
වාහන මිල සහ අමතර කොටස් ඉහළ යාමත් සමඟ රථවාහන සොරකම් කිරීම ඉහළයාමේ ප්‍රවණතාවක් රට තුළ පවතින බව පොලිසියට පෙනී ගොස් ඇත. වැඩිපුරම සොරා ගැනීම්වලට ලක්වන්නේ යතුරු පැදි සහ ත්‍රීරෝද රථ බවත් පහසුවෙන් සොරා ගැනීමට හැකියාවක් ඇත්තේද යතුරු පැදි සහ ත්‍රීරෝද රථ බවත් පොලීසියට පෙනී ගොස් තිබේ. සොරාගන්නා වාහන ව්‍යාජ අංක තහඩු යොදා භාවිත කරනවාට වඩා කෑලිවලට ගලවා අමතර කොටස් අලෙවියට යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවද පොලීසියට පෙනී ගොස් ඇත. මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට සැත්තැම්බර් 30 වෙනිදා දක්වා රටපුරා සිදුව ඇති රථවාහන සොරාගැනීම් සංඛ්‍යාව 1,406ක් බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය. 2021 වසරේ වාහන සොරා ගැනීම් වාර්තා වී ඇත්තේ 1,405ක් පමණක් බවද ඔහු පැවසීය. එම වසරේ මුල් මාස 09 තුළ සිදුව ඇති රථවාහන සොරකම් ගණණ 964කි. ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ එම කාල සීමාව තුළ රථවාහන සොරකම් 442කින් ඉහළ ගොස් තිබේ.