සීනුවේ හඳුන් අමා­රුවේ දැමූ රනිල්ගේ කතාව | සිළුමිණ

සීනුවේ හඳුන් අමා­රුවේ දැමූ රනිල්ගේ කතාව

දේශපාලනයට පරිබාහිර වූවද ක්‍රීඩා කුසලතාවලට සම්බන්ධ සිදුවීම් දෙකක් හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව මුළු රටේත් මුළු ලෝකයේත් අවධානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම එකම දිනයකදී ආසියානු ශූරතා කුසලාන දෙකක් දිනා ලෝකයේම අවධානය දිනා ගැනීමට පසුගිය 11 වෙනිදා සමත් විය. 6 වෙනි වරට කුසලාන දෙකම දිනා ගැනීම තවත් විශේෂයක් වන අතර ක්‍රීඩා කණ්ඩායම් දෙක එකම අවස්ථාවක මෙරටට පැමිණීමද තවත් විශේෂත්වයක් විය. ජනාධිපති, පක්ෂ නායක ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ බොහෝ දෙනෙක් ජාතික කණ්ඩායම් දෙකටම උණුසුම් සුබ පැතුම් එක් කළහ.

ජනාධිපතිවරයා මුණ ගැසුණු බොහෝ දෙනෙක් ඉල්ලා සිටියේ ක්‍රීඩා කණ්ඩායම් පිළිගැනීමට ගුවන් තොටුපොළට හෝ ක්‍රිඩා සංගම් මූලස්ථාන අසලට ගියොත් හොඳයි කියාය. එහෙත් ඊට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වෙනස් එකක් විය.

“ක්‍රිකට් ගැහුවේ මම නොවෙයිනේ. ඒ ළමයින්ට නිදහසේ ඒක ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් සමඟ සමරන්න ඉඩ දෙන්න. අපිට තියෙන්නේ ක්‍රීඩාව හොඳින් කරගෙන යන්න අවශ්‍ය වටපිටාව සකස් කරන එක විතරයි. ක්‍රිඩකයන්ට ක්‍රිඩාව කරන්න දෙමු. රාජ්‍ය පාලකයෝ විදියට අපි රාජ්‍ය පාලනය කරමු.” ජනාධිපති කී පිළිතුරෙන් සියල්ලෝ සෑහිමකට පත් වූහ.

 

⬤  කැබිනට් එක දිවුරුම් දෙන්නේ කවද්ද?

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මේ මස 20 සහ 25 අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. කැබිනට් අමාත්‍යධුර දෙකක් සඳහා සමඟි ජන බලවේගයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කැමැත්ත පළ කර ඇති බවද දැනගන්නට ඇත. 19 වැනිදා පැවැත්වීමට නියමිත අභාවප්‍රාප්ත දෙවෙනි එළිසබෙත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි. එම අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වී යළි මෙරට පැමිණීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.

 

⬤  ජනපති රනිල් කතරගමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සති අන්තය ගත කළේ කතරගම පුද බිමෙහි ය. රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට තමන්ම ගත් තීන්දුව මත පදනම්ව ජනාධිපතිවරයා කතරගම බලා පිටත්වූයේ සිය නිල රථයෙන්ය. බොහෝ දෙනෙක් ගුවනින් යන ලෙස ඉල්ලා සිටිත් ජනාධිපති රනිල් එය ප්‍රතික්ෂේප කළේය.

සෙනසුරාදා ජනාධිපති රනිල් සමඟ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ද කතරගම පුද බිමට පැමිණ සිටියෝය. කිරි වෙහෙර වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා පැමිණෙද්දී එහි වන්දනාවේ පැමිණි ජනතාව සමඟ කතා බස් කිරීමට ද අමතක නොකළේය.

“නිවාඩු කාලේ දැන් කට්ටියම ට්‍රිප් යනවා නේද?” ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසෙන් විමසා සිටියේය.

“ඔබතුමාව ඉතින් අපි දකින්නේ ටී.වී එකේ විතරනේ. මෙහෙම දකින්න ලැබිම ගැන අපිට සතුටුයි.” වන්දනා නඩයේ සිටි කාන්තාවක් කීවාය.

“ඇත්තටම ජනතාව අඩුවෙන් ඉන්න වෙලාවට තමයි මම පොදු ස්ථානවලට යන්නේ. මොකද මම කොහෙට හරි ආවාම මිනිස්සුන්ට කරදරයිනේ. ඒ නිසා ජනතාව අඩු වෙලාවට තමයි මම පොදු ස්ථානවලට එන්නේ.” ජනාධිපති රනිල් කීවේ සිනා සෙමිනි.

පිරිසෙන් සමුගත් ජනාධිපතිවරයා අෂ්ටඵල බෝධිය වන්දනා කිරීමෙන් පසු කතරගම දේවාලයට පැමිණ එහි පූජාවට ද සහභාගී වූයේය. ගණ දේවාලය, වල්ලිමාතා දේවාලය ඇතුළු දේවස්ථාන වෙත ගොස් වන්දනාමාන කළ ජනාධිපති රනිල් ඉන් පසුව අභිනවාරාමයට ගොස් මහා සංඝ රත්නයේ ආශීර්වාද ලබා ගත්තේය.

 

⬤  හඳුන්නෙත්ති‍ගේ යෝජනාවලට රනිල්ගේ අවධානය

එදින සවස වැඩිහිටි කන්දට ගොස් වන්දනාමාන කළ ජනාධිපතිවරයා කොළඹ බලා පිටත්ව එන අතරමඟදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූයේය. ජනාධිපතිවරයා එහි යන විට රාජ්‍ය ඇමතිවරුන් වන තේනුක විදානගමගේ හා විමලවීර දිසානායක ද පැමිණ සිටියහ.

අවසන් ගෞරව දැක්වීමෙන් පසු පිරිස අසල කාමරයක අසුන් ගනිමින් සුහද පිළිසඳරක නිතරව සිටියදී ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති ද එහි පැමිණියේය. එහි සිටි අයකු සුනිල් හඳුන්නෙත්ති ප්‍රභූන් සිටි ස්ථානයට කැඳවා ගෙන විත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අසුන්ගෙන සිටි අසුනට යාබඳ අසුනේ වාඩි කරවූවේය.

“ආ මේ අපේ යාළුවෙක් නේ.” ජනාධිපති රනිල්, හඳුන්නෙත්ති දෙස බලමින් කියද්දී සැවොම හිස සැලූහ.

“ඔබතුමා කියපු දේ හින්දා මට දැන් උත්තර දීලා එපා වෙලා ඉන්නේ.” හඳුන්නෙත්ති කියද්දී තේනුක විමසා සිටියේ ඒ කුමක්ද කියාය.

“ඇයි ජනාධිපතිතුමා අය වැය කතාව ආරම්භ කළේ මම කියපු කතාවක් කියලනේ.” සුනිල් කියද්දී සැමට අතීත කතාව සිහිපත් වූවේ නිතැතිනි.

“මම කිව්වේ බොරුවක් නොවෙයිනේ. සුනිල්ගේ ප්‍රතිපත්තිය තමයි අපි කියන ප්‍රතිපත්තියත්. රාජ්‍ය තියෙන්නේ ව්‍යාපාර කරන්න නොවෙයි. ඒක ඇත්ත.” ජනාධිපතිරයා හඳුන්ට උසුළු විසුළු කළේ එසේ කියමිනි.

කොළඹ සිට දකුණට දිවෙනා සංවර්ධන සැලසුමක් ජනාධිපතිවරයා මෙම පිරිසට ඉදිරිපත් කළේ දීර්ඝ විස්තරයක් ද සමඟිනි. දුම්රිය ස්ථානවල තිබෙන පැරණි නිවාස, ගොඩනැගිලි සංචාරක නිකේතන ලෙස වැඩි දියුණු කරමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඔවුන්ට ඉදිරිපත් කළේය.

“ලංකාව පුරාම ලොකුම ගොඩනැගිලි තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට. ඔවුන්ගෙන් දැන් කෙරෙන සේවය බැලුවාම එම ගොඩනැගිලිවල වැඩි ඉඩක් ඔබතුමාගේ සැලසුමට එකතු කර ගන්න පුළුවන්. මොකද ඒ ගොඩනැගිලි බහුතරයක් යටත් විජිත යුගයේ හදපු ඒවා.” හඳුන්නෙත්ති තවත් යෝජනාවක් ඉදිරිපත් කළේ එලෙසිනි.

“ඔව් ඒ යෝජනාවත් හොඳ යෝජනාවක්. මමත් හිතාගෙන ඉන්නේ ජනාධිපති මන්දිරය ආර්ට් ගැලරියක් කරන්න. නිල උත්සවවලදී පමණක් ජනාධිපති මන්දිරය ලෙස භාවිත කරනවා. අනෙක් වෙලාවට කලාගාරයක් ලෙස භාවිත කරනවා.” ජනාධිපති රනිල් තවත් ඌණ පූරණයක් කතාවට එකතු කළේය.

“ඔව් ඒක හොඳ අදහසක්. රොස්මිඩ් වලව්වත් දැන් සංචාරක හෝටලයක් කර තිබෙන නිසා විදෙස් සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එහි එනවා. බහුතරයක් දෙනා වෙන්කර ගන්නේ බණ්ඩාරනායක මහත්තයා ගේ කාමරය කියලා තමයි ආරංචිය.” සුනිල් හඳුන්නෙත්ති කියද්දී සැමගේ ඇස් ඉහළට එසැවිණි.

ඉන්පසුව කොළඹ කොටුව ප්‍රදේශය සංචාරක පුරවරයක් කිරීමේ සැලසුම ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළේය. ගුවන් හමුදා මූලස්ථානය අකුරගොඩට ගෙන යාමත්, එම ගොඩනැගිලිවලට පොලිස් මූලස්ථානය ගෙනෙනා ආකාරයත් ජනාධිපති රනිල් එහි සිටි පිරිසට පැහැදිලි කර දුන්නේය.

“දැන් නෙළුම් කුලුන ජනතාවට විවෘත කරපු එකටත් අපිට බනිනවා. හැබැයි මේක නිකං තිබුණා කියලා මුදල් ලැබෙන්නේ නෑ. නමුත් අපි ණය ගෙවන්න ඕනේ. අඩුගානේ මේක ලංකාවේ මිනිස්සුන්ට විවෘත කළාම මේ ගැන තොරතුරු පිටතට ගොස් ආයෝජකයෝ ගෙන්වා ගන්නත් පුළුවන් වෙනවා.” ජනාධිපති ලේකම් ද හඬ අවදි කළේ එලෙසිනි.

“ඔබතුමා හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කළා. අපිත් එක්ක එකතු වෙලා ඒ යෝජනා ක්‍රියාත්මක කරමුකෝ. ඒකට ඔබතුමාලා ආණ්ඩුවට එන්න.” විමලවීර දිසානායක ද හඳුන්නෙත්තිගෙන් ඉල්ලීමක් කළේය.

“නෑ නෑ අපි එළියේ ඉඳන් ආණ්ඩුව කරන හොඳ දේට සහාය දෙනවා. වැරදි දේ විවේචනය කරනවා.” සුනිල් හඳුන්නෙත්ති කියද්දී ජනාධිපතිවරයා කීවේ “එහෙනම් මේ වැඩේට අපි ඔයාලගේ සහාය බලාපොරොත්තු වෙනවා.” කියාය.

ඉන්පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවමඟුල් නිවසින් පිටත් වූවේ තවත් රාජකාරියකට යාමට තිබෙන බව කියමිනි.

ඉරිදා උදෑසන ජනාධිපතිවරයා ඇමරිකානු ණය ආධාර කාර්යාංශයේ ප්‍රධානි සමන්තා පවර් මුණ ගැසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. එම සාකච්ඡාව ඔවුන් දෙදෙනාට පමණක් සීමා වූ අතර අතීත මිතුරුකම් ගැන හා මංගල සමරවීර ඇමතිවරයා ගැන ද එහිදි කතා බස් කොට තිබුණි.

ඔවුන් දෙපළ පමණක් ජනාධිපති නිල කාර්යාලය තුළ සාකච්ඡා කරද්දී දෙරට ද්විපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් තානාපති කාර්යාල නිලධාරීන් හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සාකච්ඡා කාර්යාලය තුළ සිටියේ ජනාධිපතිවරයා හා සමන්තා පවර් පැමිණෙන තුරුය.

“ජනාධිපතිතුමා දැන් කතා කරන්න ඕන ටික කතා කරලා තමයි මෙතනට එන්නේ.” තාරක බාලසූරිය කියද්දී සෙස්සෝ ඊට හූ මිටි තැබූවේ සිනාසෙමිනි.

ජනාධිපතිවරයා සඳුදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගියේ දෙවන එළිසබත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමටය. එහිදි ජනාධිපතිවරයා කීවේ තමන් රාජකීය අවමඟුල් උත්සවයට සහභාගීවීමට අපේක්ෂා කරන බවය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන දින රාජ්‍ය ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනට උපදෙස් දුන්නේය.

 

⬤  අගමැති ඉවත්කරන කතාවේ අතේ රෝල මාට්ටු වූ හැටි

මීළඟ අයවැයට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම තනතුරින් ඉවත් කෙරෙනු ඇති බවට පැතිර ගිය ආරංචියෙන් ඉකුත් සතියේදී දේශපාලන ලෝකය උණුසුම් විය. එම ගින්න පත්තු කළේ ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන විසිනි.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ අයවැයට පෙර වත්මන් අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමට තම කණ්ඩායමේ සහය ඉල්ලන බවය.

මේ ආරංචිය කන වැකුණු බොහෝ දෙනකු ඒ ගැන පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විමසීය.

“ මම නම් එහෙම දෙයක් දන්නේ නෑ.. අපේ පක්ෂය එහෙම දෙයක් තීන්දු කරලත් නෑ. කියන අයගෙන්ම ඒක අහගන්න”

බැසිල්ගේ පිළිතුර විය.

ඒ වනවිට බැසිල් සිටියේ විදේශගත වීමට සූදානම්වය. සිය සංචාරයට පෙර මෙම ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව තීරණය කළ බැසිල් පසුගියදා ඇමති ප්‍රසන්න කැඳවීය.

“අගමැතිතුමා අයින් කරනව කියන කතාව මොකද්ද ප්‍රසන්න. අපි එහෙම දෙයක් කතාකරලවත් නෑනේ ”

බැසිල් ඇමති ප්‍රසන්නගෙන් විමසීය.

“ ඕව හීනෙන් බය වෙලාවගේ කියන විකාර කතා සර්. අපි ඕවට කලබල වෙන්න හොඳ නෑ”

ප්‍රසන්නගේ පිළිතුර විය.

“ඔව්... ඒක ඇත්ත. මම රට යන්න හදන්නේ. ඊට කලින් මේ ප්‍රශ්නය විසඳන්න ඕන. ඔයා දැන්ම ගිහිල්ලා ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි දෙන්නටම කියන්න අගමැතිතුමා ඉවත්කරන්න අපි තීරණය කරල නෑ කියලා. මේක බොරු කතාවක් කියලත් කියන්න”

 

⬤  නාමල්ගේ සුදුසුකම් ගැන ප්‍රසන්න කට අරී

රාජ්‍ය ඇමතිවරුන් 38 දෙනෙක් ඉකුත් සතියේදී දිවුරුම් දුන්හ. එමෙන්ම තවත් කැබිනට් ඇමතිවරුන් 10 දෙනෙකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ විට එම දිවුරුම් දීම ලබන සතියේදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බාර ගැනීමෙන් පසුව පැවති තේපැන් සංග්‍රහයේදී ඒ ගැනද කතාබහ විය.

“ ඇමතිතුමා නාමල් රාජපක්ෂටත් කැබිනට් ඇමතිකමක් ලැබෙනවද? මාධ්‍යවේදියකු ඇමති ප්‍රසන්නගෙන් විමසීය.

“ අනිවාර්යයෙන්ම එතුමත් ඇමතිකමකට සුදුසුයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තෙ එතුමා. ඇමතිකමක් දරන්න එතුමට තියෙන නුසුදුසුකම මොකද්ද? ”

“ ඒක ඇත්ත.”

අසල සිටි තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර ඇතුළු පිරිසද එය අනුමත කළහ.

 

⬤  ඇමති ප්‍රසන්න බලය බෙදයි

රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල ලබා නොදීම නිසාවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් ඉකුත් ආණ්ඩුවල බහුලවම දක්නට ලැබුණි.

ඒ ගැන සිතා බැලූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට බලතල පැවරීමට පසුගිය සතියේදී තීරණය කළේය.

“ අපිට ප්‍රශ්නයක් නෑ. අපි සර් එක්ක වැඩ කරන්නම්”

තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාම එක හඬින් පැවසීය.

“ නෑ..නෑ.. එහෙම නෙවෙයි. බදාගෙන වැඩ කරනවට වඩා මම කැමති වැඩ බෙදාගෙන කරන්නයි. ඒක නිසා ඔයාල මේ වැඩ ටික කරගෙන යන්න. ඔයාල වැඩ කරනකොට නිකම්ම මට ලකුණු ලැබෙනවා”

ඇමති ප්‍රසන්න කී කතාවට නිලධාරීන්ටත් හිනාය.

 

⬤  පොහොට්ටුවේ මෙහෙයුමක් රට පුරා

අපි මේ වෙනකොට දිස්ත්‍රික් සංවිධාන ඔක්කොම නෙළුම් මාවතට කැඳවල කතා කරල ඉවරයි. දැන් අපි අසන මට්ටමින් සාකච්ඡාවක් කරන්න ඕන ආසනේට ගිහිල්ල. බැසිල් රාජපක්ෂ දිවයිනෙන් බැහැර යාමට පෙර නෙළුම් මාවතේ මෙහෙයුම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නා.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ ජයන්ත කැටකොඩ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

රෝහිත ඔයා ආසන මට්ටමේ සාකච්ඡා ටික දිස්ත්‍රික් නායකයන් සහ ආසන කැඳවුම්කරුවො එක්ක කතා කරල ලෑස්ති කරන්න. බැසිල්ගෙ ඒ උපදෙස රෝහිත අබේගුණවර්ධනටය.

සර් අපිට බැරිද BJP එකට කතා කරල අමිත් ෂාව අපේ පොලිටිකල් ඇකඩමියේ දේශනයකට ගෙන්න ගන්න.

ඒක හොඳයි මම ඒ ගැන කතා කරන්නම්. සංජීව එදිරිමාන්නගෙ යෝජනාවට බැසිල් එකඟ විය.

 

⬤  ප්‍රශ්නයත් සමඟම පිළිතුරත් ලබාදෙන බව සජිත් කියයි

මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීමට නිර්දේශ කොට ඇති කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.

"පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වෙන්න ඉහළින් ම බලපෑවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා".

රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

"ඔව්,මාධ්‍යවල එහෙම එකක් ගිහින් තිබුණා. මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකු සඳහා ගෙවන්නේ රුපියල් මිලියනයයි. තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5යි. හැබැයි පහුගිය දවස්වල ගෙවල් විනාශ වෙච්ච මැති ඇමතිවරුන්ට බිලියන ගණන් ගෙවනවා.

ඒ කියන්නේ ආණ්ඩුව වටිනා ජීවිත සහ නොවටිනා ජීවිත කියලා මිනිස් ජීවිත බෙදනවා." සජිත් කීවේය.

"මේ රටේ මිනිස්සුන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒ අස්සේ ආණ්ඩුවත් ජනතාවට ප්‍රශ්න දානව නම් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ?"

අශෝක් අබේසිංහ පැවසුවේය.

"සමහරු අහනවා මෙතෙක් තිබුණු විපක්ෂයත් වර්තමාන විපක්ෂයත් අතර වෙනස මොකද්ද කියලා. අපිට කෙටි උත්තරයක් තියෙනවා.

"එදා තිබුණේ ප්‍රශ්න අහන විපක්ෂයක්. අද තියෙන්නෙ ප්‍රශ්න අහලා උත්තරත් සපයන විපක්ෂයක්” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

 

⬤  වෘත්තීයවේදීන් සමඟ සිටි වජිරට රනිල්ගෙන් ඇමතුම්

“රකිමු ජයතු ලංකා” සංවිධානයේ විද්වත් වෘත්තිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා පෙරවරුවේ කොළඹදී පැවැත්විණි.

රටේ වත්මන් තත්ත්වය සහ රට ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත්කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සාකච්ඡාව සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ නියෝජිතයන් රැසක් පැමිණ සිටි අතර ජනාධිපතිවරයා දියත්කර තිබෙන වැඩපිළිවෙළ හා අභියෝග ජයගැනීමට සියලු පාර්ශ්වයන් එක්කර ගනිමින් ඉදිරියට යාමට ජනාධිපතිවරයා දරන උත්සාහය පිළිබඳව මෙහිදී වජිර පුළුල් ලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

වජිර සිදුකළ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඊට එක්ව සිටි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සිය අදහස් ප්‍රකාශ කිරීම ඇරඹීය.

ඒ අනුව ඔවුන් සියලුදෙනා එක හඬින් කියා සිටියේ වෘත්තීයවේදීන් වශයෙන් වත්මන් ජනාධිපතිතුමා මේ රට ගොඩනැඟීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව තමන් තුළ පූර්ණ අවබෝධයක් හා විශ්වාසයක් තිබෙන බවයි.

සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම සාකච්ඡාවට දුරකථනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරගැනීමට වජිර කටයුතු කළේය.

ඒ අනුව වජිරගේ දුරකතනයට සම්බන්ධ කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට පැමිණ සිටි මහාචාර්යවරුන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

“රට ගොඩනැඟීම සඳහා සර් ගෙනයන වැඩපිළිවෙළ අපි ඉතා අගය කරනවා. ඒ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා වෘත්තීයවේදීන් වශයෙන් අපි තනතුරු වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම්.” යැයි ඔවුන් ප්‍රකාශ කළා.

වෘත්තීයවේදීන් සමඟ ගෙනයන වැඩපිළිවෙළ සහ ඔවුන්ගේ සහයෝගය රජයේ කටයුතුවලට ලබාගැනීම සම්බන්ධව වජිර සහ ජනාධිපතිවරයා අතර ද එම ස්ථානයේදීම දුරකතනයෙන් කෙටි වේලාවක් සාකච්ඡා විය. නුදුරේදීම වෘත්තීයවේදීන් ජනාධිපතිතුමා මුණගැස්වීමට කටයුතු සලස්වන බව ද වජිර ඔවුන්ට ප්‍රකාශ කළේය.

 

Comments