මම ජීවිතේ පටන් ගත්තේ රක්ෂණ ලිපිකරුවෙක් හැටියට | සිළුමිණ

මම ජීවිතේ පටන් ගත්තේ රක්ෂණ ලිපිකරුවෙක් හැටියට

ජීවිත රක්ෂණයේ අසිරිය නමින් රක්ෂණ මෙහෙයුම් ගැන සිංහලෙන් ලියැවෙන ප්‍රථම ග්‍රන්ථයේ කතුවරයා වත්මනෙහි HNB ඇෂුවරන්ස් PLC හි ප්‍රධාන විධායක නිලධාරියා ය. හේ උපදින්නේ මාතර නාවිමන ග්‍රාමයේ ය. ඉගෙනුම ලබන්නේ ගාල්ලේ මහින්දයෙනි. අනතුරුව දෙස් විදෙස් හි සිය විෂයය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගන්නා ඔහු නමින් ලසිත විමලරත්න ය.

එක්සත් රාජධානියේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ සන්ඩර්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇති ඔහු වරලත් රක්ෂණකරුවකු මෙන් ම වරලත් රක්ෂණ ආයතනයේ අධි සාමාජිකයකු ද වේ. එමෙන් ම ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත රක්ෂණ හා මූල්‍ය ආයතනයේ අධි සාමාජිකයකු ද වන ලසිත විමලරත්න එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාජිකයකු ලෙසින් ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ වත්මන් ලේකම්වරයා ද වෙන ඔහු ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ ආසන්නතම හිටපු සභාපතිවරයාය. මේ ඔහුගේ දිවිසැරියේ මතක සටහන් පෙළකි.

සම්පූර්ණ නම

තාවුලහේවගේ ලසිත නිරෝෂාන් විමලරත්න

උපන්දිනය

1977 නොවැම්බර් 23

උපන් ගම් ප්‍රදේශය

මාතර නාවිමන

අම්මා තාත්තාගේ නම සහ ඔවුන්ගේ වෘත්තීන්

තාත්තා තාවුලහේවගේ විමලරත්න. තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අපට දෙනියායෙ තේ ඉඩම් තිබුණා. අම්මාගෙ නම විනීතා. මට ඉන්නේ එක නංගි කෙනෙක්. ඇය නිලංකා කල්පනී

පාසල් යන්නේ

මම පාසල් තුනකට ගියා. මුලින් ම 6 වසර වෙනකම් නාවිමන උතුර කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ 6 වසරෙ ඉඳන් 8 වසර වෙනකම් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ගියා. පස්සෙ ගාල්ලෙ මහින්ද විද්‍යාලයට ගියා උසස් පෙළට.

ලස්සන පාසල් කාලයක් ඔබට ගමේදී තියෙන්න ඇති

ඔව්. ඇත්තටම නාවිමන ගමේ ඉන්නකොට සෙරෙප්පු දාගෙන, මඩේ බැහැගෙන, කැලේ කොළේ නටාගෙන ගත කරපු ලස්සන ළමා කාලයක් මට තිබුණා. මම අදටත් ඒක මතක් කරන්නෙ හරි ආසාවෙන්.

පාසල් කාලෙ බාහිර වැඩ කළා ද?

විවිධ සමිති සමාගම්වල ක්‍රියාකාරීව සිටියා. ඒවයෙ තනතුරු දැරුවා. සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළා.

උසස් පෙළ හදාරන්නේ කුමන විෂය ධාරාවෙන් ද? විශ්වවිද්‍යාලෙට තේරුණා ද?

විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ. මාව විද්‍යා විෂයයන් කරන්න විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් මම ගියේ නෑ. මට ඕන වුණේ පෞද්ගලික අංශයෙන් ඉහළට යන්න

විද්‍යා විෂයයන් කරලා වෛද්‍ය විද්‍යාලයට යන හීනයක් තිබුණෙ නැද්ද?

මම ඇත්තටම විද්‍යා විෂයයන් කළාට මට වෛද්‍ය විද්‍යාලයට යන්න ආසාවක් තිබුණෙ නෑ. මම විද්‍යා විෂයයන් කළාට ආසාවෙන් හිටියෙ ගණිත අංශයට.

මොකද්ද ඔබේ සිහිනය වෙන්නෙ?

මට බැංකුවක රැකියාවකට යන්න පුදුම ආසාවක් තිබුණා. මගේ සිහිනය වුණේ ටයි එකක් දාගෙන වායු සමීකරණය කරපු කාමරයක රැකියාවක් කරන එක.

කොතනින්ද ඔබේ සිහිනය සැබෑ කරගන්න පටන් ගැන්ම ගන්නෙ?

මම ගත්තා දුරකතන නාමාවලිය. ඒකාලෙ තිබුණේ යෙලෝපේජස්. මට ගැළපෙනවා කියලා හිතපු තනතුරකට අදාළව බැංකු හා රක්ෂණ ආයතන සේරගෙම ලිපිනවල දුරකතන නාමාවලියෙන් අරගෙන ඒවට මම මගේ ජීව දත්ත සටහන යැව්වා.

ප්‍රතිඵලයක් තිබුණ ද?

මට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා ලියුමක් ආවා යූනියන් ඇෂුවරන්ස් එකෙන්. ඒ මගේ පළවැනි ඉන්ටර්විව් එක. ඉන්ටර්විව් දෙකකින් සමත් වුණාට පස්සෙ මට යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ ජීවිත රක්ෂණ අංශයේ ලිපිකරුවෙක් විදියට රැකියාවක් ලැබුණා. ඒක ලැබෙන්න එකම හේතුව මම විද්‍යා විෂයයන් කිරීම. රක්ෂණවල වෛද්‍ය විද්‍යාත්මක පැත්තට අදාළ ගෙවීම් ගැනයි මම බැලුවෙ.

මොන අවුරුද්දෙද ඔබ වෘත්තියට පිවිසෙන්නෙ. එතකොට වයස කීයද, මාසික වේතනය එහෙම

1998 අගෝස්තු 10 තමයි මම ආයතනයට බැඳෙන්නෙ. මගේ මූලික වැටුප රුපියල් 3475යි. මට අවුරුදු 21 යි. අවුරුදු 6ක් මම එතැන වැඩ කළා. ටිකක් කල් යද්දි මම විධායක නිලධාරියෙක් විදියට උසස් වුණා.

එතැනින් පස්සෙ ඔබගෙ සැලසුම වුණේ මොකද්ද?

මගේ පෙම්වතිය හමුවුණෙත් එතැනදි. මට ඇගේ ගෙදරින් විරුද්ධ වුණා. එතකොට මම ලිපිකරුවෙක්නෙ. එතනදි තමයි මට හිතුණෙ මම මොනවා හරි ඉගෙන ගන්න ඕන, සුදුසුකම් හදා ගන්න ඕන කියලා. මගේ ජීවිතේ එතැනදි තමයි නැවත පටන් ගත්තෙ.

ඔබ පොතක් ලියනවා. ඒකත් ඔබේ ජීවිතේ හැරවුමක්.

ඔව්. ඒකෙ නම ජීවිත රක්ෂණයේ අසිරිය. ඒක සිංහලෙන් රක්ෂණ තාක්ෂණය ගැන ලියැවුණු පළමු පොත. ඒක ප්‍රකාශනය කළේ යූනියන් ඇෂුවරන්ස් එකෙන්. දීපාල් සූරියආරච්චි මහතා තමයි මගේ පොත ලෝන්ච් කළේ. ඒකට රක්ෂණයට සම්බන්ධ සියලු ප්‍රාමාණිකයන් ආවා. පොතත් එක්ක රක්ෂණ ක්ෂේත්‍රයේ මට ලොකු පිළිගැනීමක් හා ප්‍රසිද්ධියක් ලැබුණා. එතකොට මට අවුරුදු 25යි.

වෘත්තිය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබේ සුදුසුකම් හදා ගන්න පටන් ගන්නෙ කොහොමද?

මේ කාලෙ තමයි මට හිතෙන්නෙ මගේ සුදුසුකම් සම්පූර්ණ කරගන්න ඕන කියලා. මට එක්සත් රාජධානියට යන්න ඕන කියලා අම්ම, තාත්තා එක්ක කතා කළාම එයාලා කිව්වා, වෙන රටකට යන්න බලන්න, පළවැනි අවුරුද්දෙ වියදම කොහොම හරි දෙන්නම් කියලා. මම 2004 අගෝස්තුවල ලන්ඩනයට ගියා. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරන්න සන්ඩර්ලන්ඩ් විශ්වවිද්‍යාලයට තමයි ගියේ.

කොහොමද වියදම පියවා ගත්තෙ. මොනවද ඔබ අධ්‍යයන කටයුතුවලට අමතරව කළේ?

මම ලන්ඩන්වල හැමතැනම ඇවිදලා ඇවිදලා මැක්ඩොනල්ඩ් එකේ රාත්‍රී වැඩ මුරයක් හොයා ගත්තා. රෑ 7ට වැඩ පටන් ගත්තම උදේ 5 වෙනකම් වැඩ කරන්න ඕන. හැම දෙයක්ම කළා. පොළව සුද්ධ කරන එකේ, වැසිකිළි සුද්ධ කරන එකේ ඉඳන් බර්ගර් හදන එක දක්වාම සියලු වැඩ මම කළා. දවල්ට මම විශ්වවිද්‍යාලෙට යනවා. රෑට වැඩට යනවා. එහෙම අවුරුද්දක් වැඩ කළා. මම රට යන්න කලින් මගේ පෙම්වතියගෙ ගෙදරින් මට කැමැත්ත ලැබිලා තිබුණෙ. ඒ නිසා මම මාස 8කින් විතර ලංකාවට ඇවිත් විවාහ වුණා. විවාහ වෙලා ආයෙත් බිරියත් එක්කම ගියා.

ඊට පස්සෙ අධ්‍යාපන කටයුතු සිදු වුණේ කොහොමද?

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ සන්ඩර්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළා.

විවාහයෙන් පස්සෙත් මැක්ඩොනල්ඩ් එකේ රැකියාව කළා ද?

නෑ. මට හොඳ රැකියාවක් ලැබුණා B & Q කියන ආයතනයේ. ඒක ගෙවතු අලංකරණ, නිවාස අලංකරණ කරන ප්‍රමුඛ පෙළේ ආයතනයක්. ඒකෙ මම මුළුතැන්ගෙවල් සැලසුම් කරන්නෙක් විදියට සුද්දන්ට ඔවුන්ගේ මුළුතැන්ගෙවල් ලස්සන කරගන්න හැටි කියලා දුන්නා. මම එක මාසෙක හොඳම අලෙවිකරුවා බවටත් පත් වුණා. අපි යුරෝපයේ රටවල්වල ඇවිද්දා. ඒ අතරෙ අපි දෙන්නා වරලත් රක්ෂණකරුවන්ගේ විභාගත් කිහිපයක් කළා.

ලංකාවට ආවෙ කොයි කාලෙ ද?

2007 තමයි ලංකාවට ආවෙ. ආවට පස්සෙ මම ඊගල් ඉන්ෂුවරන්ස් එකට සම්බන්ධ වුණා. බිරිය යූනියන් ඇෂුවරන්ස් එකටම සම්බන්ධ වුණා. මම පටන් ගත්තෙ කළමනාකරුවෙක් විදියට. පස්සෙ මම ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙක් වුණා. එතනදි මම වරලත් රක්ෂණවේදී විභාග සම්පූර්ණ කරලා වරලත් රක්ෂණකරුවෙක් වුණා. ඊගල් සහ අවීවා එකේදි ගත්ත දෙස් විදෙස් අත්දැකීම් මට බොහෝ ප්‍රයෝජනවත් වුණා.

එතැනින් පස්සෙ ඔබ සොෆ්ට්ලොජික් එකට සම්බන්ධ වෙනවා.

මම සම්බන්ධ වුණා ඒෂියන්ස් එලයන්ස් ඉන්ෂුවරන්ස් එකට. ඒක තමයි පස්සෙ සොෆ්ට්ලොජික් ලයිෆ් වුණේ. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජීවිත රක්ෂණ මෙහෙයුම්) ලෙස සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. මම ඒ අභියෝගය ගත්තා. 2014 මාර්තු මාසයේ මම සොෆ්ට්ලොජික් එකට සම්බන්ධ වුණා. මම සාමාන්‍යාධිකාරී වෙනකම්ම සොෆ්ට්ලොජික් ලයිෆ් එකේ හිටියා. අවුරුදු 5ක් මම එතැන හිටියා. මම ලොකු වෙනසක් කළා එතැන

ඊට අමතරව ඔබ මොනවද කරන්නෙ ඒකාලෙ

මම වරලත් රක්ෂණ ආයතනයේ අධි සාමාජිකයෙක් වෙන්නෙත් මේ කාලෙ. ලංකාවටම හිටියෙ කිහිපදෙනයි. එහෙම වුණු ළාබාලම සාමාජිකයා මම. ඔස්ට්‍රේලියා හා නවසීලන්ත අධි සාමාජිකයකුත් වෙනවා. ඊට අමතරව මම වරලත් අලෙවිකරණ ආයතනයේත් සාමාජිකයෙක් වෙනවා.

HNB ඇෂුවරන්ස් ආයතනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2019 මාර්තු මාසෙ මට HNB ඇෂුවරන්ස් එකෙන් ආරාධනයක් ලැබෙනවා නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදියට කටයුතු කරන්න. මම බාර ගත්තා. ඊට පස්සෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදියට මම 2020 පත් වෙනවා. 2022 ජනවාරි 01 දා ඉඳන් මම ප්‍රධාන විධායක නිලධාරියා විදියට උසස්වීමක් ලබනවා. HNB ඇෂුවරන්ස් මේ වන විට වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන ආයතනයක්.

තමන්ගේ සේවකයන් එක්ක ඔබ මොනවගේ සම්බන්ධතාවක් ද පවත්වන්නේ

මම ගොඩක් මිනිස්සු එක්ක ඉන්න කෙනෙක්. මම කාර්යාලයේ වුණත් හදන්න උත්සාහ කරන්නෙ සමානාත්මතාවක්. හැමෝම ආසාවෙන් වැඩ කරනවා දකින්නයි මම කැමැති. මම පත්වුණාට පස්සෙ HNB ඇෂුවරන්ස් ආයතනය ආසියාවේ වැඩ කරන්න හොඳම පරිසරය තියෙන ආයතන අතරින් 70 වැනි ස්ථානය දිනා ගත්තා. ඒක ලොකු අවස්ථාවක් හා ජයග්‍රහණයක්.

ආසාවෙන් වැඩ කරද්දි ලැබෙන ප්‍රතිපෝෂණයත් වැඩියි.

නවකයන්ට දෙන ආදර්ශය කුමක්ද?

ඇත්තටම ජීවිතේ අවදානම් ගන්න බය වෙන්න ඕන නෑ. ඒක වැදගත්. ජීවිතේ වයස කාල පරිච්ඡේදත් එක්ක බැඳුණු අරමුණු තියෙන්න ඕන. මට අවුරුදු 20දී මම සැලසුම් කළා මට අවුරුදු 30 දී කළමනාකරුවෙක් වෙනවා කියලා. ඊගල් එකට ඇවිත් කළමනාකරුවෙක් වෙද්දි මට අවුරුදු 30 යි. මම අරමුණට ගියා හරියටම. ඊළඟට 40 දි සාමාන්‍යාධිකාරී කෙනෙක් වෙන එක. ඒකත් හරියටම 40 දී සොෆට්ලොජික් ලයිෆ් එකේදි මට ලැබුණා. අවුරුදු 45 දී විතර ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙන්න ඕන කියන අරමුණ මට තිබුණා. මට ඒක 44 දී ලැබුණා. අරමුණක් තියාගෙන වැඩ කරන්න ඕන. ඒ අරමුණ ගැන සිහින දකින්න ඕන. ඒක වෙනුවෙන් මහන්සි වෙන්න, හදාරන්න, ඉගෙන ගන්න අවශ්‍යයයි. අද මම වගේ කෙනෙක් මෙතනට ආව නම් වෙන ඕනම කෙනකුට මෙතනට එන්න බැරිකමක් නෑ. යූනියන් ඇෂුවරන්ස් එද්දි මට හරියට ඉංග්‍රීසිත් බෑ. ඒත් මම ඒ සියල්ල හදා ගත්තා. ඒ නිසා උවමනාව තියෙනවා නම් කරන්න බැරි කිසි දෙයක් නෑ.

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොනවාද?

පළවැනි එක ගාල්ලෙ මහින්දෙට ඉගෙන ගන්න ආව එක. දෙක මට පෙම්වතියගෙ ගෙදරින් අකැමැති වුණු එක. එංගලන්තයට ගිය එක තුන්වැනි හැරවුම් ලක්ෂ්‍යය.

කවුද ඔබේ බිරිය; ඒ වගේම දූ දරුවන්

ඇය ඉරෝෂිණී අනුරාධා තිත්තගල්ල. අපි විවාහ වුණේ 2005 මාර්තු 30. ඇය යූනියන් ඇෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරීවරිය (ජීවිත රක්ෂණ මෙහෙයුම්) ලෙස සිටිද්දි 2020 රැකියාවෙන් ඉවත් වුණා. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුව මිනුදිට අවුරුදු 11යි. පොඩි දුව නෙසදිට අවුරුදු 7යි. ඒ දෙදෙනාම ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා.

විවේක වෙලාවට මොකද කරන්නෙ

මම ගොඩක් සිංහල සින්දු අහන්න ආසයි. ඒ වගේම මම කැමැතියි ක්‍රිකට්, රග්බි හා පාපන්දු ක්‍රීඩා තරග බලන්න. හොඳ චිත්‍රපට බලන්න කැමැතියි.

ජීවිත රක්ෂණයේ අසිරිය පොත ලිව්වට පස්සෙ අලුතෙන් පොත් ලිව්වෙ නැද්ද?

ඇත්තටම බැරි වුණා. පොත් කියවනවා වුණත් ගොඩක් අඩුයි. හැබැයි මම ප්‍රවෘත්ති අහනවා, බලනවා. යාවත්කාලීන වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල දේශන කරනවා.

සංචාරය කරන්න කැමැති මොන පැතිවලද?

දකුණට තමයි කැමතිම. ඉපදුණු පලාතනෙ. ගොඩක් වෙලාවට දකුණේ හෝටල්වලට තමයි යන්නෙ, ඒ පැත්තෙ ඇවිදින්නෙ. ඊට අමතරව අනුරාධපුරයට යන්නත් කැමැතියි.

@ බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

ඔව් ඇත්තටම. ගුණාත්මක දේවල් හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

@ හැරිලා බලද්දි කරගන්න බැරි වුණු දේවල් තියෙනවා කියලා හිතෙනවද?

මට ඇත්තටම ක්‍රිකට් ගහන්න ආසාවක් තිබුණා. සැහැල්ලු පන්දු ක්‍රීඩා කළාට මට ලෙදර් ක්‍රිකට් කරන්න බැරි වුණා. මම ඒක ගැන අදත් හිතෙනවා. හැබැයි මට හොඳ චෙස් ක්‍රීඩකයෙක්. ඒවගේම පාපන්දු ක්‍රීඩාත් කළා. මම මගේ ජීවිතේ ගැන තෘප්තිමත් සහ ආඩම්බර කෙනෙක්.

 

Comments