චන්ද්‍රිකා ගැන රාජිත ජී.එල්ට කියූ උණු­සුම් කතාව | සිළුමිණ

චන්ද්‍රිකා ගැන රාජිත ජී.එල්ට කියූ උණු­සුම් කතාව

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල නායකයකු මෙන්ම ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ විශේෂ දේශනයක් සඳහාය. ඔහු මෙරට දේශපාලඥයන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර රාජපක්ෂවරුන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබිණ. සුබ්‍රමනියම් ස්වාමි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී දීර්ඝ වේලාවක් කතාබස් කළේය. ඊට අමතරව ඔහුගේ පැරණි මිතුරකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද හමුවීමට අමතක නොකළේය. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඔහු හමුවී ඉතිහාසගත සිද්ධි හා වර්තමානය සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ස්වාමි දීර්ඝ වේලාවක් කතාබස් කොට තිබිණි.

 

මහින්ද ගැන සුබ්‍රමනියම් ස්වාමි කියූ රහස

 

මෙරටට පැමිණ සිටි ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ශිව රාත්‍රී උත්සවයකට ද සහභාගි විය. එහිදී කොළඹ සිටින තමාගේ පැරණි මිතුරන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමඟ කතාබස් කළ සුබ්‍රමයිනම් ස්වාමි කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මනසින් ඉතාමත්ම ශක්තිවන්ත පුද්ගලයකු බවයි. “මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන නායකත්වය නිසා තමයි ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය වන කොටි සංවිධානය පරාජය කිරීමට හැකි වුණේ. ඒ වෙලාවේ කෙතරම් බලපෑම් එල්ල කළාද යුද්ධය නවත්තන්න. නමුත් ඔහු ඒක කළේ නැහැ. ඔහු කාටවත් බය නැති නායකයෙක්.” යනුවෙන් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහින්ද රාජපක්ෂයන් සම්බන්ධයෙන් රහසක් හෙළි කළේය.

 

ජපානයේදී රනිල්ට පැරණි මිතුරෙක් හමු වෙයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සති අන්තයේ ජපානයේ සහ පිලිපීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේ රාජකාරී කටයුත්තක් වෙනුවෙනි. ඒ ඔහුගේ දිගු කාලීන මිතුරකු වූ ජපානයේ හිටපු අගමැති ෂින්ෂියෝ අබේගේ අවමඟුලට සහභාගි වීමටය. කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙරටට හිමි වුණේ ෂින්ෂියෝ අබේ ජපාන අගමැතිධූරයේ සිටියදීය. අබේ අගමැතිවරයා ජනපති රනිල්ගේ සමීප මිතුරකු වූ බැවින් එවක අගමැති රනිල් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය රටට හිමි විය. ජපානයට යාමට පෙර ජනාධිපති රනිල්ට තවත් පැරණි විදේශ මිතුරකු හමුවීමට අවස්ථාව උදා වූවේය. ඒ රෝමයේ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සින්ඩි මැකේන් හා පැවැති හමුවය. ආගිය තොරතුරු කතා කිරීමෙන් පසුව රටේ අවශ්‍යතාව ජනාධිපතිවරයා හෙළි කළ අතර රටට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට ඇය පොරොන්දු වූවාය.

 

රනිල් සිංගප්පූරුවේ පැය 06ක්

 

ජපානය බලා සාමාන්‍ය මගී ගුවන් යානයකින් පිටත්ව ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ගමනාන්තයට යාමට සිදුව තිබුණේ සිංගප්පූරුව හරහාය. සිංගප්පූරුවේ සිට ජපානයේ ටෝකියෝ නුවරට යන ගුවන් යානය පැමිණෙන තෙක් පැය 6ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට සිදුවූ බැවින් ඔහු ඒ කාලය ගත කළේ සිංගප්පූරු විදේශ ඇමතිවරයා ඇතුළු පිරිස මුණ ගැසීමටය. සිංගප්පූරු විදේශ ඇමතිවරයා දිවා භෝජන සංග්‍රයක් ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ අතර ජනාධිපති රනිල් ඇතුළු දූත පිරිස ඊට සහභාගී වූහ. මේ අවස්ථාවට දෙපාර්ශ්වයේ ව්‍යාපාරික මිතුරන් පිරිසක් ද එක්ව සිටියහ. දිවා භෝජනයෙන් පසු ජනපති ඇතුළු පිරිස ගියේ ජපානයේ ටෝකියෝ නුවර වෙතය. එහිදී සිංගප්පූරු අගමැතිවරයා ද මුණ ගැසී සාකච්ඡා කිරීමට ජනපති රනිල්ට අවස්ථාව උදා විය.

“අපේ දීර්ඝ කාලීන මිතුරකු වූ ලංකාව දියුණු රටක් කරන්න ඔබ ගෙනියන වැඩපිළිවෙළට අපි සහාය දෙනවා.” සිංගප්පූරු අගමැතිවරයාගේ පිළතුරු දුන්නේ ජනපතිගේ පැහැදිලි කිරීම අවසානයේය.

ජපානයේ දී ජනාධිපතිවරයා ඉතා කාර්ය බහුල විය. දින දෙකක සංචාරයක් බැවින් ඔහුට මුණ ගැසීමට ඇති පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ විය. “උදේ 6.30 ට පටන් ගත්තම රාත්‍රී 10.00 වෙනකම් මීටින්.” ජනාධිපතිවරයා කොළඹ සිටින රජයේ නිලධාරියෙකුට දුරකථනයෙන් දැනුම් දුන්නේ සිය කාර්ය බහුලත්වය සිහිපත් කරමිනි. ජනපති රනිල් කොළඹින් පිටත්වන විට විශේෂ කටයුතු දෙකක් ඉටු කළේය. ඉන් එකක් වූවේ අධි ආරක්ෂිත කලාප නම් කිරීමය. දෙවන කටයුත්ත ලෙස ජනාධිපතිගේ විෂයයන් ආවරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමය.

ජනාධිපතිවරයා විදේශගත වූ පසු මේ ගැන විමසමින් වැඩිම දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබුණේ ජනපති ලේකම් සමන් ඒකනායකට ය.

“සර් ආර්ථිකය පැත්තෙන් උද්ඝෝෂණ, පෙළපාළි තියන එක හොඳ දෙයක් නොවන බව ඇත්ත. හැබැයි මෙතනින් ආර්ථිකයට වෙනත් පැත්තකින් අර්බුදයක් මතු වෙන්න පුළුවන්.” ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් ජනපති ලේකම්ට කීවේය. ඉන්පසුව ජනාධිපති ලේකම්වරයා විසින් මෙය ජනාධිපතිවරයාට පැහැදිලි කර දුන්නේය. එසේම තවත් විශේෂඥයන් පිරිසක් විසින් සෘජුවම ජනපති රනිල් අමතා කියා තිබුණේ කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් මෙයින් ඇතිවිය හැකි බවය. වහාම මේ ගැන විමසන ලෙස ජනපති රනිල් ලේකම් සමන් ඒකනායකට දැනුම් දුන්නේය

 

නීතිපති වෙත යොමු නොකර ජනපතිගේ අත්සන ගත් හැටි

 

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කරුණු සොයා බලද්දී දැන ගන්නට ලැබුණේ නීතිපතිවරයා වෙත යොමු නොකර මෙම ගැසට් පත්‍රය ජනාධිපතිවරයා වෙත යොමු කර අත්සන ලබාගෙන ඇති බවකි. ගැසට් පත්‍රය නිකුත් කළ යුතු පනත වෙනුවට වෙනත් පනතකින් ගැසට් පත්‍රය නිකුත් කර අති බවට ද හෙළිවූ බැවින් එම කරුණු ද ලේකම්වරයා විසින් ජපානයේ සිටි ජනපති රනිල්ව දැනුම්වත් කළේ ඒ ක්ෂණයෙනි.

වහාම මෙම ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේ ඒ අනුවය. අධි ආරක්ෂිත කළාප ගැසට්ටුව ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා පෙරළා මෙරටට පැමිණි පසු අදාළ කටයුතු කිරීමට නියමිතය. ජපානයේ සිටි ජනාධිපතිවරයාට කොළඹින් ලැබුණු තවත් දුරකථන පණිවුඩයකින් කියවුණේ තොටළඟ කජීමාවත්තේ නිවාස ගිනි ගැනීමක් ගැනය. එම මොහොතේම ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දුරකතන ඇමතුමක් ලබා ගනිමින් ඔහු කීවේ වහාම ඒ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සලසන ලෙසය.

 

මෝදි රනිල්ට ජපානයේදී කීවේ මොනවාද?

 

ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවසන් කටයුතුවලට සහභාගී වීමෙන් පසුව ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයන් රැසක් මුණ ගැසීමට අවස්ථාව උදා වූවේය. ඒ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහාය ලබා දෙන බව ඔහු කීවේ එම හමුවේදිය.

ජපාන අගමැතිවරයා හමුවූ ජනාධිපතිවරයා ජපන් සංචාරය නිමවා කෙළින්ම ගියේ පිලිපීනය වෙතය. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවේ මුලසුන ගැනීමටය. එහිදි පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසුණු ජනපති රනිල් පෙරළා ලංකාවට පැමිණියේ 01 දා අලුයමය.

 

රුවන් දේශගුණික විපර්යාසවලට මැදි වෙයි

 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ දිනවල දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සාකච්ඡා රැසකට සහභාගි වී සිටින්නේ ඔහුට ජනාධිපතිවරයාගෙන් ලද උපදේශක තනතුරට අදාළ වය.

හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් ද මේ කටයුත්ත වෙනුවෙන් රුවන් විජයවර්ධනට සහාය ලබා දෙමින් සිටියි. දේශගුණික අවදානම් සංසදයේ දූත පිරිසක් ද මේ වන විට ලංකාවට පැමිණ සිටින බැවින් ඔවුන් ද සම්බන්ධ කර ගනිමින් ලංකාව වෙනුවෙන් දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සකස් කිරීමට අදාළව සාකච්ඡා වට ගණනාවක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

 

සජිත්ලාගේ රැස්වීමකට ඩලස්ලාත් යති

 

සමඟි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම් මේ දිනවල පැවැත්වේ. ඒ සඳහා විපක්ෂයේ ඇතැම් පක්ෂ සාමාජිකයන් ද සහභාගි වීම විශේෂත්වයකි.

සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එක් රැස්වීමකට දොස්තර රාජිත සේනාරත්න, එස්.එම්. මරික්කාර් ඇතුළු සජබ මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වූහ.

මෙම කළමනාකරණ කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ පාර්ශ්වයේ දෙදෙනෙක්ද එක්ව සිටීම විශේෂත්වයකි. මහාචාර්ය ජී.එල‍්. පීරිස් හා මහාචාර්ය චරිත හේරත් එම දෙදෙනායි. මෙහිදී 2000 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ කාලයේදී ගෙන එන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතාබහ කෙරිණ. “2000 හිදී චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ නව ව්‍යවස්ථාවක් ගෙන ආවා. ඒක සාර්ථකව කළා නම් එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තිබුණා. මේ ජී.එල්. පීරිස් මහාචාර්යතුමා නිසා තමයි ඒ වැඩේ එදා කරගන්න බැරි වුණේ” යනුවෙන් දොස්තර රාජිත සේනාරත්ත පැහැදිලි කළේය.

ඒ සමඟම මඳක් කලබලයට පත්වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. “මන් එහෙම කළේ නැහැ. ඒක ඒ අවස්ථාවේදී කරන්න බැරි වුණේ මහා සංඝරත්නයෙන් උදව් හම්බ වුණේ නැති නිසයි” යනුවෙන් ජී.එල්. පිරිස් විසින් පිළිතුරු ලබා දෙන ලදී. ඊට වහාම ප්‍රතිචාර දැක්වූයේ රාජිතය. “ නැහැ. නැහැ. එහෙම කියන්න බැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රභල ඇමතිවරයෙක්. මේ ව්‍යවස්ථාවට විරුද්ධව හාමුදුරුවන් විරෝධතා කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇමතිවරයෙක් විදිහට හාමුදුරුවොත් එක්ක කතාබහ කරලා එකඟත්වයක් ලබා ගත්තා. ඒත් ඊට පස්සේ ඒ වැඩේ ඉදිරියට ගෙනියන්න ඔබතුමන්ලාට බැරි වුණා” යනුවෙන් ප්‍රකාශ කරමින් දොස්තර රාජිත සේනාරත්ත මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත බැලුවේය. නමුත් ඊට ජී.එල් ගෙන් ප්‍රතිචාරයක් නොවීය.

 

ප්‍රබලයන් 21ක් සමඟ අනුර කුමාර තරු පහේ හෝටලයක

 

ලෝක සංචාරක දිනය පසුගිය 27 වන දිනට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබුණි. ජාතික ජන බලවේගය ද මේ දිනයේදී සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට කටයුතු කර තිබුණේ ජාතික ජනබලවේගයේ නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

තමන් බලයට පැමිණියහොත් සංචාරක ව්‍යාපාරය දියුණු කර එය රටේ ආර්ථීකයට කේන්ද්‍ර කර ගන්නා ආකාරය අනුර කුමාර විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. කොළඹ තරු ‍පහේ හෝටලයක දී මෙම වැඩසටහන පැවැත්වුණු අතර සනත් උක්වත්ත, උදය නානායක්කාර, කිමාලි ප්‍රනාන්දු ඇතුළු මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයින් 21 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.

 

නාමල් ගමට බහී නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහිත අබේගුණවර්ධන ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පසුගියදා කොළඹදී පැවැත්විණ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකදී ගම දිනවිය හැකි සැලැස්මක් තමා සතු බවත් එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියාත් නාමල් රාජපක්ෂ විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. ග්‍රාමීය කමිටු ග්‍රාමීය විවිධ සමිති හා විවිධ ‍ක්ෂේත්‍ර නියෝජනය කරමින් ග්‍රාමීයව ගෙන්වා ගන්නා ලද ‍තොරතුරු ජාලයක් නාමල් විසින් ඉදිරිපත් කර අතර බො‍හෝ දෙනකු එම සැලැස්ම අනුමත කරමින් අදහස් දැක්වීය.

බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම බෝට්ටු සේවාව ආරම්භ කළ අතර සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව ද මෙය වේ.

මධුර විතානගේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිළිගැනීමට නියමිතව තිබුණි. නමුත් සිදුවූයේ අනෙකකි.

පාර්ලිමේන්තුවේ පැවති වැඩ කටයුත්තක් හේතුවෙන් මධුර විතාන‍ගේ මන්ත්‍රීවරයාට නියමිත වේලාවට එම අවස්ථාවට සහභාගි වීමට හැකිවූයේ නියමිත වේලාවට වඩා පැය භාගයක් පමණ ප්‍රමාද වීමෙනි. නමුත් අමාත්‍යවරයා නියමිත වේලාවටම දියත උයනට පැමිණ සිටියේය.

මෙහිදී ඇමති ප්‍රසන්න බුලත් අතක් දෙමින් මන්ත්‍රී මධුර විතානගේව පිළිගත්තේ “ මම අද ඔයාව පිළිගන්නවා” යැයි විහිළුවක්ද කරමිනි.

“පාර්ලිමේන්තුවේ වැඩක් තිබුණා සර්... ඒකයි පරක්කු වුණේ ”

තමාගේ වරද වටහාගත් මන්ත්‍රීවරයා තරමක ලැජ්ජාවෙන් කීවේය.

 

දියවන්නා ඔයේදී ප්‍රසන්නට අකරතැබ්බයක්

 

බෝට්ටු ධාවනයට පෙර ජීවිතාරක්ෂක කබා හැඳ ගැනීමේදී අකරතැබ්බකට මුහුණ දුන්නේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයායි.

ඇමතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ ජිවිතාරක්ෂක කබාය ඔහුගේ ශරීරයට වඩා තරමක් කුඩා විය. එබැවින් අමාත්‍යවරයා එම ජීවිතාරක්ෂක කබාය හැඳ ගත්තේ දැඩි අසීරුවෙනි. “ සර්ට වෙනම ජැකට් එකක් මහන්න වේවි.” එතන සිටි අයකු කීවේය.

“ජැකට් විතරක් නෙවෙයි වෙනම බෝට්ටුත් හදන්න වේවි” තවකකු කී කතාවට ඇමතිවරයාටද හිනාය.

“මේකනේ මල්ලි... ඇතෙක් වුණත් ලස්සන කඳ බඩ පිම්බිලා හැමෝටම පේන්න ඉන්නකොටයි. පරඬැලක් වගේ ඉන්නකොට කවුරුවත් බලන්නෙවත් නෑ” ඇමතිවරයාද හිනාවෙමින් කීවේය.

“ සර්.. අපි නම් ජිම් යනව..” තවකකු කීවේය.

“ කලබල වෙන්න එපා. මාත් දැන් ජොගින් යනවා. හොඳට එක්සයිස් කරනවා. ඉස්සරහට මගේ ඇඟෙත් සික්ස් පැක් මතු වේවි.” ඇමතිවරයා කී කතාවට මන්ත්‍රී මධුර ඇතුළු බෝට්ටුවේ සිටි සියල්ලෝම කොක්හඬ ලෑවේය.

 

ජපානයේ සිට ජනපතිගෙන් ප්‍රසන්නට හදිසි ඇමතුමක්

 

කජීමා වත්තේ ගින්න හටගෙන පැය භාගයක් ඉක්ම යන්නටත් මත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සිට ඇමති ප්‍රසන්නට දුරකථනයෙන් ඇමතීය. “ ප්‍රසන්න... කජීමාවත්තේ ගින්න ගැන හොයල බලන්න. ඔයා මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් කරන්න”.

ඒ අනුව ඇමතිවරයා මහ රෑම නාගරික සංවර්ධන අධිකාරියටත්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට හා අනෙකුත් නිලධාරීන්ට කතා කරමින් අවතැන් වූවන්ට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේය. එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වූවකි. එබැවින් ඇමතිවරයා වහාම කජීමා වත්තේ පදිංචි අය සම්බන්ධයෙන් වාර්තාවක්ද ගෙන්වා ගත්තේය.

එහිදී හෙළි වූයේ මෙම නිවාස පෙළ පසුගිය වසර එකහමාර ඇතුළත තුන්වරක් ගිනි ගැනීමට ලක්ව තිබෙන බවයි.

 

වජිර තොටළඟට දුවයි

 

මේ අතර පසුගිය අඟහරුවාදා පස්වරුවේ කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක හටගත් ගින්න හේතුවෙන් පීඩාවට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත රාත්‍රී 11ට පමණ වජිර අබේවර්ධන එම ප්‍රදේශයට පැමිණියේය. වජිර අබේවර්ධන එම ස්ථානයට පැමිණෙන විට හිටපු අමාත්‍ය රවි කරුණානයකත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අතර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මහජන හමුව පසුගිය බදාදා පෙරවරුවේ පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

වෙනත් දිනවලදී මෙන්ම සභාපතිවරයා මුණ ගැසී තමන්ට ඇති ගැටලු සාකච්ඡා කර ඒවාට අදාළ විසඳුම් ලබා ගැනීම සඳහා විශාල පාක්ෂිකයන් පිරිසක් සිරිකොතට පැමිණ සිටියහ.

පැමිණ සිටි පාක්ෂිකයන් ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට වජිර අබේවර්ධන එවලේම විසඳුම් ලබා දීම පාක්ෂිකයන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්විය.

 

විමල්ට අනුර කුමාරගේ මනාපය

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් මෙම කාරක සභාවට යෝජනා කර තිබුණේ "ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළ කිරීමට කිසියම් කාලයක් වෙන් කර දෙන්න" කියා ය. එම යෝජනාවට අනුව ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5% ලබා දීමට කාරක සභාව එකඟත්වය පළ කර තිබේ.

මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50% ද විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ද තීරණය වී තිබේ. ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් කාලයක් මෙම මන්ත්‍රීවරුන් සඳහා වෙන් වනු ඇත.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින “උත්තර ලංකා සභාගය” නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබිණි.

මේ පිළිබඳව බොහෝ වාදවිවාද ඇති විය. නමුත් මින් ඉදිරියට එවැනි ගැටලුවක් මතු නොවන අතර නියමිත කාලයක් ද ඔවුන් සඳහා වෙන් වනු ඇත.

නමුත් මෙම කාරක සභා රැස්වීමේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිබඳ වාද විවාද මතු වී ඇත. ආණ්ඩු පක්ෂයෙන් කාලයක් වෙන් කිරීමෙන් ඔවුන්ට හිමි කාලය අඩු වන බව මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් මතු කර ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට පක්ෂව කරුණු දක්වා තිබීම විශේෂයකි. "මීට පෙරත් මෙවැනි අවස්ථා පාර්ලිමේන්තුවේදී මතු වී තිබෙනවා.

එම අවස්ථාවලදී පාර්ලිමේන්තුව එම මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා." යනුවෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

 

Comments