘතිය ඔස්සේ සිය පාසල් මව පිළිබඳ මතකය නිරායාසයෙන්ම අවදි වනු ඇත.
කෘතිය- බික්ඛුනී සීල සම්පත්තා
පරිවර්තනය - සීලවතී මැණිකේ පියසේන
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
(පුද්ගලික) සමාගම
මිල - රුපියල් 825/= පිටු - 194
සීලවති මැණිකේ පියසේන වසර කිහිපයකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු ලේඛිකාවකි. ඇය සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂා ලේඛිකාවක් ලෙස ග්‍රන්ථ ගණනාවක් රචනා කොට ඇත.
සීලවති මැණිකේගේ මෙම ග්‍රන්ථයට පාදක වී ඇත්තේ කාව්‍යමය වාර්තානුන සංග්‍රහයක් වු ථෙරි ගාථාය. මෙම කාව්‍ය සංග්‍රහය සරල සිංහල බසට නගන කතුවරිය එහි අන්තර්ගතයෙන් ඔබ්බට ගොස් ශාස්ත්‍රීය නිර්මාණයක පහස ලබන්නට පාඨකයාට වේදිකාවක් තනා දෙයි.
මෙම කෘතිය සකස් කිරීමේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායෙහි ථෙරි ගාථා පාළි පෙළ පොතත්, එහිම උදාන පාළි පෙළ පොතත්, ථෙරි ගාථා පාළි සයිමන් හේවාවිතාරණ පෙළ පොතත්, පරමත්ථදීපනී අටුවාවත්, ජී.එස්.බී. සේනානායක පඬිතුමාණන් විසින් කරන ලද ථෙරි ගාථා සිංහල පරිවර්තනයත් අනගාරික මහේන්ද්‍ර විද්වතාණන් විසින් ප්‍රකාශිත Verses of Elder Bhikkunies යන කෘතීන් ද භාවිත කොට තිබීම පොතේ අන්තර්ගතය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට උපකාරි වී ඇති බව සඳහන් කළ යුතුය.
කෘතිය- සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත
කර්තෘ- ආචාර්ය කසුන් නාගොඩවිතාන
ප්‍රකාශනය- ආධ්‍යාත්ම ප්‍රකාශකයෝ
මිල- රුපියල් 1900 ⁄ පිටු ගණන- 415
විමසීම්- 071 522 1273/ 070 244 4187
ආචාර්ය කසුන් නාගොඩවිතානගේ මූලිකත්වයෙන් විශ්වප්‍රාණී පාරමනෝවිද්‍යා අංශය සමඟ සිදු කරන ලද අාධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව සහ මිනිස් මොළ තරංග ආශ්‍රිත ප්‍රයෝගික අධ්‍යයන ප්‍රතිඵල මත ආචාර්ය කසුන් නාගොඩවිතාන විසින් මේ කෘතිය රචනා කර ඇත. සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකමින් ඉහත කී පර්යේෂණය සිදු කර තිබෙන අතර, මේ එවැනි කෘතියක් එළි දුටු පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඒ අනුව මෙම පර්යේෂණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මහපිරිත් දේශනය කායික මානසික රෝගාබාධ සුවපත් කරගැනීමට ඉතා ප්‍රකට චිකිත්සක ක්‍රමවේදයක් ලෙස අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධයාගේ භාවිත කිරීම සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින් ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය මේ කෘතිය මඟින් දක්වා ඇත.
කෘතිය- දම් වයලට් මලක කඳුළ
පරිවර්තනය- සෙනරත් බණ්ඩාර සුබසිංහ
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මිල- රුපියල් 390 ⁄ = පිටු ගණන-206
විමසීම්- 011 276 9446
මේ නැමීබියානු ජාතික නෙෂානි ඇන්ඩ්‍රියස් විසින් රචිත ‘ද පර්පල් වයගට් ඔෆ් ඔෂන්ටු’නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. උතුරු නැමීබියාවේ කාන්තාවන්ගේ ඉරණම සහ සමානාත්මතාව සඳහා ඔවුන්ගේ අරගලය පිළිබඳ කියාපාන මුල් කෘතිය නැමීබියානු සම්භාව්‍ය නවකතා ගොන්නට ඇතුළත් බැවින් මේ පරිවර්තන කෘතිය කියවන පාඨකයාට ද ඒ විශිෂ්ට අත්දැකීම අත්විඳින්නට අවකාශ සැලසේ.