ජාත්‍යන්තර අවධානය ලංකාවට විවර කළ COP-27 | සිළුමිණ

ජාත්‍යන්තර අවධානය ලංකාවට විවර කළ COP-27

ඊජිප්තුවේ පැවැති COP-27 සමු­ළුව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් විසින් ඇමතූ අව­ස්ථාව

* ජනපති ඉදිරිපත් කළ ‘දේශගුණ සෞභාග්‍ය සැලැස්මට’ විදෙස් රාජ්‍ය නායක පැසසුම්
* 2050 වන විට කාබන් ඍණ ආර්ථිකයක් ඇති කිරීම අරමුණයි 
- ජනපති රනිල්
* ආසියානු රටකින් සහභාගි වූයේ ශ්‍රී ලංකා ජනාධිපති සහ පකිස්තාන අගමැති පමණයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලොව රජයයන් එකඟ කරවා ගැනීමට සෑම වසරකම එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව හෙවත් Conference of the Parties( COPs හෙවත් "පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය ) පසුගිය 18 දා සාර්ථකව නිමා වූයේය. 1992 දී එක්සත් ජාතීන්ගේ මුල් දේශගුණික ගිවිසුමට පාර්ශවකරුවන් ලෙස අත්සන් කළ රටවල් 200කට වැඩි ගණනක් මේ සඳහා ආරාධනා ලැබ සහභාගී වූ අතර අප්‍රිකානු මහාද්වීපයක රටක් COP සත්කාරකත්වය දරන පස්වන අවස්ථාවද මෙය වන්නේය. මෙවර පැවැති COP-27 වැනි සමුළුව ඊජිප්තුවේ ශාම් එල්-ශීක් (Sharm El-Sheikh) හිදී පසුගිය නොවැම්බර් මස 06 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැති අතර, ලංකාවේ සහභාගිත්වය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඇතුළු සීමිත දූත පිරිසක් එයට සහභාගී විය. මෙම සංචාරයට පරිසර ඇමැති නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මෙන්ම ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ඉතා සුලු පිරිසක් මෙම විදෙස් සංචාරයට සහභාගී වීම කැපී පෙනෙන කරුණක් විය.

ජනාධිපතිවරයාගේ මේ සංචාරයේදී ඉතා වැදගත් කරුණක් වූයේ පසුගිය 8 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් COP- 27 සමුළුව ඇමතීමය. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසි මෙන්ම එක්සත් ජාතින්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් ඇතුළු ලෝක නායකයන් රැසක් ඒ අවස්ථාවට සහභාගී වූහ. මෙම සමුළුව ඇමතු ජනාධිපතිවරයා අවධාරණය කළේ කාර්මික ලෝකයේ ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බවත්, ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බවත්ය.

සංවර්ධිත රටවල අසීමිතව සිදුවන කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන බවත්, එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බවත්ය. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත්, ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදා කර ගැනීමේ ද්විත්ව සටනක එ් රටවල් මේ වන විට නියැළී සිටින බවත්ය. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීමට ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය වන බවත්ය.

මාලදිවයිනේ අනුපූරක ආයතනයක් සමඟ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත්, යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය මඟින් අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම පිළිබඳ හැකියාවන් ගොඩනැඟීම, කෙටි කාලීන පාඨමාලා සහ පශ්චාත් උපාධි පිරිනැමීමට අදහස් කරනු ඇති බවත්ය. මෙම විශ්වවිද්‍යාලය මඟින් නව පරපුරේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික කුසලතා නංවාලීමට බලාපොරොත්තු වන බවත්, යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන ජීවන වියදම්, තෙල් හා ගෑස් සැපයුම් හිඟය සහ කුසගින්නට එරෙහි සටන අප නිවෙස් කරා ද එළඹ ඇති බවත් ජනාධිපතිවරයා සිය කතාවේදි අවධාරණය කළේය.

COP-27 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉදිරිපත් කළ ‘දේශගුණ සෞභග්‍ය සැලැස්මට‘ (CPP) විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් හිමි වූයේ ඉහළම පැසසුම්ය. 2050 වන විට කාබන් ඍණ ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් සකස් කළ මෙම සැලැස්ම අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇති කිරීම, ලංකාවට විදෙස් ආයෝජන වැඩියෙන් ආකර්ෂණය කිරීම, රැකියා ඉහළ නැංවීම මෙන්ම ඉදිරියේදී දේශගුණයට අනුවර්තනය වෙමින් වේගවත් ගමනක් යන ආකාරය ද ඇතුළත් වෙයි. මෙම සැලැස්මට අනුව ඉදිරියේදි වසරකට ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1% කින් ඉහළ නැංවීමත්, 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 24% කින් ඉහළ නැංවීමත්, 2030 වන විට ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 35%-70% දක්වා ඉහළ නැංවීමත් අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙම සැලැස්ම ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.

එසේම කාබන් අඩු කිරීම, ඉලෙක්ට්‍රොනික වාහන භාවිතය වැඩි කිරීම වැනි කරුණු හරහා ඉදිරියේදි ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අපේක්ෂිතය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම සැලැස්ම හේතුවෙන් දේශගුණක විපර්යාසයන්ගෙන් පීඩාවිඳින රටවල්හි නායකත්වය ජනාධිපතිවරයාට හිමි විය. මෙම සැලැස්ම ඉදිරිපත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම ලෝක බැංකුවේ ප්‍රසාදයට හේතු වූ අතර, එය ඉදිරි ණය ලබා ගැනීමේ කාර්යයේදි බෙහෙවින් ප්‍රතිඵලදායක වනු ඇතැයි අපේක්ෂිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ “ ආහාර සුරක්ෂිතතාව“ පිළිබඳ වට මේස සාකච්ඡාවකට ද සහභාගී වූ අතර, එහිදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සමුළුවේ ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසි හා එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගෙන් ඉල්ලීමක් කළේ ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ඉස්මතුව ඇති බවයි. 2023 පෙබරවාරි මස වන විට මෙම තිරසාර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේ එසේ නොවුණ හොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යූහයන්ට සිදුවිය හැකි හානිය පිළිසකර කළ නොහැකි එකක් වනු ඇති බවයි. මෙහිදි ජනාධිපතිවරයා විසින් 2023-2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම ඇමැතිවරුන් රැස් කරවන ලෙස ද ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයාගේ සංචාරයේදී අතිශයින්ම වැදගත් ලෝක නායක හමුවීම් රැසක් පැවැත්විණ. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හා ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් අතර හමුව කැපී පෙනුණකි. COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්වූ මේ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජයීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය විය. ලංකාවේ දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය වූ තවත් වැදගත් කරුණකි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධවීමේ වැදගත්කම දෙපාර්ශ්වය අතර අවධාරණය විය. ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය උදෙසා අඩිතාලම සැපයීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) සහනදායි මූල්‍යකරණය, තාක්ෂණික සහය, ප්‍රතිපත්ති උපදෙස්වලට අනුකූලව ලෝක බැංකු සමූහයේ සහය ලබාදීමට ද ලෝක බැංකු සභාපතිවරයා පොරොන්දු විය.

නව බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පත්වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඔහුට සුබ පැතුව ද, රිෂී සුනක් බ්‍රිතාන්‍ය ජනාධිපතිවරයා හමු වූයේ පසුගිය 7 වැනිදාය. ඒ COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදීය. මෙම හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන්නට අමතක නොකළේය.

ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවීමට අමතක නොකළේය.

මෙහිදී මහලේකම් විසින් 1978 වසරේ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මතකයන් අවදි කළේය. එහිදි ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මහලේකම්වරයා දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක අවධානය යොමු කරවීමට හා COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් අතර හමුවක් ද පැවැත්වුණි. ස්ලෝවේනියා ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉතා සුහදශීලිව පිළිගත් අතර, අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ. මීට අමතරව ඝානා ජනාධිපති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මෙන්ම රාජ්‍ය නායකයෝ ඇතුළු සම්භාවනීය පිරිසක් සමඟ ඵලදායි සාකච්ඡා මෙම සංචාරයේදී පවත්වන්නට හැකියාව ලැබුණි.

ජනාධිපතිවරයාගේ මෙම ඊජිප්තු සංචාරයේදී මාලදිවයින් හිටපු ජනාධිපති කථානායක මොහොමඩ් නෂීඩ්, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර උපදේශකයකු ලෙස පත්වීම් ලද නෝර්වේ හිටපු ඇමැති එරික් සොල්හයිම් සහභාගී වූ අතර, ඔවුන් නිරන්තරයෙන් දේශගුණ විපර්යාස සම්බන්ධ ප්‍රවීණයෝ වෙති. ඔවුන් මෙහිදී ලංකාවට පවා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, මෙම සමුළුව සඳහා ඔවුන් සහභාගී වූයේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බව පැවැසිය යුතුය.




Comments