ඇත්තටම මම දැනටත් පුදුම කලකිරීමකින් ඉන්නේ | සිළුමිණ

ඇත්තටම මම දැනටත් පුදුම කලකිරීමකින් ඉන්නේ

පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

- ප්‍රචණ්ඩත්වය තුළින් කිසිම දෙයක් ලබා ගෙන නැහැ වගේම කිසිම ප්‍රශ්නයක් විසඳන්නත් බැහැ
- පොලිසිය බලාගෙන ඉඳලත් ඒක වළක්වා නොගත්තේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්

“මැයි 9 වැනිදා උදේම මම තානාපතිතුමා සමඟ සාකච්ඡාවකට සහභාගි වීම සඳහා වියට්නාම තානාපති කාර්යාලයට ගියා. ඒ සාකච්ඡාව අවසන් වෙලා මම ජනාධිපති මන්දිරයට ආවා. ඒ වෙද්දි රටේ නිර්මාණය වෙලා තිබුණේ වෙනස්ම තත්ත්වයක්. ජනවරම වගේම ඒ වෙද්දි පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුවට බහුතර කැමැත්ත තිබුණා. නමුත් ඒ වෙද්දි රටේ ඇතිවෙලා තිබුණු ජනතා විරෝධයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුව බාර දෙන්න තීරණය කරලා තිබුණා. මමත් ඒ මතයේ හිටපු කෙනෙක්. මම එදා අරලියගහ මන්දිරයේ තිබුණු රැස්වීමට ගියේ නැහැ. මම වගේම තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා සමඟ ජනාධිපති මන්දිරයේ හිටියා.

ඒ අතරේ ගෝල්ෆේස් අරගල භූමියේ සහ අරලිය ගහ මන්දිරය අසල කලබල සිදු වන බව දැනගන්න ලැබුණා. ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැරින් සැරේ කතා කරලා ඒ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමා ඔවුන්ට පැහැදිලිවම උපදෙස් දුන්නා, අරගල භූමියේ ඉන්න අයට ගහන්න දෙන්න එපා, අරලියගහ මන්දිරයෙන් එළියට යන අයට ගාලු පාර දිගේ එන්න නොදී කොම්පඤ්ඤ වීදිය පැත්තෙන් පිටත් කරන්න කියලා. නමුත් ගෝල්ෆේස් අරගල භූමියේ සිටි පිරිසට පහර දීමත් සමඟ රට පුරා හැම තැනම කලබල ඇති වෙන බව අපිට ආරංචි වුණා. ඒ වගේම මගේ නිවෙසටත් පහර දෙන්න යනවා කියලා ෆේස්බුක් එකේ ප්‍රචාරයක් යනවා කියලත් දැනගන්න ලැබුණා. ඒ නිසා එදා දවල් 12ට විතර මම ජනාධිපති මන්දිරයේ සිට දංකොටුවේ පිහිටි මගේ නිවෙසට ඒමට පිටත් වුණා.”

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු එසේ මතකය අවදි කළ් මෑත ඉතිහාසයේ මෙරටට උදාවූ අඳුරු අවාසනාවන්ත දිනයක් පිළිබඳවය. දිනය, 2022 මැයි 9 වැනිදාය. ප්‍රචණ්ඩකාරීන් විසින් රටට ගිනි ඇවිළූ ‘කළු සඳුදා’ව එදිනයි.

“පාරට බහිනකම් මම දැනගෙන හිටියේ නැහැ, ඒ වෙද්දි අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමා මහමඟදි ඝාතනය කරලා කියලා. මම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දිගේ ගෙදර එන්න පිටත් වුණා. මඟ දිගටම මම දැක්කේ කලබල. වාහනවලට යන්න දෙන්නෙ නැහැ. පරීක්ෂා කරනවා;ගහනවා. කටුනායකදි මගේ වාහනෙත් නැවැත්තුවා. විශාල පිරිසක් ඒ ස්ථානයේ හිටියා. නමුත් ඔවුන් මාව අඳුනගත්තේ නැහැ. මම ඒ දවස්වල ඉස්සර හිටියට වැඩිය කෙට්ටු වෙලා හිටිය නිසා ඔවුන්ට මාව අඳුන ගන්න බැරි වුණා. මම ඔවුන්ට කිවුවා මම දොස්තර මහත්තයෙක් කියලා. එතැනින් බේරිලා මීගමුවට එද්දි මුස්ලිම් තරුණයන් පිරිසක් මීගමුව ඩිපෝවට පහර දෙනවා. එතැනින් බේරිලා ආවත් තවත් ඉස්සරහට යන්න බැරි බව මට වැටහුණා. ඒ නිසා වාහනය හරවගෙන ආපහු කොළඹ පැත්තට ආවා. නවලෝක රෝහල අසලදි ආයෙමත් පිරිසක් මගේ වාහනය නැවැත්තුවා. ඒ වෙද්දි ඔවුන් පාරේ යන හැම වාහනයකටම ගහනවා. මම ගියේ වෙනදා යන වාහනේ නෙවෙයි වෙනත් වාහනයක. ඒත් ඒ වාහනෙත් පිටපුස වීදුරුවට පහර දීලා ඒක සම්පූර්ණයෙන්ම විනාශ කළා.”

ඒ විනාශය එතැනින් නතර නොවූ බව ද රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු කීවේය. දංකොටුවේ පිහිටි ඔහුට අයත් නිවෙස ප්‍රචණ්ඩකාරීන්ගේ ඊළඟ ගොදුර බවට පත් විය.

“එදා හවස පිරිසක් මගේ ගෙදරට ගිනි තියලා තිබුණා. ඒ වෙද්දි දංකොටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිතුමා ඇතුළු පොලිසියම මගේ ගෙදර ඉදිරිපිට ඉඳලා තිබුණා. මට අදටත් පුදුමයි එහෙම වෙලත් ගිනි තැබීම වළක්වා ගන්න කටයුතු කළේ නැත්තේ ඇයි කියලා.”

නිවෙස පමණක් නොව නිවෙසට ඉදිරියෙන් පිහිටි කාර්යාලය ද ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරයට ලක්වී තිබිණ.

“ඒ ගෙදර මම හදපු එකක් නෙවෙයි. පාරම්පරිකව මට ලැබුණු දෙයක්. නිවෙසට සිදුවූ අලාභය ගැන තවම තක්සේරුවක් ලැබිලා නැහැ. මගේ නිවෙස දංකොටුව නගරයේ තියෙන පැරණි නිවෙස් අතරින් ප්‍රධාන නිවෙසක්. එහි තිබූ පැරණි බඩුබාහිරාදිය සියල්ල විනාශ වුණා. කාර්යාලයේ තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයෙන් ලබා දෙන උපකරණ. ඒ සියල්ලම විනාශයි. දැන් තියෙන තත්ත්වය අනුව නම් මම හිතන්නේ නැහැ ජීවිතේට නැවත මට ඒ විදිහේ ගෙයක් හදා ගන්න ලැබෙයි කියලා.”

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ සිය දේශපාලන ජීවිතය තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව එම සිදුවීම බවයි.

“ එදා වෙනකම් මට ඒ විදිහේ කිසිම ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙලා නැහැ. ඒ නිසාම මම කවදාවත්ම හිතුවේ නැහැ මට මෙවැනි දෙයක් සිදු වෙයි කියලා. පුත්තලම් දිස්ත්‍රික් ජනතාව මගේ දේශපාලන ජීවිතය ගැන හොඳින්ම දන්නවා. මම ඔවුන්ගේ ඡන්දයෙන් දෙවරක්ම වයඹ පළාත් සභාවට පත් වුණා. එහි ඇමැති ධුර දැරුවා. මේ වෙද්දි වාර 3ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඇමැති ධුර දැරුවා. මම දේශපාලනයෙන් මුදල් උපයලා නැහැ. දේශපාලනය වෙනුවෙන් මගේ අතේ තිබුණු මුදල් වැය කරපු කෙනෙක්. මම මට ලැබුණු පළමු වැනි වාහන පර්මිට් එකෙන් ගත්ත වාහනය විකුණලා ඒ මුදල්වලින් දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නා. ආණමඩුව වගේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට පාවහන් ලබා දෙනවා. ඒවාට වියදම් කරන්නේ මගේ මුදල්. දේශපාලනයට එන්න කලින් මම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වැඩ කළා. ඒ රැකියාවෙන් ඉපයූ මුදල් සියල්ල මම වැය කළේ දේශපාලනය සහ මහජන සේවය වෙනුවෙන්. මගේ දිස්ත්‍රික් ජනතාව ඒ සියල්ල දන්නවා. ඒ නිසා මම මෙවැනි සිදුවීමකට මුහුණ දෙන්න වෙයි කියලා හිතුවේ නැහැ.”

ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ වදන් ඉඟි කළේ මැයි 9 වැනිදා සිදුවීම ඔහු කම්පාවට පත් කළ සිදුවීමක් බවයි. ඒ ගැන ද මම ඔහු විමසුවෙමි.

“ ඒ සිදුවීමෙන් මට කම්පාවක්, කලකිරීමක් ඇති වුණා. ඇත්තටම මම දැනටත් පුදුම කලකිරීමකින් ඉන්නේ. නමුත් මේ ලැබුණු අවසාන අවස්ථාවෙදිත් මම උත්සාහ කරනවා ජනතාව වෙනුවෙන් හැකි උපරිමය ඉෂ්ට කරන්න. රට හරි මාර්ගයක යන්නෙ නැත්නම් දේශපාලනය පිළිබඳ මට ඉදිරියේදී විශාල බලාපොරොත්තු නැහැ.”

මැයි 9 වැනිදා අවාසනාවන්ත සිදුවීම් දාමය මුළු රටම කම්පාවට පත් කළේය. ඒ සිදුවීම් දාමය බොහෝ දෙනකුගේ ජීවිත උඩු යටිකුරු කළේ කිසිවකු නොසිතූ ලෙසිනි. සිය නිවෙස සහ කාර්යාලය ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා වරින් වර පොලිස් අත්අඩංගුවට පත්වුවද ඔවුන් ඇප මත නිදහස් වූ බව ද රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය. එය මෙකී සිදුවීමට මුහුණ දුන් බොහෝ මැති ඇම­ැතිවරුන් පැවසූ සත්‍යයකි.

“ඒක කොහොමද වුණේ කියන්න මම දන්නෙ නැහැ. නමුත් ඒ දේ එහෙම සිදු වුණා. නිවෙස සහ කාර්යාලය විනාශ කිරීමේ සිදුවීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්, පෙරටුගාමීන් සහ සමඟි ජන බලවේගයේ ඇතැම් පුද්ගලයන් ඍජුවම සම්බන්ධ වී සිටියා. ඒ සිදුවීම සැලසුම් කළ සිදුවීමක් බව මගේ අදහසයි. රටේ තිබුණු අර්බුද නිසා ජනතා විරෝධයක් තිබුණු බව අපි කවුරුත් පිළිගන්නවා. නමුත් ඒ අර්බුදයට වගකිව යුත්තේ මහජන නියෝජිතයන් පමණක් නෙවෙයි. පවතින ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් අතර හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු මහ බැංකුවේ ඇතැම් නිලධාරින් ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. ඒ වගේම රජය ගත් ඇතැම් වැරදි තීන්දුත් ජනතා විරෝධයට හේතු වුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉතාම සාධනීය තීන්දු රැසක් ගත්තා. උදාහරණයක් විදිහට කියනවා නම් වැවිලි කර්මාන්තයට එතුමා විශාල ශක්තියක් දුන්නා. වැවිලි කර්මාන්ත ඇමැති විදිහට කටයුතු කරද්දි ඒ වන විට ඩොලර් මිලියන 200ක ආදායමක් ලැබුණු පොල් කර්මාන්තයෙන් රටට ඩොලර් මිලියන 900ක් උපයා දෙන්න මට හැකි වුණා.”

සිය දේශපාලන ගමනේ කඩඉම් සිහි කරමින් හෙතෙම පැවසීය. හමුදා සේවයේ නිරත වූ එරික් ප්‍රනාන්දු සහ නර්තන ගුරුවරියක වූ සුසිලා අබේගුණරත්නගේ දරුවන් සිවු දෙනාගෙන් දෙවැන්නා වන අරුන්දික ප්‍රනාන්දු දේශපාලනයට එක් වන්නේ සිය පියාගේ සහෝදරයා වූ නීතිඥ ගොඩ්ප්‍රි ප්‍රනාන්දුගේ ආභාසයෙනි.

“ අවුරුදු 17කට පස්සේ 1994දී අපේ පක්ෂය බලය පිහිටුවද්දි පුත්තලම් දිස්ත්‍රික්කයේ පළමු වැනියා වුණේ මගේ බාප්පා. එතුමාගේ හදිසි වියෝවෙන් පසුව ඔහුගේ බිරිය ශ්‍රියානි ප්‍රනාන්දු 2000-2001 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළා. මම 2004දී මුල් වරට වයඹ පළාත් සභාවට තරග කරලා පළාත් සභාවේ 10 දෙනා අතර 9 වැනියා බවට පත්වුණා. ඊළඟ මැතිවරණයේදී මම වයඹ පළාත් සභාවට තේරී පත්වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් පළමු වැන්නා බවට පත්වෙමින්. 2010දී මම මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මේ දක්වා ඒ ජනවරම අඛණ්ඩව දිනා ගත් මන්ත්‍රීවරයෙක් ලෙස දිස්ත්‍රික් ජනතාවගේ මනාපය මට ලැබී තිබෙනවා”

ඒ, රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මේ දක්වා පැමිණි දේශපාලන ගමන පිළිබඳ කෙටි ආවර්ජනයකි. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහුගේ අදහස් මෙසේය.

“පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට වත්මන් ජනාධිපතිතුමා විශාල උත්සාහයක නිරත වී සිටිනවා. මේ අවස්ථාවේ අපි සියලු දෙනා පක්ෂ දේශපාලනය සහ තමන්ගේ පක්ෂයේ නායකයා ජනාධිපති කිරීමට වෙහෙසෙන්නේ නැතිව ජනාධිපතිවරයාට හැකි උපරිම සහයෝගය ලබා දිය යුතු බව මගේ හැඟීමයි. පවතින අර්බුද ඇතිවීමට මහජන නියෝජිතයන් පමණක් නෙවෙයි, නිලධාරීන් විශාල පිරිසක් වගකිව යුතුයි. ඇතැම් නිලධාරීන් මහජන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඉඩ දෙන්නෙම නැහැ. ඔවුන් මේ පවතින අර්බුදවලට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේ අවස්ථාවේදී මහජන නියෝජිතයන්, නිලධාරීන් සහ මහජනතාව කියන පාර්ශ්ව තුනම තමන්ගේ පටු දේශපාලන අරමුණු පැත්තකින් තියලා රට ගැන හැඟීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ප්‍රචණ්ඩත්වය තුළින් කිසිම දෙයක් ලබා ගෙන නැහැ වගේම ප්‍රචණ්ඩත්වයෙන් කිසිම ප්‍රශ්නයක් විසඳන්නත් බැහැ. වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුත්තේ නීතියෙන්. වංචා, දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දිය යුතුයි.”

Comments