
- නිවෙසින් කොල්ලකෑ රන් ආභරණ, ගෑස් ළිප්, රූපවාහිනී සොයා ගනී
- තලංගම සිංහපුර නිෙවසක තනිව විසූ වියපත් කතට මරු කැඳවූ කළුවා මිතුරා සමඟ මාට්ටු
මත්ලෝලීන්ගේ ගොදුරක් බවට පත් වූ අහිංසක වයෝවෘද්ධ කතක් පසුගියදා අවසන් ගමන් ගියාය. මෙසේ මත්ලෝලින් අතින් ඝාතනය වූයේ තලංගම පොලිස් වසමේ සිංහපුර, රෝහින්‍යා මාවතේ නිවෙසක තනිව වාසය කළ කුසුමාවතී නමැති කතකි. දින කීපයකට පසු කුසුමාවතීගේ ඝාතකයන් කොටුකර ගැනීමට තලංගම පොලිසියේ නිලධාරින්ට හැකි විය. එම අහස - පොළොව නුහුලන අපරාධය තලංගම පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
72 හැවිරිදි කුසුමාවතී ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතුව සිටියේ වයස ගැනද නොසිතමිනි. ඇයට එක් පුතෙකි. ඔහු විවාහ වී මහරගම ප්‍රදේශයේ ජීවත් වෙයි. කලකට පෙර දී කුසුමාවතී මාතාවගේ සැමියාද මිය පරලොව ගියේය. පසුගිය 19 වැනිදා නිපුන සඳරුවන් හෙවත් ‘කළුවා‘ බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණියේය. පැලවත්තේ පදිංචිකරුවකු වන කළුවා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි අයෙකි. බන්ධනාගාරයෙන් මුදා හැරිය පසු එළියට ආ කළුවාට පසු දින එනම් ඔක්තෝබර් 20 වැනිදා මුණගැසුණේ ඔහුගේ අතිජාත මිතුරෙක් වන චාමරයි. චාමරද තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකි. ත්‍රිරෝද රථයක් හිමි චාමර පැලවත්ත හන්දියේ ත්‍රිරෝද රථ අංගණයේ ත්‍රිවිලර් රියැදුරකු ලෙස රැකියාවකි.
චාමර සහ කළුවා ඉකුත් 20 වැනිදා මුණ ගැසිණි. “ආ... කළුවා උඹ ආවද...? එහෙනම් ආයෙත් මොනවාහරි ගේමක් දෙමු...“ චාමර කීවේය. ඒ සමඟම චාමර කළුවාගෙන් ඇසුවේ, “මං දන්න ඇන්ටි කෙනෙක් ඉන්න ගෙදරක් තියෙනවා... ඒ ඇන්ටි විතරයි ගෙදර ඉන්නෙ... අද රෑට එහෙටවත් බහිමුද?“ යන්නය. කතිකා කරගත් පරිදි දෙදෙනා 20 වැනිදා රාත්‍රියේ ‘ගේම‘ට සූදානම් වූහ. ඒ අනුව චාමර ඔහු සතු ත්‍රිරෝද රථයෙන් කළුවාගේ නිවෙසට පැමිණියේය. අනතුරුව දෙදෙනා කතිකා කරගත් නිවෙසට පැනීමට පසුදා එනම් ඉකුත් ඔක්තෝබර් මස 21 වැනිදා අලුයම එම නිවෙසට ගියෝය. ඒ තලංගම, සිංහපුර කුසුමාවතී මෑණියෝ තනිව ජීවත් වූ නිවෙසටයි.
ගන අන්ධකාරයේ තිබුණු නිවෙස අවට සෝදිසි කළ පසු කළුවා එම නිවෙසේ වහලට නැඟ නිවෙස ඇතුළට රිංගුවේය. ඔහු එම නිවෙසේ තිබූ කාමරවලට රිංගා කනකර, මුදල් සෙව්වේය. එසැණින් කළුවා නිවෙසේ එක් කාමරයකට ගියේය. ඔහු එම කාමරයේ විදුලි බල්බය දැල්වීමත් සමඟම එම කාමරයේ නිදා සිටි නිවෙසේ වෙසෙන එකම තැනැත්තිය වූ කුසුමාවතී කළුවා දුටුවේය. ඒ සමඟම කළුවා, කුසුමාවතීගේ කට වසන්නට උත්සාහ කළේ ඇය බියවී කෑගසන්නට පෙරය. එහෙත් ඊට පෙර ඇය විලාප දෙන්නට වූවාය. කළුවා ක්ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් රෙදි කැබැල්ලක් ඇගේ මුවට ඔබා දැමීය. මුව වසා දැමීමෙන් නෙනැවතුණු කළුවා තවත් රෙදි කඩකින් කුසුමාවතීගේ හිසද බැඳ දැමුවේ ගෙලද සිර වන ආකාරයෙන් ගැටයක් දමමිනි. පසුව කුසුමාවතී නිදා සිටි ඇඳෙන් ඇද වැටිණි. බිම වැටුණු කුසුමාවතීගේ කකුල් දෙකද මේ දෙදෙනා බැඳ දැමූහ. ඒ වන විට අලුයම 2ට පමණ වී තිබිණි. බිම වැතිර සිටි කුසුමාවතීගේ කරාබු ජෝඩුව කළුවා ගලවා ගත්තේය. අත් බෑගයේ තිබූ රන් මාලය, කරාබු ජෝඩුව, අත්ඔරලෝසුව කළුවා සහ චාමර විසින් සොයා ගන්නේ ඉන් අනතුරුවය.
පසුව එම කාමරයෙන් එළියට ආ කළුවා සහ චාමර අනතුරුව නිවෙසේ සාලයේ තිබූ රූපවාහිනියද ඔසවා ගත්තේය. ඊට අමතරව මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරය, නිවෙසේ විදුලි ඉස්ත්‍රික්කයද මේ දෙදෙනා පැමිණි ත්‍රිරෝද රථයට පටවා ගන්නේ ඒ මොහොතේමය. එම නිවෙසින් භාණ්ඩ තොගයද රැගෙන දෙදෙනා පලා ගියේ බිම වැටී සිටි කුසුමාවතීගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නොකරමිනි. එම නිවෙසෙන් අලුයම් කාලයේම පිටවූ දෙදෙනා ඔවුන් විසින් සොරකම් කරන ලද භාණ්ඩ කැලෑ රොදක සැඟවූහ. එළිය වැටුණු සැණින් දෙදෙනා ත්‍රිරෝද රථයෙන් පැලවත්තේ වෙළෙඳසලකට ගියේ සොරකම් කරන ලද භාණ්ඩද රැගෙනය. ඒ අතරේ ඒ අවට ‘හාහූවක්‘ පැතිර ගියේය.
“මාර වැඩේ... කුසුමාවතී ඇන්ටි ගේ ඇතුළේම මරලා දාලානේ...“ ප්‍රදේශවාසින් මේ ආරංචිය දැනගන්නේ ඒ සමඟය.
එසේම කළුවා සහ චාමරද ඇගේ මරණය දැනගත්තේ ඒ මොහොතේදීය. පැලවත්තේ වෙළෙඳසලක් පවත්වාගෙන යන තරංග නමැත්තා හමුවීමට දෙදෙනා ගියෝය. කළුවා, චාමර, තරංග එකම වළල්ලේ පොල් මෙන් මිතුරන්ය. ඔවුහු සියලු දෙනා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවෝය.
“මචං... තරංග අපි දෙන්නා පාන්දර පොඩි ගේමක් ගැහුවා... මෙන්න ඒකෙන් ගත්තු බඩු ටික... උඹ අරගෙන අපට සල්ලි කීයක් හරි දියන්...“ කළුවා කීවේය. ඒ අනුව කුසුමාවතිගේ නිවෙසින් සොරකම් කරන ලද ගෑස් සිලින්ඩරය සහ විදුලි ඉස්ත්‍රික්කය දෙදෙනා විසින් තරංගට විකුණා දැමූහ. ඒ රුපියල් දෙදහසක මුදලකටය. කුසුමාවතීගේ මරණය ගැන තොරතුරු තටු ලැබුණු පුවතක් සේ අවට පැතිර යාමත් සමඟ බියවූ කළුවා සොරා ගත් රූපවාහිනිය සහ රන් භාණ්ඩ චාමරට සඟවා තබන ලෙස පැවැසීය. ඒ සමඟම ඔහු චාමරගේ ත්‍රිරෝද රථයට නැඟ කෝට්ටේ දෙසට ගියේය. කෝට්ටේ හන්දියෙන් බැසගත් කළුවා අනතුරුව බොරැල්ලට ගියේය.
පසුව චාමර ඔහුගේ නිවෙසට ගියේය. චාමර පැලවත්තේ පදිංචිකරුවෙකි. චාමර විසින් ඔහු සත්තකයේ තිබූ සොරකම් කරන ලද රූපවාහිනිය සහ රන් භාණ්ඩ රැගෙන ගියේ මුල්ලෙරියාවටයි. ඒ ඔහුගේ වැඩිමල් සොහොයුරිය මුල්ලේරියාවේ සිටින හෙයිනි. සිය වැඩිමල් සහෝදරියට එම භාණ්ඩ දුන්නේ විකුණා දෙන ලෙස බොරු බේගලයක් ඇද බාමිනි. මේ අතර තනිව නිවෙසේ වසන කුසුමාවතී ගැන ඔහුගේ එකම පුතු නිතර සොයා බැලුවේය. විවාහ වී මහරගම සිටින එම පුතු දිනකට දෙතුන් වරක් දුරකතන ඇමැතුමක් දෙමින් සිය මෑණියන්ගේ දුක-සැප සොයා බැලීය. 21 වැනිදා පාන්දර ද ඔහු මෑණියන්ට දුරකතන ඇමැතුමක් ගත්තේ සුපුරුදු ලෙසිනි. කීප විටක් දුරකතන ඇමැතුම් ගත්තද මෑණියන්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ඔහු මෑණියන් විසූ නිවෙසට පැමිණියේය. ඒ වන විට කුසුමාවතී නිවෙස තුළම මිය ගොසිනි.
පුතු එසැණින් දිව ගියේ තලංගම පොලිසියටයි. “අනේ සර්... මගේ අම්මා කුසුමාවතී... අම්මා ගේ ඇතුළෙම... මරලා දාලා...“ ඔහු පොලිසියට කීවේ හැඬු කඳුළිනි. ඔහුගේ එම පැමිණිල්ල පිළිබඳව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්තගේ විශේෂ අවධානය යොමු විය. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ඝාතනය පිළිබඳව ප්‍රදේශය ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට දැනුවත්කොට ලද උපදෙස් අනුව තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත ඇතුළු කණ්ඩායමක් කුසුමාවතීගේ නිවෙස සොයා පිටත්ව ගියේය.
ඒ අනුව උප පොලිස් පරීක්ෂක ලක්ෂිත ඇතුළු පිරිස එම ඝාතනය පිළිබඳ මූලික විමර්ශන ඇරැඹීය. ඒ අතර කුසුමාවතීගේ මළ සිරුර පශ්චාත් මරණය පරීක්ෂණය සඳහා යොමු කැරිණි. විමර්ශන අංශ පොලිස් නිලධාරින් මුලින්ම සොයා බැලුවේ අවට මත්ලෝලීන් පිළිබඳවයි. එහිදී පොලිසියට දැනගන්නට ලැබුණේ කළුවා නමැති මත් ලෝලියා ඉකුත් දිනෙක බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි බවය. ඒ අනුව පොලිස් නිලධාරින් කළුවා ගැන සොයා බලන්නට වූයේ හටගත් සැකය නිසාවෙනි. එහෙත් ඒ වන විට කළුවා ගැන නිශ්චිත තොරතුරක් නොවීය. ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව හෙළි විය. ඒ සමඟම කළුවා ගැන පොලිසිය පුළුල් ලෙස සොයා බැලීය. එහිදී තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකුට බොරැල්ල, ගෝතමි පාරේ පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් හෝඩුවාවක් ලැබී තිබුණේ කළුවා බොරැල්ල ගෝතමි පාරේ සැරිසරන බවටය. ලද තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධරයෝ ඉකුත් 5 වැනිදා දහවලේ ගෝතමි පාරේ ‘කුඩු පොට්‘ එකක මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කළුවා කුදලාගෙන පැමිණියෝය.
“සර්... මේ දේ කළා තමයි... හැබැයි තනියම නෙවේ...“ “කවුද අනිත් එකා...?“ නිලධාරියෙක් විමසීය. “සර්... එයා චාමර... මගේ යාළුවෙක්... අපි දෙන්නා තමයි මේ දේ කළේ... අපිට කුඩු බොන්න සල්ලි හොයාගන්නයි ඒ ඇන්ටිගේ ගෙදර පැන්නේ...“ එම පාපෝච්චාරණයත් සමඟ ක්‍රියාත්මක වූ පොලිසිය එදිනම චාමරද පැලවත්තේ ත්‍රීරෝද රථ ගාලේදී අත්අඩංගුවට ගත්තේය. දෙදෙනාගේ හෙළිදරව්වත් සමඟ සොරකම් කරන ලද භාණ්ඩ මිලට ගත් තරංග නමැත්තාද පසුදා එනම් ඉකුත් 6 දා අත්අඩංගුවට ගැනිණි.
නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.එස් ජයමහගේ උපදෙස් මත පොලිස් අධිකාරි මාලන් පෙරේරාගේ අධීක්ෂණයෙන් තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්තගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. ලක්ෂිත, සැරයන් 48874 රුවන්, කොස්තාපල්වරුන් වන 84764 කුමාර, 92511 චින්තක, 22161 විතාන සහ 102395 මහේල යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කළහ.