පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුද කියා මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය තිබෙන ජනතා නියෝජිතයින් කවුරුන්ද කියා සෙවීමට පාර්ලිමේන්තුවේ උපදෙස් පරිදි මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයින් 225 දෙනාගේම පුරවැසිභාවය සහ ඔවුන්ට හිමි ගමන් බලපත්‍ර පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුව විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවීමට කටයුතු කර ඇති බව ද පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවයට වැට බැඳුණු නිසා ගීතා කුමාරසිංහට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි විය.
එහිදී පින පෑදුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ පියසේන ගමගේටය. ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගිය නිසා එම මන්ත්‍රී ධුරය අහෝසි වීම නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි පියසේන ගමගේට මන්ත්‍රී ධුරය හිමිවිය. මේ අතර වර්තමාන සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තිබෙන බව සඳහන් කරමින් මීට කාලයකට පෙර ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් දෙමළ මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයන් සිදු වන අතර ඒ ගැන ද මේ වන විට අවධානය යොමු වී තිබේ.
රාජකීය සිසුහු ජනපති රනිල් හමු වෙති
ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා ඔහුගේ ජීවිතයේ ඓතිහාසික අවස්ථාවකට මුහුණ දුන්නේය. ඒ හෙතෙම උගත් පාසලේ වර්තමාන ශිෂ්‍ය නායක මඬුල්ල මුණ ගැසීමට අවස්ථාවක් උදා වීමය. සිය පාසලෙන් බිහි වන රාජ්‍ය නායකයා මුණ ගැසී පිළිසඳරක නිරතවීම රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්රදායකි. මෙය අද ඊයේ සිදු වන්නක් නොව කාලාන්තරයක් තිස්සේ සිදුවන්නකි.
ත්‍රිවිඩ හමුදා ප්‍රධානීන් වැනි නායකයන් මුණ ගැසී නායකත්ව ගුණාංග ගැන අත්දැකීම් බෙදා ගැනීම රාජකීය ශිෂ්‍ය නායකයින්ගේ සම්ප්රදායකි. එක් අවස්ථාවක රාජකීය සිසුන් මාලදිවයිනට ගියේ මාලදිවයින් ජනාධිපති ලෙස පත්වූ සිය ආදි සිසු මයුම් අබ්දුල් ගයුම් මුණ ගැසීමටය. මෙවරද සිසුන් ජනපති මුණ ගැසුණේ පාසලේ සම්ප්රදාය ක්‍රියාවට නගමිනි. මෙම හමුව සංවිධානය වූවේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ මැදිහත්වීමෙනි. සාගලට ද මෙය දෛවෝපත සිද්ධියක් වූවේ සිය සොහොයුරාගේ පුත් කවීෂ රත්නායක රාජකීය විද්‍යාලයේ වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමය.
බාප්පගේ අඩි පාරේ යන පුතා
“බාප්පයි පුතයි දෙන්නම රාජකීයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ. පුතත් බාප්පගේ අඩි පාරේ යන්න ද හදන්නේ.” ජනපති කී විට සිසු දරුවන්ට ද සිනහව නතර කර ගත නොහැකි වූහ.
“සර් එදත් තරුණ නායකයෝ හැදුව අදත් තරුණ නායකයෝ හදනවා.” සාගල කීවේ ඉතිහාසය සිහිපත් කරමිනි.
සඳුදා දිනය දීපවාලි උත්සවය යෙදී තිබූ බැවින් කැබිනට් හමුව අඟහරුවාදාට කල් තැබිනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයට සජබ මන්ත්‍රී මනෝ ගනේෂන් ද එක්ව සිටියේය. හින්දු සංස්කෘතික උත්සවය ගැන මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය ගැන ද ඔවුනොවුන් අතර අදහස් හුවමාරු විය.
එදින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් ජනාධිපති මුණ ගැසුණේ ලේකම් කාර්යාලයේදීය. දීපවාලි උත්සවයට පෙර මෙම හමුව පැවැත්විනි.
“අපිත් එක්ක දැන් අනෙක් පක්ෂවල අය එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ..” නායකයා කතාව ආරම්භ කළේය.
“සර් ගමින් ගමට යද්දී අපිත් ගමින් ගමට යන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ.” මහලේකම් රංගේ ද කීවේය.
“ඔව් ඒක හොදයි පක්ෂ දේශපාලන වැඩකටයුතු ආරම්භ කරගෙන යන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න අයටත් ඒක ලොකු හයියක් වෙයි.” ජනපති කීය.
“බිම් මට්ටමේ පාක්ෂිකයෝ ආරක්ෂා කරගන්න ඕනේ. අපේ ආසන සංවිධායකවරුන්ගේ ඉල්ලීමක් තියෙනවා රජයෙන් ආරම්භ කරලා තියෙන සුභ සාධන වැඩපිළිවෙළට අපේ අයත් සම්බන්ධ කර ගන්න කියලා.” නියෝජ්‍ය නායක රුවන් ද යෝජනාවක් කළේය.
“රජයේ වැඩවලට දේශපාලනය ගාව ගන්න එපා කියලා මම කියලා තියෙනවා. අපි මේකට වෙන විදියක් බලමු.” ජනපතිගේ ප්‍රතිචාරය එය විය.
ජනපති රනිල් හා දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන අගහරුවාදා මුණ ගැසුණේ නොවැම්බර් මස මුලදී පැවැත්වෙන ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව හෙවත් කොප් 27 සමුළුව ගැන කතා කිරීමටය. ජනපති මෙම “කොප් 27” ජාත්‍යන්තර සමුළුව අමතා කතාවක් කිරීමට නියමිත බැවින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ද මෙම හමුවට එක්ව සිටියේය.
යාල සිද්ධිය ගැන ජනපතිගේ දැඩි අවධානය
යාල ජාතින වනෝද්‍යානයට සුඛෝපභෝගී වාහන ගණනාවක් ඇතුළුවී වන සතුන්ට හානි වන ලෙස ක්‍රියාකර ඇතිය යන පුවත ජනාධිපතිවරයාගේ කන වැකුණේ බදාදා පෙරවරුවේය. එයට ඇමැති පුතෙකු සම්බන්ධ බවටද තොරතුරු පැවැති බැවින් වහාම මේ ගැන සොයා බලන්නැයි ජනපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේය. ඊට අමතරව පරිසර අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන් එදින සවස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවන්නැයි ද ජනපති රනිල් ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේය.
“මොකක්ද මෙතන වෙලා තියෙන්නේ.” සවස තමන් මුණ ගැසීමට පැමිණි නිලධාරීන්ගෙන් ජනපති විමසා සිටියේය. සිද්ධිය ගැන මෙන්ම ඊට අදාළ පාර්ශ්වයන් ගැන ද එහිදි නිලධාරීහු තොරතුරු හෙළි කළහ. තවද වනජීවි දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශනයන් හි ප්‍රගතිය ද ඔවුන් හෙළි කර තිබුණි.
“මින් ඉදිරියට ලියාපදිංචි නොකළ කිසිදු වාහනයකට යාල වනෝද්‍යානයට ඇතුළු වෙන්න බෑ. වන සතුන්ට නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. ඕෆ් රෝඩ් වාහනවලට යන්න වෙනත් ස්ථාන තියෙනවා. කැලේ ගිහින් ඒවා කරන්න බෑ.” රනිල් තදින් කියා සිටියේය.
යාලට පමණක් නොව විල්පත්තු, හෝටන්තැන්න, සිංහරාජය, ශ්‍රීපාද රක්ෂිතය ආදී කිසිදු ජාතික වනෝද්‍යානයකට අවසර නැති වාහන කිසිවකට ඇතුළුවීමට ඉඩ නොදන ලෙසද ජනපතිවරයා නිලධාරීන්ට එහිදි උපදෙස් දුන්නේය. ඊට අමතරව පරිසරය, වනාන්තර මෙන්ම සොබා සෞන්දර්ය සුරැකෙන නීති ගෙන ඒමේ නව පනතක් ගැනද මෙහිදී සාකච්ඡා කෙරිණි. එම පනත් කෙටුම්පත ඉක්මනින් සකස් කරන ලෙසත් පරිසර හානි කරන්නන්ට දෙන දඬුවම් වැඩිකරන ලෙසත් ජනපති රනිල් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නව පනත තුළට ඒ සියල්ල ඇතුළත් කළහැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදි ජනපති හමුවේ කියා සිටියේය.
“කැබිලිත්තටත් දැන් යන පිරිස වැඩියි නේද? මේ ගැනත් මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා.” ජනපති විමසද්දී සෙස්සෝ හිස සැලූහ.
“සර් මේ කාරණයත් අපිට අලුත් පනත ඇතුළටම ගන්න පුළුවන්.” අනිල් ජාසිංහ කීවේ එවැන්නකි.
කැබිලිත්ත ශුද්ධ භුමියක් ලෙස තවදුරටත් ආරක්ෂා කරගනිමින් වනජීවීන් ද සුරැකීමට අදාළ නීති ඊට ඇතුළත් කරන ලෙස ජනපති ඒ අනුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සනත් නිශාන්ත - සජිත් හමුවක්
පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්වුණු දිනයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට, විපක්ෂ නායක, සමඟි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවිය.
“සර්, 27 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 'එක්ව නැගිටිමු' රැලිය අපි ආරච්චිකට්ටුවේ දී කරනවා. හැබැයි නාවලපිටියේ දී වගේ සජබ කට්ටිය පාට් දාන්න ආවොත් නම් අපි නිකන් ඉන්නේ නැහැ. හත්, අට දෙනෙක්ම නැති වෙයි. මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියපු වෙලාවේ දී අපි ඉවසගෙන සිටියා. ඒ ඉවසීම නිවටකමක් විදියට නම් හිතන්න එපා” යනුවෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කරන ලදි.
“අනේ සනත් රාජ්‍ය ඇමැතිතුමා මං බොහෝම අහිංසක විදියටයි දේශපාලනය කරන්නේ. ඔය මැර වැඩ මං කවදාවත් අනුමත කරන්නේ නැහැ. මං බොහොම සාමකාමි විදියටයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කළේ. ඕන නම් ඔබතුමාගේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අහන්න. ආරච්චිකට්ටුවේ අපේ සංවිධායකතුමාටත් මං කියන්නම් කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා කියලා. අපි බොහොම සාමකාමි විදියට දේශපාලනය කරමු” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පැවසීය.
තණකොළවලට එරෙහිව පුන්නක්කු
27 වැනිදා ආරච්චිකට්ටුවේදී 'එක්ව නැගිටිමු' ජන රැලිය සංවිධානයකර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. මෙම රැස්වීමට පැමිණෙන ජනතාවට තණකොළ බෙදා දීමට විරුද්ධ පක්ෂයේ පිරිසක් සූදානම් වන බවට තොරතුරු සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දැන ගැනීමට ලැබුණු අතර, ඔහු තම හිතවතුන් පිරිසක් සමඟ එක් වී පුන්නක්කු සකස් කළේ එසේ තණකොළ ලබා දීමට යම් කිසිවකු පැමිණියහොත් ඔහුට බලහත්කාරයෙන් හෝ පුන්නක්කු පෙවීමටය.
මේ සඳහා සකස් කරන ලද පුන්නක්කු බෝතල් කිහිපයක්ම වේදිකාව ආසන්න ප්‍රදේශයක තබා තිබූ අතර සනත් නිශාන්ත විසින් ආරච්චිකට්ටුව නගරය පුරා පිරිස් යොදවා තිබුණේ තණකොළ ගෙන එන පිරිස් සිටිනවාදැයි සෙවීමටයි.
මහින්දට ඉහළ ප්‍රතිචාරයක්
පසුගිය මැයි 9 වැනිදා විරෝධතාකරුවන් හා අරගලකරුවන් පිරිසක් එක්ව ගිනි තැබූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිෙවස අලුතින් ඉදි කිරීමේ වැඩසටහනට සමගාමීව එක්ව නැඟිටිමු ජනතා රැලිය ආරච්චිකට්ටුවේදී පැවැත්විණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ස්ථානයට පැමිණෙන විට ජනතාවගෙන් නැඟුණේ විශාල අත්පොළසන් හඬකි.
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම මෙම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයකි.
ගාලු පුතාට තෑග්ගක්
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොරළගේ ජන්ම දිනය යෙදී තිබුණේ ද පසුගිය 27 වැනිදාය.
ආරච්චිකට්ටුවේ රැස්වීමෙන් අනතුරුව පැමිණ සිටි මන්ත්‍රීවරුන් දිවා ආහාරය සූදානම් කර තිබුණේ හලාවත, අනන්තය හෝටලයේය.
“මෙන්න අද උපන්දිනය සමරන සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමාට මගෙන් තෑග්ගක් කියලා 'ගාලු පුතාට සුබ උපන්දිනයක්', යනුවෙන් සටහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් සනත් නිශාන්ත විසින් මන්ත්‍රීවරුන් ඉදිරියට ගෙන එන ලදී.
උපන්දින කේක් ගෙඩිය කැපීමෙන් පසුව සියලුම දෙනා සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයාට සුබ පැතීය.
ක්ෂණිකව වාදක කණ්ඩායමක් ගෙන්වා ගැනීමට සනත් නිශාන්ත කටයුතු කළ අතර, සම්පත් අතුකෝරල, සමන්ප්රිය හේරත්, චින්තක මායාදුන්නේ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ගීත ගායනයෙන් එක්වූහ.
ප්‍රංශයේ සිටි ප්‍රසන්නට ඇමතුම් රැසක්
ඇමැති ප්‍රසන්න පසුගිය දෙසතිය ගත කළේ ප්‍රංශයේය. එබැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගී වීමටද ඔහුට නොහැකි විය. ඇමැති ප්‍රසන්න ඉදිරියේදී ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පළවූ වාර්තාව ඉකුත් සතියේදී මෙරට දේශපාලන ලෝකය යම් තරමකට රත්කිරීමට සමත් විය. එබැවින් ප්‍රංශයේ සිටියද ඇමැති ප්‍රසන්නගේ ජංගම දුරකතනයට විසුමක් නැති විය. ඒ සෑම ඇමැතුමකටම ඇමතිවරයා දුන්නේ එක් පිළිතුරකි.
“එක්සත් ජාතික පක්ෂයට යන්න මගේ සූදානමක් නෑ. ඒත් මේ වෙලාවේ මම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. දේශපාලනය කරන්න කලින් අපි රට ආරක්ෂා කරගෙන මේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.” ඇමැතිවරයා කීවේය.
ප්‍රංශයේ සංචාරය නිමවා ඇමැති ප්‍රසන්න ලංකාවට ආවේ පසුගිය සඳුඳාය. ලංකාවට ආ විගසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවයි. ජනාධිපතිවරයාට සහය පළ කිරීම අලියා පිටේ නැගීමක් නොවන බවද ඔහු කීවේය.
ලංකාවට පැමිණි වේලේ සිටම ඇමැති ප්‍රසන්නගේ දුරකතනයට මැති ඇමතිවරුන්, පාක්ෂිකයන් ඇතුළු විවිධ පිරිස් ඇමතුම් දෙන්නට විය. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ද විය.
මේ අතර ජනපති රනිල් හා ඇමති ප්‍රසන්න අතර හමුවක්ද සිදුවිය. එම හමුව ඒ දෙදෙනාට පමණක් සීමාවූවකි.
“ඔයා පක්ෂ මාරු කරන්න හදනවයි කියන කතාව මොකද්ද ප්‍රසන්න?”
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකතන ඇමතුමක් දෙමින් ඇමතිවරයාගෙන් විමසුවේය.
“සර්.. මම කවදාවත් පක්ෂ මාරුකරන්නේ නෑ. ඒ වගේම කරදරේක වැටුණු වෙලාවට මිනිස්සු අතහරින්නෙත් නෑ”
“ඒක තමයි මම ඔයා ගැන දන්නවනේ” හිටපු අගමැතිවරයා කීය.
“මේ වෙලාවේ මම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඒකට මිනිස්සු එක එක අර්ථ කථන දෙනවා”. ඇමති ප්‍රසන්න යළි පැවසීය.
මේ අතර ඇමති ප්‍රසන්න හිටපු ජනපති ගෝඨාභයටද සිය දේශපාලන ස්ථාවරය පැවසුවේය.
“මම තාමත් සර් එක්ක ඉන්නවා. සර් වැරැදි කරපු කෙනෙක් නෙවෙයි.”
ඇමැතිවරයා කීවේය.
අනතුරුව ඇමැති ප්‍රසන්න සිය දේශපාලන ස්ථාවරය හිටපු අගමැතිවරයාටද පැහැදිලි කළේය.
“මම දන්නවා ඔයා කවදාවත් වැරදි තීන්දුවක් ගන්නේ නෑ කියලා. ඔයා දාපු නිවේදනයේ ඔයාගේ දේශපාලන මතය පැහැදිලි කරල තිබුණා. අපේ අයත් ඇත්ත මොකද්ද කියල දැනගත්තෙ ඒකෙන්” අගමැතිවරයා කීවේය.
එළවන්න ටිකක් අමාරු බව ප්‍රසන්න කියයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනාත්වයෙන් පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැගිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය බ්‍රහස්පතින්දා ගොඩවිය. රැස්වීම සංවිධානය කර තිබුණේ රාජ්‍ය ඇමැති සනත් නිශාන්තය.
මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේ ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිෙවස පිහිටි ස්ථානයේය.
“ආ... ඔබතුමා මොකද මේ පැත්තේ” රැස්වීමට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයාගෙන් විමසුවේ විහිළුවටය.
“ඇයි අපිට මේවට එන්න හොඳ නැද්ද? හුඟාක් අය කර අරිද්දි අපි තමයි මහින්ද සුළඟ පටන්ගෙන වැඩේට බැස්සේ. ඒක නිසා අපිව එළවන්න ටිකක් අමාරුයි” ඇමැතිවරයා ද සිනහවෙමින් කීවේය.
මෙම ජන රැලියට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ,සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඇමැති ප්‍රසන්න රණතුංග රැස්වීම පැවැති ස්ථානයට යාබද ස්ථානයක ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවිය.
අනතුරුව රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගිය ඇමැතිවරයා වේදිකාවට ගොඩවී රැස්වීම සංවිධානය කරමින් සිටි පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගීවීම සඳහා නැවත කොළඹ බලා පිටත්විය.
“ මේ වෙලාවේ ආවට බොහොම ස්තුතියි.”
සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා කීවේ ඇමැති ප්‍රසන්නගේ අත අල්ලාගෙනය.
“පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම නැත්නම් මම මෙතන ඉන්නවා. බජට් එකත් එන නිසා මම ඒ රැස්වීමට ඉන්නම ඕන” ඇමති ප්‍රසන්න රාජ්‍ය ඇමැති නිශාන්තගේ පිටට තට්ටුවක් දමමින් කීවේය.
සජිත්ගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිට සුබ පැතුම්
බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස තේරී පත්වූයේ රිෂී සුනක් ය. ඔහු අගමැති ධුරයට පත්වීම විශේෂ සිදුවීමක් වූ අතර, විපක්ෂ නායක සජිත් ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.
"ධනපතියන්ට ලිබරල් බදු සහන දීපු එංගලන්ත අගමැතිනි ලිස් ට්‍රස් මැතිනියට දින 45 න් ගෙදර යන්න වුණා. ඒ විදිහටම බදු සහන දුන්නු ගෝඨාභයට අවුරුදු දෙක හමාරෙන් ගෙදර යන්න වුණා. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන කොයි පාලකයටත් අත්වෙන ඉරණම තමයි ඒක." සජිත් සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ කීවේය.
ගාමිණි දිසානායක වෙනුවෙන් නාමල්ගෙන් යෝජනාවක්
දිවංගත කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතාට සිදුකරනු ලබන උපහාරයක් වශයෙන් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාමිණී දිසානායක ක්‍රිකට් ක්‍රීඩාංගණය වශයෙන් නම් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කරයි.
“මං ක්‍රීඩා ඇමැති කාලෙදී මේ ගැන මූලිකව කතාබස් කළා. මහවැලි ව්‍යාපාරය එක් පැත්තකින් ක්‍රීකට් ක්‍රීඩාව නැංවීමට ගාමිණී දිසානායක මහතා විශාල වැඩකොටසක් සිදු කළා. ඒක විශාල වැඩකොටසක් සිදු කළා.ඒක නිසා මෙම යෝජනාව ගැන අදාළ වගකිවයුත්තන් කඩිනමින් අවධානය යොමු කිරීම වැදගත්” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.
අජිත් හා රණවීරගේ කෝටියේ මෙහෙයුම
පසුගිය මැයි 9 වැනිදා නිට්ටඹුවේ දී විරෝධතාකරුවන් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ පවුලට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.
ඊට අමතරව අමරකීර්ති අතුකෝරලගේ පවුලේ සාමාජිකයින්ට යම් මුදල් පරිත්‍යාගයක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් අනුග්‍රහය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ මැදිහත් වීමෙනි. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින්ගෙන් මුදල් එකතු කිරීමේ වගකීම පැවරුණේ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාටය.
මේ වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබා දී ඇති බව වාර්තා වේ. මේ සඳහා වැඩිම මුදලක් ලබා දීමට කැමැත්ත පළකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා බව ද වාර්තා වේ.
ජනපති රනිල්ගේ පුස්තකාලය යළි ඇරඹේ ද?
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සිකුරාදා පස්වරුවේ සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහයන්ට මෙවර සම්මානයට පාත්‍ර වූ සියලු කෘති ප්රදානය කෙරිණි. තරමක ලොකු පාර්සලයක් වූ එය අතට ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිනහසෙමින් පැවසුවේ ‘මට දැන් ආයෙත් මගේ පුස්තකාලය පටන් ගන්න පුළුවන්’ කියා ය. ජනපතිතුමා සිනහසෙමින් කියූ ඒ කතාවට ප්‍රේක්ෂකාගාරයෙන් ද ලැබුණේ සිනහමුසු ප්රතිචාරයකි.
වජිර කරාටේ ගැටුමකට මැදිවෙයි
Nihonden Goryu Karate Kaushikai කරාටේ පුහුණු පාසල මඟින් සංවිධානය කරන ලද 10th Anniversary of (Late) Hanshi Nishi Takumi Championship 2022 කරාටේ තරගාවලිය පසුගිය සෙනසුරාදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සෙන්සේ ක්ලින්ට් විලියම් මහතා සහ යොලෙන්ඩා ක්ලෙයාර් මහත්මියගේ සංවිධානයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතා අමුත්තා වූයේ, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.
පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය නැරඹීම සඳහා දිවයින පුරා සිටින කරාටේ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු ළමුන්ගේ මව්පියෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
“මේ රටේ දරුවන්ගේ අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් හොඳට කල්පනා කරලා බලලා වැඩ කළ යුතුව තිබෙනවා. මව්පියන් එකමුතුකම නැතිකරගතහොත් ළමුන්ගේ අනාගතයට එය අහිතකර ලෙසින් බලපානවා.