ඔබත් කේන්තිකාරයෙක්ද? | සිළුමිණ

ඔබත් කේන්තිකාරයෙක්ද?

ප බොහෝ දෙනෙකුට විවිධ අවස්ථාවලදී විවිධ මට්ටම්වලින් කෝපකාරී සිතුවිලි ඇතිවීම අරුමයක් නොවේ. කෝපය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, කුහකකම, ශෝකය, වේදනාව, මානසික පීඩනය, සැකය, බිය වැනි මේ සියලු හැඟීම් මානසික රෝගයක රෝග ලක්ෂණ වන අතර බුදු රජාණන් වහන්සේ "සබ්බේ පෘතග්ජනා උන්මන්තකා" ලෙස නොහොත් සියලු පෘතග්ජනයේ උන්මත්තකයෝය" ලෙස දේශනා කළේ ඒ නිසාය. එහෙත් අප ගත කරන පෘතග්ජන මට්ටමේදී "කෝපය" ඇතුළු ඉහත සඳහන් කළ සියලු හැඟීම්වල කිසිදු අස්වාභාවික බවක් නොමැති අතර, ඉහත සියලු හැඟීම් බෙහෙවින් ස්වාභාවික වෙයි.

මෙවර ඔබ දැනුම්වත් කරන්නේ කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක් ඇසුරින් "කේන්තිකාරයන්" හඳුනා ගන්නා ආකාරය පිළිබඳය. කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක, යුද්ධයට නොහොත් සටනට අධිපති කුජ ග්‍රහයා උච්චව හෝ ස්වකේෂ්ත්‍රව සිටීම මඟින් නිර්භීත, එඩිතර ගති ලක්ෂණ ඇතිවන අතරම ආවේගශීලී ගති ලක්ෂණ ද ඇති වනු ඇත. එනම්, එවන් පිහිටීම් ඇති අයට අන් අන් අයට වඩා ඉක්මණින් කෝපය පැන නඟී. එමෙන්ම කුජ ග්‍රහයා කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක තුන් වැනි භාවය තුළ තැන්පත් වීම තුළින් වික්‍රමාන්විත චරිත ලක්ෂණ වන අතරම අන් අයට වඩා කේන්ති යෑමට ද ඉඩකඩ ඇත. යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක කුජ ග්‍රහයා 1 වන භාවය තුළ පිහිටීම මඟින් පෙර ආත්මයෙහි යුද්ධ කළ බවට යම් ඉඟියක් ලැබෙන අතර, එවන් අයට මෙම ජීවිතය තුළ ද අන් අයට වඩා ආවේගශීලී හැඟීම් ඇති වීමට ඉඩ ඇත.

විශේෂයෙන් එවන් අය අන් අයගේ අවවාද අනුශාසනා නුරුස්සන බව පෙනේ. යම් කේන්ද්‍ර සටහනක කුජ ග්‍රහයා දෙවැනි භාවය තුළ තැන්පත්ව සිටීම මඟින් නිර්භීත ගති ලක්ෂණ ඇති වන අතරම ආවේගශීලී ලෙස වචන පිට කිරීම අන් අයට වැරදි වැටහීම් ඇතිවන්නට ඉඩ ඇත. කුජ ග්‍රහයා 4 වැනි භාවය තුළ තැන්පත් වීමෙන් ජන්මියාට තද සිතක් ඇති වනු ඇත.

ඉහත පිහිටීම්වලට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක රවි ග්‍රහයා උච්ච වීම ද කෝපකාරී සිතුවිලි ඇති වීමට ඉඩකඩ ඇති කරවන ග්‍රහ පිහිටීමකි. එමෙන්ම කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක රාහු ග්‍රහයා ලග්න භාවය තුළ තැන්පත් වීම සිදුවුවහොත් හදිසියේ ඇතිවන කලබලකාරී මානසික තත්ත්වය නිසා ආවේගශීලී වීමට ඉඩ ඇත.

ලග්න වශයෙන් සැලකූ විට මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු යන ලග්න හිමියන්ට අන් ලග්න හිමියන්ට වඩා කේන්ති යෑමට ඉඩ ඇතද උත්පත්ති කේන්ද්‍ර සටහන්වලට අනුව එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වීමට පවා ඉඩකඩ ඇත. මීට අමතරව උත්පත්තියෙන් "කැති" වැනි නැකැත්වලින් ඉපදී ඇති අය ද අන් නැකැත් හිමියන්ට වඩා ආවේගශීලී වීමට ඉඩ ඇත.

සාමාන්‍යයෙන් ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානු ගත කරන විට ඕනෑම කේන්ද්‍ර හිමියකුට ආවේගශීලී ගති ලක්ෂණ ඇති වීමට සහ නුරුස්නා ගති ලක්ෂණ ඇති වීමට ඉඩකඩ ඇත. එමෙන්ම කෙටිකාලීන වශයෙන් සැලකූ විට, කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා හතර වැනි භාවයේ ගමන් කරන දින දෙකහමාර තුළ ජන්මියා ආවේගශීලී වීමට ඉඩකඩ ඇත.

හදිසියේ ඇති වන කෝපකාරී සිතුවිලි නිසා ඇති වන කෝපය පාලනය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ කෝපය පිට කිරීම කල් දැමීමය. එනම්, අප කෝපය පිට කිරීම, සිතා මතාම සතියකින් හෝ අඩු වශයෙන් පැය කිහිපයකින්වත් කල් දැමුවහොත් කෝපය ක්‍රමයෙන් තුනී වීමට හෝ සහමුලින්ම දුරු වීමට ඉඩ ඇත. මීට අමතර ලෙස "ඉවසීමෙන් සැනසීම ලැබේ", "කෝපය මෝඩකමින් පටන් ගෙන පසුතැවිල්ලෙන් කෙළවර වේ." වැනි ආප්තෝපදේශවල අදහස් සිතට ගෙන කටයුතු කිරීමෙන් ද කෝපය ඇති වීම යම් තරමකට හෝ තුනී කර ගත හැකි වනු ඇත. ක්ෂණික කෝපයක් ඇති වූ විට දහයට ගණින්න යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. සැබවින්ම මෙහිදී සිදු වන්නේ ද කෝපය තත්ත්පර කිහිපයකින් කල් දමා කෝපය තුනී කර ගැනීමය.

"කෝපය" අසුබ දෙයක් ලෙස ක්ෂණිකව පෙනුණද එම කෝපයේ හැඟීම ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යෑම සඳහා වෙස්වලා ගත් ආශිර්වාදයක් වෙයි. මෙහිදී කළ යුත්තේ කෝපය ඇති වීමට හේතු වූවේ යැයි අප සිතන ප්‍රභවය දෙසට නොව, අප දෙසට ඊතලය යොමු කරමින් අප තුළ ක්ෂණිකව ඇති වූ කායික සහ මානසික විපර්යාසය විශ්ලේෂණය කිරීමය. අප තුළ ඇති වූ කෝපයට හේතුව අන් අය තුළින් නොව, අප තුළින්ම සෙවීමට අප උත්සාහ කළහොත් අපට විවිධ ආධ්‍යාත්මික අදහස් ගලා එනු ඇත.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments