
ඉකුත් දිනෙක මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව සුපුරුදු පරිදි සිය රාජකාරි අරඹන්නේ එදින උදෑසනමය. ඔහු ලිපි ලේඛන පරීක්ෂා කරමින් සිටියේ අවශ්‍ය නීති කටයුතු නිසි පරිදි සිදුව තිබේද යන්න දැනගැනීම සඳහාය. හිටි හැටියේ නිල කාමරයේ දුරකතනය නාද වන්නට පටන්ගත් අතර එය සක්‍රීය කිරීමට වෙනත් අයෙකු නොසිටියේය. එම නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීවම එය සක්‍රීය කළේය. දුරකතනයේ අනෙක් කෙළවර සිටියේ පොලිසියට තොරතුරු සපයන්නේකු වූ අතර නිමේෂයකින් ලද තොරතුරින් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නව පණක් ලැබූවාක් සේ විය.
“හරි හරි... මම දැන්ම ඒ ගැන හොයලා බලන්නම්... ඔයා වෙන්නෙ මොකක්ද කියල ‘ටච් එකේ’ ඉන්න...”
ඒ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ පිළිතුරය. පොලිස් ඔත්තුකරු ලබා දුන් එම තොරතුරෙන් කියැවුණේ රත්නපුර, කහවත්ත, පැල්මඩුල්ල, ගොඩකවෙල සහ සෙවනගල ප්‍රදේශවල පෞද්ගලික දුරකතන සමාගම් විසින් ස්ථාපිත කර ඇති දුරකතන සංඥා කුලුනුවලට සවිකර ඇති බැටරි ගලවා වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් අලෙවි කරන සොර කල්ලියක් ගැනය. මොනරාගල පොලිසියේ උප පොලිස් පරීක්ෂක සමන් පාලිත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ නිල කාමරයට යන්නේ තමන් හදිසියේ කැඳවූයේ කුමකට දැයි දැන ගැනීමේ අටියෙනි.
“සමන්... අද වැඩක් කරන්න තියෙනවා... රත්නපුරේ පැත්තේ ටෙලිෆෝන් ටවර්වලින් බැට්රි ගලවල පිටට විකුණන ටීම් එකක් මෙහෙට බැහැල... දැන් තොරතුර ලැබුණේ... ඒ අය පිටවෙන්න කලින් අල්ලගන්න ඕන... මම ඔපරේෂන් එක ප්ලෑන් කරන්නම්... ඔයා ටීම් එක ලෑස්ති කරගන්න... ඒ අය ළඟ මොනවා තියෙනවා ද දන්නේ නෑ... ‘වෙපනුත්’ රෙඩි කර ගන්න...“
තම ප්‍රධානියගෙන් ලැබුණ අණට අනුව වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සමන් පාලිත මෙහෙයුමට යාමට අවශ්‍ය පොලිස් කණ්ඩායම සහ අවශ්‍ය අවි ද කඩිනමින් සූදානම් කළේය. අනතුරුව කණ්ඩායම සූදානම් වූ සැණින් ඒ ගැන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දැනුම්වත් කැරිණි.
උප පොලිස් පරීක්ෂක සමන් පාලිත විසින් මෙහෙයුම් කණ්ඩායම සූදානම් කරන අතරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මොනරාගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර සහ පොලිස් අධිකාරි 1 රත්නවීර එල්. අඩස්සූරිය ද තමන්ට ලැබුණු තොරතුර ගැන දැනුවත් කරමින් අවශ්‍ය උපදෙස් ද ලබාගත්තේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව ගැන ද සඳහන් කරමිනි.
“සර් ටීම් එක ලෑස්තියි... අපි කොහාටද යන්න ඕන?” මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල කාමරයට පැමිණි උප පොලිස් පරීක්ෂක සමන් පාලිත එලෙස විමසුවේය.
“හරි... එහෙනම් ඉක්මණට ඒ අයට එන්න කියන්න... කරන්න ඕන දේ මම කියන්නම්” මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සමන් පාලිතට එලෙස දැනුම් දුන්නේය.
එම දැනුම් දීම මත සැරයන්වරුන් වන 7797 ප්‍රේමකුමාර, 18098 කරුණාදාස, 37949 මහීපාල සහ කොස්තාපල්වරුන් වන 67951 අතුල, 84613 සංජීව යන නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කණ්ඩායම උප පොලිස් පරීක්ෂක සමන් පාලිත විසින් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල කාමරයට කැඳවාගෙන ආවේය.
නිල කාමරයට පැමිණි කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබාදුන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව ජීප් රථයට නැගී ක්ෂණයකින් මොනරාගල, ඇතිමලේ ප්‍රදේශයට ගමන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහාය.
“කිසි කෙනෙක් හදිසි වෙන්න එපා. බොහොම සූක්ෂම විදියට මේ වැටලීම කරන්න ඕන. අතට ආපු චාන්ස් එක මිස් කර ගන්න එපා. මේකේ මහ මොළකාරයා අල්ලා ගත්තොත් අනෙක් අය ගේමක් නැතුව අල්ලගන්න හැකි“ යැයි ඔහු කීවේය.
ජීප් රථය වේගයෙන් ධාවනය වෙමින් තිබියදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව තම මෙහෙයුම් කණ්ඩායමට තව තවත් උපදෙස් ලබා දුන්නේ ඉලක්කය වෙත නිසි ලෙස ළඟාවීමේ අරමුණෙනි.
මොනරාගල, ඇතිමලේ සහ ඒ අවට ප්‍රදේශවල මෙහෙයුම ක්‍රියාත්මක කළ පොලිස් කණ්ඩායම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ලද තොරතුරු මත ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඉතා සූක්ෂමවය. එම අයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ලද තොරතුරු මත සැකකරුවන් විසින් සොරකම් කර අලෙවි කරන ලද බැටරි විසි තුනක් ස්ථාන කීපයක තිබී පොලිස් භාරයට ගැනිණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි “බැකෝ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රියැදුරෙකු විය.අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සියලු දෙනා අවුරුදු විසි පහත් තිස්පහත් අතර වයසේ පසුවන්නන්ය. ඔවුන් සියලු දෙනා බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් ලෙස සේවය කරන අය බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.
සැකකරුවන්ගේ පාපොච්චාරණවලට අනුව කියැවුණේ රත්නපුර කහවත්ත මාදම්පේ හතේ කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් රාත්‍රී කාලයේදී දුරකතන සංඥා කුලුනුවලින් මෙම බැටරි හොරෙන් ගලවාගෙන තම කණ්ඩායමට ලබා දෙන බවයි. පසුව එම බැටරි බස් රථ මාර්ගයෙන් වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කරන බවය.
සොරකම් කරන ලද බැටරි මෙලෙස පිටස්තර ප්‍රදේශවලට රැගෙන ගොස් බස් රථ, ට්‍රිපර් රථ හා බැකෝ යන්ත්‍ර සඳහා විකුණා ඇති බවටත් පොලිස් කණ්ඩායම විසින් කරුණු අනාවරණය කර ගන්නේ ඉන් අනතුරුවය.
සොරකම් කරන ලද මෙම බැටරියක වෙෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් අටක් පමණ වේ. සැකකරුවන් විසින් එක බැටරියක් රුපියල් හැත්තෑපන්දහසත් රුපියල් ලක්ෂයත් අතර මුදලකට විකිණීම සිදු කර ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉකුත් දා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බණ්ධනාගාර ගත කෙරිණි. මෙම සොරකම්වලට සම්බන්ධ රත්නපුර, කහවත්ත, මාදම්පේ හතේ කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඇතුළු තවත් සැකකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ කහවත්ත හා ඒ අවට පොලිස් ස්ථාන විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.