ජන­ සභා යනු ජන­තාව විසින් අත්පත් කර­ගත යුතු ජය­ග්‍ර­හ­ණ­යක් | සිළුමිණ

ජන­ සභා යනු ජන­තාව විසින් අත්පත් කර­ගත යුතු ජය­ග්‍ර­හ­ණ­යක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන යන ආයතන ව්‍යුහයන් ගොඩනැඟී ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහාය. එම ආයතන ව්‍යුහයන්ට පරිබාහිරව සක්‍රිය ලෙස ජනතා සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් රටට අවශ්‍ය බවට වූ සංවාදය වෙනත් කිසිදු කලකටත් වඩා මෑත කාලීනව සමාජය තුළින් මතු විය. එය අප හොඳින් දන්නා කරුණකි.

මෙම අදහස වඩාත් තීව්‍ර ලෙස ඉස්මතු කරන ලද්දේ අරගල භූමියෙනි. ඔවුන් එහිදී සියලු ජන කොටස් නියෝජනය වන ශක්තිමත් මහජන කවුන්සිලයක අවශ්‍යතාව මතු කර දැක්විය. එය සැලකිල්ලට ගත් මේ රටේ වගකිව යුතු පාර්ශ්ව ගණනාවක්ම ඒ පිළිබඳව සිදු කළ දීර්ඝ සංවාදයකින් පසු මේ වන විට ‘ජන සභා’ පිළිබඳ අදහස රටට ඉදිරිපත් කර තිබේ.

යෝජිත ‘ජනසභා’ පිළිබඳ සංකල්පය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගැනීමේදී අප රටේ ක්‍රියාත්මක වූ සහ දැනට ද ක්‍රියාත්මක වන පළාත් පාලන ව්‍යුහයන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු විය. ශ්‍රී ලංකාවේ ගම් සභා ක්‍රමයේ ඉතිහාසය පණ්ඩුකාභය රජ දවස දක්වා දිව යන්නක් බව ඉතිහාස මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. ඒ අනුව වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිතව පැවත ආ ගම් සභා ක්‍රමය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරන ලද ආචාර්ය මාලිනී ඇඳගම පෙන්වා දෙන පරිදි වඩා දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ ඒ මඟින් පෙන්නුම් කෙරෙයි. එයට අමතරව අප රටේ ගම් සභා ක්‍රමය විධිමත් ආකාරයට තහවුරු වී තිබූ බව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති ශිලා ලේඛන මඟින් ද තහවුරු වේ.

අප රට යටත් විජිතයක් වීමට පෙර පැවැති ග්‍රාම පාලන ව්‍යුහය වෙනුවට බ්‍රිතානයන් විසින් අපට ගම් කාරක සභා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. පසුව එය සනීපාරක්ෂක මණ්ඩල, සුළු නගර සභා හා මහ නගර සභා ලෙස නව පාලන ආකෘති හරහා අද ක්‍රියාත්මක වන පළාත් පාලන ක්‍රමය දක්වා විකාශනය වී ඇත. මේ වෙනස්කම් සිදු වෙමින් පැවැති අතරතුර කාලයේදී විශේෂයෙන් නිදහසට පෙර හා ඉන් පසු යුගයේ පවා පළාත් පාලන ක්‍රමවේදය තුළ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවට බලවත් ලෙස අවධානය යොමු කර තිබේ. 1955 චොක්සි කමිටු වාර්තාවේ සිට 1999 වසරේදී ඒ පිළිබඳව වන කොමිෂන්, සභා වාර්තාව දක්වා වාර්තා හතකම මේ පිළිබඳ අවධාරණය කර ඇත. මේ සියලු තත්ත්වයන් තුළ රටක් වශයෙන් අප පුරවැසි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගෙන ඇති වඩා වැදගත්ම උත්සාහය ගෙන ඇත්තේ 1981 වසරේදී හඳුන්වා දුන් දිස්ත්‍රික් සංවර්ධන පනත මඟිනි. බිම් මට්ටමේ ජනතා සහභාගීත්වය ලබා ගනිමින් ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන ලද්දේ ඒ අනුවයි. එමෙන්ම 2016 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන කමිටුවේ වාර්තාව මඟින් ද ග්‍රාම රාජ්‍ය නැතහොත් ග්‍රාම සභා සංකල්පය ගැන අවධානය යොමු කර තිබේ. ඒ මඟින් ද අවධාරණය කර ඇත්තේ මධ්‍යගත පාලනයන්ට ආවේණික වූ දුර්වලතා මඟ හරවා ගැනීම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයන් තුළ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය ප්‍රවර්ධනය කළ යුතුව ඇති බවය.

එය සහතික කිරීමට මෙන්ම ග්‍රාමීය ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගම් මටටමේ කටයුතු කළමනාකරණය සඳහා වූ ස්වයං පාලන ආකෘතියක් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කළ යුතුව ඇතැයි ද ඒ මගින් අවධාරණය කර තිබේ. එමෙන්ම දේශපාලකයන් හා නිලධාරීන් විසින් තම බලය අවභාවිත කිරීම හා ප්‍රාදේශීය දේශපාලනයේ ද දැකිය හැකි දූෂණය හා පටු දේශපාලනීකරණය අවම කර ගැනීමට එවැනි ක්‍රමයක් බෙහෙවින් ඉවහල් විය හැකි බව එම වාර්ථාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව සලකා බැලීමේදී රටේ අනාගත යහපත පසෙක තබා; පටු දේශපාලනික හා ආර්ථික අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හරයන්ට පිටුපෑම නිසා අද අප මුහුණදෙමින් සිටින බොහෝ අර්බුදයන්ට විසඳුම් සොයාගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. එහිදී අප අපගේ පාලන ව්‍යුහයන්ට අදාළව ප්‍රතිසංස්කරණ ගණනාවකට යොමුවිය යුතුව ඇත. එහෙත් ගම හා නාගරික කුඩා ප්‍රජා ඒකක පදනම් කරගනිමින් එවැනි ප්‍රවේශයකට යොමු වීමේදී අප අවධානය යොමු කළ යුතු තවත් එක් වැදගත් කරුණක් ද තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ මෙන්ම මෑත ඉතිහාසය තුළ පැවැති ගම් සභා ක්‍රමය සක්‍රිය ප්‍රජා සහභාගීත්ව ක්‍රමයක් බව හා ඒ තුළ සමාජ සම්මුතීන්ට එළැඹීමට අවකාශය සලසා තිබී ඇති නමුත්; එම වපසරිය තුළ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අභ්‍යාසගත නොවූ බවට ද තර්ක ඉදිරිපත්ව ඇති බවය. ප්‍රභූවාදය තදින් මුල්බැස ගෙන පැවැති එවැනි සමාජ ක්‍රමයක් තුළ සාමාන්‍ය ජනයාගෙන් දුරස් වූ අධිපතිවාදයක් දක්නට වූ බවට සාධක පවතී. විශේෂයෙන්ම රටේ තරුණ පරම්පරාව වැනි අතිශය සක්‍රිය පිරිසට හා වාර්ගිකත්වය කුලය මත වෙනස් අනන්‍යතාවන් සහිත පිරිසකට සමානාත්මතාවයෙන් යුතුව සැලකීමක් කර ඇත්ද යන ගැටලුව එහිදී තදින්ම පැන නැඟී තිබේ.

මේ සියලු තත්ත්වයන් සලකා බලමින් රටේ පොදු පුරවැසියන්ට තම සමාජ ආර්ථික හා මූලික දේශපාලන අභිලාශයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා යොමුවිය හැකි නව ප්‍රවේශයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා කර තිබේ. ඒ මඟින් ග්‍රාමීය හා නාගරික කුඩා ප්‍රජා ඒකක පදනම් කර ගනිමින් රටේ පුරවැසියනට තම අභිලාශයන් රටට ඉදිරිපත් කළ හැකි හා රටේ ස්ථාපිත පාලන ඒකකයන් මඟින් තමන්ට අදාළව ගනු ලබන ක්‍රියාමාර්ගයන්හි දී ඒවාට සෘජුවම මැදිහත් විය හැකි ආයතන ව්‍යුහයක අවශ්‍යතාව අප විසින් පෙන්නුම් කර ඇත. එය කිසිදු දේශපාලන පක්ෂයකට පහසුවෙන් යටපත් කරගත නොහැකිය; එමෙන්ම කොම්ප්‍රදෝරු සමාජ බලයන්ට හෝ මුදල් බලය මඟින් කිසිවෙක්ගේ හෝ පාලනයට යටත් කරගැනීමට ඇති හැකියාවන් බලවත් ලෙස අවහිර කරන, උපරිම අන්දමින් පොදු සම්මුතියකට දිරි දෙන ආයතන ව්‍යුහයක් ලෙස එය හඳුන්වා දිය හැකිය.

ජන සභා ලෙස අද සමාජයේ අවධානයට ලක්ව ඇත්තේ එයයි. එකී යෝජනා සකස් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ද ඇතුළු සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රාශියක් එක්ව සිදු කරන ලද සාකච්ඡා හා සම්මන්ත්‍රණ ගණනාවකින් අනතුරුවය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එයට මඟ පෙන්වමින් මූලික කාර්යහාරයක් ඉටුකළේ වුවද සැබැවින්ම එය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස රටට ඉදිරිපත් කළ යෝජනාවකි. එමෙන්ම අප සංවිධානයේ හෝ ඉන් පිටස්තර කිසිදු පුද්ගලයෙක් තබා සංවිධානයක් හෝ දේශපාලනිකව ප්‍රවර්ධනය කිරීම උදෙසා සම්පාදනය කරන ලද්දක් ද නොවේ. ජන සභා යනු ජනතාව විසින් වෙර යොදා අත්පත් කර ගත යුතු ජයග්‍රහණයකි. ඒ අනුව ජන සභා සංකල්පය බල දේශපාලනය ඉලක්කයක් කර නොගත් සිවිල් සමාජ ව්‍යාපාරයක් විසින් ගෙන එන ලද වැදගත් ප්‍රතිසංස්කරණ යෝජනාවක් ලෙස අනාගතය විසින් නිවැරදි විනිශ්චයක් ලබා දෙනු ඇතැයි යන්න අපි විශ්වාසය කරමු.

 

Comments