මහන්සියෙන් උපයා ගත් මුදල්වලින් හදා ගත් ගෙවල් කඩලා විනාශ කළේ මොන හේතුවක් නිසාද? | සිළුමිණ

මහන්සියෙන් උපයා ගත් මුදල්වලින් හදා ගත් ගෙවල් කඩලා විනාශ කළේ මොන හේතුවක් නිසාද?

- විනාශ කරපු දේවල් අතර ජෝර්ජ් කීට් ඇඳපු ලක්ෂ ගණනක් වටින චිත්‍රයකුත් තිබුණා
- දේශපාලනයෙන් රුපියලක් තියා සතපහක්වත් හොරකම් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා
- මැයි 9 වැනිදා සිදුවීමෙන් මගේ ගෙවල් දෙකම විනාශ වුණා
- කොළඹ ගෙදර හැදුවේ 1988දි, මම දේශපාලනයට එනවා තියා ඒ ගැන හිතුවෙවත් නැති කාලෙකදි
- මගේ මහන්සියෙන් උපයා ගත් මුදල්වලින් හදා ගත් ගෙවල් කඩලා විනාශ කළේ මොන හේතුවක් නිසාද කියලා මම ඒ විනාශය සිදු කරපු මිනිස්සුන්ගෙන් අහන්න කැමතියි
- මැයි 9 වැනිදා මම අරලියගහ මන්දිරය පැත්ත පළාතේ ගියේ නැහැ
- මොන බාධක ආවත් මැරෙනතුරුම මම දේශපාලනය කරනවා

මැයි 9 වැනිදා රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ මහජන නියෝජිතයන් අතර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වත්මන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද වේ. ජනකාන්ත සහ සම්මානනීය සිනමා රංගන ශිල්පිනියක ලෙස ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියන ඇය දක්ෂ ව්‍යවසායිකාවකි. එසේ වුවද ඒ ක්ෂේත්‍ර තුළින් ලැබූ කීර්තියත් ධනයත් දෙවැනි තැන තබමින් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ගීතා කුමාරසිංහ මැයි 9 වැනිදා අඳුරු සඳුදාව පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසිනි. 

"එදා ඒ සිදුවීම නිසා හඹුරුගලයි කොළඹයි තිබුණු මගේ ගෙවල් දෙකම විනාශ වුණා. මැයි 9 වැනිදා විනාශ කළේ හඹුරුගල බෙන්තර තිබුණු මවුපියන්ගෙන් මට ලැබුණු ගෙදර. ඒ ගෙදර මම ලස්සන විලා එකක් විදිහට හදලා තිබුණේ. මම ඒක හැදුවේ කොළඹ ඉඳන් ගමට ඇවිත් ගමේ ජනතාවට උදවු කරන අදහසින්. ඒකට හේතුව අපි ආසනයේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලන අය විදිහට සතියකට සැරයක්වත් ගමට ඇවිත් කාර්යාලයක් පවත්වා ගෙන යමින් මිනිස්සුන්ට උදවු කළ යුතුයි කියන අදහස මගේ හිතේ තිබුණු නිසයි. මම මහජන දින තියන්න පටන් ගත්තේ 2010දී පමණ. ඒ කාලයේ සිට මාව හමුවෙන්න එන ජනතාවට පුළුවන් විදිහට කෑම ටිකකින්, තේ කෝප්පයකින් සංග්‍රහ කරලා ඔවුන්ට හැකි පමණින් උදවු උපකාර කළා. ඒ විදිහේ ජනතා සේවයක් කරපු මගේ ගේ තමයි එදා 9 වැනිදා කුඩු පට්ටම් කරලා දැම්මේ. ගෙදර වීදුරු ජනෙල් දොරවල් කෑලිවලට කඩලා ගෙදර තිබුණු පෞරාණික භාණ්ඩ සියල්ල විනාශ කරලා තිබුණා. මට හරිම දුකයි ඒ සමහර පෞරාණික බඩු මගේ සීයලා ආච්චිලාට වැඩිය පරණ ඒවා. 17 දෙනකුට එකපාර වාඩිවෙලා කෑම කන්න පුළුවන් ලොකු මේසයක්, නවීන ව්‍යායාම් උපකරණයක්, සීසීටීවී කැමරා, වායු සමීකරණ යන්ත්‍ර මේ සියල්ලම කඩලා විනාශ කරලා. සමහර දේවල් හොරකම් කරගෙන ගිහින් තිබුණා. ගෙදරට අමතරව රියැදුරු මහත්වරුන්ට සහ ආරක්ෂක නිලධාරින්ට ඉන්න හදලා දීලා තිබුණු පොඩි ක්වාටස් එකත් විනාශ කරලා තිබුණා.

ඒ විනාශය එතැනින් නතර වුණේ නැහැ. 10 වැනිදා මගේ කොළඹ ගෙදරටත් ගැහුවා. මම ඒ ගේ හැදුවේ 1988දි, දේශපාලනයට එනවා තියා ඒ ගැන හිතුවෙවත් නැති කාලයකදී. ඒක ලස්සන විශාල ගෙයක්. නාන තාටක ඇතුළු අංග සම්පූර්ණ නිවෙසක්. 10 වැනිදා විශාල පිරිසක් ගෙට කඩා වැදිලා ගේ බඩුමුට්ටු කුඩු කරලා ලොකු විනාශක් කළා. ගෙදර තිබුණු පෞරාණික බඩුත් කුඩු කරලා දැම්මා. මම මගේ පස්වැනි චිත්‍රපටය කරද්දි ඇන්ටික් සේල් එකකින් ලස්සන පුටු දෙකක් ගත්තා. ඒ පුටු දෙකට මම කොච්චර ආසද කියනවා නම් ඒ පුටු දෙක මොරටුවට ගෙනියලා ඒ වගේම පුටු ටිකක් හදවාගත්තා ගෙදර ඉස්සරහා තියන්න. ඒ සේරම කෑලි කෑලිවලට කඩලා විනාශ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ගෙදර සීසීටීවී කැමරා, පයිප්ප ලයින් සේරම කඩලා. එහෙම විනාශ කරපු දේවල් අතර ජෝර්ජ් කීට් ඇඳපු ලක්ෂ ගණනාවක් වටිනාම චිත්‍රයක් තිබුණා. ගහපු ගල් පාරවල් නිසා ඒ චිත්‍රයත් විනාශ වෙලා. ඒ වගේම ගහපු ගල් නිසා ගෙදර වහලෙත් කැඩිලා කියලා මම දැනගත්තේ වහින්න පටන් ගත්තට පස්සෙයි. වහින කාලේ හින්දා ඒවා දැන්ම හදාගන්න විදිහකුත් නැහැ. වහලේ අලුතින් හදන්න විශාල වියදමකුත් යනවා. ඒ සිද්ධිය නිසා ගෙදරට වුණු අලාභය ගැන තක්සේරු කරනකොට මම වහලෙ කැඩිලා කියලා දැනගෙන හිටියෙත් නැහැ."

ප්‍රචණ්ඩකාරීන්ගේ ඒ අනීතික ක්‍රියාවෙන් රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහට අහිමි වූ දෑ බොහෝය. රංගනයෙන් රසිකයන් අමන්දානන්දයට පත්කළ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය ලැබූ සම්මාන තබා තිබූ විශාල රාක්කය ද එදා ප්‍රචණ්ඩකාරීන්ගේ ගල් පහරින් බිම පතිත වී තිබිණ. දේශපාලනයට පිවිසෙන්නට පෙර කලාකාරිනියක ලෙස ජනතා සම්මානයට පාත්‍රව සිටි ඇය ඒ සියල්ල සිහි කළේ සංවේගයෙනි.

"මම මේ රටේ විශාල ව්‍යාපාර රැසක අධ්‍යක්ෂිකාවක්. චිත්‍රපටවලින් විශාල ආදායම් ලැබූ කෙනෙක්. පාලම යට, ලොකු දුව, සලඹක් හඬයි කියන චිත්‍රපටවලින් විතරක් මම කෝටි ගාණක් මුදල් හම්බ කළා. එහෙම හම්බ කළ මුදල් වෙනුවෙන් මම බදු ගෙවනවා. බදු ගෙවන එක මගාරින්න හොර වැඩ කරලත් නැහැ. මගේ මුදල් සේරම තියෙන්නෙ මේ රටේ බැංකුවල. වත්කම් බැරකම් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම මම දේශපාලනයෙන් හම්බ කරගත් දෙයක් නැහැ. මගේ මහන්සියෙන් උපයාගත් මුදල්වලින් හදාගත් ගෙවල් කඩලා විනාශ කළේ මොන හේතුවක් නිසාද කියලා මම ඒ විනාශය සිදු කරපු මිනිස්සුන්ගෙන් අහන්න කැමතියි. එහෙම විනාශ කරන්න තියෙන අයිතිය මොකක්ද? කලාකාරිනියක්, ව්‍යාපාරිකයෙක් විදිහට මම උපයා ගත් මුදලින් ජනතාවට සේවය කරන්න මට බැරිද? මගේ හඹුරුගල ගෙදර තිබුණා ලක්ෂ 65ක් වටිනා ලොරියක්. ඒක මම එහේ තියලා තිබුණේ ගමේ මිනිස්සුන් වෙනුවෙන්. එදා ඒකත් ගිනි තියලා විනාශ කරලා තිබුණා. මාව හමුවෙන්න ගෙදරට එන මිනිස්සුන්ට ඉඳගන්න තියලා තිබුණු පුටු 500ත් ගිනිබත් කරලා. ඒ තරම් විනාශයක් කරන්න මම කරපු වරද මොකක්ද කියලා දැනගන්න මට අයිතියක් තියෙනවා. දේශපාලඥයන් හොරකම් කළා කියලා චෝදනා කළාට අනිත් අය කරපු දේවල් මම දන්නෙ නැහැ. මම කතා කරන්නේ මම ගැන. මම දේශපාලනයෙන් රුපියලක් තියා සතපහක්වත් හොරකම් කරලා තියෙනවා නම් ඒවා ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. මම මේ සියල්ල උපයා ගත්තේ මගේ මහන්සියෙන්, කැපවීමෙන්. ඒ සල්ලිවලින් දේශපාලනයට ආවා කියලා ගෙවල් කඩන්න තියෙන අයිතිය මොකක්ද? මම අහන්නේ එකම දෙයයි. මේ රටේ ජනතාව සර්ව සාධාරණ නම් ඔවුන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නම් අපේ ගෙවල්, පොදු දේපළ විනාශ කරලා ඒක කරන්න පුළුවන්ද? මම දේශපාලනයට ආවේ බෙන්තර ඇල්පිටිය ජනතාව වෙනුවෙන්. ස්විස්ටර්ලන්තය වගේ ලස්සන රටක පුරවැසි භාවය ඉවත් කර ගත්තෙ මේ රටේ දේශපාලනය වෙනුවෙන්. මගේ ගෙවල් කඩපු මිනිසුනේ, මම ඔබලාගෙන් අහනවා, ස්විස්ටර්ලන්තය වගේ ලස්සන රටක් ගැන ඔබලාට හීනයක් පමණයි. මට ඒ රටේ කඳුවලින් වටවුණු ලස්සන තැනිතලාවක ඉතාම සුන්දර නිවසක් තිබුණා. අවුරුදු 30ක් තිබුණු ඒ රටේ පුරවැසිකම දාලයි මම ලංකාවට ආවෙ. මැයි 9 වැනිදා මේ රටේ වුණේ ත්‍රස්තවාදයක්. ඒ ත්‍රස්තවාදය අමු අමුවේ මේ රට විනාශ කළා."

එදා මැයි 9 වැනිදා ඇති වූ රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වයට ආසන්නතම හේතුව වූයේ අරලිගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගි වූ පිරිසක් විසින් ගාලුමුවදොර අරගල භුමියේ සිටි පිරිසට පහර දීමයි. ඒ පිළිබඳ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මෙසේ පැවසුවාය.

"මම බොහොම පැහැදිලිව කියනවා, මම එදා මැයි 9 වැනිදා අරලියගහ මන්දිරය පැත්ත පළාතේ ගියේ නැහැ. මම හිටියේ නාවල මගේ ගෙදරයි. මහින්ද මහත්තයාට සමු දෙන්න අරලියගහ මන්දිරයට එන්න කියලා මැතිඇමතිවරු කිහිප දෙනෙක් මටත් කතා කළා. මහින්ද මහත්තයාට ආයුබෝවන් කියන්න මට ඕන වෙලාවක එතුමා හමුවෙන්න පුළුවන් නිසා මම එදා එතැනට ගියේ නැහැ. ඒ වගේම මම බෙන්තර ඇල්පිටිය ගමෙන් එක පුද්ගලයෙක්වත් එදා අරලියගහ මන්දිරයේ තිබුණු රැස්වීමට යැව්වෙත් නැහැ. මගේ හිත කිව්වා එදා එතැන මොකක්හරි ප්‍රශ්නයක් වෙයි කියලා. එහෙම හිතලා වැඩ කරපු මට මෙහෙම දෙයක් කරයි කියලා මම නිකමටවත් හිතුවේ නැහැ. 

මම කිසිම දෙයක් ගැන අඬන දොඬන කම්පා වෙන ගැහැනියක් නෙවෙයි. 2017 මගේ ගෙදර ගෑස් එකට ගිනි ඇවිළුනාම මම දවස් ගාණක් රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. ඒත් ඒ අනතුර නිසා මගේ මූණේ එක කැළලක්වත් ඉතිරි වුණේ නැහැ.

මම නිතරම හිතන්නේ අපි කරන දේවල් දන්න දෙවි කෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි කරන හොඳ නරකවල ප්‍රතිඵල අපිට ලැබෙනවා. වන්දි විදිහට සතපහක්වත් තවම මම අරගෙන නැහැ. "

දරුවන් අට දෙනකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා ලෙස උපත ලැබූ ගීතා සමන්මලී කුමාරසිංහගේ පියා, විජේපාල කුමාරසිංහ නාවික හමුදා මූලස්ථානයේ ගබඩා කළමනාකරුවකු ලෙස සේවය කර ඇති අතර මාධ්‍යවේදියකු ලෙස ද කලක් කටයුතු කර ඇත. ගායනයට හා නර්තනයට සහජ දස්කම් පෑ ගීතා, වයස අවුරුදු 16දී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳි අතර පසුකලෙක සිනමා නිළියක වීමට එය ඇයට මඟ හෙළි කළේය. 1975 වසරේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරාගේ 'වාසනා' චිත්‍රපටයෙන් රංගනයට පිවිසියද මුලින්ම තිරගත වූයේ ඇය රඟපෑ නීල් රූපසිංහගේ 'ලස්සන කෙල්ල' සිනමා පටයයි. 'සිංහල සිනමාවේ ලස්සනම කෙල්ල' ලෙස පමණක් නොව පසුකලෙකදී 'ලංකාවේ ධනවත්ම නිළිය' ලෙස ද විරුදාවලී ලබන්නට සමත් වූ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 80කට අධිකය. වාණිජ සිනමාව මෙන්ම සම්භාව්‍ය සිනමාව ද ජයගත් රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ, ප්‍රබල චරිත රැසකට පණ දුන් අතර විදේශීය චිත්‍රපට රැසක ද රඟපා ඇත. 'පාලම යට' චිත්‍රපටයේ 'ඩොටී' නම් පෙරළිකාර චරිතය නිරූපනය කළ ගීතා කුමාරසිංහ එම චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නිළියට සහ හොඳම නිෂ්පාදකයාට හිමි සම්මානය ද්විත්වයම දිනා ගත්තාය.

එය අඛණ්ඩව දින 100ක් තිරගත වෙමින් රීගල් සිනමා ශාලාවේ මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස ද සැලකේ. 2004දී තිරගත වූ 'රන්දිය දහර' චිත්‍රපටයෙන් ද සම්මානිත වූ ඇය ඉන් පසු සිනමාවෙන් සමුගෙන දේශපාලනය කෙරෙහි අවධානය යොමු කළාය. 2015 වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ඇය මනාප ඡන්ද 63,955ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

"මම දේශපාලනයට ආවේ අහම්බෙන්. නමුත් මගේ පවුලේ දේශපාලන නැඹුරුවක් තිබුණා. මගේ සීයා ගම්මුලෑදෑනියෙක්. මගේ පියා දැඩි සමාජවාදියෙක්. දේශපාලනය ගැන ඔහුට ලොකු උනන්දුවක් තිබුණා. මම හිතනවා ඒ ජානවල ආභාසය මටත් ලැබෙන්න ඇති කියලා. මම දේශපාලන කටයුතු ඇරඹුවේ 2009දි. මම ක්‍රියාකාරී දේශපාලනය ඇරඹුවේ බිම් මට්ටමේ සිටයි. "

කාන්තාවක් වීම නිසා මුහුණ දීමට සිදු වූ අභියෝග ගැන ද රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ සිහිපත් කළාය.

"ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෑත ඉතිහාසයේදී දේශපාලනයට ප්‍රවිෂ්ට වූ කාන්තාව මමයි. 2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පරාජයත් සමඟ නැවත වතාවක් පක්ෂය ගොඩනැඟීමට අපි ලොකු වෙහෙසක් ගත්තා. 2019දී මගේ ජිවිතයේ තීරණාත්මක ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වෙද්දි මම ද්විත්ව පුරවැසියෙක්. සැමියා විදෙස් ජාතිකයෙක් නිසා මට ස්විස්ටර්ලන්තයෙත් පුරවැසි භාවය තිබුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු වීමත් සමඟ මට විරුද්ධව නඩුවක් පැවරුණා.

ඒ අවස්ථාව අභියෝගාත්මක වුණත් ඊට මුහුණ දීලා මම එයින් ජයග්‍රහණය කළා. ඒ එක අවස්ථාවක් පමණයි. අපේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 13%යි. ඒ සංඛ්‍යාව ඉදිරියේදී තවත් පහළට වැටෙයි කියලා මට හිතෙනවා. දේශපාලනයේ නිරත වෙන වරදට ගෙවල් ගිනි තැබීම්, දේපළ විනාශ කිරීම්වලට මුහුණ දෙන්න වුණාම කාන්තාවන් දේශපාලනයට එන්න පසුබට වෙනවා. නමුත් මොන බාධක ආවත් මැරෙනතුරුම මම දේශපාලනය කරනවා, ජනතාවට සේවය කරනවා"

Comments