තොටළඟ ඩොටී පිටකොටුවේ | සිළුමිණ

තොටළඟ ඩොටී පිටකොටුවේ

සුගිය සතියේදී වැඩි අවධානයට ලක් වූයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කරන ලද ආණ්ඩුවට එරෙහි විරෝධතාවයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කළද, ජනතා විමුක්ති පෙරමුණ, ඩලස් හා ජී. එල්ලාගේ නිදහස සභාව, විමල් හා ගම්මන්පිලලාගේ උත්තර සභාව ඇතුළු විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් මෙම විරෝධතාවට සහභාගී වූයේ නැත.

සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ තීරණය නොතකා මෙම විරෝධතාවලට පැමිණ සිටීම ද විශේෂත්වයකි.

කචල් ඇති වූ හැටි

සවස 3.00ට පමණ පිරිස් මරදානේ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ස්ථානයට පැමිණි අතර පැමිණි අවස්ථාවේ සිටම එම ස්ථානයේදීම විවිධ මත ගැටුම් ඇති විය. විරෝධතාව පවත් වන්නේ කෙසේද? පා ගමනක් යනවාද? එය අවසන් කරන ස්ථානය හා එහිදී රැස්වීමක් පවත් වනවාද නැද්ද කියන කරුණු ගැන කිසිදු සැලැස්මක් නොතිබූ අතර විවිධ අය විවිධ යෝජනා ඉදිරිපත් කිරීම නිසා එහි තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් උණුසුම්කාරී විය.

එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තම පක්ෂයේ සභාපති හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට දුරකතන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ විරෝධතාවයට නොපැමිණෙන ලෙසයි. විරෝධතාව පවත්වන ස්ථානයෙන් හොඳ පණිවිඩයක් ලැබුණහොත් එහි යෑමට සූදානම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන, දයාසිරිගේ උපදෙස් අනුව එහි නොගියේය.

පොලිසිය මාර්ග බාධක යොදා තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවශ්‍ය වූයේ පොලිස් මාර්ග බාධක කඩාගෙන කෙසේ හෝ ඉදිරියට ගමන් කිරීමටයි. එහෙත් සමඟි ජන බලවේගය එම තීරණයට එකඟ නොවීම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනකු 'හූ' කියමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විරෝධතාව දැක්වූහ. සජිත් කතාවක් කිරීම සඳහා තාවකාලික වේදිකාවට ගොඩවීමට සූදානම් වන විට ද 'හූ' හඬ පැතිර ගියේය.

“මෙයාට ඕන විරෝධතා නෙවෙයි කතා කරන්න” කියමින් පිරිස් සජිත් ප්‍රේමදාසට එරෙහිව විරෝධය පළ කරන්නට වූහ.

සජිත්ගේ අඩි 10 කතාවටත් විරෝධය

සජිත් ප්‍රේමදාස කතා කිරීමට සූදානම් වන විට සෙනඟ සමඟ යම් තදබදයක් ඇතිවූ නිසා සජිත් ඔවුනට කීවේ අඩි 10ක් පිටුපසට වන ලෙසයි. එම කතාවට අසල සිටි පිරිසට යකා නැග්ග අතර විරෝධය ඒ සමඟම වැඩි විය. මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සමඟි ජන බලවේගය නියෝජනය කළද, ඇය තම නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් නොතකා පිරිසක් සමඟ කෑ ගසමින් මාර්ග බාධක කඩාගෙන යෑමට උත්සාහ දැරුවාය.

මෙය දුටු සජිත් “Can you come” කියමින් හිරුණිකාට කතා කළේය. “මං යනවා ඉස්සරහට, අපි මෙතෙන්ට ආවේ විරෝධතා කරලා ඉදිරියට යන්න. ඔහොම කතා කර කර ඉඳලා හරි යන්නේ නැහැ” යනුවෙන් සජිත්ට තරමක් සැර ප්‍රතිචාරයක් දැක්වූ හිරුණිකා විරෝධතාකරුවන් සමඟ පොලිස් මාර්ග බාධක ඉදිරිපිටට ගියාය.

ෆොන්සේකා මාරු වෙයි

සජිත් ප්‍රේමදාසට පෙරටුගාමීන්ගෙන් එල්ල වන විරෝධතාව හොඳින් නිරීක්ෂණය කළ සමඟි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම ස්ථානයෙන් හිමින් සීරුවේ මාරු වී තිබේ.

මරදාන හන්දියේ ටික වෙලාවක් සිටි සරත් ෆොන්සේකා විරෝධතාකරුවන්ගෙන් සජිත්ට 'හූ' හඬ එල්ල වන විට හිමින් සීරුවේ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් අතර ද යම්කිසි මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.

සජිත් සූදානම් වූ හැටි

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගේ මෙහෙය වීමෙන් දැවැන්ත පා ගමනක් සහ විරෝධතාවක් පැවැත් විය යුතු බවට වූ සාකච්ඡාව ආරම්භ වුණේ මීට සතියකට පමණ පෙරාතුව සිටය. සිවිල් සංවිධාන වෙතින් මේ යෝජනාව ඉදිරිපත් වූ අතර සමඟි ජනබලවේගය ද ඊට සිය සහාය ලබා දෙන බවට තීන්දු කරනු ලැබීය.

"කිසිම චෝදනාවක් නැතිව වසන්ත මුදලිගේ, සිරිධම්ම හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආණ්ඩුව හිර කරගෙන ඉන්නවා. මේක බරපතළ තත්ත්වයක්. මේ වගේ වෙලාවක අපිට නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ. මේ මර්දනය ඉදිරියේදී හැම ගෙදරකම දොරට තට්ටු කරනවා. ඒ නිසා මේකට විරුද්ධව අපි ක්‍රියාමාර්ගයක් ගනිමු" සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය. "සියලු කණ්ඩායම් එකතු කරගෙන පොදු කඳවුරක් විදිහට මේ තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕන" මහලේකම් රංජිත් කීවේය.

ඒ අනුව අදාළ කණ්ඩායම් සමඟ සාකච්ඡා සම්බන්ධීකරණය සිදු කළේ මහ ලේකම් රංජිත් ඇතුළු කණ්ඩායමක් විසිනි. පළමු වැනිදා සවස අවසන් රැස්වීම පැවැත් වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය. ඊට ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දේශගුණික විපර්යාස ගැන ජනපතිගේ අවධානය

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරා වෙහෙසුණේ ඊජිප්තුවේ පැවැත්වෙන ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවෙන් ලංකාවට වාසි දායක ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද ඊට එක්ව සිටියේය. ඔවුන් බොහෝ අවස්ථාවලදී මාලදිවයින් වත්මන් කථානායක නෂිඩ් අහමඩ් සේම එරික් සෝල්හයිම් ද ඊට එක් කර ගත්තේ අන්තර් ජාලය ඔස්සේය.

දේශගුණික විපර්යාස පිළිබඳ “Cop 27” සමුළුව වෙනුවෙන් ජනපති හා රුවන් ලබන 06 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව යෑමට නියමිත අතර, ජනාධිපතිවරයා ලබන 10 වැනිදා දක්වා ඊජිප්තුවේ රැදී සිටියි. එම සංචාරයට සහභාගි වන නිල දූත පිරිස හතර දෙනකුට සීමා කෙරිණි.

ජනපති උපදෙස් මත ඊට අදාළ සාකච්ඡාවක් සඳුදා පැවැතුනේ රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. ඊට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද සහභාගි වූ අතර දේශගුණික මූල්‍ය උත්පාදන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. එහි වාර්තාවක් ද ඊජිප්තු සංචාරයට පෙර ජනපති වෙත බාර දීමට නියමිතය.

අතේ රෝලක් මාට්ටු වෙයි

ජනපති රනිල් සඳුදා පෙරවරුවේ පුවත්පතක පළවී තිබූ කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේය. ඒ පොළොන්නරුව දිසාපති අමතා කීවේ දිඹුලාගල දරුවන් ආහාර නොමැතිව සිටින බවට පළ වන පුවත සත්‍ය දැයි සොයා බලා වාර්තා කරන ලෙසටය.

ඒ අනුව කණ්ඩායමක් එහි ගොස් තත්ත්වය සොයා බැලූ අතර එම පුවත ආදීවාසී කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස පිටතට පැමිණි අසත්‍ය පුවතක් බව තහවුරු විය. ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර ජනපති ලේකම් ද අකුරක් නෑර සියල්ල ජනපතිට හෙළිදරවු කළේය.

විරෝධය ගැන රනිල්ගේ මතය

අඟහරුවාදා ආරක්ෂක කවුන්සිලයට ගිය ජනපති රනිල් එදින සවස පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණේ සිය නිල නිවසේදීය. “ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ජනතාවට දැන් තියෙන ප්‍රශ්නය ජීවත් වීමයි. අපි කතා කරන්න ඕනේ එම කාරණය ගැන මිසක් වෙනත් දේවල් ගැන නොවෙයි.” ජනපති පිරිසට කීවේ එවැන්නකි.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් අතර පැවැතියේ ඉකුත් අඟහරුවාදාය. එම සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ජනපති විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ද ගෙන්වූවේ මේ ගැන වැඩිදුර තොරතුරු හුවමාරු කර ගන්නටය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගැනීමේ කටයුතු අපි ඉක්මන් කරන්න ඕන.” ජනපති කීය.

“මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පවා තියෙනවා. මේ නිසා අපිට ජාත්‍යන්තර බේරුම්කරණ නඩුවකට යන්න හැකියාව තිබෙන බව නීතිපතිතුමා කියනවා.” සාගල ද කතාවට එක්වූවේය.

“නීතිපතිත් කියනවා නම් අපි සිංගප්පූරුවේ තිබෙන බේරුම්කරණ අධිකරණය හමුවේ අදාළ නැව් සමාගමට විරුද්ධව නඩු පවරමු. ඊට පෙර අපි මේ ගැන කැබිනට් එකට කියන්න ඕනේ. ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව වගේම අපි ඉල්ලන වන්දි ප්‍රමාණයත් එයට ඇතුළත් කරන්න.” ජනපති විජයදාසට උපදෙස් දුන්නේය.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය මඟින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය හමුවේ ශ්‍රී ලංකාව විසින් නැව් සමාගමට විරුද්ධව නඩු පවරනු ඇත.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ප්‍රධානීන් ඉකුත් සතියේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ජනපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මුණ ගැසිණි. සාගල මුණ ගැසුණු අයි.එම්.එෆ් සහ ලෝක බැංකු නියෝජිතයෝ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කරුණු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළෝය.

IMF ප්‍රධානීන් සාගලට කිව්වේ මොනවාද?

“චීනය සහ ඉන්දියාව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න වෙනවා. තාම අපට මේ ගැන ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා ඔබ මීට මැදිහත් වී මේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කරනවා නම් අපි කැමතියි.” නියෝජිතයෝ සාගල දෙස බලමින් කීවෝය.

“මම හිතන්නේ චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සමුළුව නිසා එහි යම් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා කියලයි. ඉන්දියාව නම් අපට යහපත් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ජපානයත් එහෙමයි. අපි චීනය හා ඉන්දියාව සමඟ ඉක්මණින් මේ ගැන කතා කරනවා.” සාගල පිළිවදන් දුන්නේ එලෙසිනි. ජනපති හමුවේ සාගල මේ සියලු කරුණු ඉදිරිපත් කළ අතර ඒ අනුව ජනපති විසින් අට පුද්ගල කමිටුවක් පත් කෙරුණේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනය හා ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමටය. එම කමිටුවට විදේශ ඇමැති අලි සබ්‍රි, මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක, ජනපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කරන ලදී.

බලය සහ මොළය

“නායකයෙකුට බලය විතරක් තිබුණට වැඩකුත් නෑ. නායකයකුට තියෙන්න ඕනේ හොඳ මොළයක්. හොඳ මොළයක් තිබුණොත් බලය ගන්නත් බලය ආරක්ෂා කර ගන්නත් පුළුවන්. ඊයේ විරෝධයෙන් පැහැදිලි වුණේ ඒක.” රාජ්‍ය ඇමති ශෙහාන් කීවේ සිනාසෙමිනි.

“දෙමළ සන්ධානයේ සුමන්තිරන් වගේම විපක්ෂ නායකයාත් ශ්‍රීලනීපය වගේම වෘත්තිය සමිති නායකයෙක් වෙච්ච ස්ටාලිනුත් මේකෙන් පහළට වැටුණා.” එහි සිටි උසස් නිලධාරියකු කීයද්දී සැවොම හිස සැලූහ.

ප්‍රසන්නගේ පිස්සු හැදෙන කතාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පිරිත් පින්කම පසුගිය (2) වැනිදා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ඇමැති ප්‍රසන්න රණතුංග එම පිරිත් පින්කමට සහභාගී වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියහ.

“ දෙරණේ 360 නියමයි ඇමැතිතුමා. කියන්න ඕන ටික වෙඩි වගේ කිව්වා”

පිරිත් පින්කමට සහභාගි වූවකු කීවේ ඇම­ැතිවරයාගේ පිටට තට්ටුවක් ද දමමිනි.

“ මගේ කතාව වගේම වැඩත් කෙලින්. හැංඟිලා කරන වැඩ මං ගාව නෑ”ඇමැති ප්‍රසන්න කීවේය.

“ ඒ වුණාට අපිට ආරංචි වුණේ ඔබතුමා ට්‍රැක් පනිනව කියලයි."තවකෙකු කීය.

“ පිස්සුද මල්ලි. මේක අපි හදපු පක්ෂය. මේ පක්ෂය එක්ක රට වටා ගියේ අපි. ඉතින් මොකටද මම ට්‍රැක් පනින්නෙ.”

“ඔව්.. මහින්ද සුළඟ හදන්න ඔබතුමා වෙච්ච මහන්සිය අපිට මතකයි.”

“මම පක්ෂ මාරු කරන්නෙ නෑ. හැබැයි මේ රට ගොඩගන්න මම ජනාධිපතිතුමාට උදවු කරනවා. මම ඉන්නේ පොහොට්ටුව එක්කයි” ඇමැතිවරයා කෙළින්ම කීය.

“මේ පක්ෂය ගොඩගන්න පුළුවන්. හැබයි ඊට කලින් අපි අපේ මිනිස්සු ටික රකින්න ඕන. ඒක ගොඩ දාගත්තොත් ඊළඟ ඡන්දෙත් අපි දිනුම්”ඇමැති ප්‍රසන්න යළි කීය.

පිටකොටුවෙන් හැට්ට ගන්න රාජ්‍ය අමාත්‍යවරිය

පසුගිය සතියේ දිනක පිටකොටුවේ 2 වැනි හරස් වීදියේ ජනතාවට සාමාන්‍යයෙන් දැකිය නොහැකි දර්ශනයක් දැක බලා ගත හැකි විය. ජනප්‍රිය නිළියක් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරියක් වන ගීතා කුමාරසිංහ 2 වැනි හරස් වීදියේ වෙළෙඳසැල්වලට පැමිණීම එම දර්ශනයයි. ගීතා කුමාරසිංහ මෝටර් රථයකින් පිටකොටුවට ගිය අතර ඇයට 2 වැනි හරස්වීදියට යෑමට සිදු වූයේ සාරිවලට අවශ්‍ය හැට්ට රෙදි ලබා ගැනීමටයි.

2 වැනි හරස් වීදියට වාහන ඇතුළු වීමට නොහැකි බව දැනගත් ගීතා වහාම වාහනයෙන් බැස 2 වැනි හරස් වීදියේ ඇවිදගෙන යමින් එම සාප්පුවලට ගියේ හැට්ට රෙදි ඇතුළු අවශ්‍ය බඩු ලබා ගැනීමටයි.

රාජ්‍ය අමාත්‍යවරියකට වඩා බොහෝ දෙනෙකු ඇය හඳුනා ගත්තේ ජනකාන්ත නිළියක් ලෙසිනි.

“ගීතා මැඩම්, ගීතා නෝනා, ගීතා අක්කා” කියමින් බොහෝ දෙනෙක් ඇයගෙන් ආගිය තොරතුරු විමසූහ.

“මං හොඳින් ඉන්නවා. ඔයගොල්ලන්ට කොහොමද? මම මේ හැට්ට රෙදි ටිකක් ගන්න ආවා”

අයියා, මල්ලී, අක්කා, නංගි කියමින් ගීතා ඒ සියලුම දෙනාට පැවසුවේ ඉතා ළෙන්ගතුවය.

“මේ අපේ තොටළඟ ඩොටී අක්කනේ. මේ පිටකොටුවට ඇවිල්ලා” යනුවෙන් එහිදී පුද්ගලයකු කීවේ 'පාලම යට' චිත්‍රපටයේ ගීතා කළ අපූරු රංගනය තවමත් මතකයේ තබාගෙන සිටින රසිකයකු ලෙසිනි.

බන්දුලට ඉන්දියාවේදී හමුවූ අමුත්තා

පසුගියදා ඇමැති බන්දුල ඉන්දියාවේ පෞද්ගලික සංචාරයකට එක් වුණේ ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවකට සහභාගි වීමටය. මේ සංචාරය අතරතුරදී ඇමැති බන්දුල හදිසියේ අසනීප වූ අතර ඉතා ඉක්මනින් රෝහල් ගත කෙරුණු ඇමැතිවරයා සැත්කමකට ලක් කෙරිණි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ අවම සති දෙකක් විවේකීව සිටිය යුතු බව වුවද සැත්කමෙන් දිනකට පසුව ඇමැති බන්දුල ඉන්දියාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතිත් ගට්කාරි හමු විය. අසනීපයෙන් පසුවෙද්දී වුවත් පුද්ගලික සංචාරයකට එක්වෙමින් දැනට මගී ජනතාවට පහසුකම් සලසා දීමට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සහයෝගයත්, විදුලියෙන් ධාවනය වන බස් රථ පරිත්‍යාගයක් ලෙස ලබාගැනීමටත් ඇමැති බන්දුල මෙහිදී සමත් විය. ඩොලර් මිලියන 400ක ණය පහසුකම් යටතේ මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයත්, ප්‍රවාහන, මුදල්, විදේශ අමාත්‍යාංශ හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු නාමල්ගේ හිතවතුන් පිරිසක් අතර පසුගිය 01 වැනිදා කොළඹ එක්තරා ස්ථානයකදී සාකච්ඡාවක් පැවැත්විණි.

වර්තමාන දේශපාලන තත්ත්වය, රටේ ආර්ථිකය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කතාබහ විය.

“මන්ත්‍රීතුමා දැන් කොහොමද, ඔබතුමාගේ නඩුවල තත්ත්වය” එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විමසීය.

“මාව දේශපාලන වශයෙන් දඩයම් කරන්න දාපු නඩුනේ මේවා. නඩු ගැන කතා කරන්න මං කැමති නැහැ. ඒත් සාක්ෂිවල පරස්පරතාවලින් මේ නඩු සේරම ගොතපුවා බව පැහැදිලි වෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.

අජිත් පෙන්වූ මිරිස් බොරුව

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හා දකුණු කොරියානු ආයෝජකයන් අතර හමුවක් පසුගියදා පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේදීය. දකුණු කොරියානු ආයෝජකයකු වන සන්ග් වූ චෝ (Sung Woo Choi) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“දකුණු කොරියාව හදපු හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිරිස් වේළනවා කියලා ප්‍රචාරයක් යනවා. එහෙම කරනවා නම් ඒක අපරාධයක්. ආයෝජකයෝ කොහොමද එන්නේ” යනුවෙන් සන්ග් වූ චෝ විමසුවේය.

“ඒක සම්පූර්ණ අසත්‍යයක්. මේ වගේ කතා විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරනවා. මේ හදපු දේවලින් ප්‍රයෝජන ගන්නේ නැතුව ඔය වගේ කතා කියනවා. ඔබතුමා ඇවිල්ලා හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කරන්න” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කරන ලද ඉල්ලීම දකුණු කොරියානු ආයෝජකයෝ පිළිගත්හ. 

තේ කර්මාන්තකරුවන් වජිරට කීවේ මොනවාද?

තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වැනි වාර්ෂික මහ සභා රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා සවස බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

තේ කර්මාන්තය සම්බන්ධයෙන් තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී පැමිණ සිටි පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ අතර, මේ වෙනුවෙන් රජය දැනට ගෙන ඇති පියවර සහ තේ වගාවට අවශ්‍ය කරන පොහොර ලබා ගැනීම මෙන්ම තේ වගාකරුවන්ට ඒවා නිසි ආකාරයෙන් බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අතරින් කිහිප දෙනකු වජිර අබේවර්ධන හමුවී තමන්ගේ ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව ප්‍රකාශ කර සිටියහ.

“ජනාධිපතිතුමා පොහොර ගැටලුව විසඳීමට ගත් පියවර ඉතාමත් විශිෂ්ටයි. රටට ඩොලර් ගේන ප්‍රධානම මාර්ගයක් තමයි තේ කර්මාන්තය කියන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම එය රැකගත යුතුව තිබෙනවා. අද ජනාධිපතිතුමා ප්‍රකාශ කළ දේවල්වලටත් අපි සියයට සියයක් එකඟයි. ” යැයි එක් සාමාජිකයකු වජිර සමඟ කියා සිටියේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මේ රටේ සිටින පරිණතම දේශපාලන නායකයා. එතුමට වසර 50ක පළපුරුද්දක් වගේම මේ සෑම අංශයක් පිළිබඳවම හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි මම මුල ඉඳන්ම ප්‍රකාශ කළේ වැටුණු රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට බාර දෙන්න කියලා. කෙසේ හෝ ඔබේත්, මගේත් මේ රටේ ජනතාවගේත් වාසනාවට දැන් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඔබ කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. සෑම ප්‍රශ්නයක්ම එතුමා නිසියාකාරව විසඳනවා. ඒ ගැන මට විශ්වාසයි.” යනුවෙන් වජිර අබේවර්ධන ඔවුන් හමුවේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Comments