අබලි යකඩ ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 100ක කප්පමක් ඉල්ලූ දෙදෙනාම දැලේ | Page 3 | සිළුමිණ

අබලි යකඩ ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 100ක කප්පමක් ඉල්ලූ දෙදෙනාම දැලේ

කිරිබත්ගොඩ ප්‍රදේශයේ යකඩ මුදලාලි කෙනකු වන කමල් සිය වැඩ කටයුතු නිම කරමින් නිවෙස බලා යෑමට කඩය වසමින් සිටියේය. වේලාව රාත්‍රී 8ට ආසන්න වී තිබිණි. කඩය ඉදිරිපිට ප්‍රාඩෝ රථයක් නතර විය. ඉන් බැස ගත් හතර දෙනකු කමල් මුදලාලි ළඟට ආවේ සිනහමුසු මුහුණිනි. කළුවරේ යාන්තමට මෙන් කමල්ට එම පුද්ගලයන් එකවරම හඳුනා ගැනීමට නොහැකි වුවත් 'ඇල්බට් මුදලාලිගේ' කටහඬ ඔහුට හුරුපුරුදුය.

 

"ආ.... මේ ඇල්බට් මුදලාලිනේ.... ඉතිං ඉතිං...." කමල් ඇල්බට් මුදලාලි සමඟ කතාබහට මුල පිරුවේය.

ඇල්බට් මුදලාලි ද කමල් මෙන් 'යකඩ බිස්නස් කරන්නෙකි'. දෙදෙනාම මේ ක්ෂේත්‍රයේ හොඳ පළපුරුදුකාරයෝය.

"වරදක් නෑ කමල් මහත්තයා... මේ දවස්වල බිස්නස් නම් ගන්නම දෙයක් නෑ..."ඇල්බට් මුදලාලි කීවේ ජීවිතය පිළිබඳ කිසියම් කලකිරුණු ස්වභාවයකිනි.

ඇල්බට් මුදලාලි එසේ පැවසුවේ තමා ආ කාරණයට ආරම්භයක් 'කමල් මුදලාලි' විසින්ම දුන් නිසාය. මඳ වේලාවකින් පැමිණි හතර දෙනාම කමල් මුදලාලිගේ වෙළෙඳසැල ඇතුළට ගොස් සුහද කතාබහක නිරත වූහ. ඇල්බට් මුදලාලිගේ මේ හදිසි පැමිණීම කමල්ට ඇති කළේ කුකුසකි.

"මං මේ කමල් මුදලාලිව හම්බ වෙන්න ආවෙ වැදගත් කාරණාවකට... අර සී.ජී.ආර්. එකේ අබලි යකඩ ටෙන්ඩරේ මුදලාලිට ලැබුණ කියලා ආරංචියක් ආවා... මාත් ඒක ගන්න ගොඩක් මහන්සි වුණා කියල මුදලාලිත් දන්නවනේ. ඉතිං මටත් ටෙන්ඩරයෙන් භාගයක් ඕනෑ... මුදලාලිට භාගයක් ඇතිනේ..."

ඇල්බට් මුදලාලිගේ මේ හදිසි පැමිණීම කමල් මුදලාලිට තේරුම් ගියේ ඉන් පසුවය. 2020දී දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරයකට කමල් මුදලාලි මෙන්ම ඇල්බට් මුදලාලි ද ඉල්ලුම් කර තිබිණි. කෙසේ හෝ එහි හිමිකාරිත්වය ඇල්බට් මුදලාලිට නොලැබුණු අතර කමල් මුදලාලි මේ වසරේදී අබලි යකඩ ටොන් 1000ක පමණ ටෙන්ඩරය ලබා ගත්තේය. එය කෝටි 20ත් - 30ත් අතර වටිනාකමකින් යුත් විශාල ගනුදෙනුවකි.

බොහෝ කාලයක් ගොස් තමා අමාරුවෙන් ගත් මේ ටෙන්ඩරය වෙනකකු සමඟ බෙදා ගැනීමට කමල් මුදලාලිගේ ද කැමැත්තක් තිබුණේ නැත. කෙසේ හෝ මෙහි ලාභය තනියෙන් භුක්ති විඳීම ඔහුගේ එකම අරමුණ විය.

ටික වේලාවක් යකඩ මුදලාලිලා අතර කතාබහ සිදු විණි. කමල් මුදලාලි තමන්ට ලැබුණු ටෙන්ඩරය කාට හෝ නොදෙන පාටක් ඇල්බට් මුදලාලිට ටිකෙන් ටික තේරෙන්නට විය. ඕනෑම දේකට සූදානමින් පැමිණි ඇල්බට් මුදලාලි ද වැඩේ අතඇරියේ නැත. සුහද කතාබහ ටිකෙන් ටික රළු වන්නට විය. උස් හඬින් වචන එහා මෙහා වෙද්දී ඇල්බට් මුදලාලි ඇතුළු සිවුදෙනා කමල් මුදලාලිට තර්ජනාත්මක ස්වරයෙන් කතා කරන්නට විය.

"මෙච්චර වෙලා මං හොඳින් ඉල්ලුවේ ටෙන්ඩරයෙන් භාගයක්. භාගෙ දෙන්න බැරි නම් උඹ මට ඕක විකුණලා ලැබෙන ලාභෙන් ලක්ෂ 100ක් දීපං... නැත්තම් මං නරක මිනිහා කියන්න එපා..." එසේ කියූ ඇල්බට් මුදලාලි ඇතුළු සිවුදෙනා ප්‍රාඩෝ රථයේ නැඟී අධික වේගයෙන් පිටව ගියහ.

කළ යුත්තේ කුමක් ද කියා කමල් මුදලාලිගේ සිහියට ආවේ නැත. මෙලෙස ඇල්බට් මුදලාලි, කමල්ට තර්ජනය කරන්නේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදාය. ඇල්බට් මුදලාලිගේ ද පැටිකිරිය හරිහැටි දන්නා කමල් පසුගිය ඔක්තෝබර් 1 වැනිදා මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නේ තමාට අනතුරක් කරයි යන බියෙනි.

කැලණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්තගේ උපදෙස් පරිදි එම පැමිණිල්ල පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඒ.පී.එන්.ජී. ගුණතිලකට පැවරෙන්නේ ඔය අතරය.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කමල් මුදලාලිගේ කඩයට පැමිණ අවට නිරීක්ෂණය කරමින් පසු දිනම විමර්ශන අරඹන්නේය. එම මාර්ගයේ සීසීටීවී කැමරා වෙත නිලධාරීන්ගේ අවධානය යොමු වන අතර සැකකරුවන් පැමිණි වේලාවේ සිට දර්ශන පරීක්ෂා කරන්නේ මොන යම් හෝ තොරතුරක් සොයා ගැනීමටය.

එක් කැමරාවක සැකකරුවන් ප්‍රාඩෝ රථයකින් පැමිණෙන අයුරු සටහන් වී තිබුණු අතර ඔවුන් නැවත පිටත්ව යන අයුරු ද හොඳින් පටිගත වී තිබිණි. ඉන් අනතුරුව දිගින් දිගටම සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමේදී මොවුන් කඳාන ප්‍රදේශයට ගොස් ඇති බවට අනාවරණය වන්නේය.

කඳානට ගිය නිලධාරීන් මේ සැකකරුවන් ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කඳානේදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර එක් අයකු එම ප්‍රදේශයෙන් ඒ වන විටත් පලා ගොස් අවසන්ය. ඒ ප්‍රාඩෝ රථය රැගෙන ආ පුද්ගලයාය. ඔහු කොටුකර ගැනීමට ද මේ වන විට පරීක්ෂණ සිදු වේ. ඇල්බට් ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් එලෙස අබලි යකඩ ටොන් 500ක් හෝ ලැබෙන ලාභයෙන් ලක්ෂ 100ක් ඉල්ලූ බවට පිළිගත්තෝය. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කැලණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්තගේ උපදෙස් පරිදි පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.පී.එන්.ජී. ගුණතිලක, සැරයන් (19364) බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (32392) චතුරංග, (92347) දුනුකාර යන නිලධාරිහු මෙහෙයුමට එක් වූහ.

Comments