සමෘද්ධි දීමනාවලට සුදුස්සෝ සොයති | සිළුමිණ

සමෘද්ධි දීමනාවලට සුදුස්සෝ සොයති

ජයේ දීමනා ලැබීමට නුසුදුසු අය මෙතෙක් කලක් අනිසි ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධ චෝදනා හේතුවෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු මෙතෙක් දීමනා ලැබූ දීමනාලාභීන්ගේ නාම ලේඛන යළි යාවත්කාලීන කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසුවේ මේ වන විට ලක්ෂ 17.5 ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන් සිටින බවත් වකුගඩු, වැඩිහිටි, ආබාධිත ඇතුළු සියලු දීමනා ලබන සංඛ්‍යාව ලක්ෂ 35 ක් පමණ වන බවත්ය. නමුත් මෙතෙක් දීමනාලාභීන් අතර නුසුදුසු අය දීමනා ලබන බවට චෝදනා එල්ල වී ඇති හෙයින් ඉදිරියේදී යළිත් අයදුම්පත් කැඳවීමක් සිදු කර විධිමත් ක්‍රමවේදයක් යටතේ සුදුස්සන් පමණක් තෝරා ගැනීමට නියමිතව ඇති බවයි.

සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ කටයුතු සිදු කරන අතර, මේ වන විට දීමනා ලබා ගැනීම් සම්බන්ධ අයදුම්පත් ලක්ෂ 35 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මේ වන විටත් ඒ පිළිබඳ තොරතුරු එකරාශි කරමින් සිටින අතර, අනතුරුව තෝරාගත් ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරේ. මේ කාලයේදි අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම විරෝධතා දැක්වීම සඳහාද අවස්ථාව ලබා දී ඇති අතර දෙසැම්බර් අග වනවිට මේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරෙයි.

Comments