
මිහිමත ජීවය ආරම්භ වූයේ ජලයෙනි. එනිසා ජලය යනු මුළුමහත් විශ්වයේම ජීවය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ආහාර නැතිව ජීවියකුට දින කිහිපයක් හෝ විසිය හැකි වුවද ජලය නොමැතිව ජීවත්විය නොහැකි තරම් ය. එය ජීවය සමඟ එතරම්ම බද්ධ වූවකි.
එමෙන්ම ලොව බිහි වූ ගංගා නිම්න ආශ්‍රිත මානව ශිෂ්ටාචාර විමසා බලන විට මෙරට විශ්මිත වූ වාපී ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ බව පුරාවිද්‍යාත්මකව සනාථ කර තිබේ. එසේ අතීතයේ සිට අහස් දිය කළමනාකරණය කරමින් පැමිණි ගමනේ සන්ධිස්ථානයක් සටහන් වන්නේ 1978 පසු විවෘත ආර්ථිකය සමඟ නූතන ලෝක රටාවට හැඩ ගැසීමේදීය.
ඒ අනුව වෙනදා දියට ගොස් ලබාගත් ජලය නළ මාර්ග ඔස්සේ පිරිපහදු කර නිවසට ගෙනැවිත් දීම ආරම්භ විය.
නමුත් මේවනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ ජල බිල්පතද ඉහළ ගියේය. මේවනවිට ආර්ථික අර්බුදයෙන් බැටකන ජනතාව මෙම මිළ ඉහළ යාමත් සමඟ තවත් අසරණ වී ඇත. නමුත් සෙසු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව මෙම ඉහළ යෑම කිසියම් ආකාරයකට දරාගත හැකි මිල ඉහළ දැමීමක් ය යන්න ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අදහසය. ඒ සම්බන්ධයෙන් මේවනවිට කාගේත් අවධානය යොමුව තිබේ. එනිසා මෙම මිල ඉහළ දැමීම පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ කිසියම් කතිකාවකට මුලපිරීම යහපත් යැයි සිළුමිණ කල්පනා කළෙමු.
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාථගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ “ ජල බිල්පත අවසන් වතාවට ඉහළ නංවා තිබුණේ 2012 වසරේදී බවයි. ගතවූ වසර දහය තුළ මෙතෙක් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු කර නොමැති බවත්; එසේ සිදු කළේ නම් මෙලෙස එකවර සියයට 70කින් පමණ මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවයි. මෙම වසර දහය ඇතුළත භාණ්ඩ හා සේවා සෑම දෙයකම මිල ඉහළ ගොස් ඇති බවත්, එනිසා තවදුරටත් පවතින මිල ගණන් යටතේ ජලය සම්පාදන සේවාව සැපයීම අභියෝගාත්මක වී ඇති බවයි. ලොව පුරා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ පානීය ජල පිරිපහදුව සඳහා ගෙන්වන අමුද්‍රව්‍යවල මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර තුළ පමණක් ජල පිරිපහදුව සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යවල මිල පමණක් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. නව තත්ත්වය තුළ ආදායම් සහකාරවරයාට (මනු කියවන්නා) මීටරය සටහන් කර ගැනීමට යාමට පමණක් රුපියල් 200ට වඩා වැඩි මුදලක් වැය වෙයි. මෙවැනි තත්ත්වයක් තුළ ජල බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පෙන්වාදෙන හෙතෙම මෙම මිල ඉහළ දැමීම පාරිභෝගිකයාටත් ජල සම්පාදන මණ්ඩලයටත් දරාගත හැකි ආකාරයට සිදු කර ඇති බව පවසයි. බහුතරයක් දෙනා සාමාන්‍ය පාරිභෝගිකයන් බවත් මෙම ජල බිල ඉහළ දැමීම මඟින් ඔවුන්ට විශාල බලපෑමක් නොවන නමුත් ඉන් සුළු බලපෑමක් සිදු විය හැකි බවයි. මෙයට කවුරුන් හෝ චෝදනා කරනාවා නම් මෙහි යථාර්ථය විමසා බලා එය සිදු කරන මෙන් හෙතෙම ඉල්ලීමක් කරයි.
නව මිල සංශෝධනය යටතේ ආගමික සිද්ධස්ථාන හා පාසල් සඳහා ජල ගාස්තු වැඩි වීමක් සිදු නොවේ. සමෘද්ධිලාභීන් හා වතු ජනතාවගේ ජල ගාස්තුවල පරිහරණ ගාස්තුවේ වෙනසක් නොවන අතර, සේවා ගාස්තුව පමණක් රුපියල් 50කින් වැඩි කර ඇත. මෙහිදී සමෘද්ධිලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමන් සමෘද්ධිලාභියකු බව සහතික කර එම කාඩ්පත සමඟ තමන්ගේ පාරිභෝගික ප්‍රභේදය සමෘද්ධි බවට පත්කර ගත යුතුය. නව මිල සංශෝධනයෙන් ගෘහස්ත නොවන පාරිභෝගිකයන් සඳහා සියයට 40 ත් 50 ත් අතර ජල ගාස්තු වැඩි වීමක් සිදු කර තිබීම විශේෂය. යම්කිසි විදියකින් ගණනය කිරීමේදී අගෝස්තු මාසයේ ජල පාරිභෝජනය සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක නව බිලට එකතු කර ඇත්නම්, එය පරණ ජල ගාස්තුව යටතේම ගණනය කර ඔක්තෝබර් හෝ නොවැම්බර් මස බිලෙන් එම මුදල අඩු කිරීමට තීරණය කර ඇත.
ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සහකාර සාම්‍යාධිකාරී (අයකර ගැනීම්) සහ වාණිජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඒකනායක වීරසිංහගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ “ මණ්ඩලය පැත්තෙන් බැලුවත්; වාණිජ නිලධාරීන්ගේ මණ්ඩලය පැත්තෙන් බැලුවත්; අයතනය මේ වනවිට පත්ව ඇති තත්ත්වය අනුව එය රැක ගැනීම පැත්තෙන් බැලුවත් මෙම මිල ඉහළ දැමීම අවශ්‍යම වූ කාරණයක් බවයි. පසුගිය වසර දහය පුරා ජල සම්පාදන මණ්ඩලය මේ තත්ත්වයෙන් හෝ පවත්වාගෙන පැමිණියේ මෙහි කාර්ය මණ්ඩලයේ තිබෙන ඉහළ කළමනාකරණ හැකියාව නිසයි. එසේ නොවන්නට පාඩු නොලබා මෙය මේ තත්ත්වයෙන් පවත්වාගෙන එන්නට නොහැකිය. එනිසා මෙය නිසිපරිදි නඩත්තු කරමින් ජනතාව වෙත අඛණ්ඩව පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම මිල ඉහළ දැමීම සිදු කළ යුතු බව” හෙතෙම පෙන්වා දෙයි.
මේවනවිට වැට් බදු ආදායමෙන් පමණක් මිලියන 270ට වැඩි ආදායමක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් රජයට උපයා දෙයි.
ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව සිළුමිණට අදහස් දැක් වීමට එක් වූ ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ආනන්ද මුණසිංහ පවසා සිටියේ ජනතාවට සහන දිය හැකි හැම අවස්ථාවකම ඒ සහනය ජනතාවට ලබාදීමට තම ආයතනය ක්‍රියාකර ඇති බවයි. මේ අවස්ථාවේ නිෂ්පාදන පිරිවැය දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් තුළ මේ මට්ටමින් මෙය පවත්වාගෙන යාම ගැටලුවක්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි. ලෝක තත්ත්වය හමුවේ තවදුරටත් ජල පිරිපහදුව පවත්වා ගෙන යෑම ප්‍රායෝගිවක සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හෙතෙම පවසයි.
ජනගහනය වර්ධනයත් සමඟ ජනතාවට අවශ්‍ය පානීය ජල ලබාදීම සඳහා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන මූලික වියදම් මේ වනවිට ඉතා ඉහළ ගොස් ඇති බව ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමයේ සභාපති හා එක්සත් මාණ්ඩලික නිලධාරීන්ගේ සභාපති මංජුල පෙරේරා පවසයි. “රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළගොස් ඇති බවත්; මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට සිදුවන්නේ ඩොලර්වලින් බවත් එවිට වෙනදා ඒ සඳහා ගෙවූ මුදල මෙන් කිහිප ගුණයකින් ගෙවීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
ජලය ඝන මීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48 ක මුදලක් ජල සම්පාදන මණ්ඩලය වැය කරයි. නමුත් ඒ සඳහා ජනතාවගෙන් අය කරන්නේ රුපියල් 12ක මුදලකි. සාමාන්‍යයෙන් හතර දෙනෙකු හෝ පස්දෙනකු සිටින පවුලකට ගේදොර අවශ්‍යතාවය සඳහා දිනට ලීටර් 500ක් ප්‍රමාණවත් බව උපකල්පනය කර තිබේ. ඒ අනුව මසකට ඒකක 15ක් පමණ සෑහේ. ඉන් එහා පාවිච්චි වන්නේ නම් මෙම මිල වැඩි කිරීමට යටත් වේ.
මෙම මිල වැඩි කිරීම මඟින් ආදායම් උපදවන සහ මහා පරිමාණ ලෙස ජලය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ලොකු බලපෑම් එල්ල වුවත් සාමාන්‍ය ජනයාට ලොකු පීඩනයක් එල්ල වී නැති බව ඔවුන්ගේ අදහසයි.
සාමාන්‍යයෙන් ඒකක 15 ට අඩුවෙන් ජලය පරිභෝජනය කරන සීයයට 55කට මේ වැඩිවීම බලනොපාන අතර මේ මිල සංශෝධනය බලපාන්නේ සියයට 45 ක් වන ජල පරිභෝජනය ඉහළ පිරිසටය.
වතුර අපතේ නොහැර අරපිරිමැස්මෙන් පාවිච්චි කළොත් මෙම සියයට 45ට ද මිල වැඩිවීමකින් තොරව ගාස්තුව පවත්වාගෙන යා හැකි බව”ඉංජිනේරු සංගමයේ සභාපති ආනන්ද මුණසිංහ පෙන්වා දෙයි.
මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමේදී ජල සම්පාදන හා ජලපවාහන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක පෙන්වා දෙන්නේ “ වර්තමානයේ මණ්ඩලය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය අනුව මිල ඉහළ දැමීම අනුමත කළ හැකි වුවත් කිසිදු පූර්ව සූදානමක් නොමැතිව විවිධ ව්‍යාපෘති සිදු කිරීමට උපදෙස් දෙන දේශපාලඥයන්ද මේ මිල වැඩි කිරීමට වග කිව යුතු බවයි. නුදුරේදීම ලෝක පරිමාණව පානීය ජල හිඟයක් ඇති වීමට නියමිත බවත්; බීමට ගත හැකි පිරිසිදු පානීය ජලය ලොව පුරා සීඝ්‍රයෙන් අඩුවෙමින් ඇත් බවත්; ඊට හේතු වී ඇත්තේ වේගවත් කාර්මීකරණය, නාගරීකරණය, පරිසර දූෂණය හා ලෝක බලවතුන් අතර පවතින ගැටුම්කාරී වාතාවරණයයි. මේ තත්ත්වය මත ලෝකය නුදුරේදීම ජලය සහ ආහාර අර්බුදයකට මුහුණ පෑ හැකිය. එනිසා මෙරට ඇති පානීය ජල මූලාශ්‍ර අප දිවි හිමියෙන් රැකගත යුතු සම්පතක් බව හේ අවධාරණය කරයි.
එවැනි තත්ත්වයක් මතු වුවහොත් තෙල්වලට වඩා වැඩි වටිනාකමක් ජානීය ජලයට හිමිවන බවත්; එනිසා මෙම සම්පත පුද්ගලීකරණ ක්‍රියාවලිය හරහා ඩැහැගැනීමට විදේශ සමාගම් හා මෙරට ව්‍යාපාරිකයින් මාන බලන බවයි.
සිංගප්පූරූවේ පානීය ජලය නොමැතිය. අසල් වැසි ඉන්දියාවේ ජලාශ මහාපරිමාණයෙන් දූෂණය වී ඇත. මේ ආකාරයෙන් බලන විට ආසියාවේ පිරිසිදු හොඳම පානීය ජලය ඇති රටක් ලෙස අප රට ඉදිරියෙන් සිටියි. සුළඟ වාතය මෙන්ම ජලය ද පොදු මිනිස් අයිතියකි. මේ වනවිට ජල සම්පත අයිති කරගැනීම සඳහා ලොව පුරා විවිධ දෑ සිදු වේ.
ඒවා දේශපාලන ව්‍යාපාර මැදිහත්ව පරාජය කිරීමට ද කටයුතු කර ඇත. අප රට තුළත් ජල කළමනාකරණ පනත් මඟින් සහ විවිධ වැඩසටහන්(ජලනි, ලංකා ජල සමාගම) මඟින් ජල සම්පත පුද්ගලික අංශය අතට පත් කීරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත් අතර ඒවා වෘත්තිය සමිති ව්‍යාපාර හා ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර විසින් පරාජයට පත් වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන පිරිසුදු පානීය ජලසම්පත විකුණා දැමීමට පිඹුරුපත් සකසමින් ඇති බවත් ජනතාව ඉදිරිට පැමිණ ඒවා කොන්දේසි විරහිතව පරාජයට පත් කළ යුතු බවත් උපාලි රත්නායක පෙන්වා දෙයි.
විවිධ දේශපාලන මැදිහත් වීම් නිසා 2012 න් පසුව මිල වැඩි කිරීමට මණ්ඩලයට ඉඩ නොදුන් බවත්; එසේ සිදු කළා නම් සියයට 70% වැනි ප්‍රතිශතයකින් ජල ගාස්තු ඉහළ දැමීමට සිදු නොවන බවත්; එසේම කිසිදු පඩි වැඩි කිරීමක් නොකළ තත්ත්වයක් තුළ සෑම භාණ්ඩ හා සේවාවකම මිල ගණන් ඉහළ ගොස් ඇති අවස්ථාවක එක පාරටම මෙවැනි ජල ගාස්තු වැඩිවීමක් ගැටලු සහගත බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සභාපති ජනක ලියනාරච්චි පවසයි. එසේ වුවත් මෙය පෞද්ගලික අංශය අතට පත් නොවී පවත්වාගෙන යාම සඳහා අසීරුවෙන් වුවත් මේ වැඩි කිරීම දරාගැනීමට ජනතාව ලෙස අපට සිදුවන බව පෙන්වා දෙන හෙතෙම කිසියම් විදියකින් මේ ආර්ථික අර්බුදය උපයෝගී කරගෙන ජල සම්පාදන මණ්ඩලය පුද්ගලීකරණයට සැරසුණහොත් ඊට එකහෙලාම තම සංගමය විරුද්ධත්වය ප්‍රකාශ කරන අතරම එය පරාජය කිරීමටද කටයුතු කරන බව හෙතෙම අවධාරණය කරයි.