දකුණු කොරියාවේ හැලොවින් ඛේදවාචකය ගැන පුළුල් පරීක්ෂණයක් | සිළුමිණ

දකුණු කොරියාවේ හැලොවින් ඛේදවාචකය ගැන පුළුල් පරීක්ෂණයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර තෙරපීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන බව, එරට අග්‍රාමාත්‍ය හන් ඩක් - සූ පවසයි.
 
ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ හැලොවින් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් පුද්ගලයින් 154 දෙනෙකුය දිවි අහිමි විය.
 
හැලොවින් උත්සවය සැමරීම සඳහා ලක්ෂයක පමණ පිරිසක් සෝල් අගනුවරට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ වන විට සිදු කෙරුණු පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ අනතුරට පෙර පුද්ගලයින් එකිනෙකා තල්ලු වී ඇති අතර පටු මාර්ගයක් තුළ දී බොහෝ දෙනා අධික ලෙස තෙරපීමට ලක් වී ඇති බවයි.
 
අනතුරට ලක් වූවන්ට හදිසි ප්‍රතිකාර ලබාදී සිහිය ලබා ගැනීමට එහි සිටි බොහෝ දෙනා උත්සහ ගන්නා අයුරු දක්නට ලැබුණි. නමුත්, බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ.
 
මෙම උත්සවයට පුද්ගලයින් පැමිණීම සීමා කර නොතිබූ අතර, මෙතරම් පිරිසක් සහභාගී වන බවට කිසිදු  බලධාරියෙකු බලා‍පොරොත්තු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "‍හැලොවින්" යනු අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක් සමරනු ලබන උත්සවයකි.                             
 
මලවුන් සිහිපත් කරමින්, යක්‍ෂයන්, මායාකරුවන් වැන්නවුන් නිරූපණය වන ලෙස විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී ජනතාව හැලොවින් සමරයි. දකුණු කොරියාව ද හැලොවින් දිනය උත්සවශ්‍රීයෙන් සමරයි. 
 
පසුගියදා සිදු වූ සිද්ධියෙන් මිය ගිය අය  සිහි කරමින් දකුණු කොරියාවේ ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.  මිය ගිය අය අතර විදෙස් ජාතිකයන් 26 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
 

Comments