සම රුවෙන් සම නැණෙන් යුතු ලොව සුව­පත් කර­න්නට වෛද්‍ය පීඨයට තේරුණු ආණ­ම­ඩුවේ නිවුන්නු | සිළුමිණ

සම රුවෙන් සම නැණෙන් යුතු ලොව සුව­පත් කර­න්නට වෛද්‍ය පීඨයට තේරුණු ආණ­ම­ඩුවේ නිවුන්නු

 

රුවෝ දෙමවුපියන්ට අගනා සම්පතකි. එහෙත් නිවුන් දරුවෝ උස් මහත් කරන්නට, එකවිට අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලන්නට දෙමවුපියෝ කොපමණ වෙහෙසක් ගන්නේදැයි අමුතුවෙන් තේරුම් කරදීම ඇවැසි නැත. මිනිත්තු ගණනක වෙනසකට අයියා, මලෝ ලෙස උපන් ඉමන්ත රුක්ෂාන් විජේසිංහ හා තීක්ෂණ ලක්ෂාන් විජේසිංහ ගැන රටම කතා කරති. මෙවර උසස් පෙළ විභාගයෙන් මේ අයියා මලෝ දෙදෙනාම ඉහළම ප්‍රතිඵල ලබා ගනිමින් වෛද්‍යවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගත්හ.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉගිනිමිටිය ව්‍යාපාරයට අයත් වම් ඉවු‍රේ පිහිටි එච්- 8 අති දුෂ්කර ගම්මානයේ අයියා ඉමන්ත හා මල්ලි තීක්ෂණ නිවුන් සහෝදරයන් ය. මේ දෙදෙනාට 10 වසරේ ඉගෙනුම ලබන ගිම්හාන ඩිල්ෂාන් බාල සහෝදරයෙකි. බාලාංශයේ සිටම මේ නිවුන් දරුවන් පාසල් ගියේ ආණමඩුව උස්වැව රතනපාල විදුහලටය. මව කේ.එම්. දමයන්ති කුමාරි ආණමඩුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කළමනාකාරවරියකි. පියා අජිත් සුරේන්ද්‍ර විජේසිංහ දරු තිදෙනා ඇති දැඩි කරන්නේ ගොවිතැනින් උපයාගත් ආදායමිනි.

“පුතාලා මුලින්ම ගියේ රතනපාල විදුහලට. පාසලට නිවෙසේ සිට කිලෝ මීටර 4 ක දුරක් තියෙනවා. යන්න වාහන පවා සොයා ගැනීමට අපහසු නිසා දරුවෝ දෙන්නා මුලින්ම පාසලට ගියේ පාපැදියෙන්. ටිකක් ලොකු වෙද්දි ණය වෙලා තවත් පාපැදියක් සොයා දුන්නා.

මේ දරුවෝ දෙන්නා වගේම පොඩි පුතත් ඉගෙනීමට හරිම දක්ෂයි. ඒ වගේම පාපන්දු ක්‍රිඩාවටත් දක්ෂයි. ලොකු පුතා 166 ගනිද්දි බාල පුතා ගත්තේ 167 ක්. සාමාන්‍ය පෙළ ටියුෂන් ගියේ ප්‍රධාන විෂයන් තුනකට විතරයි. ඒත් දෙන්නම සාමාන්‍ය පෙළට ‘ඒ‘ 9 යි. උසස් පෙළට ලියද්දී අපේ යාළුවෝ, ගුරුවරු කිව්වා දෙන්නා වෙනස් විෂය ධාරා දෙකකට යොමු කරමු කියලා. ඒත් අපිට වුවමනා වුණා දරුවෝ දෙන්නටම එකම විෂය ධාරාවකට යොමු කරන්න. ඒ දෙන්නටම පහසු නිසා. “ ඒ ඉමන්ත, තික්ෂණගේ මව දමයන්තිය.

අයියා ඉමන්ත උසස් පෙළට ‘ඒ‘ 3 ක් ගත් අතර Z අගය 2.1997 කි. දිස්ත්‍රික් අගය 14 ය. මල්ලි තීක්ෂණ ‘ඒ’ 3ක් ගත් අතර Z අගය 2.0893 කි. දිස්ත්‍රික් අගය 24 ය. දැන් අයියා මල්ලි දෙදෙනාම බලාපොරොත්තුවෙන් සිටින්නේ එකම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමටය.

“ අපි දෙන්නම එකම විෂයන් උසස්පෙළට කළ නිසා ප්ලෑන් එකකට පාඩම් වැඩ කරන්න හැකිවුණා. අපි දෙන්නා නොදන්න තැන් සාකච්ඡා කරමින් දෙන්නා දෙන්නට දන්නැති දේ කියලා දෙමින් පාඩම් වැඩ කරගෙන ගියා. කොවිඩ් නිසා කාලයක් පාසල් යන්න ලැබුණේ නැහැ. නමුත් අපි දෙන්නා එකතු වෙලා ප්‍රශ්න හදාගෙන එක විට එකම විෂය පාඩම් කළා. සමහර විට එයා වැඩියෙන් හෝ මම වැඩියෙන් හෝ ලකුණු ගත්තා. දෙන්නම එකවගේ චිත්‍ර අදින්න දක්ෂයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න පාසලට ගියේ පාන්දර 5 ට. කොවිඩ් කාලයේ ඔන්ලයින් ඉගෙන ගන්න දෙන්නට ඩිවයිස් දෙකක් තිබුණේ නැහැ. දෙන්නම එකම ෆෝන් එකෙන් ඔන්ලයින් කළේ. .......“ අයියා ඉමන්ත පවසන්නේය.

“ මමත් අයියත් විභාගය කර ගෙදරට ඇවිත් බහුවරණ ප්‍රශ්නවල පිළිතුරු සාකච්ඡා කළා. එයාටත් මටත් සමාන ලකුණු තිබෙන බව දැන ගත්තා. දෙදෙනා එකම වෙලාවට පාඩම් වැඩ කිරීමෙන් විශාල පහසුවක් තිබුණා. අපිට ඕන වුණේ අපේ අම්මා තාත්තා සතුටු කරන්න. අපි දෙන්නගේ Z අගය අනුව එකම විශ්වවිද්‍යාලයට යාමට හැකිවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ....“ මල්ලි තීක්ෂණ පවසන්නේය.

එදා අක්කර භාගයක පොල් අතු පැළකින් ඇරඹි මහඋස්වැව රතනපාල විදුහලේ වර්තමානයේ සිසුන් 1472 ක් ඉගෙනුම ලබති. ගුරුවරු 61 දෙනෙකි. වසරකට සිසුන් 4 දෙනෙක් පමණ සරසවි පිවිසීමේ වරම් හිමිකර ගනිති. 2021 වසරේ උසස් පෙළ ගණිත අංශයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වූයේද මේ පාසලේම සිසුවෙකි. වසර 72 ක් තුළ වෛද්‍ය විද්‍යාලයට කිසිදු සිසුවකු මේ පාසලින් සුදුසුකම් ලැබුවේ නැත. එස්. ඒ තිලකිසිරි මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස වසර 9 ක් මේ වන විට සේවය කර ඇත.

තමන්ට සාමාන්‍ය පෙළින් පසු හොඳ පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව ලද ද, මේ දරුවෝ ජනප්‍රිය පාසල් සොයා ගියේ නැත. අඩු පහසුකම් යටතේ තමන්ට හැකි උපරිමයෙන් ඉගෙන ගත්හ. ඉමන්ත හා තීක්ෂණ තව නොබෝ දිනකින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් ලබති. එහෙත් මේ ගමනේදී ඔවුන්ට අතහිත දුන් ගුරුවරු සිහිපත් කරන්නේ හඳ පිරි බැතියෙනි.

“ අපිට පාසලේදී රෝහිත ගුණතිලක සර්, ප්‍රියාෂා වාසල මිස්, සුපුන් කරුණාරත්න සර් වගේම ටියුෂන් පංතිවල ඉගැන්වූ නිශ්ශංක වීරසේකර, කැලුම් සේනානායක, දර්ෂණ උකුවෙල සර්ලටත් අපේ ගෞරවය හිමි වෙනවා....“ ඉමන්ත හා තීක්ෂණ පවසති.

 

Comments