අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන්නා - ජනපති | සිළුමිණ

අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන්නා - ජනපති

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
 
පසුගිය යුධ සමයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 2001 වසරේ තමා අග්‍රාමාත්‍යවරයාව කටයුතු කරන සමයේ ජෝර්ජ් බුෂ් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජනපදය ලබා දුන් සහාය ද කෘතවේදීව සිහිපත් කළේය.
 
2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට බිල් ක්ලීන්ටන් මහතා ප්‍රමුඛ රජය ලබාදුන් සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ජෝ බයිඩ්න් මහතාගේ මැදිහත්වීමෙන් මෙරටට හිමි වූ සහාය නොවන්නට මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇති බව ද පැවසීය.
 
වසර 74ක එක්සත් ජනපද – ශ්‍රී ලංකා මිත්‍රත්වය, හවුල්කාරිත්වය සහ ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වන මුදල් නීතිය සකස් කිරීම සඳහා සහ මහ බැංකුව ස්ථාපිත කිරීම සඳහා වූ මනාව කෙටුම්පත් කරන ලද නීති පද්ධතිය සම්පාදනය වෙනුවෙන් එක්සත් ජනපදය දැක්වූ සහායට සිය ප්‍රසාදය පළ කළේය.
 
මෙවන් දීර්ඝකාලීන මෙන්ම හෘදයාංගම සබඳතාවක් අත්විඳින ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය ඉදිරියට ද සමීප මිතුරන් ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි පාර්ශ්වකරුවන් ලෙස සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඒකිනෙකාට ගරු කරමින් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කරනු ඇති බව ද පැවසීය.

Comments