මගේ නිවෙසත් මහ ගෙදරත් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයි | සිළුමිණ

මගේ නිවෙසත් මහ ගෙදරත් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයි

2022 මැයි 09 වැනිදා රටම භීතියට පත් කළ ‘කළු සඳුදා’ ප්‍රචණ්ඩත්වයට ලක්වූ මහජන නියෝජිතයන් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන ද වේ. එදින තමාට මුහුණ පාන්නට වූ සිදුවීම් පෙළ ඇය මෙලෙස ආවර්ජනය කළාය.

“මමත් එදා අරලියගහ මන්දිරයට ගියේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබූ නිසයි. එදා එතැන වෙනත් රැස්වීමක් තිබුණා නම් එතැනට යන්නේ නැහැ කියලා මම පැහැදිලිවම තීරණයක් අරගෙනයි හිටියේ. අපේ පක්ෂයේ හිතවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ම දුරකථනයෙන් අමතලා මාව දැනුවත් කිරීමක් කළා මහින්ද මහත්තයා ඉල්ලා අස්වෙන නිසා අපි ඒ අවස්ථාවට සම්බන්ධ වෙමු කියලා. එතුමාට අපේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා, ඒ නිසා එතුමා ඉල්ලා අස්වෙනවා නම් අපි එතුමාට ඒ ගෞරවය දිය යුතුයි කියලයි මම ඒ අවස්ථාවට එකතු වෙන්න තීරණය කළේ. මම මගේ රියැදුරාටත් නිවාඩු දීලා තිබුණු දවසක් වුණත් මේ අවස්ථාවට සහභාගි වෙන්නම ඕනේ නිසා වෙන රියැදුරෙක්ව ගෙන්නගෙන මම අරලියගහ මන්දිරයට ආවා. මම එතැනට ගියේ උදේ 10.30ට විතර. ගිහින් ටික වෙලාවකින් රැස්වීම ඉවර වුණා. 

ඊට පස්සේ තමයි ගෝල්ෆේස් අරගල භූමියේ යම් සිදුවීමක් සිදු වන බව දැනගන්න ලැබුණෙ. ඒ සිද්ධිය ආරංචි වුණාම මම පුළුවන් තරම් ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටත් වුණා. ඒකට හේතුව මට හිතුණා, එය සිදු නොවිය යුතු සිදුවීමක් කියලා. පොලිසිය, හමුදාව වැනි ආරක්ෂක අංශ ඔවුන් අරගල භූමියෙන් ඉවත් කිරීමක් කරනවා හැර සාමාන්‍ය ජනතාව හැටියට හෝ දේශපාලන අධිකාරිය හැටියට හෝ අපි එහෙම දෙයක් කළ යුතු නැහැ කියන අදහස මගේ හිතේ තිබුණා. කෙසේ නමුත් ඒ සිදුවීම සිදු වුණා”

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන කීවේ ඒ සිදුවීමට තුඩු දුන් ආසන්නතම සිදුවීම පිළිබඳවය. කොළඹ සිට මීරිගම පිහිටි සිය නිවෙස බලා ඒමට පිටත් වූ මන්ත්‍රීවරිය එතැන් සිට දකින්නේ ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර යන අයුරුය.

“අතරමඟදි තැන් තැන්වල පිරිස එකතු වෙලා ටයර් පුච්චමින් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය මම දැක්කා. ගෙදරට එන අතරමඟදි මට ආරංචි වුණා මීරිගම හයිවේ එක ළඟ විශාල පිරිසක් ඒකාරාශි වෙලා එතැනින් යන වාහනවලට ගහනවා කියලා. ප්‍රහාරයට ලක්වූවන් අතර අපේ පක්ෂය නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු කොළඹ ගිය පිරිසකුත් සිටින බවත් ආරංචි වුණා. මීරිගම හයිවේ එක ළඟ එකතු වුණු පිරිස අතර සිටි ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක් මගේ ගෙදරටත් ගහන්න යන්න කියලා එතැන හිටිය පිරිස පොලඹවනවා කියලා කිහිප දෙනෙක් මාව දැනුවත් කළා. මම ඒ වෙලාවේ පොලිසියට කතා කරලා කිව්වා ගෙදරට ආරක්ෂාව දෙන්න කියලා. මගේ ගෙදරට අල්ලපු ගෙදර තමයි අපේ මහ ගෙදර තියෙන්නෙ. මගේ අම්මයි තාත්තයි අයියයි ඔහුගෙ බිරියයි ජීවත් වුණේ ඒ ගෙදර. මම අම්මලාටත් දුරකථනයෙන් කතා කරලා කිව්වා ගෙදරට ගහන්න එනවා කියලා ආරංචියි ඔයාලා පරෙස්සම් වෙන්න කියලා. ඒ අතරේ මට ආරංචි වුණා අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඝාතනය කරලා කියලා. ඒ ආරංචිය ඇහුවාම මට ලොකු කම්පාවක් ඇති වුණා. එතුමා පාර්ලිමේන්තුවේ හිටපු ඉතාම අහිංසක මන්ත්‍රීවරයෙක්. මම ගෙදරට කතා කරලා ගෙදර අයට කිව්වා, ඔයාලා ඔතන ඉන්න එපා, කරදරයක් වෙන්න පුළුවන්, ඒ නිසා ඔතනින් ඉවත් වෙන්න කියලා. ඒත් මගේ අම්මා තාත්තා එදා ඉඳන් ගමේ ජීවත් වුණු අය. ඒ නිසා අම්මලා විශ්වාස කළේ නෑ එයාලට මෙහෙම කරදරයක් වෙයි කියලා.”

එහෙත් ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ ඒ අදහස ද ගිනි තබා විනාශ කළේය. ප්‍රචණ්ඩකාරීන් එකම ඉඩමේ පිහිටි කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරියගේ නිවෙස සහ මවුපියන් සහ සහෝදරයාගේ පවුල ජීවත් වූ මහ ගෙදරට ද ගිනි තබා තිබුණේ විශාල විනාශයක් සිදු කරමිනි.

“ එදා ගින්නෙන් මගේ අම්මයි තාත්තවයි බේරගෙන තිබුණේ අසල්වැසියෝ. පිරිස ගෙදරට පහර දෙන්න එද්දි අයියලා බාත් රූම් එකක් ඇතුළේ දොර වහගෙන ඉඳලා තිබුණේ. එයාලා එළියට එද්දි අර මම මුලින් කිව්ව ස්වාමීන් වහන්සේ නැවත පිරිස පෙලඹවීමක් කරලා තියෙනවා පහර දෙන්න කියලා. ඒ එක්කම නැවත මිනිස්සු පහර දීමක් සිදු කරලා තියෙනවා. ඒ සිදුවීමට සම්බන්ධ හඳුනාගත් පිරිසෙන් බහුතරය අදටත් ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරන අය. අත්අඩංගුවට ගත් අයගෙන් බහුතරයත් ජනතා විමුක්ති පෙරමුණේ අය. අත්අඩංගුවට ගත් පිරිස සුපුරුදු විදිහටම උසාවියේදී ඇප මත නිදහස් වෙලා තිබුණා. නීතිය හැම දෙනාටම එකම විදිහට සාධාරණය ඉෂ්ට කරනවාද කියන ප්‍රශ්නය එතැනදී මතු වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මතු කළ එකී කරුණ මැයි 9 වැනිදා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ බොහෝ දෙනා පීඩාවට ලක් කළ කරුණකි. එනම් එකී ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූ සැකකරුවන්ට නීතියෙන් නිසි දඬුවමක් ලැබුණාද යන ප්‍රශ්නයයි.

“ගිනි තියලා විනාශ කරපු මගේ නිවෙසත් මහ ගෙදරත් විශාල නිවෙස් දෙකක්. ගින්නෙන් ගෙවල් දෙකම සම්පූර්ණයෙන්ම විනාශයි. පැය ගාණක් එක දිගටම ගිනි ගෙන තිබුණා. නැවත ඒ ගෙවල්වල පදිංචි වෙන්න නම් ඒවා අලුතින්ම හදන්න වෙනවා. ඒ වෙච්ච අලාභය ගැන දළ අදහසක් මිසක් හරි තක්සේරුවක් තවම කරලා නැහැ. මට තියෙන කනගාටුව අපි මේ දේවල් උපයා ගත්තේ දේශපාලනය නිසාවත් හොරකම් කරලවත් නෙවෙයි. පරම්පරාවෙන් අපට යම් දෙයක් ලැබී තිබුණා. ඒ වගේම දේශපාලනයට එන්න කලින් මම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අවුරුදු 7ක් සේවය කළා. මගේ සැමියා අදටත් සේවය කරන්නෙ ඒ සමාගමෙයි. මම ඔය ගේ හැදුවේ 2009දි විතර. කොළඹ මට ගෙයක් තිබුණා. ඒ ගේ විකුණලා ගත්ත සල්ලිවලින් තමයි මම මීරිගම මහගෙදර ඉඩමේ පැත්තක ඔය ගේ හැදුවේ. දේශපාලනය කරනවා නම් ගමේ ඉන්න ඕනේ කියන අදහසින් තමයි මම ඒ ගේ හදාගෙන ගමේ පදිංචි වුණේ. තාත්තයි අම්මයි අයියයි ජීවත් වුණු මහගෙදර හැදුවේ මගේ තාත්තා. මගේ අයියත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්ජිනේරු අංශයේ වැඩ කරන්නේ. අයියගේ බිරිය ගණකාධිකාරවරියක් විදිහට වැඩ කළා. ඔවුන් දෙන්නා මහගෙදර නවීන තාලෙට නැවත ගොඩනැඟුවා. එහෙම හදපු ගේ තමයි ගිනි තියලා විනාශ කළේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රිනී, කෝකිලා ගුණවර්ධන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නාමල් ගුණවර්ධනගේ සහෝදරියකි. ඇය දේශපාලනයට පිවිසෙන්නේ සිය සොහොයුරාගේ ආභාසයෙනි.

"මම දේශපාලනයට පිවිසුණේ බොහොම අහම්බෙන්. පාසල් අධ්‍යාපනයෙන් පසුව මගේ ලොකුම බලාපොරොත්තුව සහ ආශාව වුණේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ රැකියාවට බැඳෙන එකයි. මම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තා. අවුරුදු 7ක් එහි සේවය කරලා මම කොළඹින් ගෙයක් සහ වාහනයක් ගත්තා. ඊට පස්සෙ මට හිතුණා දැන් මුදල් හම්බ කළා ඇති, ජීවිතේ තවත් ඉෂ්ට කරගන්න ලොකු බලාපොරොත්තු නැති නිසා රැකියාවෙන් ඉවත් වෙන්න ඕන කියලා තීරණය කරලා, රැකියාවෙන් ඉවත් වුණා. 2004දි මගේ අයියා නාමල් ගුණවර්ධන බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණත් ඉන් මාස තුනකට පසුව අයියා ඝාතනය වුණා. ඒ වෙලාවෙ ගමේ සහ අපේ ආසනයේ පාක්ෂිකයන් දේශපාලනයට එන්න කියලා මගෙන් ඉල්ලීම් කළා. මුලින් මම ඒකට කැමති වුණේ නැහැ. මගේ අයියා නැති වුණේ දේශපාලන හේතුවක් නිසා කියලා මම දැනගත්තේ ඔහු නැති වෙලා මාස හය හතක් ගත වුණාට පසුවයි. ඊට පස්සෙ තමයි මම දේශපාලනයට එන්න තීරණය කළේ. මට හොඳටම මතකයි, 2005 මාර්තු මාසේ 28 වැනිදා තමයි මම ඒ තීරණය ගත්තේ.”

එදා ගත් ඒ තීරණය ඵල දරන්නේ 2009 වසරේදී මනාප 46,997ක් ලබා ගනිමින් කෝකිලා ගුණවර්ධන පළමු වරට බස්නාහිර පළාත් සභාවට තේරී පත් වෙමිනි. 2014 වසරේදී මනාප 40,291ක් ලබා ගනිමින් දෙවැනි වරට ද පළාත් සභාවට තේරී පත් වන්නට ඇයට වාසනාව හිමි වූවාය.

“තරග කළ මුල් වතාවෙම පළාත් සභාවට තේරුණත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මම දෙවරක්ම පැරදුණා. ඒත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 77,922ක් ලබා ගෙන පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මගෙ හිතේ එදා ඉඳලා තිබුණු අදහසක් තමයි මම පාර්ලිමේන්තු යන්නෙ එක සැරයයි, එතැනින් එහාට යන්න ඕනෙ නැහැ, ඒ වගේම වයස අවුරුදු 55-60 වෙද්දි දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලත් හිතාගෙනයි මම දේශපාලනයට ආවේ. ඒ අරමුණ ඉටු කර ගත්තට පස්සෙ දේශපාලන ජීවිතය ගැන තවත් ලොකු බලාපොරොත්තු තිබුණෙ නැහැ. ඒ වගේම දේශපාලනයෙන් දිනා ගන්න දේකුත් මට නැහැ.”

ඇයගේ ඒ සරල ජීවිත දර්ශනය මැයි 9 වැනිදා සිදුවීමෙන් ඉරි තැළී ගියා දැයි සිතෙන්නේ එකී සිදුවීම බොහෝ මහජන නියෝජිතයන්ගේ ජීවිත උඩු යටිකුරු කළ සිදුවීමක් බවට පත් වූ නිසාය. එම සිදුවීම ඇයගේ ඉදිරි දේශපාලන ගමනට කෙසේ බලපානු ඇත්දැයි විමසුවෙමි. 

“වැටුණු හැම වෙලාවකම මම හිටියටත් වඩා ශක්තිමත්ව නැඟිටින කෙනෙක්. කවුරු හරි මට පොඩි රිදවීමක් කළොත් ඊට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා මම හිතනවා..එහි තේරුම මම මගේ ගේ විනාශ කරපු අයගෙන් පළිගන්නවා කියන අදහස නෙවෙයි. මම හිතනවා මේ සිදුවීමත් එක්තරා ආකාරයකට ජීවිතේ සන්ධිස්ථානයක් කියලා. ගේ ගිනි තිබ්බට මිනිස්සුන්ගේ හදවත්වල තියෙන ආදරේට ගිනි තියන්න බැහැ. මම දේශපාලනයට එන්න කලින් මීරිගම ආසනය තුළ අති ධාවනකාරී වාමාංශික පක්ෂවලට යම් ඡන්ද පදනමක් තිබුණා. මම නිසා ඒ ඡන්ද පදනම අඩු වුණා. මගේ ගේ ගිනි තියන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒ සිදුවීමෙන් පසුව මට හිතුණා, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ දේශපාලන ක්‍රමය නිසා මම දේශපාලනය අතහරින්නෙ ඇයි කියලා. ජවිපෙ හැමදාම කළේ මේ රටේ ජනතාව මුළා කරලා ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න උත්සාහ කිරීමයි. ඒක අපි 88,89 කාලවලදිත් දැක්කා. ඔවුන්ට ඒ විදිහට තවදුරටත් මේ රට විනාශ කරන්න ඉඩ දිය යුතු නැහැ, ඒ වෙනුවෙන් මම තවදුරටත් දේශපාලනයේ නිරත විය යුතුයි කියලා මම හිතනවා. ඒ වුණත් ජීවිත කාලෙම දේශපාලනය කරන්න මගෙ අදහසක් නැහැ.වයස අවුරුදු 60න් මම කොහොමටත් දේශපාලනයෙන් ඉවත් වෙනවා. අලුත් අයටත් දේශපාලනයට එන්න අවස්ථාව ලැබිය යුතු බව මම විශ්වාස කරනවා.”

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, කෝකිලා ගුණවර්ධන දරන්නේ මෙවැනි අදහසකි.

“මම හිතන්නෙ මේ වෙලාවෙ තමන්ගෙ පක්ෂය බලයට ගේන්න මහන්සි වෙනවා වෙනුවට රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න හැම දෙනාම එකතු වෙලා වැඩ කළ යුතුයි. අවාසනාවට සමහර පක්ෂ එතැනට එන්න සූදානම් නැහැ. ජවිපෙ දැන් රට ගැන ලොකු ආදරේකින් කතා කරනවා. නමුත් රට වැටිලා තියෙන වෙලාවෙ ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ආරාධනා කළාම ඔවුන් ඒකට කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ රට ආර්ථික අර්බුදයක තියෙන වෙලාවෙ ඒ දේවල්වලින් ජනතාව කුපිත කරලා ආණ්ඩුව වට්ටලා බලය ලබා ගන්න උත්සාහ කිරීමයි. ඔවුන් ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තෙ මේ රටේ තරුණ තරුණියන්. ඒකට හේතුව ඔවුන්ගෙ වචනවලින් පහසුවෙන් මුළා කර ගන්න පුළුවන් තරුණයන් නිසයි. ඒ තරුණ දරුවන්ට අපි අනුකම්පා කළ යුතුයි. නමුත් මගේ විශ්වාසය, නියම අරගලය තිබුණේ ගෝල්ෆේස් එකේ නෙවෙයි. ගම්වල මිනිස්සුයි, නගරවල, විශේෂයෙන් මහල් නිවාසවල ජීවත් වුණු ජනතාවයි සැබෑ අරගලයක යෙදුණෙ. ඒ අරගල සාධාරණයි කියලා මම හිතනවා. පැය 12ක් 13ක් විදුලිය නැති වුණාම, ගෑස්, භූමිතෙල්, ඩීසල්, පැට්‍රල් නැති වුණාම තමන්ගෙ සාමාන්‍ය දින චර්යාව ගත කරන්න බැරිව අසරණ වෙන මිනිස්සු අරගල කරනවා. මේ ආර්ථික අර්බුදය ඇති වුණේ අපේ රටට විතරක් නෙවෙයි. කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරගන්න, හිටපු ජනාධිපතිතුමා විශාල වෙහෙසක් ගත්තා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න රජයට සිදු වුණා. රට ආර්ථික වශයෙන් කඩා වැටෙද්දි අරගලකරුවන් ලෙස පෙනී සිටි අවස්ථාවාදීන් එය පාවිච්චි කරමින් රටේ තරුණ පරපුර නොමඟ යවමින් සිදු කළ විනාශය තමයි මැයි 9 වැනිදා අපි දැක්කෙ. ආණ්ඩුව ගත්ත සමහර වැරදි තීන්දුත් ජනතා විරෝධයට හේතු වුණා. ආණ්ඩුව නියෝජනය කළ අය විදියට අපේ හෘදය සාක්ෂිය ඒ ගැන කතා කළ අවස්ථා තිබුණා.

ඒ වුණත් පොදු දේපළ සහ ජීවිත විනාශ කරලා ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ කියලා අපේ තරුණ පරපුර තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ වෙලාවෙ මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ හැකියාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වෙලාවෙ පක්ෂ භේදයෙන් තොරව මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න සියලු දෙනා එකතු විය යුතුයි. එහෙම නැතුව බල පොරයකට යන්න මේක අවස්ථාව නෙවෙයි. එහෙම වුණොත් රටක් විදියට අපි තව තවත් අගාධයේ ගිලෙන බව දේශපාලකයන් වගේම ජනතාවත් තේරුම් ගත යුතුයි”

Comments