නමින් හෙළි වන ඔබේ චරිතය | සිළුමිණ

නමින් හෙළි වන ඔබේ චරිතය

- ජීවිතය ගැන සුබවාදීව හිතන සතුටින් සිටින අයෙක්
- ඉතා පහළ තැනකින් පටන් ගත්තත් සාර්ථකත්වය කරා යෑමේ වාසනාව ඔබ සතුයි

භාවිත කරන නමට අනුව ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය අංක තුන නම්, ඔබ ඉතා නිර්මාණශීලී අදහස් ඇති විවිධ දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ පුද්ගලයෙකි. සතුට සහ විනෝදය පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන අතර, ඒ වෙනුවෙන් අතදිග හැර මුදල් ද වියදම් කරයි.

තමන්ගේ සිතේ තිබෙන අදහස අනිත් අයට දැනෙන ආකාරයට ප්‍රකාශ කිරීමේ හොඳ හැකියාවක් තිබේ. සන්නිවේදනයෙහි දක්ෂ වෙයි. පැහැදිලිව අදහස් හා වචන ප්‍රකාශ කරයි. ජීවිතය පිළිබඳ සුබවාදී ධනාත්මක ආකල්පවලින් යුක්ත පුද්ගලයෙකි.

ඔබ ඉතා පහළ තැනකින් පටන් ගෙන අවසානයේ ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පියමන් කරයි. ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ද නැතුවාම නොවේ. එහෙත් ආදරය, කරුණාව, දයාව වැනි මානව ගුණාංග ද ඔබගේ සිත තුළ නිරන්තරයෙන් පවතී. එමෙන්ම සුළු දෙයකින් පවා දුකට සහ කම්පාවට පත්වෙයි. දැඩි සංවේදී හිතක් ඔබට පවතී. සතුටු සාමීචියේ යෙදීමට, කතාබහ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබ කුමක් කළත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරයි. සමාජශීලී චරිතයක් වන ඔබ ආදරය, ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී ද වියදම් කිරීමට පසුබට නොවෙයි.

ගැටලුකාරී අවස්ථාවලදී අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ඔබ ඉතා සාමකාමීව පරෙස්සමට ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට සමත් වෙයි. පෙර පුරුදු අයකු ලෙසින් යම් කාර්යයක නිරත වීමට ඔබ සමත් වෙයි. යමක් කිරීමට පෙර එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඔබට පැහැදිලි අදහසක් තිබේ.

සංගීතය, නර්තනය, ගායනය වැනි කලා හැකියාවන් සම්බන්ධයෙන් ලැදියාවක් මෙන්ම හැකියාවන්ගෙන් ද යුක්ත අයකු වනු ඇත. කුඩා කාලයේ සිටම කලා අංශයට විශේෂ දක්ෂතා දක්වයි. විවිධ සාහිත්‍ය නිර්මාණ, පොත්පත් රචනය වැනි නිර්මාණාත්මක ලේඛන කලාවට මෙන්ම වචනය භාවිතයෙන් කරන්නා වූ දේශන ආදී කටයුතුවලට ද ඔබ විශේෂ දක්ෂතා දක්වන අයෙක් වෙයි.

සුහදශීලී මෙන්ම විනෝදශීලී ගති ද ඔබේ චරිතය තුළ පිහිටයි. නාම අංක තුන හිමි පුද්ගලයන් බොහෝ විට සාර්ථක ජීවිතයක් ගත කරන බව පෙනේ.

භාවිත කරන නමට අනුව ඔබගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය සොයා ගන්නේ මෙසේය. පළමුව ඔබ භාවිත කරන නම කොළයක සටහන් කර ගන්න. ඉන්පසු මෙහි ඇති වගුවේ දැක්වෙන පරිදි ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් ලැබෙන තුරු එකතු කරගන්න. අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි.

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යෝතිෂ්‍යය සේවය

Comments