පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා දාහතේම සභාපතිකම් විපක්ෂයටම ඉල්ලා සජබ තවත් අවුලකට මුල පුරයි | සිළුමිණ

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා දාහතේම සභාපතිකම් විපක්ෂයටම ඉල්ලා සජබ තවත් අවුලකට මුල පුරයි

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 ම සභාපති ධූර විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගය දිගින් දිගටම පැවසීම හේතු කොට ගෙන 11 වැනි සිකුරාදා පැවැති පක්ෂ නායක රැස්වීමද තීරණයක් ගත නොහැකිව කල් දමා තිබේ.

විපක්ෂයේ මතය වෙනස් නොවීම නිසා මෙම කාරක සභා පත් කිරීම දිනෙන් දිනම ප්‍රමාද වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. සභාපති ධූර නොදෙන්නේ නම් සමඟි ජන බල දායකත්වය ඊට ලබා නොදෙන බව ය. එහිදි ආණ්ඩු පක්ෂය ඉල්ලා ඇත්තේ කාරක සභා 17 සභාපති ධූර සම සමව බෙදා ගැනීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ආංශික අධීක්ෂණ කාරක සභා හැකි ඉක්මනින් පත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිතව ඉකුත් දා දැනුම් දුන් අතර එයට අදාළ සාකච්ඡාවක් ද පසුගිය බදාදා පැවැත්විණි.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී ද අයවැය විවාදයට අමතරව මෙම කාරක සභා ගැනද සිකුරාදා සාකච්ඡා වී ඇති අතර එහිදි ද විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ සියලු සභාපති ධූර විපක්ෂයට අවශ්‍ය බවය. සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත්, ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග, විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නියෝජිතයෝ ද එයට එක් වී සිටියහ.

Comments