ජාත්‍යන්තර සංඥා භාෂා දිනය වර්ණවත් කළ බ්‍රැන්ඩික්ස් ශ්‍රවණාබාධිත නර්තන කණ්ඩායම | සිළුමිණ

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය වර්ණවත් කළ බ්‍රැන්ඩික්ස් ශ්‍රවණාබාධිත නර්තන කණ්ඩායම

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්, බ්‍රැන්ඩික්ස් රඹුක්කන කර්මාන්තශාලාවේ තවත් සාමාජික සාමාජිකාවන් පිරිසක් සමඟ

ලෝකය වඩාත් සුන්දර වන්නේත් අරුත්බර වන්නේත් විවිධත්වය තුළිනි. එබැවින් විවිධත්වය බොහෝ සුන්දර අවස්ථාවන්ට ඉඩ ප්‍රස්තාව සලසයි. මේ එවැනි සුන්දර අවස්ථාවක් ගැන කතාවකි.

විවිධත්වයට කවදත් මුල් තැන දෙන ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයන් 154 දෙනකු සේවය කරන අතර, ඉන් 103 දෙනකු ශ්‍රවණ අපහසුතා සහිත පුද්ගලයෝ වෙති. ඉකුත් සැප්තැම්බර් 23 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමිනි. එකී උත්සවය වර්ණවත් වූයේ බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායමේ සුන්දර නර්තනයකිනි. රඹුක්කන බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12දෙනකු මෙම නර්තන කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර, සෙත්සිරිපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ. 

සිය සමාගමේ සියලු සේවකයන්ගේ සියලු ආකාර අයිතිවාසිකම් සුරැකීමට කැපවී කටයුතු කරන බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රවණ අපහසුතා ඇති සේවකයන්ට මීට පෙර මෙවැනිම අපූරු ආකාරයේ ඇගයීමක් සිදු කරන්නේ 2019 වසරේදීය. ඒ, බ්‍රැන්ඩික්ස් සමාගම සිය සමාගමේ සේවය කරන කාර්ය මණ්ඩලයේ කුසලතා ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන කුසලතා දැක්ම සහ සම්මාන උලෙළ වන ‘රසදිය මංගල්‍යය’ට සමාගමේ සේවය කරන ශ්‍රවණ අපහසුතා ඇති පුද්ගලයන්ගෙන් සැදුම් ලත් නර්තන කණ්ඩායමේ මනහර නර්තන අංගයක් ද ඇතුළත් කරමිනි. එකී නර්තනය දුටුවන් මවිත කළ ඉතා චමත්කාරජනක අංගයක් විය. නිබඳවම විවිධත්වය අගයමින් සෑම පුද්ගලයකුටම තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය 2018 වසරේදී කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන ශ්‍රවණ අපහසුතා සහිත සාමාජිකයන් තිදෙනකුට ලෝක දෘශ්‍යාබාධිත විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට ද අවස්ථාව සලසා දුන්හ. එම කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වීම ද විශේෂ ජයග්‍රහණයකි.

2012 වසරේ මෙරට පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සංඛ්‍යාව 389,077 ක් වන අතර සන්නිවේදන අපහසුතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව 180,833 කි. මෙම පිරිස සඳහා අධ්‍යාපනික, සමාජයීය හා සංස්කෘතික සේවාවන් සැපයීමට මෙන්ම වෛද්‍ය, සෞඛ්‍ය හා නෛතික පහසුකම් සැපයීම සඳහාද සන්නිවේදන මාධ්‍ය වනුයේ සංඥා භාෂාවය. මෙම සංඥා භාෂාව ද රට තුළ පිළිගත් භාෂාවක් ලෙස අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් මඟින් පිළිගනු ලැබුවේ 2010.09.05 වැනිදාය. මේ වන විට මෙරට ජීවත් වන ශ්‍රවණාබාධිත ජනතාව සංඛ්‍යාත්මකව ලක්ෂ 6කට ආසන්න වේ. සාමාන්‍යයෙන් එම පිරිසෙන් සියයට 40ක් පිරිමි වන අතර සියයට 60ක් කාන්තාවන්ය. ඉන් බහුතරය වැඩහිටි වියේ පසුවන්නන්ය.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජීවත් වන කෝටි 7 කට අධික ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හඬක් වන සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සමතැන්හි කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා කර දීමේ වගකීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වැනි වගන්තිය මඟින් ද අවධාරණය කර ඇත. ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට වෙනසකින් තොරව සාමාන්‍ය සමාජය හා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය සැපයීමට රජය ද නිරන්තරයෙන්ම කටයුතු කරයි. ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත කර සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීම සඳහා බ්‍රැන්ඩික්ස් වැනි ප්‍රකට සමාගම් වෙතින් ද ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයකි.

විශේෂයෙන් ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබා දීම’ යන පරමාර්ථය ඔස්සේ කටයුතු කරමින් තම ව්‍යාපාර කටයුතුවල සෑම අංශයකදීම විවිධත්වයට නිසි තැන ලබා දීමට බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරයි.


Comments