අපට සහාය දුන් රට­වල් ගණන ගණි­ත­යෙන් මැනීම සාධා­රණ නැහැ | සිළුමිණ

අපට සහාය දුන් රට­වල් ගණන ගණි­ත­යෙන් මැනීම සාධා­රණ නැහැ

 

‘තිස් අවුරුද්දක් පමණ මෙරට ජනතාව පෙළා දැමූ යුද්ධය අවසන් වී වසර 13ක් පමණ ගියත් බටහිර රටවල් ප්‍රමුඛව ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එල්ල කරන යුද අපරාධ චෝදනා ඇතුළු මානව හිමිකම් කඩවීම් සෑම වසරකම මෙන් කරළියට ගෙන එනු ලැබේ.

මෙවර අපට පක්ෂව රටවල් 7ක් ඡන්දය ලබා දුන් අතර රටවල් 20ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය. ඇතැම් චෝදනා අපට එල්ල වන්නේ කිසිදු පදනමකින් තොරවය. චැනල් 4 චිත්‍රපටය මෙන්ම දරුස්මාන් වාර්තාව හරහා අප බිමට ඇද දමන්නට බටහිර රටවල් ප්‍රමුඛ සංවිධාන විසින් කටයුතු කර තිබුණි. මේ සම්බන්ධයෙන් අද සිළුමිණට අදහස් දක්වන්නේ විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිය.‘

  මානව හිමිකම් කොමිසමේදී අපට සහාය දෙන රටවල් ක්‍රමයෙන් අඩු වෙනවා. මේ තත්ත්වය අපට අන්තර්ජාතික පිළිගැනීමට විශාල බලපෑමක් වෙනවා නේද?

අංක ගණිතමය වශයෙන් එහෙම කිව්වත් ඇත්තෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා ඒ සම්බන්ධ දත්ත පැහැදිලිවම පෙන්වා දෙන්න පුළුවන්.උදාහරණයක් හැටියට 2014 අවුරුද්දෙ ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් ගණන 12යි. එය 2021 අවුරුද්දේ 14ක් ලෙස වර්ධනය වුණා. මේ වසරේ ඒ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගියා.

ඔබ එසේ කිව්වත් 2012 අවුරුද්දේ සිට 2015 අවුරුද්ද හැර සලකා බැලුවහම තත්ත්වය ඊට වඩා වෙනස්නෙ. අපිට සහාය දුන් රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. 2012 අවුරුද්දෙ අපට පක්ෂව රටවල් 15ක් ඡන්දය ලබා දුන්නා. ඒ රටවල් ගණන 2013 අවුරුද්දෙ 13ක් දක්වා අඩු වෙනවා. 2014 අවුරුද්දෙ 12ක් වෙනවා. ගිය අවුරුද්දෙ 11යි. මේ අවුරුද්දෙ 7 දක්වා පහළ ගියා. මේ තත්ත්වය බරපතළ ගැටලුවක් නෙමෙයි කියලද ඔබ කියන්නෙ.

ගිය අවුරුද්දෙ අපට සහාය දුන් බංග්ලාදේශය, රුසියාව හා පිලිපීනය මෙවර සහභාගි වුණේ නැහැනෙ. ඒ රටවල් අපට සහාය දුන් රටවල්. ඒ වගේම මම කලින් කිව්ව වගේ අංක ගණිතමය ගැටලුවක් ලෙස මෙය දකින එක නෙමෙයි තත්ත්වය. මෙතන තියෙන්නෙ භූ දේශපාලනික හා බටහිර මිතුරු රටවල් සමඟ ඇති එකඟතාවක් වැනි යමක්.

කොහොම වුණත් අපට විරුද්ධව ගෙන ආ යෝජනාවලින් අප පරාජයට පත් වෙලා

ඔව්, යෝජනාවෙන් අපි පරාදයි. ඒ ඉලක්කම්වලින්. නමුත් ඇත්ත තත්ත්වය තමයි මම පැහැදිලි කළේ.

ඔබ හිතන්නේ නැද්ද ඇතැම් මුස්ලිම් රටවල් සමඟ අප උරණ වීමත් මේ සඳහා හේතු වන්නට ඇති කියා

අනිවාර්යෙන්ම ඒකත් හේතුවක් වන්නට ඇති. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් - 19 මළ සිරුරු ආදාහනය කිරීම තුළින් මතු වූ ගැටලු නිසා මේ තත්ත්වය ඇති වුණා. ඒකෙන් අපට බහුවිධ බලපෑම් ඇති වන්නට ඇති.

නමුත් වෛද්‍ය මතය අනුව කොවිඩ් - 19 මළ සිරුරු ආදාහනය කළේ.

ඒ වෛද්‍ය මතය ගෙන ආ අයගේ මත මොනවාද? එක් අයෙක් කිව්වා අවුරුදු දහස් ගාණක් ගිහිල්ලත් කොවිඩ් විෂබීජය මතු වී එන්නට පුළුවන් කියලා, තවත් අයෙක් කිව්වා පස කඩාගෙන ඒවා මතු වී පැතිරෙන්න පුළුවන් කියලා. ජීව විද්‍යාත්මක අවි වශයෙන් එම මෘතදේහ පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. ඒ අය අන්න අරගලයේ ඉන්නවා මම දැක්කා.

ඒ කියන්නෙ ඇතැම් වෛද්‍යවරුන්ගේ සාවද්‍ය ප්‍රකාශත් මෙවර අපට බලපෑම් ඇති කරන්න වක්‍රාකාරයෙන් හෝ උපකාරී වූ බවක්ද?

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 අවුරුද්දෙනෙ, ඒකෙන් පස්සෙ මුස්ලිම් ජනතාවට යම් හෝ චෝදනා එල්ල කරන අයට ජනප්‍රිය වන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. මට පේන්නෙ මේ කතාවත් වෛද්‍ය මතය ඉක්මවා ගිහින් සාවද්‍ය කරුණු ඉස්මතු කර පෙන්වූවක්. අවසානයේ අපට අන්තර්ජාතික වශයෙන් ඒ ප්‍රකාශ හා ක්‍රියාවන් බලපෑවා.

ඇයි අපට හැමදාම මේ තරම් ගැටලු මතු වන්නේ, අපිට විරුද්ධ වෙන රටවල් ගණන අඩු කරගන්න බැරිද?

අපට වෙලා තියෙන්නෙ එහි අටවන වගන්තියේ තියෙන යෝජනාවට එකඟ වන්නට නොහැකි වීම. එහිදී යුද අපරාධ චෝදනා වෙනත් රටකදී විභාග කරන්න යෝජනා වී තියෙනවා. එයට එකඟ වන්නට අපට කිසිසේත්ම හැකියාවක් නැහැ. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන්නට අපට හැකියාවක් නැහැ. එසේ නොමැතිව 2015 වසරේ වගේ අපි වැරැදි පිළිගත්තා යන හැඟීමක් ඉස්මතු කළහොත් ඡන්දයක් නොතියාම ඉන්න පුළුවන්.

බටහිර රටවල් ප්‍රධානව මානව හිමිකම් කොමිසමේ චෝදනා අපට එල්ල වන්නේ අපේම වරදින් කියලා කිව්වොත්..

එය එක පැත්තකින් හරි, යුද්ධය අවසන් වෙලා අවුරුදු 13ක් වෙනවා. අපි තාමත් නිසි යාන්ත්‍රණයක් සකස් කර නැහැ.

ඒ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන නිසා තමයි මේ විදිහට අපට ගැටලු මතු වෙන්නෙ.

ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුත්තේ රජය විසින්. පැවතුණු සියලු රජයන් කොමිසම හමුවේ පිළිගත් දේ රටට ආ පසු අමතක කර දැමූ තත්ත්වයක් පෙනෙන්නට තියෙන්නේ.

ඒක ලොකු අඩුපාඩුවක් තමයි, අපි කඩිනමින් පියවර ගැනීම වැදගත්. ඒ ඔස්සේ යම් අසාධාරණයක් අගතියක් වූ අයවළුන්ට සාධාරණය ඉටු කරන්න පුළුවන්. ඒ වගේම රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරගන්න පුළුවන්. ආර්ජන්ටිනාව, බොලිවියාව, චිලී රාජ්‍යය එවැනි යාන්ත්‍රණ හරහා විමර්ශන සිදු කරා. ඒ සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වුණා.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වෙලා අවුරුදු 13ක් වෙනවා. මානව හිමිකම් කොමිසමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න පොරොන්දු වුණා. අපට තවම ඒකවත් කරගන්න බැරි වුණා නේද?

ඒක අදියර දෙකකින් අහෝසි කරන්නයි අපි පොරොන්දු වුණේ. හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් එහිදී මුල්වී කටයුතු කරා. එහි පළමු අදියරට අනුව කටයුතු කර තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර කමිටුවක් පත් කර තිබෙනවා එය ඉවත් කිරීමට.

එය ඉවත් කිරීම රටක ආරක්ෂාවට තර්ජනයක් කියලා තවත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කියනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවෙ මාස 6කට. යුද්ධය අවසන් වෙලා දීර්ඝ කාලයක් ගිහින් එය බලාත්මක කිරීම සුදුසු නැහැ. අපි ඒ වෙනුවෙන් වෙනමම පනතක් ගේනවා.

ඒ ගෙන්නෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් නමකින් බවත් මතයක් තිබෙනවා.

නැහැ, එය සාවද්‍ය මතයක් , ඕනෑම අයකුට ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් යා හැකියි.

එල්ටීටීඊ හෝ වේවා වෙනත් සංවිධානයක හෝ වේවා දේශපාලන සිරකරුවන් ලෙසයි ඔවුන් බන්ධනාගාර ගත කර ඇත්තේ. ඇතැම් අය අවුරුදු 15ක් 20ක් විතර බන්ධනාගාරයේ කිසිම නඩුවක් පවා නැතුව. මේ තත්ත්වයත් අපට අන්තර්ජාතික වශයෙන් බලපෑම් ඇති කරන්න සමත් වෙලා නේද?

අනිවාර්යෙන්ම ඒක පිළිගත යුතු වෙනවා. මේ වන විට එවන් පිරිස් කාණ්ඩ 3ක් යටතේ අප හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යොදමින් ඉන්නේ. එයින් පළමු කණ්ඩායම තවමත් නඩු අහමින් ඉන්න පිරිස, ඔවුන්ගේ නඩු ඉක්මනින් විභාග කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරමින් ඉන්නෙ. අනෙක් කණ්ඩායම නඩු අසා අවසන් කර සිර දඬුවම් විඳින අය. ඔවුන්ගෙන් මරණීය දණ්ඩනය ලබා නොදුන් සිරකරුවන් සම්බන්ධයෙන් දඬුවම් කාලය අඩු කිරීම සම්බන්ධව ඇති හැකියාව ගැන සොයා බලනවා. තුන්වන කාණ්ඩය වන්නේ තවමත් නඩු නොපවරා රක්ෂිත බන්ධනාගාරගතව ඉන්න අය. ඔවුන්ට කඩිනමින් නඩු පැවරීම හෝ නඩු පැවරීමට චෝදනා නැත්නම් කඩිනමින් නිදහස් කිරීම හෝ සිදු කරන්නට අප පියවර ගනිමින් ඉන්නේ.

ඔය කතාව යුද්ධයෙන් පස්සෙ පත් වුණු හැම අධිකරණ ඇමැතිවරයෙක්ම කිව්වා. නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරිවුණා. චෝදනා නැති අය අවුරුදු ගාණක්ම බන්ධනාගාරවල. ඔවුන්ට අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් පවා නැහැ. මේ තත්ත්වය ඩයස්පෝරාවට හොඳ තෝතැන්නක් නේද?

ඇත්ත, අපි කටින් කියවල විතරක් හරියන්නේ නැහැ. ක්‍රියාවෙන් එය පෙන්විය යුතුයි. එහෙම කළොත් විතරයි අන්තර්ජාතිකව අපට පිළිගැනීමක් ඇති වෙන්නෙ.

යෝජනාවට පක්ෂව සහාය දෙන රටවල් ඇත්තෙන්ම ඒ ගැන අධ්‍යයනයෙන් සහාය දෙනවා කියල ඔබ හිතනවද?

නැහැ, ඇත්තෙන්ම ඇතැම් බටහිර රටවල් මේ ක්‍රියා කරන්නේ මානව හිමිකම් රැකීමටම නොවන බවයි පෙනෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ මේ යෝජනාවලට සහාය දෙන රටවල් පවා භූ දේශපාලනික සබඳතා මතයි සහාය දෙන්නේ. උදාහරණයක් දෙනවා නම් දකුණු කොරියාව අපට පක්ෂව කතා කරල යෝජනාවන්ට පක්ෂව ඡන්දය දුන්නා. එයාලට අපත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන්ගේ ආරක්ෂක කටයුතු ඇත්තේ ඇමරිකාවත් එක්ක නිසා ඔවුන්ගේ යෝජනාවන්ට සහාය දුන්නා.

ඔබට හිතෙන්නේ නැද්ද අපේ රටේ පිහිටීම අනුව බටහිර රටවල් අද දණ ගස්වා ගැනීමක් වැනි කරුණකට අර අදින බවක්

එවැනි යමක් වන්නත් පුළුවන්. නමුත් අපට පුළුවන් අපේ පිහිටීම අනුව අපේ දියුණුව සලසා ගන්න, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් එලෙසින් කටයුතු කළා.

ඉදිරියේදී මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඔබ යෝජනා කරන ක්‍රමවේද මොනවාද?

අනිවාර්යෙන්ම 22 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහිදී යම් පමණකට බලය බෙදා හැරීමක් සිදුවෙනවා. එමෙන්ම විදෙස්ගතව ඉන්න මිලියන 1.2ක් වන අපේ වැසියන් සම්බන්ධ කරගෙන කටයුතු කිරීමට මහලේකම් කාර්යාලයක් ඇති කළ යුතු වෙනවා. ඒ හරහා ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකියි.

ඔබ මුදල් ඇමැතිවරයා ලෙසින් IMF සාකච්ඡාවන්ට සහභාගි වුණා. දැන් එහි තත්ත්වය ගැනත් පැහැදිලි කළොත් ?

IMF කියන්නෙ හරියට විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ. අපේ සියලු ප්‍රශ්නවලට ඒ හරහා උත්තර හොයන්න බැහැ. IMF එකෙන් කරන්නෙ මේ අර්බුදයෙන් ගොඩ එන්නෙ කෙහොමද කියල අපට කියා දෙන එකයි. ලෝකයේ අද සාර්ථක තැනක ඉන්න සියලු රටවල් එහි සාමාජිකත්වය ලබා තියෙනවා. ඇමරිකාව හා චීනයත් එහි සාමාජිකයන්. අපිත් සාමාජිකත්වය ලබා තියෙනවා.

IMF එකෙන් ලබා දෙන උපදෙස් පිළිගත්තොත් අපට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි.

ඒ උපදෙස් අපේ රටට කෙතරම් ඔරොත්තු දෙයි කියලද ඔබ හිතන්නේ.

අපේ රටේ ආදායම මෙන් තුන් ගුණයක් වියදම් වෙනවා. ඒ වගේම අප ලබාගත් ණය ආදායම් උත්පාදනයට යොදා ගෙන නැහැ. ඇතැම් රාජ්‍ය වයවසායකයන් ඩොලර් කෝටි ගණන් පාඩු ලබනවා. අපනයන ආර්ථිකය වැටිලා. මේ සියල්ල ඔවුන් අධ්‍යයනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ මෙන්ම ඒ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න අවශ්‍ය උපදෙස් ඔවුන් ලබා දෙයි. අප ඒ උපදෙස් පිළිගත්තොත් ගොඩ එන්න පුළුවන්. නැත්නම් අප වැටෙන නරාවල ගැන හිතා ගන්නවත් බැරි වෙයි.

IMF ගිය පමණින් සියලු ප්‍රශ්න විසඳෙයි කියලා සමහරු බල­ාපොරොත්තු වෙනවා. මේ මතයත් වැරැදියි නේද?

මම මුලින් කිව්ව වගේ IMF කියන්නෙ හරියට වෛද්‍යවරයෙක් වගේ අපිට ලෙඩක් හැදිල බෙහෙත් ගන්න ගියහම බේත් දෙනවා වගේම කියනවා ව්‍යායාම කරන්න, ආහාර පාලනය කරන්න කියලා, අපි පැයක් ව්‍යායාම කරන්න කිව්වහම විනාඩි 20ක් කරොත් නැත්නම් නොකර හිටියොත් මොකද වෙන්නෙ.

ඒ වගේම තමයි අනික් ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ වෙන්නෙ අපි මේ වන විට ණය ගෙවා ගන්න බැරි බංකොළොත් භාවයට පත් වෙලා ඉවරයිනෙ. ඒ තත්ත්වයෙන් මිදෙන්න අපි අන්තර්ජාතිකව කටයුතු කළ යුතුමයි. ඒ කියන්නෙ ණය අරගෙන නොගෙවා සිටියහම ක්‍රිබ් එකට ගියා වගේ දෙයක් දැන් වෙලා තියෙන්නෙ. අපට දැන් කිසිම තැනකින් ණය ගන්න විදිහක් නැහැ. ඒ නිසා අපට පිළිගැනීමක් ඇති කර ගත යුතුයි. ඒ සදහා IMF ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළොත් අපට පිළිගැනීමක් ඇති වේවි.

ඒ පිළිගැනීම හරහා රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි මාර්ග සකසා ගන්නේ කෙසේද?

IMF උපදෙස් අනුව අප කටයුතු කළහොත් අපට ඇතිවන පිළිගැනීම හරහා ආයෝජකයන් පැමිණේවි. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතනවල දායකත්වය අපට ලැබෙනවා. ඒ හරහා අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත හැකියි.

අප අමතක කළ යුතු නැහැ අපේ රටේ සමස්ත අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බව, ඒ වගේම සෞඛ්‍ය සේවාව නොමිලයේ ලබා දෙන බව. ඒ සුබසාධක කටයුතු කරන්න අපට ආදායම තියෙන්න ඕන. නැත්නම් මුදල් අච්චු ගහන්න ඕන. ඒ අච්චු ගැසීම නිසා තමයි උද්ධමනය ඉහළ යන්නේ. ලෝකෙ සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ලබා දෙන රටවල් අතේ ඇඟිලි ගණනටත් නැති තරම්.

අපට IMF ණය ලැබෙයි කියා ඔබ සිතනවාද?

එහිදී පළමු මට්ටමේදී තියෙන්නේ නිලධාරී මට්ටමේ සාකච්ඡා. ඒ සඳහා අප සහභාගි වුණා. එහිදී ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කුමනාකාරයෙන් බදු වැඩි කරගැනීම් සිදු කරන්නේද? වියදම් අඩු කර ගන්නේ කෙසේද දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට සහන සැලසීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ආකාරය මෙන්ම නාස්තිය දූෂණය වැළැක්වීම වැනි කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමෙන් පසු රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි.

ඉන් පසු බැංකු බහුජාතික ආයතන සමඟත් සාකච්ඡා කළ යුතු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සම්බන්ධ පිළිගැනීමක් පැමිණියහොත් එයින් පසුව අධ්‍යක්ෂ මණ්ඩල හමුවට යන්න අපට පුළුවන්. ඔවුන් තමයි තීරණය කරන්නේ අපට ණය ලබා දීම සම්බන්ධයෙන්.

මොකද අපේ රට එක්වරම බංකොළොත් භාවයට පත්වුණේ, අපේ රටේ හොඳ විදෙස් සංචිතයක් තිබුණා නේද?

ඔව්, 2019 අපි රජය බාරගන්නකොට ඇමෙරිකන් ඩොලර් මිලියන 7600ක ඩොලර් සංචිතයක් තිබුණා. ඒ සංඛ්‍යාව මිලියන 20ට බැස්සා.

ඒ තත්ත්වය මතද අප රට ණය ගෙවීමේ හැකියාව අඩු බවට මූල්‍ය වර්ගීකරණය වාර්තාවන්හි දැක්වුණේ.

අනිවාර්යෙන්ම ඒ වර්ගීකරණයන්ට හසු වෙනවා. ඔවුන් වාර්තාවක් එළි දැක්වූ විට අපි ඊට බැණ බැණ හිටියා මිසක් ඊට නිසි පිළියම් යෙදුවේ නැහැ. අවසානයේ IMF එකෙන් ජනවාරි මාසයේ කියා සිටියා අප රට ණය ගෙවීමට හැකියාව නැති රටක් බවට. ඒ වනතුරුම අප තේරුම් ගත්තේ නැහැ අප සිටින තත්ත්වය ගැන.

ඩොලර් මිලියන 7600 සිට මිලියන 20 දක්වා පහත වැටීමට කවුද වගකිව යුත්තේ?

ඊට වගකිව යුත්තේ සමස්ත පද්ධතියමයි. කාලාන්තරයක් තිස්සේ නිවැරැදි මූල්‍ය කළමනාකරණයක් නොතිබීම තමයි මේ සියල්ලටම හේතු වුයේ. ණය අරගෙන ආදායම් උත්පාදනය නොවන ව්‍යාපෘතීන්හි යෙදවීම වැනි නිවැරැදි ආර්ථික කළමනාකරණයකින් කටයුතු කර නැහැ.

ඒ තත්ත්වය දැන දැනත් ඇයි අපි කලින්ම IMF ගියේ නැත්තෙ?

ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ , අපි ගොඩ වෙදකම් කර කර හිටියා මිසක් විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගත්තේ නැහැ.

අපේ රටේ අපනයන ආර්ථිකය සැලකිය යුතු ලෙසින් පහළට ඇවිත් එයත් රටේ ආර්ථික අර්බුදයට හේතුවක් නේද?

ඔව්. 2001 වසරේ 31%ක් වූ අපනයන ආර්ථිකය අද වන විට 14.6%ක් දක්වා අඩු වෙලා තියෙන්නෙ. මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල අපනයන ආර්ථිකය 60%ක් වගේ ඉහළ මට්ටමක තියෙන්නෙ.

ඒ විතරක් නෙමෙයි කොවිඩ් වසංගතය හා යුක්රේන් යුද්ධය වැනි අපේ පාලනයෙන් තොර සිදුවීම් හරහාත් අපට බලපෑම් එල්ල වුණා. ඒ නිසා අත්‍යවශ්‍ය දේ දෙතුන් ගුණයකින් ඉහළ ගියා, ගල්අඟුරු, ඉන්ධන, ගෑස්, පොහොර මේ සියල්ල තුන් හතර ගුණයකින් මිල ඉහළ ගිහින්.

සේයාරූ - ගයාන් පුෂ්පික

 

 

Comments