අනාගතයට යන මඟ සැකසෙන්නේ අතීතයේ පිය සටහන් තුළිනි. ඒ, අතීත අත්දැකීම් අනාගත අභියෝග ජය ගැනීමට අවැසි පන්නරය සහ ශක්තිය ලබා දෙන නිසාය. මේ වසරේ මැයි 9 වැනිදා මෙරට දේශපාලන සංස්කෘතිය විකෘතියක් බවට පත් කළ එක්තරා අඳුරු, අවාසනාවන්ත දිනයකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් එකී විකෘතියේ ගොදුරක් බවට පත් වූයේ ඔවුන්ගේ පෞද්ගලික දේපළවලට හානි කිරීමට ප්‍රචණ්ඩකාරීන් විසින් කටයුතු කිරීම හේතුවෙනි.
මැයි 9 වැනිදා රටම උඩු යටිකුරු කළ ප්‍රචණ්ඩකාරීන් ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික නිවාස සහ කාර්යාල සොය සොයා ගොස් ඒවාට අලාබ හානි කරන්නටත් ගිනි තබා විනාශ කරන්නටත් කටයුතු කළහ. එම සිදුවීම් දාමයේ ක්‍රෑරත්වය මනාව පසක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහමඟදීම ඝාතනයට ද ලක් විය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කැබිනට් ඇමති දුමින්ද දිසානායකට අයත් අනුරාධුර ගුවන්තොටුපොළ පෙදෙසේ පිහිටි නිවෙස ද ඉකුත් මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශයට පත්කරනු ලැබිණ. හිටපු ඇමති දුමින්ද දිසානායක ඒ මතක ආවර්ජනය කළේ මෙලෙසිනි.
“එදා අනුරාධපුරේ අපේ ගෙදර අපි කවුරුත් හිටියේ නැහැ. මගේ මල්ලිගේ බිරියට දරුවා ලැබිලා අපි කොළඹ ඇවිත් හිටියේ. අම්මාත් හිටියේ අපි එක්කයි. අපි කවුරුත්ම නැති අතරේ තමයි ගේ ගිනි තැබීමේ සිද්ධිය වෙලා තිබුණේ. අපේ පවුලේ දේශපාලනය කළේ මමයි තාත්තයි විතරයි. දැන් තාත්තා ජීවතුන් අතර නැති නිසා මම විතරයි දේශපාලනයේ නිරත වෙලා ඉන්නේ. නමුත් ගිනි තියපු ගෙදර තාත්තවත් මමවත් හදපු එකක් නෙවෙයි. මගේ සීයා, අම්මගේ තාත්තා හදපු, අවුරුදු 70ක් විතර පැරණි නිවෙසක්. ගින්නෙන් ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගෙදරට දකුණු පැත්තෙන් මම අලුතින් හදපු ලොකු හෝල් එකක් තිබුණා. පුටු දෙදාහක් විතර දාන්න ඉඩ පහසුකම් තියෙන ඒ ශාලාව රැස්වීම් ශාලාවක් විදිහටයි පාවිච්චි කළේ. ඒ පුටු සේරමත් එක්ක ඒ ශාලාවටත් ගිනි තියලා තිබුණා. ඒකේ වහලය සම්පූර්ණයෙන්ම විනාශයි. ගෙදර තිබුණු කිසිම දෙයක් ඉතිරි නොවෙන්නම තමයි ගිනි තියලා තිබුණේ. පස්සේ මම ඒ ගෙදර සම්පූර්ණයෙන්ම කඩලා ඉවත් කළා. මොකද එකේ ගන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.මගේ සීයාගේ, තාත්තගේ මතක සමරුම්, සීයාගෙන් අපිට ලැබුණු දේවල්, අපේ වටිනා ලිපි ලේඛන, මගේ අම්මගේ රත්තරන් බඩු, ඒ සියලුම දේවල් ගින්නෙන් විනාශ වුණා. ඒ සිදු වුණු අලාභය කොපමණද කියලා තවම හරියටම තක්සේරු කරලා නැහැ. ගිනි තියපු ගෙදරට ඉදිරිපසින් කාමර දෙකක පොඩි කොටසක් තියෙනවා. ඒකටත් එදා ගිනි තියලා තිබුණත් වාසනාවකට වගේ ඒ ගින්න නිවාගන්න පුළුවන් වෙලා තිබුණා. දැන් මම ජීවත් වෙන්නේ එතැන. ”
මැයි 9 වැනිදා රට පුරා සිදු වූ මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ දේශපාලඥයන් පැවසුවේ එකී විනාශය වැළැක්වීම සඳහා පොලිසියෙන් නිසි මැදිහත් වීමක් නොලැබුණු බවය. ඒ පිළිබඳ ද අප හිටපු ඇමති දුමින්ද දිසානායකගෙන් විමසුවෙමු.
“පොලිසිය බලාගෙන හිටියා මිසක් ඒ විනාශය වළක්වන්න උත්සාහ නොගත් බවක් තමයි මටත් වාර්තා වුණේ. ඔවුන්ට ඒ සඳහා ඉහළින් උපදෙස් ලැබිලා තිබුණේ නැහැ කියලත් දැනගන්න ලැබුණා. මේක මට පමණක් සිදු වූ හුදෙකලා සිදුවීමක් නෙවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදු වූ මේ සියලුම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිද්ධිවලට සම්බන්ධ වුණේ එක කණ්ඩායමක්. ඔවුන් පෙළපාළියක් විදිහට ඇවිත් මහාචාර්ය චන්න ජයසුමනගේ ගෙදර ගිනි තියලා පටන් ගත්තු විනාශය තමයි මේ තරම් දුරට ආවේ.
මේක අරගලයට සම්බන්ධ වුණු, අරගලයේ සැබෑ අරමුණ තේරුම් නොගත්, අරගලය තුළින් බලය ලබාගන්න බලාපොරොත්තු වූ කණ්ඩායමක් මේ සිදුවීම් දාමයට නායකත්වය දුන් බව තමයි මගේ විශ්වාසය. අරගලයේ සැබෑ අරමුණ තේරුම් ගත්තත් නායකත්වයක් නොමැතිව සිටි පිරිසකුත් ඔවුන් පිටුපස ඇවිත් මේ විනාශය සිදු කරනතුරු පාරේ ඉඳන් බලාගෙන හිටියා. එහෙම බලද්දි අරගලයේ නිරත හොඳ අයයි නරක අයයි සේරම මේ සිදුවීම පිටුපස ඉන්නවා. ”හිටපු ඇමති දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔවුන් ඇප මත නිදහස් වී ඇති බවත්ය. වසර 22ක් තිස්සේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වන, දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු අතර සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා මෙන්ම අවස්ථා කිහිපයකදීම කැබිනට් ඇමති ධුර දැරූ හිටපු ඇමති දුමින්ද දිසානායක සිය දේශපාලන ජීවිතය තුළ මෙවැනි සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.
“අපේ පරම්පරාවේ තියා තාත්තගේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ වගේ සිදුවීමකට මීට පෙර මුහුණ දීලා නැහැ. මීට පෙර අපි හර්තාල්, කැරලි, උද්ඝෝෂණ ඕනේ තරම් දැකලා තියෙනවා. නමුත් මේ වගේ දේශපාලඥයන් ඉලක්ක කරගනිමින් එක රැයකින් මේ වගේ විශාල විනාශයක් කරපු සංවිධානාත්මක අපරාධයක් මගේ සීයාගේ පරම්පරාවේ කෙනෙක්වත් දැකලා නැතිව ඇති. මේ සිදුවීම පෞද්ගලිකව අපිට සිදු වුණ අලාභයක් විතරක්ම නෙවෙයි. අපේ පාක්ෂිකයන්ට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පක්ෂවලට අයත් අපේ ගේ ගිනි තැබීම ගැන කනගාටු වුණා, දුක් වුණා. මොකද අපි මැතිවරණයකදී එක පක්ෂයකට දේශපාලනය කළාට හැමෝම සමඟ සුහදත්වයෙන් හිටපු පවුලක්.
අපි දේශපාලනය කරන්නේ මැතිවරණයේදී පමණයි. එහෙම නැත්නම් අපි සියලු දෙනාම මනුෂ්‍යත්වයෙන් එකට හිටියා. ඒ වගේම මේ විනාශය කළ කිසිම කෙනෙක් ගැන මගේ තරහක්, වෛරයක් නැහැ. ගෙදරට ගිනි තියලා මාසෙකට පස්සේ ලබපු පොසොන් පෝය දවසේ මම මේ ගේ ගිනි තියපු තැනම බත් දන්සලත් පැවැත්වුවා. ඒ බත් දන්සල මම අවුරුදු 9ක් තිස්සේ දිගටම පවත්වාගෙන ආව එකක්. ඉතින් ගේ ගිනි තිබ්බා කියලා ඒක නතර කරන්න මට ඕන වුණේ නැහැ.
ඇමතිවරයා විසින් ගිනිගත් සිය නිවෙස බැලීමට ගිය අවස්ථාව |
ඒ වගේම කවුරු මොනවා කළත් නැවත ගේ ගිනි තිබ්බත් මගේ දේශපාලන ගමන, මගේ ප්‍රතිපත්ති සහ මගේ තාත්තා ඇතුළු පරම්පරාවෙන් පවුලෙන් ලැබුණු වැදගත්කම, ගෞරවය, කීර්තිය සහ ජනතාවගේ ආදරය ඒ කිසිවක් ගිනි තියලා විනාශ කරන්න බෑ කියන පණිවිඩය දෙන්නත් මට අවශ්‍ය වුණා. ඒ නිසා ඒ දන්සල දෙන්න ලැබුණු එක ගැන මම සතුටු වෙනවා. එදා අපේ ගේ ගිනි තියන්න ආව අය, ඔවුන්ට උදවු කරපු අය, ගේ ගිනි තියන්න තෙල් දීපු අය, පෙළපාලි ආව අය වගේම ගේ ගිනි ගන්නකොට කරගන්න දෙයක් නැතිව බලාගෙන හිටපු හැම දෙනාම ඒ දන්සලෙන් බත් කාලා ගියා. අඩුම ගානේ අවසාන බත් කට කද්දි හරි තමන් කළේ අපරාධයක් නේද කියලා ඔවුන්ටම වැටහෙන්න ඇති කියලත් මට හිතෙනවා. ”
හිටපු ඇමතිවරයා එවදන් පැවසුවේ උපේක්ෂා සහගතවය. පරිණත දේශපාලඥයකු ලෙස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිය නම සනිටුහන් කළ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ සමාජ සේවා ඇමතිවරයා ද ලෙස කටයුතු කළ දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක ගේ පුතුන් සිවු දෙනාගෙන් වැඩිමහල් දරුවා වන්නේ දුමින්ද දිසානායක ය. මව, වෘත්තියෙන් ගුරුවරියක වූ ජයනි දිසානායක ය. වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දුමින්ද දිසානායකට දේශපාලනය පිළිබඳ ආභාසය ලැබෙන්නේ කුඩා වියේ සිටය.
“ මට වයස අවුරුදු දහයේ ඉඳන් මගේ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී. පුංචි කාලේ ඉඳන්ම මම දැක්කේ අපේ ගෙදර මහජනතාව රැස්වෙන, මහජනතාවට උදවු කරන තැනක් විදිහටයි. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න දේශපාලනයට එන්න මගේ හිතේ ආශාවක් තිබුණා. ඒ නිසාම තමයි 2000 වසරේදී මම ලංකාවේ ළාබාලතම මන්ත්‍රීවරයා විදිහට අවුරුදු 21න් පාර්ලිමේන්තුවට ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්. මට කලින් ඒ වාර්තාව තියලා තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා අවුරුදු 24න් පාර්ලිමේන්තුවට පත්වුණේ. මම කැඩුව ඒ වාර්තාව තවම කවුරුත් කඩලා නැහැ. ”
එලෙස ඇරඹි දේශපාලන ගමන තුළ අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මෙන්ම අවස්ථා කිහිපයකදීම කැබිනට් සහ කැබිනට් නොවන ඇමති ධුර, නියෝජ්‍ය ඇමති ධුර සහ රාජ්‍ය ඇමති ධුරයක් ද දරමින් සිය දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට දුමින්ද දිසානායක සමත් විය.
මැයි 9 වැනිදා මුහුණ දුන් අඳුරු සිදුවීම ඔහුගේ දේශපාලන ජීවිතයට කෙබඳු බලපෑමක් කරනු ඇත්දැයි විමසුවෙමි.
“පැහැදිලිවම ඒ සිදුවීම නිසා මට දේශපාලනය ගැන කලකිරීමක් ඇති වුණේ නැහැ. එක අතකින් මේ සිදු වුණු දේ හොඳයි කියලා මට හිතෙනවා. මේ රටේ සමහර දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ඉදිරියට දාගෙන කතාබහ කළාට එයාලා හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීම බව බහුතර පිරිසකට තේරුම් ගන්න ලැබුණු අවස්ථාවක් විදිහටයි මම මෙය දකින්නේ. මහජනතාව සහ පොදු කාරණා ඉදිරියට දාගෙන ඡන්දයකින් බලයට පත්වෙන්න බැරි පිරිසක් කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක්. ගෝල්ෆේස් අරගලයේදිත් අපි මේ දේ දැක්කා.
නමුත් ඔවුන් බොහොම ආඩම්බරයෙන් කතා කළා ඔවුන් බොහොම නිවැරදියි, ඔවුන් හැර අනිත් සියලු දෙනාම හොරු කණ්ඩායමක් කියලා. නමුත් මේ විනාශය අපට පෞද්ගලිකව සිදු වූ දෙයක් වුණත් රට ඉදිරියේ ඔවුන්ගේ නිරුවත හෙළිවුණා වගේ දෙයක් තමයි මේ සිදුවීමෙන් වුණේ. ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක්ද කියන එක තේරුම් ගන්න රටේ ජනතාවට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ වගේම නූපන් අනාගත පරපුරටත් ඔවුන්ගේ ඉතිහාසය ආපස්සට පෙරළා බලන්න ලැබුණු අවස්ථාවක් විදිහට මේ සිදුවීම් ඉතිහාසයේ ලියවෙයි. මොකද ඉතිහාසය පුරාම ඔවුන් උත්සාහ කරලා තියෙන්නේ විනාශකාරී දේවල් තුළින් කෙසේ හෝ බලය ලබාගැනීමටයි. ජනතාවට ඒ බව අවබෝධ කරගන්න ලැබීම ගැන දේශපාලඥයෙක් විදිහට මම සතුටු වෙනවා.
මේ වගේ සිදුවීම්වලින් මම සැලෙන්නේ නැහැ. මොකද තාත්තා වගේම මමත් දේශපාලනය කළේ ගෙවල් දොරවල් හදාගෙන, තනතුරු තානාන්තර ගන්න නෙවෙයි. මේ ගිනි තියලා විනාශ කරපු ගේ හැදුවට පස්සේ ආයෙමත් ගිනි තිබ්බත් මගේ දේශපාලන ගමන එයින් නතර කරන්න බැරි බවත් පැහැදිලිවම කිව යුතුයි.”
ඔහුගේ වදන් ස්ථිරසාරය.ඒ, දශක දෙකකට අධික දේශපාලන ජීවිතයේ අත්දැකීම් තුළින් ඔහු ලැබූ පන්නරයේ ශක්තියයි. සිය ඉදිරි දේශපාලන සැලසුම් ගැන හිටපු ඇමති දුමින්ද දිසානායක මෙසේ කීවේය.
“ආර්ථික වශයෙන් රට ඉතා නරක තැනකට වැටිලා තියෙන අවස්ථාවක අපට පෞද්ගලිකව දේශපාලන ගමනක් ගැන හිතන්න බැහැ.
නිදහසින් පසු ගතවූ අවුරුදු 74 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු ඇතුළත්ව අපි තමයි වැඩිම කාලයක් රට පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාටම ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා. දැන් කළ යුත්තේ සිදු වෙලා තියෙන දේ මුල, මැද ,අග ඉන්නේ කවුද කියලා සෙවීම නෙවෙයි.
මේ වෙලාවේ අපිට බලය දෙන්න, අපි කරන්නම් කියනවාට වැඩිය හැම පක්ෂයක්ම එකතු වෙලා මේ රට නැඟිටුවන්න කටයුතු කළොත් අන්තර්ජාතික වශයෙන් පවා අපේ රට ගැන හොඳ පිළිගැනීමක්, විශ්වාසයක් ඇති වෙනවා ලංකාවේ දැන් පක්ෂ, පාට භේද නැහැ, ලංකාවට අපි උදවු කළ යුතුයි කියලා. ඒ නිසයි අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන යෝජනා කළේ. ඇතැම් දේශපාලන පක්ෂවලට සහ දේශපාලඥයන්ට ඒ දේ තේරුම් ගන්න බැරිවුණත් ඉදිරියේදී මේ ගැන හැඟීමක් තියෙන තරුණ පිරිස හෝ එකතු වෙලා මේ රට නැඟිටුවන්න නායකත්වය දෙයි කියලා අපි විශ්වාස කරනවා”