අත රැක ගන්න මත දැන ගන්න රහස් හමු­වක් | සිළුමිණ

අත රැක ගන්න මත දැන ගන්න රහස් හමු­වක්

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සීත කාලගුණයක් තිබුණද දේශපාලන ලෝකය නම් හැම විටම උණුසුම් වන්නේ ඇති වන විවිධ අලුත් තත්ත්ව හේතුවෙනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවීමට ඔහුගේ පැරණි මිත්‍රයකු වන නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් පැමිණීම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා යළිත් දේශපාලන වේදිකාවට කළුතරින් එක්වීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයන් 9 දෙනා විසින් කොළඹදී එක්වීම ඇතුළු කරුණු දෙස දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමු විය.

 

මහින්ද සමඟ එක්ව නැඟිටිමු කළුතරින්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනි සිකුරාදා කළුතරදී පැවැත්වුණු “එක්ව නැඟිටිමු කළුතරින් පටන් ගනිමු” රැස්වීමට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වූයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සුපුරුදු ආකාරයට ජනතාව සමඟ එක්වී මීට සහභාගී වීම නිසාය.

“රනිල් දැන් යහ මඟට හැරිලා කියලයි විශ්වාස කරන්නේ” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිදු කළ කතාව ද බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබුණි.

 

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් මහින්දට ඇරයුම්

“එක්ව නැඟිටිමු - කළුතරින් පටන් ගනිමු” රැස්වීම සාර්ථකව කළුතරදී පැවැත් වීමත් ඊට විශාල පිරිසක් සහභාගී වීමත් නිසා එම රැලි මාලාව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම සඳහා මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වය ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා හමු වී ඉල්ලා ඇත.

මේ අනුව ඉදිරියේදී මහනුවර, කුරුණෑගල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයකම “එක්ව නැඟිටිමු” රැස්වීම් පැවැත්වීමට නියමිතය.

 

ආණ්ඩුවේ ඉන්න අතේ නව දෙනා කරන්න හදන්නේ මොනවාද?

මේ අතර වර්තමාන ආණ්ඩුවේ නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 9 දෙනාගේ කණ්ඩායමේ රහසිගත හමුවක් පසුගිය 12 වැනි බදාදා සවස 5.30ට පැවැත්වුණි. එය පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ කොළඹ පිහිටි ‍නිවෙසකදීය.

රහසිගත මෙහෙයුමක් පිළිබඳ මූලිකව සාකච්ජා කිරීම සඳහා මෙම සාකච්ජාව කැඳවා තිබුණු නිසා ඉතා රහසිගතව එම සාකච්ජාව සංවිධානය කර තිබුණි.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, සුරේන් රාඝවන්, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර යන පිරිස මෙම හමුවට පැමිණ සිටියහ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තයා‍ගේ නැට්ටක් වෙන්න කලින් අපේ පක්ෂය කොහොම හරි බේර ගන්න ඕන. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, දයාසිරියි, ශාන් විජේලාලුයි විතරයි” යනුවෙන් එක් නියෝජිතයකු කතාවට මුල පිරුවේය.

“දැන් බලන්න විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් කීයක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියලා. සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සංවිධානය, අනුර දිසානායක, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම් කීයක් තියෙනවාද? ඒකෙනුත් කුඩාම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක නිසා මේ වෙනකොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩාම කණ්ඩායම වෙලා ඉවරයි. ඒත් අපිට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත්කර ගන්න” යනුවෙන් තවත් නියෝජිතයකු විසින් පෙන්වා දෙන ලදී.

“ඔය මෛත්‍රීපාල මහත්තයයි දයාසිරි දෙන්නම ශ්‍රී ලංකා ‍නිදහස් පක්ෂයේ නෙවේනේ” යනුවෙන් තවත් එක් නියෝජිතයකු පැවසීය.

“ඇයි එහෙම කියන්නේ” අයකු විමසුවේ තරමක් පුදුමයට පත් වෙමිනි.

“ඇයි ඔය දෙන්නම එක්සත් ජාතික පක්ෂයට ගියානේ. දයාසිරි යූ. ඇන්. පී. එකෙන් ඡන්දෙ ඉල්ලුවා. මෛත්‍රී මහත්තයත් පොදු අපේක්ෂකයා වුණේ යූ. ඇන්. පී. එකේ ජනාධිපති අපේක්ෂකයා වුණාට පස්සෙනේ” යනුවෙන් තවත් නියෝජිතයකු කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගෙන ශක්තිමත් කර ගැනීමටත් ඒ පිළිබඳ සාකච්ජා කිරීමට ඉදිරියේදී යළිත් වරක් හමුවීමටත් මෙහිදී තීරණය කෙරිණි.

 

ජනපතිගේ කතාවෙන් කලබල වුණේ කවුද?

“මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා. එය කරන්න පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබුණොත් ජනමත විචාරණයකට යනවා.” ජනපති රනිල් ඉකුත් ඉරිදා නීතිඥවරුන්, ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් ඉදිරියේ කී දේ එසැණින් කර මත තබා ගත්තේ විපක්ෂ කණ්ඩායමය. ඔවුන් කියන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයා මැතිවරණ සිතියම හකුලන්නට සුදානම් වන බවය.

සඳුදා සිට ජනාධිපතිවරයාගේ දුරකතනයට නිවනක් නොවුණේ මේ ගැන විමසමින් දුරකතන ඇමතුම් ලැබීමට පටන් ගැනීමත් සමඟය. ඇමති මණ්ඩලයේදී ද මේ ගැන සමහර ඇමතිවරුන් විමසන්නට විය.

“සර් මැතිවරණය කල් දාන්න යනවා කියලා විපක්ෂයේ කට්ටිය දැන් බෝඩ් උස්සගෙන වටේම යනවා.” ඇමති මනූෂ කීවේ කැබිනෙට්ටුව අවසන්ව ජනපති අසලට ගිය අවස්ථාවේදීය.

විපක්ෂයට ඕන දේ ප්‍රසන්න කියයි

“මම කිව්වේ එකක්. එයාලා උස්සගෙන යන්නේ තව එකක්.” ජනපති කීවේ සිනහසෙමිනි.

“මිනිස්සුන්ට මේ වෙලාවේ ඕනෑ ඡන්දයක් නොවෙයි; වැටුණු ආර්ථිකය ගොඩ දාගන්න ක්‍රමයක්. විපක්ෂයට තමයි ඡන්ද ඕන වෙලා තියෙන්නේ.” ප්‍රසන්න රණතුංග ද ඌණ පූර්ණයක් එක් කළේය.

ඇමති මණ්ඩල රැස්වීමට පෙර සඳුදා දහවල් ජනපති රනිල් කටුනායක බලා පිටත්ව ගියේ යහපාලන රජය සමයේ වැඩ ආරම්භ කළ ඖෂධ නිෂ්පාදන කම්හලක් විවෘත කිරීමටය. එම උත්සවයට හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් සියලු දෙනාටම පාහේ ආරාධනා කර තිබුණි. උත්සවයේ ආරාධිතයකු ලෙස ගිය ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට අසුන් ගැනීමට වූවේ නිමල් සිරිපාල හා මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනා අතරය.

 

සාගල නිමල්ට හා මෛත්‍රීට මැදිව

“මටත් හොඳ තැනක් තමයි සංවිධායකවරු වෙන් කරලා තියෙන්නේ.” සාගල කීවේ සිනාසෙමිනි.

“ඇයි අපිත් එක්ක ඉඳගන්න කැමති නැද්ද” වැනි ප්‍රශ්නාර්ථයකින් යුතුව ඇමති නිමල් හා හිටපු ජනාධිපති මෛත්‍රී සාගල දෙස බැලීය.

“නෑ නෑ යූ. එන්. පී කාරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයෝ දෙන්නෙක් මැද වාඩි වෙන හින්දයි මම එහෙම කිව්වේ.” සාගල කී දේට දෙදෙනාටම සිනහව නවතා ගත නොහැකි විය. නියමිත අසුනේ අසුන් ගත් සාගල ඇමති නිමල් දෙසට හැරී කීවේ “මගේ එහා පැත්තේ ඉන්නේ ඔබතුමාගේ නායකතුමා” කියාය.

“ඔව් ඔව් එතුමා තාම මගේ පක්ෂේ තමයි. මම තමයි තාම එතුමගේ නායකයා.” යැයි හිටපු ජනාධිපති කියද්දී සැවොම කොක් හඬලා සිනාසුණහ.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස පැවැති ලෝක ශ්‍රේණිගත කිරීම පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස සලකා කටයුතු කිරීමට ගෙනා යෝජනාව සඳුදා පැවැති ඇමති මණ්ඩල රැස්වීමේදී අනුමත විය. යෝජනාව ඉදිරිපත් කරමින් ජනපති කීවේ මෙය කිසි ලෙසකින්වත් ලංකාව දිළිඳු රාජ්‍යයක් කියන තැනට යෑමක් නොවන බවය.

 

ජනපතිගෙන් ඇමතිවරුන්ට පණිවිඩයක්

“මේ කාරණයේදි රටට පැහැදිලිවම කියන්න ඕනෑ ලංකාව තවමත් මැදි ආදායම් ලබන රටක් කියන ස්ථානයෙන් වෙනස් වෙන්නේ නෑ කියන කාරණය. අපිට මෙතනින් වෙන වැදගත්ම වාසිය තමයි අඩු පොලී ණය මෙන්ම වෙනත් මූල්‍ය සහන ගන්න අවස්ථාව ලැබෙන එක. මේ පණිවුඩය රටට ගෙනියන්න.” ජනපති ඇමතිවරුන්ට පැහැදිලි කර දුන්නේ එලෙසිනි. අඟහරුවාදා ජනපති රනිල් එංගලන්ත විදේශ අමාත්‍යාංශයේ ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍යයන් සම්බන්ධ කර ගන්නා ආයතන අධ්‍යක්ෂ බෙන් මෙලර් හමුවිය. එම හමුවට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද එක්ව සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රමුඛ පක්ෂ නියෝජිතයන් එදින සවස ජනාධිපති හමු වූවේ පක්ෂ කටයුතු ගැන කතා කිරීමටය.

 

සිරිකොත කෝට්ටෙන් රාජගිරියට

“මම රට ගැන බලන්නම් ඔයාලා පක්ෂය ගැන බලන්න.” ජනාධිපතිවරයා සාකච්ඡාවට එක් වූයේ ඒ සුපුරුදු වදන් කියමිනි. මෙහිදි උපනායක අකිල අපූරු යෝජනාවක් ගෙන ආවේය. එනම්, රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගමය ස්ථාපිත භූමිය ආයෝජකයකුට බදු දී එහි මහල් ගණනාවකින් යුතු ගොඩනැඟිල්ලක් ඉදි කොට සිරිකොත පක්ෂ මූලස්ථානය එම ස්ථානයට ගෙන ආ යුතු බවය.

පක්ෂයේ මහලේකම් රංගේ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් යෝජනාවක් ජනපතිට එහිදී බාර දුන්නේය. ඉන් පසු පක්ෂය ගමට ගෙන යෑම හා පක්ෂ ප්‍රතිසංවිධානය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

“පක්ෂ සංවිධායකවරු එකට රැස් කරන්න කලින් තරුණ කණ්ඩායම්වලින්, වෘත්තීයවේදීන්ගෙන් 50 ක පමණ පිරිසක් එකතු කරගෙන ඔවුන් පුහුණු කරලා අලුත් කණ්ඩායමක් විදියට ඉස්සරහට ගෙන එමු. පළමුව ඒ අයට අපි ගැන කතා කරන්න ඉඩ දෙමු.” අකිලගේ යෝජනාවට සැවොම හිස සැලූහ. ආදායම් බදු ගැන මෙහිදී ද කතා බහක් ඇති විය. “ආදායම් බදු සංශෝධනය ගැන සාකච්ඡාවක් ආරම්භ වෙලා.” ශමල් සෙනරත් අලුත් කතාවක් ඇද ගත්තේය.

“ලෝකයේ දියුණු රටවල තියෙන්නේ සෘජු බදු මිසක් වක්‍ර බදු නොවෙයි. හැබැයි අපේ රටේ සෘජු බදුවලට වඩා තියෙන්නේ වක්‍ර බදු. සබන් කෑල්ලක් ගන්න ගියාම දුප්පත් මිනිහත් පොහොසත් මිනිහත් ගෙවන්නේ එකම බද්ද. වක්‍ර බදු වැඩි වුණාම වෙන්නේ මේක තමයි.” රුවන් කී විට සැවොම හූමිටි තැබූහ.

 

රනිල්ගේ පැරණි මිතුරා

බදාදා දිනය ජනපතිට ඉතා කාර්ය බහුල දිනයක් වූවේය. ඒ හමුවීම් හා සාකච්ඡාවන් ගණනාවක් එදින පැවැති බැවිනි. නෝර්වේ රාජ්‍යයේ හිටපු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මෙරටට පැමිණි අතර, ජනපතිගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ලෙස පත් කළේ ඔහු මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් පසුවය. එරික් සෝල්හයිම් ජනපති රනිල්ගේ පැරණි හොඳ මිතුරෙකි.

එරික් සෝල්හයිම් ඉන්පසුව මුණ ගැසුණේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද එහිදී තීන්දු කෙරිණ.

 

ගෙවල් අහිමි වූ මන්ත්‍රීවරුන්ගේ අවනඩුව

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය 12 වැනි බදාදා සවස 4.00ට පැවැත් වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු කිහිප දෙනකු සහ නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ 74 දෙනෙකු පමණ මෙම රැස්වීමට එක්ව සිටියහ.

මෙම හමුවේදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ ය.

“ ජනාධිපතිතුමනි, තාමත් අපිට අපේ විනාශ වුණු ගෙවල්වලට සාධාරණයක් ඉටුවෙලා නැහැ. රැස්වීම් කීයකට ආවද? මගේ ගෙදර ඇස්තමේන්තු‍වවත් තවම දීලා නැහැ. දැන් මාස 04ක් වෙනවා. අපි වැඩිපුර ඇස්තමේන්තු දාලා තියලා අපිට මඩ ගහනවා. ගෙවල් ගිනි තියන්න අනුබල දුන්නු කට්ටියම දැන් අපිට මඩ ගහනවා. අපිට ‍අපේ ගෙවල් ටික තිබුණු විදයටම හදල දුන්නම ඇති. අපිට වැඩිපුර කිසිම දෙයක් එපා” යනුවෙන් ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන විට අනෙකුත් මන්ත්‍රීවරු ද එම කතාව අනුමත කළහ.

‍මීට ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ගැටලුව කඩිනමින්ම විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම කටයුතුවලට අදාළ සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු ද පත්කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කළේය. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ මෙම මානුෂික ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරන බවයි.

 

අරගල කරන බව සජිත් කියයි

විපක්ෂ නායක සජිත් පසුගිය දින කිහිපයම ගත කළේ කොළඹින් පිටය. මහියංගණ, මහනුවර, අම්පාර වැනි ප්‍රදේශ වල ඔහු බල මණ්ඩල රැස්වීම් රැසකටම සහභාගී විය. සජිත් සහ බිරිය ජලනි විසින් සංවිධානය කරනු ලැබූ අටමහකුසල් සුපරිපූර්ණ කඨින පින්කම පැවැත් වුණේ මහියංගණ රජමහ විහාරයේ බැවින් ඒ කටයුතුවලට ද සහභාගි වීම පහසු වන පිණිස සජිත් එම ප්‍රදේශයට ආසන්න කොට්ඨාශවල බල මණ්ඩල රැස්වීම් සංවිධානය කරන්නට සංවිධායකවරුන්ට උපදෙස් දී තිබුණි.මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුදුම්බර, හේවාහැට, ගම්පොල වැනි ආසනවල බලමණ්ඩල ඇමතු සජිත් අනතුරුව මහියංගණය, හසලක, වියළුව, අම්පාර වැනි කොට්ඨාසවල ද බල මණ්ඩලය ඇමතුවේය.

ඒ බලමණ්ඩල හමුවලට සජිත් සමඟ සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත, ඉම්තියාස්, විජිතමුනි, චමින්ද විජේසිරි, මයන්ත දිසානායක ඇතුළු පිරිසක් ද එක් වූහ.සියලු බලමණ්ඩල හමු අතිශයින් සාර්ථක වූ අතර, ඒ සියල්ල ජනතාව පැමිණ සිටිනු දැකීම නිසා සජිත් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සිටියේ ඉමහත් ප්‍රබෝධයකිනි.

බොහෝ රැස්වීම්වලට සජිත් ගයන්ත සමඟම ආවේය.

"අපි දෙන්නම එකට පාර්ලිමේන්තු ආවේ. හැමදාම ගයන්ත කෙළින් තීරණ ගත්තා."

සජිත්, ගයන්ත පිළිබඳ එසේ කීවේ ලක්ෂ්මන් සෙනෙවිරත්නට ය.

"ප්‍රේමදාස ජනාධිපතිතුමා ගයන්තගේ හැකියාවන් මුල ඉඳලම දැක්කා. ඒක තමයි එච්චර පුංචි වයසකදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති කළේ." ලක්ෂ්මන් කීවේය.

"මේ ජන රැල්ල දැක්කම නම් ආණ්ඩුවට කලන්තෙ හැදෙනවා."එහෙම කිව්වේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.

"මේවා දැකල තමයි එක එක උප්පරවැට්ටි දාන්නෙ මැතිවරණ කල් දාන්න."විජිතමුණි සොයිසා කීවේය.

"ඒකට ඉඩ දෙන්න බැහැ. එහෙම වුණොත් අපි පාර්ලිමේන්තුව ඇතුළේ වගේම එළියෙත් අරගලය පටන් ගන්නවා."සජිත් කීවේය.

ආදීවාසීන්ට සජිත්ගෙන් තෑග්ගක්

බල මණ්ඩල රැස්වීම් අතරතුර සජිත් දඹාන ආදිවාසී ගම්මානයට ද ගියේය. එහි පැමිණි සජිත්ව මහත් හරසරින් පිළිගත්තේ ආදීවාසී නායක වන්නිලඇත්තෝ විසිනි. ඔවුන් සමඟ බොහෝ වේලා කතා කිරීමට ද සජිත් අමතක නොකළේය.

"අපි හරිත පක්ෂයක්. අපේ දේශපාලනය තියෙන්නේ සොබාදහමට කිට්ටුව. ආදිවාසීන් හැටියට ඔබතුමන්ලාට අවශ්‍ය නිදහස සහතික විය යුතුයි. අපි මේ රටේ හැම හැම දෙනාටම දෑත් දිගු කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඔබතුමාලගේ ආදිවාසීන්ගෙන් කෙනෙක් පත් කිරීමට පත් කිරීමට තීරණය කරනවා."

සජිත් එහෙම පොරොන්දුවක් ලබා දුන්නේය. මේ වන විටත් ආදිවාසී තරුණයන් කිහිප දෙනෙකුම සමගි ජන බලවේගය සමඟ එක්ව විවිධ කටයුතුවලට දායක වෙමින් සිටී.

 

පලා බබා අපිට ඕන යනුවෙන් නියෝජ්‍ය කථානායක කියයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේ සන්නිවේදන ඒකකයට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් දකුණු පළාත් සභාවේ අඛණ්ඩ 20 වසරක ජනතා මෙහෙවර ගැන කතා කළේය. සාකච්ජාවෙන් පසුව එහි සිටි නිලධාරින් කියා සිටියේ පළාත් සභා සුදු අලියෙක් කියලා කිව්වට එමඟින් අති විශාල වැඩ කොටසක් සිදු වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ඉතා හොඳින් පෙන්වා දුන් බවයි.

“ඔය මං කිව්වේ ටිකයි. අධ්‍යාපන හා සෞඛ්‍ය පැත්තෙන් පමණක් අති විශාල වැඩ කොටසක් සිදු වෙනවා. ඒක දන්නේ පළාත් සභාවේ හිටපු කෙනෙක් විතරයි. එදා අපි ඉස්කෝලේ යන කාලේ නොතේරෙනකමට අපිත් පලා බබා අපිට එපා කියලා කෑ ගැහුවා. ඒක වැරදියි ඇත්තටම පලා බබා අපිට ඕන” යනුවෙන් අජිත් රාජපක්ෂ කියූ කතාවට සැවොම සිනාසුණහ.

 

රනිල් අභියෝගය බාර නොගත්ත නම් වෙන දේ වජිර කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වෘත්තියවේදීන් අතර හමුවක් පසුගිය ඉරිදා උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වෘත්තියවේදීන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ මෙම හමුවට, එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය තිලක් මාරපන ද සහභාගී වූහ.

රටේ පවතින වර්තමාන ආර්ථික අර්බූදය විසඳා ගැනීමට ගෙන ඇති පියවර මෙන්ම රටේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කිරීම, ප්‍රාදේශීය සහා, නගර සභා හා මහනගර සභාවල මන්ත්‍රීවරුන් 8,000 සිට 4,000 දක්වා අඩු කර “ජනසභා” ක්‍රමය ඇති කිරීම ගැනත්, මෙහිදී ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් අදහස් ප්‍රකාශ කළේය.

සාකච්ඡාව අවසන් වූ පසු, මේ හමුව සඳහා සහභාගී වී සිටි, “රකිමු ජයතු ලංකා” සංවිධානයේ වෘත්තීයවේදීන් පිරිසක් එ.ජා.ප.යේ සභාපති වජිර අබේවර්ධන මුණගැසී කෙටි කතා බහක නිරත වූහ.

එහිදී කතාවට මුලපිරූ එක් වෘත්තියවේදීයෙක් ජනාධිපතිතුමා කියූ කාරණාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළේය.

“වජිර ඇමැතිතුමා නිතරම කියනවා වගේ ජනාධිපතිතුමාට තිබෙන දැනුමෙන්, පළපුරුද්දෙන් සහ අත්දැකීම්වලින් රටක් වශයෙන් අප ප්‍රයෝජන ගත යුතුයි. මම නම් එතුමා ගෙන යන වැඩපිළිවෙළට සීයයට සීයක්ම එකඟයි ” යැයි ඔහු පැවසීය.

වෘත්තීයවේදීන්ගේ හඬට සවන් දුන් වජිර අනතුරුව මෙසේ ප්‍රකාශ කළේය.

“ඔබතුමන්ලා කියපු සියලු කරුණු කාරණවලට මමත් එකඟයි. වෘත්තියවේදීන් වශයෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම ගැන මම ඔබතුමන්ලට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ලා කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය බාර නොගත්තා නම් අද වන විට රට කොයි තැනක තියේවිද කියල හිතා ගන්නවත් බැහැ. එතුමා ගෙන යන වැඩපිළිවෙළ ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතු වෙනවා. රජයක් වෙනස් වුණත්, ඇමැතිවරු මාරු වුණත්, ඇමැතිවරු නොසිටියත් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙනවා. එවන් ශක්තිමත් පදනමක සිට කටයුතු කරන්නේ නම් අපට පහසුවෙන් ජාත්‍යන්තරය ජය ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අප බෙදී වෙන්වී, අසමගියෙන් කටයුතු කළහොත් තවදුරටත් අප ඇද වැටේවි.” යනුවෙන් වජිර අබේවර්ධන කියා සිටියේය.

 

Comments