මීළඟට පැවැත්වීමට නියමිත කුමන හෝ මැතිවරණයකදී තරග කළ යුත්තේ කෙසේද යන කාරණය ගැන මේ දිනවල දැඩි ලෙස කතාබහ කරමින් සිටින්නේ දේශපාලන සංවිධාන 03කි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහාචාර්ය ජී. එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් උත්තර ලංකා සභාවත් ඉදිරි මැතිවරණයකදී තරග කළ යුත්තේ කෙසේද යන්න මූලිකව එකිනෙකා අතර මේ දිනවල කතාබස් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස් සභාව සහ උත්තර ලංකා සභාව සන්ධානගත විය යුතුයි යනුවෙන් කොටසක් ප්‍රකාශ කරද්දී තවත් කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව නිදහස් සභාව හා උත්තර ලංකා සභාව සමඟි ජනබලවේගය සමඟ සන්ධානගත විය යුතු බවයි.
“අපි සන්ධානගත වුණොත් නායකයා වෙන්නේ කවුද? කාගේ ෆොටෝ එක ගහගෙනද ඡන්දය ඉල්ලන්නේ. සන්ධානයේ නායකයා කවුද?” යන ප්‍රශ්නවලට නිසි පිළිතුරක් තවම ලැබී නොමැති නිසා සන්ධානගත වන්නේ කෙසේද? කියා තවම එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.
මේ අතර තවත් කිහිපදෙනකු රනිල් - මහින්ද සන්ධානයක් ඇතිවූවොත් එම නව සන්ධානයට එක් වෙනවාද? කියන කාරණය කෙරෙහිද අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.
මහින්දට හමුවූ පැරණි මිතුරන්
මේ අතර පසුගිය 10 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ආලින්දයේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා අසල මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියට ඇවිදගෙන පැමිණියහ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සුමිත් උඩුකුඹුර, ඩී. බී. හේරත්, ජානක තිස්ස කුට්ටිආරච්චි ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ ඉදිරියට පැමිණෙන්නට වූහ.
ඒ සමඟම අනෙක් පසින් ඉදිරියට පැමිණෙන්නට වූයේ නිදහස් ජාතික සභාවේ ප්‍රධානියකු වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සහ උත්තර ලංකා සභාවේ නියෝජිත නීතීඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයායි.
“සර්. ඔය එන්නේ අපෙන් ගැලවිලා ගිය නිදහස සභාවයි, උත්තර ලංකා සභාවයි” යනුවෙන් සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා විසින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.
ඒ කතාවට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට මඳක් සිනහ ගිය අතර ඩලස් හා ගම්මන්පිල ඉදිරියට පැමිණ ඉතා සුහද ලෙස මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට අචාර කළහ.
ඊජීප්තුවේ සිට පැමිණි ජනපති කෙළින්ම පාර්ලිමේන්තුවට
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීම සඳහා ගොස් සිටි ජනපති රනිල් ඇතුළු පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරු 8.45 ට ය. නිවෙසට ගොස් සුළු විවේකයක් ගත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේ සිය සංචාරය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් මතු කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටය.
පාර්ලිමේන්තුව වෙත ජනපති එන ආරංචි සැල වූ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරු රැසක් දෙවන මහලේ ජනපති කාර්යාලයේ රැදී සිටියේ ඔහු මුණ ගැසීමටය. වජිර, නිමල් ලන්සා, ප්‍රමිත බණ්ඩාර, රණවීර, දොලවත්ත, ගයාෂාන් වැනි මැති ඇමැතිවරු රැසක් එදි රැඳී සිටියහ.
“අපි නම් මෙහෙම සංචාරයක් ගිහිල්ලා ලංකාවට ආවම දවස් දෙකක් විතර නිදා ගන්නවා. ඒකට ජනාධිපතිතුමා උදේ ලංකාවට ඇවිල්ලා දවල් වෙන්න කලින් පාර්ලිමේන්තුවට එනවා.” මන්ත්‍රීවරයකු එසේ කියද්දී සෙස්සෝ කොක් හඬලමින් හිස සැලුවෝය.
රනිල් තනියම ගහපු මැච් එක
“ජනාධිපතිතුමා තනියෙන් මැච් එක ගහනවා. COP 27 සමුළුවේ ආසියාවේ වීරයා වුණේ ජනාධිපතිතුමා තමයි. ඉන්දියාවත් නෑ චීනයත් නෑ.” වජිර කීවේ සිය නායකයා පිළිබඳ ආඩම්බරයෙනි.
ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණි විගස සියලු දෙනා ජනපති නිල මැදිරිය වෙත ගිය ද ජනපතිවරයා වැඩි වේලාවක් නොගෙන සභාව වෙත ගියේ සිය පිළිතුර පාර්ලිමේන්තුවට දැනුම් දීමටය. සමුළුව ගැන අදහස් දැක්වූ නායකයා ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීම ගැන ද අදහස් දැක්වීය. ඊට අමතරව දෙමළ සිරකරුවන් ගැන ද කතා කළේ ය.
සභාවෙන් ජනපති රනිල් පිටතට පැමිණෙද්දී ලොබියේදි හමුවූ විපක්ෂ මන්ත්‍රීවරයකු කීවේ යුක්රේනය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාලෝචිත බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයට සහාය දෙනවා සේම ආහාර අර්බුදයෙන් පීඩාවට පත් සියලු දෙනා වෙත ද මූල්‍ය සහාය දිය යුතු බව ජනපති සිය කතාවේදී සිහිපත් කර තිබුණි.
චම්පිකට සජිත් විරුද්ධ වුණාද?
“ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් තුන් දෙනාට විරුද්ධ වෙලා ඉන්නේ විපක්ෂ නායකතුමා නේද?” වජිර කියද්දී එහි සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගයාෂාන් කීවේ ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට චම්පික මන්ත්‍රීතුමා දානවටත් එතුමා විරුද්ධයිලුනේ.” යනුවෙනි.
“මාලදිවයින් හිටපු ජනාධිපති නෂිඩ් ගිය එක ගැනත් පාර්ලිමේන්තුවේදී කතා වුණා.” ප්‍රසන්න රණවීර ඇමැතිවරයා විමසුවේ ජනපතිගෙනි.
“මාලදිවයින් ආණ්ඩුව ඒක ඔවුන්ට ප්‍රශ්නයක් නෑ කියලා කියනවා නම් මටත් ප්‍රශ්නයක් නෑ.” ජනපති කීවේ සරල සිනාවකින් යුතුවය.
“නෂීඩ් ගියේ එයාගේ මුදලෙන් කියලා මාලදිවයින් පාර්ලිමේන්තුවත් නිවේදනයක් දාලා තිබුණා.” වජිර ද කතාවට ඌණ පූරණයක් එක් කළේය.
පාර්ලිමේන්තු නිල කාමරය ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරී යෑම නිසා ජනපතිට මැති ඇමැතිවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම හැර වෙන කළ හැකි දෙයක් නොවුණි. බොහෝ දෙනෙක් විමසන්නට වූවේ අය වැය ගැනය. ඒ ගැන පසුව දැනුම් දෙන්නම් යැයි කී ජනපති පිටව ගියේ මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීම අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැත්වෙන බව කියමිනි.
දිවා ආහාර සඳහා නිවසට ගිය ජනපතිවරයා නැවත සවස ජනපති කාර්යාලය වෙත පැමිණියේ ගමන් වෙහෙසද නොතකමිනි. ඒ අය වැය සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගී වීමටය. ජනපති රනිල් ඉකුත් 06 දා අලුයම ඊජිප්තුවේ ෂර්ම් අල් ෂෙයික් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අතර එරටට ළඟා වූ දින සිටම ඔහු එක්වූයේ විදෙස් නායකයන් හා සාකච්ඡාවන්ටය.
රනිල් ලෝක නායකයන්ට කීවේ මොනවාද?
ඊට ආසියානු කලාපය නියෝජනය කරමින් සහභාගී වූ රාජ්‍ය නායකයන් වූවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා පකිස්තාන් අගමැතිවරයා පමණකි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රමුඛතාව දුන්නේ ජනපති රනිල්ටය. ජනපති සමඟ මෙම ගමනට පරිසර ඇමති නසීඩ් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂ දිනුක් කොළඹගේ හා පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා එක්ව සිටියහ.
නිල සාකච්ඡා අතරතුරදී ජනපතිට මහා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මුණ ගැසුණේ අහම්බෙනි. බ්‍රිතාන්‍ය අගමැතිට වහාම අතට අත දුන් ජනපතිවරයා ඔහුගේ පත්වීමට සුබ පැතුවේය. සුළු මොහොතක් ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය ගැන කතා කොට එකිනෙකා වෙන් වද්දී ජනපති කීවේ ලංකාවට උදව් කරන්න ඕනේ කියාය. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ද ඊට හිස සලා ප්‍රතිචාර දක්වමින් ඉන් පිටව ගියේය.
ජර්මන් චාන්සල්වරයා හා ජනපති රනිල් මුණ ගැසුණේ උදේ ආහාරය ගන්නා අතරතුරදී ය. දේශගුණික විපර්යාස නිසා වෙනස් වන ලෝක තත්ත්වය ගැන බොහෝ වේලාවක් ඔවුනොවුන් කතා බස් කළහ. ලෝක දේශගුණික විපර්යාසයන් හා එයින් ලෝක ප්‍රජාවට එල්ල වන බලපෑම් මෙන්ම ඉන් ආර්ථිකයට වෙන හානිය ගැන ද ජනපති රනිල් කළ කරුණු දැක්වීම චාන්සල්වරයා අගය කළේය.
ණය ලබාදීම ගැන කොළ එළියක්
ශ්‍රී ලංකාවේම අවධානයට ලක්වූ කරුණක් වූ IMF ණය ලබා ගැනීමේ සාකච්ඡාවන්ට කොළ එළියක් ලබා ගැනීමට ද ජනපතිවරයා මෙම සංචාරය අතරතුරදී සමත්වූවේය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා මුණ ගැසී සාකච්ඡා කරමිනි.
ලංකාවට ණය දීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අධ්‍යක්ෂවරිය ණය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද ජනපතිට දන්වා සිටියාය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන ද ජනපති රනිල් ඇයව දැනුම්වත් කළේය. ජනපති රනිල් ඊජිප්තුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මුණ ගැසෙද්දී මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් මුණ ගැසුණේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව තාක්ෂණික සහාය මෙන්ම අය වැය යෝජනා සම්පාදනයට ද සහාය දෙන බව ඔවුන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉදිරියේ පොරොන්දු වූහ. ඊට අමතරව මෙරට මූල්‍ය කළමනාකාරීත්වයට අදාළ කරුණු කිහිපයක් වෙනුවෙන් සහාය වීමට ද ඔවුන් එකඟතාව පළ කළහ.
සාගර - රණවීර ගැටුමේ සුලමුල
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මෙම සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළබඳ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 3දී පැවැත්වුනේද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.
“ මමත් කෝප් එකට දාන්න
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසුවේ එම සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි පොහොට්ටු ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ටය.
“ඔයාව අයින් කළේ මම නෙවෙයි. ඔයා ඒක එතුමා එක්කම විසඳගන්න”
ඉන් කිපුණු රාජ්‍ය ඇමතිවරයා පොහොට්ටු ලේකම්වරයාට පහරදීමට තැත් කළද ලේකම්වරයා රාජ්‍ය ඇමැතිවරයා මඟහැර කමිටු කාමර 3 වෙත ගියේය.
ලේකම්වරයා හා රාජ්‍ය ඇමැතිවරයාගේ ගැටුම විසඳීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මැදිහත් විය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න පක්ෂ නායක රැස්වීමට දුවගෙන ආවේය.
“මේ ප්‍රශ්නෙ මොකද්ද? මේක කතා කරල විසඳ ගන්න” ඔහු පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට කීය.
ප්‍රසන්න - සජිත් උණුසුම් වාදයක
“මේ ආණ්ඩුවට සල්ලි නෑ. සංවර්ධනය නතර වෙලා. අපේ ආණ්ඩුවක් තිබුණ නම් සල්ලි මවන විදිය මම දන්නවා.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදීය.
“අපිට විතරක් ඇඟිල්ල දික්කරන්න එපා. මේවට තමුන්නාන්සෙලත් වග කියන්න ඕන” ඇමැති ප්‍රසන්න පැවසුවේ කේන්තියෙනි.
ඇමැති ප්‍රසන්නගේ කතාවට විපක්ෂ නායක සජිත් නැවත පිළිතුරු දීමත් සමඟ දෙදෙනා අතර උණුසුම් කතාබහක් ඇති විය. කමිටු සාමාජිකයන් කිහිප දෙනකු මැදිහත්ව එය නැවැත්වීය.
“මම කියන්න තියෙන දේ කෙළින් කියන මිනිහා.”ඇමති ප්‍රසන්න හිතවත් මැති ඇමැතිවරුන් සමඟ කීවේ තරමක ආවේගයෙනි.
ප්‍රසන්න මහින්දට දුන් සහතිකය
පසුගිය බදාදා ඇමැති ප්‍රසන්න රණතුංග, ජොන්ස්න්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ ලොබියේදී කතා කරමින් සිටින අතරදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂද එම ස්ථානයට පැමිණියහ.
" ආ.. කොහොමද ප්‍රසන්න"
හිටපු අගමැතිවරයා විමසුවේ ඇමැති ප්‍රසන්නගේ පිටට තට්ටුවක්ද දමමින් සුපුරුදු සුහදත්වයෙනි.
" වරදක් නෑ සර්"
ඇමති ප්රසන්නද පැවසීය.
" සර්... හැමෝම කියන්නේ ප්‍රසන්න ඇමැතිතුමා අපිව දාල යනව කියලා"
එහි සිටියකු කීය.
" මම ප්‍රසන්න ගැන දන්නවා. ප්‍රසන්න කියන්නේ මොනවද කියලත් මට හොඳට තේරෙනව"
හිටපු අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
"මම මේ රැස්වීම් මාලවට කැමති නෑ. මම ඒක නාමල් මල්ලිටත් කිව්වා. ඉස්සරවෙලා පාක්ෂිකයෝ ගැන බලල, පක්ෂය හදල ඊට පස්සෙ සර්ව ගමට එක්කගෙන යන්න ඕන"
ඇමැති ප්‍රසන්න සිය ස්ථාවරය පැහැදිලි කළේය.
"මේක සර්ල අපි හදපු පක්ෂය. මම මෙික දාල යන්නෙ නෑ සර්.
ඇමැතිවරයා යළි කීය.
හිටපු අගමැතිවරයා හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.
" මට ඔයාගෙ නැන්දම්මගෙ මළ ගෙදර එන්න බැරි වුණා. එද ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු උත්සවය තිබුණා"
හිටපු අගමැතිවරයා කතාව වෙනතකට හරවමින් කීය.
"ඒකට කමක් නෑ..සර්... මටයි නෝනටයි කතා කළානේ"
ඇමතිවරයා කීවේය.
අනතුරුව අගමැතිවරයා හා ඇමති ප්‍රසන්න රණතුංග පැය බාගයකට ආසන්න කාලයක් කතාබහක නිරත වූ අතර එය දෙදෙනාට පමණක් සීමා වූවකි.
බකමූණ ගොඩදැම්ම ඇමැතිට ඩඩ්ලිගෙන් සහතිකයක්
අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරියගෙ මව පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සී. බී. රත්නායක, ජොන්සන්ටන් ප්‍රනාන්දු, එස්. එම්. මරික්කාර් ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රාශියක් පැමිණියහ.
ඒ අතරට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද පැමිණියහ.
මළ ගෙදරක් වුවද මෙහි අතීත දේශපාලන රස කතාවලින් අඩුවක් නොවීය.
" එක මැතිවරණයකදී බකමූණ ආසනය දිනන්න බෑ කියල මහින්ද මහත්තයට වාර්තාවක් ලැබිල තිබුණා. ඒ වෙලාවෙදි ආසනය ගොඩදාගන්න පක්ෂය නම් කරල එවල තිබුණේ ප්‍රසන්න ඇමතිතුමා"
ඩඩ්ලි සිරිසේන කතාව පටන් ගත්තේය.
"ප්‍රසන්න ඇමැතිතුමා බකමූණට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කැම්පේන් එක අතට අරගෙන වැඩේ ගොඩ දාල දුන්නා. වැඩි වියදමක් ගියෙත් නෑ. ප්‍රසන්න කියන්නේ දක්ෂ සංවිධායකයෙක් වගේම හොඳ දේශපාලන නායකයෙක්. ඒ නිසා අයියා ජනාධිපති කාලෙවත් මම ප්‍රසන්න එක්ක තිබුණු සම්බන්ධකම අතෑරියෙ නෑ "
ඩඩ්ලි සිරිසේන නැවත කීවේය.
තන්තිරිමලේ කඨින පින්කම ජලනිගේ දායකත්වයෙන්
පසුගිය සතියේ අනුරාධපුර ප්‍රදේශයේ බලමණ්ඩල කිහිපයකට එක්වූ සජිත්, තන්තිරිමලේ විශේෂ කටයුත්තකට එක්විය.
ඒ කඨින පුණ්‍ය මහෝත්සවයටයි.එහි සම්පූර්ණයෙන්ම දායකත්වය දැරුවේ ඔහුගේ බිරියයි.
"මීට මාසෙකට කලින් මහියංගණ රජමහ විහාරයේ අට මහා කුසල් කඨින පින්කමට සම්පූර්ණ දායකත්වය දක්වලා,නැවත තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ කඨින පින්කමක් කරනවා.මේක ඓතිහාසිකයි. වසරකදී කඨින පින්කම් දෙකකට දායකත්වය දුන්න අවස්ථාවක් ගැන මට අහන්න දකින්න ලැබිලා නෑ"
තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ සජිත්ට සහ සහ ජලනිට කීය.
"ඕනෑම කටයුත්තක් කරද්දි පුංචි හරි අතපසුවීමක් අඩු පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්.හැබැයි මේ කඨින පින්කම් වල දී කිසිම අඩුපාඩුවක් නැතිව සර්ව සම්පූර්ණයෙන්ම ඉෂ්ට සිද්ධ වුණා"උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුව හදිසියේ ස්ථාපිත කිරීම පිළිබඳව පිළිබඳව විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ විශේෂ අවධානය යොමු විය.
"මොකක්ද මේ හදිසියේ ආණ්ඩුවට සීමා නිර්ණය කොමිසමක් නිර්මාණය කරන්න වුවමනා වෙලා තියෙන්නෙ?"
අශෝක් අබේසිංහ ඇසුවේය.
"පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක්.වෙන මොකක්ද තියන අරමුණ"
හේෂා කීවේ ය.
සජිත්ගෙන් දේශප්‍රියට පණිවිඩයක්
"එක එක උප්පරවැට්ටි දාලා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න හදනවා. අපි මහින්ද දේශප්‍රිය මහත්තයාට කියනවා මේ ආණ්ඩුවේ උපක්රමයට අහුවෙච්ච අතකොළුවක් වෙන්න එපා කියලා. "
සජිත් පළමු වරට බටහිර අනුරාධපුර බල මණ්ඩල රැස්වීමේදී එහෙම කීවේය.
මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති අලුත්ම උපක්‍රමය සීමානිර්ණ කොමිසම බව සජිත් විසින් පෙන්වා දෙනලදී.
ඒ අනුව විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ ආන්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව හඬ නඟන්නට වූහ.
"දැන් ආපහු ආරම්භ වෙලා මැති ඇමති සූදුව. ආරංචි හැටියට තවත් පස් දෙනෙක් පත් කරන්න යනවාලු. ජනතාව ඉන්නේ මහ පොළවේ. ආණ්ඩුව ඉන්නේ අහසේ.
ජනතාවට තියෙනවා කුසගින්න නිවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවට තියෙනවා ඇමැතිකම් ටික බෙදාහදා ගැනීම ගැන ප්‍රශ්නයක්. දූදරුවන්ට තියෙනවා කුසගින්නට ආහාර ටිකක් ගැනීම ගැනීම ගැන ප්‍රශ්නයක්. ආණ්ඩුවට තියෙනවා ඇමතිවරු බෙදාහදා ගැනීම ගැන ප්‍රශ්නයක්."
සජිත් කීවේය.
"මේ වෙලාවේ විකල්පයක් නෑ.එකම විකල්පය තමා මැතිවරණයකට යන එක.
එ මැතිවරණයේදී මේ රටේ ජනතාව තීන්දුවක් දෙයි"
ගයන්ත කීවේය.
පාර්ලිමේන්තුවේ සීතල චණ්ඩියා
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විදුලි සෝපානයට ඇතුළු වන විට එහි ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම සිටියහ.
විදුලි සෝපානයේ දොර වැසීමට ආසන්න වෙද්දීම ඊට ඇතුළු වූයේ සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයායි.
“ආ. ෙමතුමාගෙන් නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. මෙයා මෙහෙම අහිංසකව හිටියට සීතල චණ්ඩියෙක්. මෙතුමා සීතල චණ්ඩියා වුණාට මෙතුමාගේ තාත්තා නම් එළිපිට චණ්ඩියෙක්” යනුවෙන් අජිත් රාජපක්ෂගේ පිටට තට්ටුවක් දමමින් කියපු කතාවට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු එහි සිටි සියලූම දෙනා සිනහසූහ.
වජිර රනිල් ගැන ලබා දුන් සහතිකය
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය සති අන්තයේ උදෑසනම ගාල්ලට පැමිණියේ ගාල්ල, ගිංතොට පුරාණ තුන්මහල් විහාරයේ නවීකරණය කරන ලද ‘’ශ්‍රී ශාක්‍යසිංහ සුගත තථාගත සම්බුද්ධරාජ තෙමහල් විහාර මන්දිරය, විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහායි.
වජිර අබේවර්ධන විහාරයට පැමිණෙන විට තුන්මහල් විහාරයේ දහම් පාසලේ දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් විසින් ඔහු පිළිගත්තේය. දහම් පාසලේ දරු දැරියන් සමඟ මල්, පහන්, හඳුන්කුරු පූජා කිරීමෙන් අනතුරුව අබේවර්ධන තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා එක්විය.
උත්සවයේ වැඩකටයුතු නිමා වී වජිර අබේවර්ධන විහාරස්ථානයෙන් පිටත්ව යාමට මත්තෙන් උත්සවයට පැමිණ සිටී ප්‍රදේශවාසීන් පිරිසක් වජිර අබේවර්ධන අසලට පැමිණ ඔහු සමඟ කතාබහකට එක්විය.
‘’ඇමැතිතුමා, අපි ඔබතුමාව මුණගැහෙන්නයි බලන් හිටියේ, දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් ගැන ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නෙත් ඔබතුමාගෙන්ම විතරයි.
ඇත්තටම ඇමැතිතුමා, අපිට දැන් කලින් තිබුණු ප්‍රශ්න ගොඩාක් දුරට අඩුයි. තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා, නැතුවම නොවෙයි. එ්වත් ඉක්මනින්ම විසඳෙයි කියලා අපි හිතනවා.
ඒත් ඇමැතිතුමා, විපක්ෂයේ සමහර කණ්ඩායම් දැන් නැවත උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කරමින් යනවා. මගේත් මේ රැස්ව සිටින බොහෝ දෙනෙක්ගේත් ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක ව්‍යාපාරයයි.
ඒත් නැවත වතාවක් රට තුළ අර්බූදයක් ඇති වුණොත් විදේශිකයෝ ආපහු එන එකක් නැහැ. අපිට ඒ ගැන ලොකු බයක් තිබෙනවා. ජනාධිපතිතුමා මේකට මොනවා හරි කරයි නේද?
කාගෙන්වත් මේ ගැන අහලා වැඩක් නැහැ. ඔබතුමා තමයි මේ ගැන හොඳටම දන්නේ. ඔබතුමාගෙන්ම තමයි අපිට උත්තරයක් ඕනෑ. “ යැයි එක් අයෙක් වජිර අබේවර්ධන හමුවේ ප්‍රකාශ කළේය.
“ඔබ කිසිකෙනෙක් ඒ ගැන බයවෙන්න අවශ්‍ය නැහැ. රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒන මේ අවස්ථාවේ යම් යම් පිරිස් විරෝධතා ව්‍යාපාරයන් දියත් කරන්න උත්සාහ කරනවා. එය රැල්ලක් කියන්නත් බැහැ; තනි සිද්ධි වශයෙන් සිදුවෙන්නේ. ඒ්වා කරන්නේ රට අස්ථාවර කරන්න පමණක් නොව, ජාත්‍යන්තරයට යම් පණිවිඩයක් ලබාදිමේ අරමුණින් යුතුවයි. එනම් ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් බවට ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබාදීමටයි.
ඔවුන් ඒසේ සිදුකරන්නේ ජනතාවට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල් හා ගෑස් මෙන්ම ඖෂධ, ආහාර ද්‍රව්‍ය යනාදිය ලබාගැනීමට ඇති ක්‍රමවේදය කඩාකප්පල් කිරීමටයි. ඒ දේවල් කලා කියලා ජනාධිපතිතුමා ගෙන යන පැහැදිලි වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කාටවත් බැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන දැඩි ලෙස ප්‍රකාශ කළේය.