දේශපාලන ගමන් මඟ හා නාමල් සාධකය | සිළුමිණ

දේශපාලන ගමන් මඟ හා නාමල් සාධකය

ර්බුද නැති කිරීමට යැයි කියමින් කිසියම් පිරිසක් විසින් දියත් කරන ලද 'අරගලය' අවසානයේ රට තුළ අර්බුද ගණනාවක් ඇති කිරීමට සමත් විය. ගාලුමුවදොරට අරක්ගෙන සිටි අරගලකරුවන් කිහිප දෙනකුම මාධ්‍ය හමුවලදී බොහෝ උජාරුවෙන් කීවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කිරීම ඔවුන්ගේ අරගලයේ එක් අරමුණක් බවය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ අරගලකරුවකු යූටියුබ් නාලිකාවකට පවසා තිබුණේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් පන්නා දැමීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවයි. ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශවලින් කියැවුණේ එකී අරමුණ ඉටු කර ගැනීමට විවිධ පාර්ශ්වයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබෙන බවයි.

ලෝකයම ගොදුරු වූ කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදයට ලංකාව ද ගොදුරු වීම අරුම පුදුම සිදුවීමක් නොවූව ද පටු න්‍යාය පත්‍ර කරපින්නා ගත් ඇතැම් පාර්ශ්ව උත්සාහ ක‍ළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාද කිරීමට දේශපාලන නායකත්වය ලබා දුන් රාජපක්ෂවරුන් පිළිබඳ කොටි හිතවාදීන්ට තිබෙන වෛරය පිරිමසා ගැනීමට එය අවස්ථාවක් කර ගැනීමටය. ඒ අනුව නැවත වරක් මෙවැනි ආර්ථික අර්බුදයක් පහසුවෙන් ඇති නොවන බැවින් කල දුටු තැන වළ ඉහ ගැනීමේ න්‍යාය ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක කරමින් රාජපක්ෂවරුන්ට විරුද්ධ මෙහෙයුම උපක්‍රමශීලී ලෙස ක්‍රියාවට නඟන්නට ඔවුහු උත්සුක වූහ.

විශේෂයෙන් අනාගත නායක්වය පිළිබඳ පෙර මඟ ලකුණු පෙන්වූ යොවුන් නායකයකු වන නාමල් රාජපක්ෂගේ දේශපාලන ජීවිතයට බලපෑම් කිරීමට ඔවුහු උත්සාහ කළේ අද ඊයේ සිට නොවේ. යහපාලන ආණ්ඩුව යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඇතැම් සංශෝධන ඉදිරිපත් කෙරුණේ රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් වන අතර, එහිදී නාමල් රාජපක්ෂට ද යම් යම් බලපෑම් එල්ල වූ බව නොරහසකි. විශේෂයෙන් නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වේ යැයි යන බිය විරුද්ධවාදීන් පීඩාවට ලක් කළ මහා භීතිකාවක් විය. ඒ නිසාම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වයස් සීමාවක් ද පැනවීමට ඔවුහු කටයුතු කළහ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කොට රාජපක්ෂවරුන් දඩයම් කිරීමට උත්සාහ කළ ඔවුන් එහිදී ද වැඩි අවධානයක් යොමු කරන ලද්දේ නාමල් රාජපක්ෂ කොටු කර ගැනීමටය. ඊට හොඳම උදාහරණය ඔහුට විරුද්ධව නඩු කිහිපයක්ම ගොනු කිරීමය. එහෙත් ඒ ඇතැම් නඩුවල සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බව හෙළි වීමෙන්ම ඔවුන්ගේ පටු අපේක්ෂා පිළිබඳ පැහැදිලි වේ. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ තීරණය කරනු ලැබුවේ දේශපාලන වශයෙන් ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දීමට තමා සූදානම් බව පෙන්වා දෙමිනි. එවැනි බාධක, අභියෝග දහසක් අතර වුවද තම දේශපාලන ගමන අතරමග නතර නොවන බව නාමල් රාජපක්ෂ විසින් මේ වන විටත් පෙන්වා දී ඇත.

 

•රුවන් පෙරේරා

Comments