
සමගි ජන බලවේගයේ කෑගල්ලේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ ලක්ෂ්මන් දිසානායකය. ලක්ෂ්මන් දිසානායක සමගි ජන බලවේගයේ කෑගල්ලේ ප්‍රධාන සංවිධායක ධුරය ගන්නේ 1997 වසරේ සිට අඛණ්ඩව නියෝජනය කළ කෑගල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධූරය ද අතහැර දමාය.
කෑගල්ල නගර සභාවට 1997 වසරේ තරග වදිමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ලක්ෂ්මන්ට සිය දේශපාලන දිවියේ කෑගල්ල නගර සභාවේ විපක්ෂ නායක ධූරයෙන් එහාට ගමනක් දේශපාලනයේ සිටි විසිපස් වසර තුළම නොවීය. සමගි ජන බලවේගයට එක්වූ ඔහුට හිමිවූයේ කෑගල්ලේ සංවිධායක ධූරය පමණක් නොව, 2020 මහා මැතිවරණයේදී ඔහුට කෑගල්ලෙන් තරග කිරීමටද අවස්ථාවක් ලැබෙන්නේ කාලයක් තිස්සේ පැවති සිහිනයක් යථාර්ථයක් බවට පත්වෙමිනි.
ඒ මැතිවරණයේදී ලක්ෂ්මන්ට පාර්ලිමේන්තුවට පිවිසෙන්නට තරම් මනාප ප්‍රතිශතයක් නොලැබුණත් ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට ඒ ඔස්සේ ලැබෙන්නේ මහඟු පිටුවහලකි. කෑගල්ලේ දේශපාලනයේ දැවැන්තයෙක් බවට ද ඔහු ඒත් සමඟම පත්වන්නේ නිතැතිනි. එහෙත් මේ බලවතා අද සිටින්නේ හිර ගෙදරය. ඒ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි සිය පක්ෂ කාර්යාලය තුළදී තරුණියකට වෙඩි තබා මරා දැමුවා යැයි චෝදනාවකට ලක්වීමෙනි.
මෙම ඝාතනය සිදුවන්නේ පක්ෂ කාර්යාලයේ ඉහළ මහලේ පිහිටි නිදන ඇදක් සහිත විවේක කාමරය තුළය. එසේ ඝාතනය වන්නේ ලක්ෂ්මන්ගේ දුකට සැපට දෙකටම වසර 18ක් තිස්සේ ඔහු ළඟින්ම සිටි තරුණියකි. ඇය සකුන්තලා වීරසිංහය. 38 වන වියේ පසුවූ ඇය ලක්ෂ්මන්ගේ කාර්යාලයේ සේවිකාවක් ලෙස රැකියාවක් කරන්නට එන්නේ වයස අවුරුදු 20දීය. දේශපාලන කටයුතුවලදීත් ව්‍යාපාරික කටයුතුවලදීත් ලක්ෂ්මන්ගේ හයියට හැම විටම සිටියේ සකුන්තලාය. ඇය ලක්ෂ්මන්ගේ පෞද්ගලික ලේකම් චරිතයට මෙන්ම ගිණුම් ලිපිකාරිනියගේ චරිතයටද පණ පෙව්වාය. ගොඩනැඟිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් වූ ලක්ෂ්මන්ගේ මුදල් සම්බන්ධයෙන් වූ සියලු වගකීම් පැවරී තිබුණේ ද සකුන්තලාට ය. සේවක පඩිනඩි පවා ගෙවුණේ ද සකුන්තලාගේ අතිනි.
ලක්ෂ්මන් යටතේ සිටි සේවකයන් අතුරින් ඔහුට විශ්වාසවන්තම සේවිකාව වූයේ සකුන්තලාය. ඇය සේවයට ආ දින සිටම ඇයට ඔහු ඉතා කිට්ටුවන්ත ව සිටියේ එබැවිනි. ඇයට ඔහු සැලකුවේ ද පවුලේ සමීපතමයකුට ලෙසිනි. බොහෝ අවස්ථාවන්වලදී ලක්ෂ්මන් සකුන්තලාට ඇමතුවේ ද දුව යැයි කියාය. ඇගේ වයසට වඩා අවුරුද්දක් දෙකක් බාල දරුවන් දෙදෙනකුගේ පියෙක් වූ බැවින් ලක්ෂ්මන් එසේ ඇයට ඇමතීම අරුමයක් ද නොවීය. සකුන්තලාට දුව යැයි කියා ඇමතීම නිසාම පක්ෂ කාර්යාලයට යන එන බොහෝ අය සිතුවේ ඇය ලක්ෂ්මන්ගේ දියණියක යැයි කියාය. හැබැයි වැඩිකල් නොගොස් ඒ දෙදෙනා අතර පැවති සම්බන්ධය පියකු සහ දියණියක අතර ඇති බැඳීමක් නොව වෙනස්ම වූ සම්බන්ධයක් බවට පෙරළී තිබුණු බව දැන සිටියේ ඔවුන් පමණි. ඒ බව පවා හෙළි වන්නේ සකුන්තලාගේ මරණයත් සමඟිනි.
පක්ෂ කාර්යාලය තුළ සිදු වූ වෙඩි පත්තුවීමෙන් සකුන්තලාගේ මරණය සිදුවන්නේ ඉකුත් 01 වෙනිදාය. එදිනත් සුපුරුදු ලෙස ලක්ෂ්මන් සිය ජිප් රථයට සකුන්තලාව ගොඩ කරගන්නේ හබුදුගල පිහිටි ඇය පදිංචිව සිටි නිවසට ගොසිනි. ඒ උදෑසන කාලයේදීය. ඇයවත් රැගෙන ලක්ෂ්මන් කෙළින්ම එන්නේ කළුගල්ල පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙතය.
පක්ෂ කාර්යාලයක් යැයි කීවාට එම කාර්යාලය මුළුමනින්ම වෙන්වී ඇත්තේ දේශපාලන වැඩකටයුතු වෙනුවෙන්ම නොවේ. ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ කාර්යාල කටයුතු ද සිදුවූයේ එතැන ම ය. ව්‍යාපාරික කටයුතුවලට අදාළ ලිපිගොනු පවා තිබුණේ එම කාර්යාලය තුළය. සකුන්තලා දෛනිකව එහි සේවයට එන්නේද එම ලිපිගොනුවල වැඩ කටයුතු රාශියක් සිදුවන්නේ ඇගේ සුරතින් වූ නිසාය. විශේෂ අවස්ථාවකදී හැරුණු කොට මෙහි බොහෝ විට රැඳෙන්නේ ලක්ෂ්මනුත් සකුන්තලාත් පමණි. එදාත් එහි සිටියේ ඔවුන් දෙදෙනා පමණි. ඒ නිසා සකුන්තලාට වෙඩි වැදුණු හැටි හරියටම දන්නේ ලක්ෂ්මන්ය. හැබැයි මුල සිටම ලක්ෂ්මන් හැමදෙයක්ම සැඟෙව්වේය.
වෙඩි වැදී විවේක කාමරයේ ඇඳ මත වැටී සිටි සකුන්තලාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහක් ගනිමින් ඇයව රෝහලට රැගෙන යනවා වෙනුවට ලක්ෂ්මන් සිය ජිප් රථය රැගෙන යන්නේ සකුන්තලාගේ නිවෙස වෙතය. ඒ සකුන්තලාට වෙඩි වැදී ඇති බව ඇගේ සහෝදරයාට කියන්නටය. සිය දරුවාව පෙර පාසලට ඇරලවීමට යමින් ඒ වන විටත් සහෝදරයා සිටියේ සිය මෝටර් රථයේ නැඟී නගරය දෙසට ගමන් කරමිනි. දෙදෙනා එකිනෙකා මුණගැසෙන්නේ අතරමඟදීය. “සකුන්තලා වෙඩි තියාගෙන“ ලක්ෂ්මන්ගේ මුවින් ඒ ටික කියැවෙනවාත් එක්කම ඔහු මෝටර් රථය ඉතා වේගයෙන් පදවාගෙන එන්නට වූයේ කළුගල්ල මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය වෙතය. ඒ වන විටත් ඇය සිටියේ මිය ගොසිනි. 119 හදිසි ඇමතුම් අංකය දුරකතන ඇමතුමක් ගෙන සකුන්තලාගේ මරණය ගැන පවා කියන්නේ ද සහෝදරයාය. ඒ වන විටත් ඇය වෙඩි වැදී මරණයට පත්ව විනාඩි තිහ හතළිහකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුණාය.
හදිසි ඇමතුම් අංශයට සකුන්තලාගේ සහෝදරයා විසින් ලබාදුන් තොරතුරට අනුව එහි මුලින්ම පක්ෂ කාර්යාලයට එන්නේ කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග ඇතුළු පොලිස් කණ්ඩායමකි. ඒ අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර ද සිටියේය. මෙම මරණය ගැන එම නිලධාරීන්ට ගෙන දුන්නේ දැඩි සැකයකි. එබැවින් ඒ ගැන සිය උසස් නිලධාරීන් වූ සහකාර පොලිිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරට ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කන්දෙවත්තට ද නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනටද වහාම දැනුම් දුන්නේය. ඒ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සංවිධායකවරයකුගේ පක්ෂ කාර්යාලයක මෙම මරණය සිදුව ඇති බැවින් ඒ ගැන විමර්ශන පරිස්සමට සිදුවිය යුතුවූ බැවිනි. ඒ අනුව ඉහළ නිලධාරීන්ගෙන් යම් උපදෙස් කිහිපයක්ද ලබා ගැනීමට පොලිස් කණ්ඩායමට සිදුවිය. ඒ අනුව කෑගල්ල පොලීසියේ නිලධාරීන් මෙම මරණය ගැන විවෘත මනසකින් විමර්ශනයක් ආරම්භ කරන්නේ අනතුරුවය. ඒ ඇගේ මරණය වෙඩි තබාගෙන කරගත් සියදිවි හානිකර ගැනීමක්ද නැතිනම් වෙඩි තබා කළ මිනිස් ඝාතනයක්දැයි පැහැදිලිවම තහවුරු කර ගැනීම සඳහාය.
මෙම මරණය ගැන වැඩියෙන්ම ප්‍රශ්න කරන්නට විමර්ශකයන්ට සිදුවන්නේ ලක්ෂ්මන්ගෙනි. ඒ සකුන්තලාගේ මරණය සිදුවන විට එම කාර්යාලයේ සිටියේ ඔවුන් දෙදෙනා පමණක් වූ බැවිනි. එහිදී ලක්ෂ්මන් විමර්ශකයන් හමුවේ පවසන්නට වූයේ තමා පුවත්පතක් බලමින් කාර්යාලයේ රැඳී සිටියදී විවේක කාමරය දෙසින් එකවරම වෙඩි හඬක් ඇසුණු බවය. සකුන්තලා එම කාමරයේ රැඳී සිටි බැවින් තමා එහි දිව ගොස් බැලීමේදී ඇය වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන සිටි අයුරු දුටු බව ද ඔහු කියන්නට ගත්තේය. වෙඩි වැදී ඇඳ මත වැටී සිටි ඇය ජීවතුන් අතර සිටින්නේ දැයි පරීක්ෂා කර බැලීමක් තබා වෙඩි වැදී සිටි ඇයව රෝහලකට රැගෙන යාමටවත් ලක්ෂ්මන්ට එහිදී උනන්දුවක් තිබී ඇති බවක් ඔහුගෙන් කොතරම් ප්‍රශ්න කළත් විමර්ශකයන්ට පෙනෙන්නට නොවීය. සකුන්තලාගේ සහෝදරයාව සොයා යන්නට පෙර අඩුම තරමින් පොලිසියට ඇමතුමක් දී සකුන්තලාගේ මරණය ගැන කියන්නට උනන්දුවක් නොගත්තේ ඇයි දැයි විමසන විට ලක්ෂ්මන්ට ඊට දෙන්නට පිළිතුරක් නොවීය. එහිදී ඔහු ගොළුවන්නේ ඒ ගැන යම් සැකයක් විමර්ශකයන්ට ඉතිරි කරමිනි.
සකුන්තලාගේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද? වෙඩි තබා සිදු කළ ඝාතනයක්ද? තවදුරටත් පොලිස් විමර්ශකයන්ගේ සැකයට ලක්වන්නේ ඒත් සමඟිනි. එතැන් සිට සකුන්තලාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවන්නේ ද ඒ ගැන දැඩි සැකයකට ලක්වෙමිනි.
මෙහිදී ඇගේ මරණය සම්බන්ධයෙන් සියුම් සාක්ෂි රැස්කිරීමට එහි එන්නේ කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ය. ඒ අයගේ නිරීක්ෂණයට ලක්වන ආකාරය අනුව සකුන්තලා වෙඩි වැදී මියගොස් සිටින්නේ විවේක කාමරයේ ඇද මත උඩුබැලි අතට වැටීය. ඇගේ දෙපා ඇත්තේ ඇඳේ පැත්තක බිම ගෑවෙමිනි. ඒ අනුව අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට පෙනී යන්නේ ඇය ඇදේ පැත්තක වාඩි වී සිටියදී වෙඩි වැදීමට ලක්ව ඇඳ මත උඩබැලි අතට වැටී ඇති බවය. ඇයට වෙඩි වැදුණේ යැයි කියන රිවෝල්වරය ද ඇගේ දකුණු අත අසල තිබුණේ ඇය එම අවියෙන් වෙඩි තබා ගත්තේ යැයි බැලූ බැල්මට පෙනී යන ආකාරයටය. හැබැයි එය අසාමාන්‍ය පිහිටීමක් බව බැලූ බැල්මට විමර්ශකයන්ට පෙනී ගියේය.
විමර්ශකයන්ගේ අවධානය අනතුරුව යොමුවන්නේ විවේක කාමරය ඇතුළත හැරුණු කොට පක්ෂ කාර්යාලය ඇතුළත තැන තැන සවිකර ඇති ආරක්ෂක කැමරා දෙසටය. මුලින්ම පරීක්ෂාවට ලක්වන්නේ පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ආවරණය වන කැමරා කාචයේ සටහන් වූ දර්ශන පෙළය. ලක්ෂ්මන් සහ සකුන්තලා හැරුණු කොට වෙන කිසිදු පිටස්තරයෙක් පක්ෂ කාර්යාලය පැත්ත පළාතේ ගැවසී නැති බව තහවුරු වන්නේ එහිදීය.
අනතුරුව විමර්ශකයන්ගේ අවධානයට යොමුවන්නේ පක්ෂ කාර්යාලය තුළ අටවා ඇති ආරක්ෂක කැමරාවක සටහන් වූ දර්ශන පෙළක් කෙරෙහිය. එම කැමරාව සවිකර ඇත්තේ පක්ෂ කාර්යාලය තුළට විවිධාකාර පුද්ගලයන් පැමිණෙන බැවින් ආරක්ෂාව ගැන සලකා බලාය. එහෙත් එම කැමරාවේ පටිගත වූ දර්ශනවලින් සිය ගෙලට තොණ්ඩුව වැටේවි යැයි ලක්ෂ්මන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඒ සකුන්තලාගේ මරණය පිළිබඳව ලක්ෂ්මන් එතෙක් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කී දේ අතේ පැළවෙන බොරු බවට පත්වන්නේ එම දර්ශන විමර්ශනයේදී වූ බැවිනි.
ප්‍රශ්න කිරීම් හමුවේ ලක්ෂ්මන් කියන්නට වූයේ විවේක කාමරයට මුලින්ම ඇතුළු වූයේ ඇය බවය. එහෙත් කැමරාවේ සටහන් වී ඇති දසුන්වලට අනුව මුලින්ම විවේක කාමරයට යන්නේ ලක්ෂ්මන්ය. ඒ යන විට ඔහු ඇයට එහි එන්නට යැයි කරන සංඥාවක් ද පැහැදිලිවම එහි සටහන්ව ඇත්තේ ලක්ෂ්මන්ට කිසිදු ගැලවිල්ලක් නොවන ආකාරයටය. ලක්ෂ්මන් පසුපසින් ඇය කාමරයට ඇතුළු වන්නේ එම සංඥාවෙන් පසුවය.
එම දර්ශනවලට අනුව විමර්ශකයන්ට පෙනී යන්නේ සකුන්තලාගේ මරණය සිදුවන්නේ ඔවුන් දෙදෙනාම එම කාමරයේ රැඳී සිටි කාලය තුළදී බවය. ලක්ෂ්මන් මොනවා කීවත් විනාඩි 15ක් 20ක් පමණ ඔවුන් දෙදෙනා කාමරයේ ගතකර ඇති බව මේ වන විටත් එම වීඩියෝ දර්ශනවලින් සාක්ෂි සපයා අවසන්ය. කැමරා කාචයේ සටහන්ව ඇති දර්ශනවලට අනුව කාමරය ඇතුළට ගිය දෙදෙනාගෙන් එළියට එන්නේ ලක්ෂ්මන්ය. ඔහුගේ හැසිරීම කලබලකාරීය. කාමරයෙන් පිටතට ආ සැණින් ඔහු කරන්නේ සිය දෑත් කාර්යාලයේ ඇති ජල කරාමයෙන් දෙතුන් වතාවක්ම සෝදා පිරිසිදුකර ගැනීමය. අනතුරුව ඔහු දුරකතනය අතට ගෙන ඇමතුමක් ගැනීමට දරන උත්සහයක් ද පැහැදිලිවම පටිගත වී ඇත්තේය. විනාඩි කිහිපයක උත්සහයකින් පසු කාර්යාලයෙන් පිටතට යන ඔහු නැවත එහි එන්නේ සකුන්තලාගේ සහෝදරයා සමඟිනි.
මේ අනුව සකුන්තලාගේ මරණය තවදුරටත් අභිරහස් මරණයක් නොවීය. ඇගේ මරණය සිදුවන විට ඇය ළඟින්ම ලක්ෂ්මන්ද සිටි බව එම වීඩියෝ දර්ශනවලින් පැහැදිලි සාක්ෂියක් පොලිස් විමර්ශකයන්ට ලබා දුන්නේය. එහෙත් විවේක කාමරය ඇතුළේ සිදුවූයේ කුමක්ද? ඇගේ මරණය සිදුවූයේ කෙසේද? මේ ගැටලුවලට විසඳුම් සොයන්නට විමර්ශකයන්ට සිදුවූයේ අධිකරණ වෛද්‍ය සාක්ෂි මතය.
ඇගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනුයේ කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය විශේඥ තරංග බණ්ඩාර නායකරත්න විසිනි. විමර්ශකයන් ඔහු සමඟින්ද මෙම මරණය ගැන සිය අදහස් හුවමාරු කර ගත්තේය. ඒ වෛද්‍ය විද්‍යාත්මක මතයන් සම්බන්ධයෙනි. සකුන්තලාගේ මරණය ගැන වෛද්‍ය තරංග බණ්ඩාර නායකරත්නගේ නිගමනය වී තිබුණේ ඇගේ ගෙලට පහළින් පපු ප්‍රදේශයට වෙඩිල්ල වැදී ඇති බවය. සිරුර ඇතුළට එය ගමන්කර ඇත්තේ සිරස් ආකාරයෙන් බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගොස් තිබුණේය. වෙඩි තබා ගැනීමකින් මෙන්ම වෙඩි තැබීමකින්ද එසේ සිදුවිය හැකි බව වෛද්‍ය තරංග බණ්ඩාර නායකරත්නගේ මතය වී තිබුණි. එහෙත් එය අවසාන මතය නොවීය. ඒ තවදුරටත් ඒ ගැන කරෙන අධිකරණමය වෛද්‍ය විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවිනි. එසේම ඇයට වෙඩි වැදීම සිදුව ඇත්තේ ගිනි අවිය ඇගේ ගෙල අසලටම තබා හෝ ඉතා ආසන්නයේ තබා නොවන බවද එහිදී විමර්ශකයන් පැහැදිලි කර ගත්තේය. ඒ ගිනි අවිය සිරුරට කිට්ටුවෙන් තබා කරන වෙඩි තැබීමකදී හෝ වෙඩි තබා ගැනීමකදී එතැන පිලිස්සුණු ස්වභාවයක් ඇතිවන බැවිනි. එහෙත් ඇගේ සිරුරේ වෙඩි වැදුණු තැන එවන් කැළලක් පෙනෙන්නට නොවීය. ඒ අනුව වෙඩිල්ල පත්තු වී ඇත්තේ අඩියක්වත් ඈතක සිට බව පෙනී යන්නට විය..
අධිකරණ විශේෂඥ සාක්ෂි හා පොලිස් විමර්ශකයන්ගේ පර්යේෂණාත්මක සාක්ෂි එකිනෙකට ගැළපීමේදී පෙනී යන්නට වූ වැදගත්ම කාරණාවක් වූයේ සකුන්තලාට වෙඩි වැදී ඇත්තේ ඇය ඇඳ මත වාඩි වී සිටියදී බවය. වෙඩිල්ල වදින්නේ ඇගේ මුහුණට යටින් පපු ප්‍රදේශයට ඉහළිනි. ඇයට සිය දිවි හානිකර ගැනීමේ වුවමනාවක් තිබුණි නම් වෙඩි තබා ගන්නේ හිසට හෝ පපුවටය. එය ඉතා පහසුවෙන් ඇයට කරගත හැකිය. එසේ නොමැතිව මුහුණට යටින් ගෙල අසලින් ඉහළ සිට පහළට පපු ප්‍රදේශයට වෙඩිල්ල කිදා බසින ලෙස වෙඩි තබා ගැනීම අසාමාන්‍ය ය. විමර්ශකයන් ආදර්ශකයක් තබා එවැනි වෙඩි තබා ගැනීමක නිරූපණයක්ද කළේය. ඒ සැකහැර කරුණු තවදුරටත් විමර්ශනය කිරීමටය.
එහිදී පවා විමර්ශකයන්ට වඩාත් පැහැදිලිව පෙනී යන්නට වූයේ සිදුව ඇත්තේ වෙඩි තබා ගැනීමක් නොව, වෙඩි තැබීමක් බවය. ඊට අනුව පැහැදිලි වන්නේ වෙඩිල්ල තබන්නේ සකුන්තලා ඇඳ මත ඉදගෙන සිටියදී ඇය ඉදිරියේ හිටගෙන සිටි පුද්ගලයකු විසින් බවය. කැමරා දර්ශනවලට අනුව ඒ වන විට ඇය සමඟ කාමරයේ සිටින්නේ ලක්ෂ්මන් පමණි. එහෙත් ලක්ෂ්මන් තාමත් ඇගේ මරණය සිදුවූයේ තමා අතින් බව පිළිගන්නේ නැත. ඔහු කියන්නේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවකි. මෙවන් තත්ත්වයක් මත ලක්ෂ්මන්ට එරෙහිව තවත් ප්‍රබල පර්යේෂණාත්මක සාක්ෂියක් මතුවන්නේ ඇයට වෙඩි වැදුණු ගිනි අවියෙනි. ඒ එම අවියේ සටහන්ව තිබී හමුවූ ඇඟිලි සලකුණු කිහිපයකිනි. මේ වනවිට එහි ඇති ඇඟිලි සලකුණු ගැන යම් ඉඟියක් විමර්ශකයන්ට ලැබී ඇත.
සකුන්තලාගේ මරණය සම්බන්ධයෙන් වූ විමර්ශනවලදී මේ වන විට වැදගත්ම පර්යේෂණාත්මක සාක්ෂියක් බවට පත්ව ඇති එම ගිනි අවිය පක්ෂ කාර්යාලයට ආවේ කෙසේ දැයි යන්න තවමත් අභිරහසකි. පොලිසිය විශ්වාස කරනුයේ එම අවිය ලක්ෂ්මන් සිය ආරක්ෂාවට තබාගෙන සිටි එකක් විය හැකි බවය. මෙහිදී විමර්ශකයන්ට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ සකුන්තලාට වෙඩි වැදුණේ ඇය නිවසින් රැගෙන ආ අවියකින් නොවන බවය. ඒ අනුව එම අවිය තිබී ඇත්තේ පක්ෂ කාර්යාලය තුළය.
සකුන්තලාගේ මරණය සම්බන්ධයෙන් ලක්ෂ්මන්ට එරෙහිව පර්යේෂණාත්මක සාක්ෂි ගොන්නක්ම මෙසේ රැස්වන විට විමර්ශකයෝ සකුන්තලාට මෙවන් මරණයක් අත්වන්නට මුල්වූ කරුණු සොයන්නටද අමතක නොකළහ. තනිකඩ ජීවිතයක් ගත කළ සකුන්තලා විවාහ වීමට ගත් හදිසි තීරණයක් මෙම මරණය හා බැඳී ඇති බව තහවුරු වන්නේ එවිටය.
සකුන්තලාගේ පියා මිය යන්නේ ඇය කුඩා කාලදීයේදීය. පියාගේ මරණින් පසු පවුලේ වැඩිමලා ලෙස සහෝදරයාගේත් සහෝදරියන් දෙදෙනාගේත් බර කරට ගත්තේ සකුන්තලාය. ඇය ලක්ෂ්මන්ගේ කාර්යාලයේ සේවිකාවක් ලෙස මුලින්ම රැකියාවට යන්නේද සිය සහෝදර සහෝදර සහෝදරියන්ගේ අනාගතය ගැන සිතාය. ලක්ෂ්මන්ට විශ්වාසවන්ත සේවිකාවක් වෙමින් ඔහුගේ සිත දිනාගත් ඇය ලැබෙන හැම සතයක්ම වැය කළේ ඒ අයගේ සුබසිද්ධිය තකාය. දැන් ඒ හැමෝම විවාහකය. සකුන්තලා විවාහයක් ගැන නොසිතුවත් ඇයට ඉකුත් අප්‍රේල් මාසයේ දී විවාහ යෝජනාවක් ගෙන එන්නේ කුරුණෑගල රිදීගම උඩත්තෑවල ගම්මානයේ පදිංචිව සිටි සිය නැන්දණිය විසිනි. ඔහු ගමේ ග්‍රාමසේවක නිලධාරියෙකි. ඇගේ කැමැත්ත එම විවාහයට ප්‍රකාශ වීමත් සමඟ දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කිරීමට දින වකවානු පවා වැඩිහිටියෝ තීරණය කරනු ලැබුවේ හඳහන් ගැළපීම්වලින් පසු නැකත්ද බලාය. ඒ අනුව විවාහය ලියාපදිංචියට දින නියම වී තිබුණේ ලබන වසරේ ජනවාරි මාසයේ මුල් සතියේ දිනයකදීය.
මේ සියල්ලක්ම සිදුවන්නට වූයේ ලක්ෂ්මන්ට නොදැනෙන්නටය. තමා විවාහ වන්නට යන බවක් සකුන්තලාද ලක්ෂ්මන්ට ඉඟි කරන්නටවත් ගියේ නැත. ඒ ඇයි දැයි දන්නේ ඇය පමණි. ඇගේ මරණය හා විවාහය අතර ඇති සම්බන්ධය ගැන තවත් වැදගත් හෝඩුවාවක් විමර්ශකයන්ට ලැබෙන්නේ මෙහිදීය.
ඒ ඉකුත් අගොස්තු 27 වෙනිදාය. එදින සකුන්තලාත්, ඇගේ මවත්, සහෝදරයාත්, සහෝදරියගේ බිරියත්, දරුවාත් රැගෙන ලක්ෂ්මන් සිය මිතුරෙක් වූ චූටි සමඟ කතරගම යන්නේ සකුන්තලාගේ නමින් මිලදී ගෙන තිබුණු ඉඩමක් බලා කතරගම වන්දනාමාන කරගෙන එන්නටය. එදින ඔවුන් කතරගම නවාතැන් ගෙන නැවත පිටත්ව එන්නේ පසු දිනය. ඒ එන ගමනේදී සකුන්තලාගේ දුරකතනයට ලද ඇමතුමක් කෙරෙහි ලක්ෂ්මන්ගේ විශේෂ අවධානයකට ලක්වන්නට ගත්තේය. ඒ ඇය එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ මුකුළු කරමින් වූ බැවිනි. බොහෝ වේලාවක් ඇදී ගිය එම ඇමතුම අවසානයේදී ලක්ෂ්මන් ඇගෙන් අසන්නේ ඒ කවුරුන්දැයි කියාය. “ මගේ බෝයි ෆෙන්ඩ්“ ඇය ගත් කටටම කීවාය. සකුන්තලා විවාහ ගිවිස ගැනීමට ඒ වන විටත් සූදානමින් සිටින බව ලක්ෂ්මන් දැන ගන්නේ එවිටය. ඇය විවාහ වන්නේ කවුරුන් සමඟදැයි හාර අවුස්සමින් තොරතුරු විමසුවත් ඊට එහා වෙනසක් ලක්ෂ්මන්ගෙන් එහිදී පිළිබිඹු නොවීය. පෙර නොවූ විරූ ලෙස දෙදෙනා අතර ගැටුම් ඇතිවන්නට ගන්නේ කතරගම ගමනින් පසුවය.
ඝාතනය වීමට පෙර දිනයේදීත් සකුන්තලාට ඔහු දුරකථන ඇමතුමක් ගෙන තර්ජනය කර තිබුුණේ විවාහයක් කරගන්නට ඇයට ඉඩ නොදෙන බව කියමිනි. ලක්ෂ්මන්ට එරෙහිව ගොඩනැඟෙන සාක්ෂි අතර මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුමද කැටි වී ඇත්තේය. ඒ සකුන්තලාගේ දුරකථනයේ ඇමතුම් ස්වයංක්‍රීයව පටිගත වන බැවිනි. එම දුරකථනය දැන් ඇත්තේ විමර්ශන නිලධාරීන් අතේය. එම ජංගම දුරකථනයේ රහස් අංක බිඳ පටිගත වී ඇති හඬපට එළියට ගැනීමට විමර්ශකයන් සූදානම් වන්නේ අධිකරණයේ නියෝගයක්ද ලබාගෙනය. එම සාක්ෂියද සමඟ සකුන්තලාගේ මරණයට ලක්ෂ්මන් දිසානායක හතර වටින්ම කොටුවීම වැළැක්විය නොහැකි වනු ඇත.