අලුත් පරණ ඕන පොතක් තියෙන තැනක් විජයලා, විජේවීරලා චන්ද්‍රිකාලා, ටෝනිලා පොත් ගන්න ආව ගාමිණී හෝල් පොත් කඩ මෙන්න | සිළුමිණ

අලුත් පරණ ඕන පොතක් තියෙන තැනක් විජයලා, විජේවීරලා චන්ද්‍රිකාලා, ටෝනිලා පොත් ගන්න ආව ගාමිණී හෝල් පොත් කඩ මෙන්න

“දෙහිවල යනකොට විලියම් බහින්න”

“තොටළඟට යන කොට ඉඟුරු කඩේ බහින්න”

“මරදානට යන කොට ගාමිණී හෝල් බහින්න”

 

මෙරට බස්වල පැති තුනකට යන විට බහින හෝල්ට් එක ගැන කියන මං සලකුණුය. ඒත් ඉතින් මේ කියපු තැන් තුනේම ඔය කියන විදියට ඉඟුරු කඩේ හෝ ගාමිණි හෝල් එක දැකගත නොහැකිය. ඔය මොනවා නැතත් මරදානේ ගාමිණී හෝල් ගාව බැසීමෙන් නිසැකවම ඇස ගැටෙන දෙයක් නම් ඇත. ඒ පරණ පුරුදු පොත් කඩ පේළියයි. ඒ අයිනේ ගේට්ටුවෙන් ඇතුළු වූ විට කලක් ලේක්හවුසියේ දැන්වීම් කාර්යලයක් ද පිහිටා තිබුණි.

 

සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සති 2කි. මේ සාහිත්‍යය මාසය යෝජනා කළ පුද්ගලයා ‘පෙරමුණේ තිලක’ නම් පත්‍ර කලාවේදියා බව අද මේ පොත් ප්‍රදර්ශන පවත්වනු ලබන පුද්ගලයන්ගෙන් ඇතැම් අය දන්නවා දැයි සැක සහිතය. ගාමිණී හෝල් ළඟ පොත් කඩ පේළියට අමුතුවෙන් සේල් දාන්නට සාහිත්‍ය මාසය එන්නටම අවශ්‍ය නැත.

ගාමිණී හොල් පොත් කඩ පේළිය වඩාත් ජනප්‍රිය සිංහල හා ඉංග්‍රීසි පොත් පාඨකයන් අතරය. කොටහේන - වැල්ලවත්ත වැනි ප්‍රදේශවල දැන් ‘සෙකන්ඩ් හැන්ඩ් දෙමළ පොත් කඩ’ තිබුණත් ඒවා ජනතාව අතර ජනප්‍රිය නැත්තේ ඒවායේ සිංහල හා ඉංග්‍රීසි පොත් නැති නිසාය.

මෙම කඩ පේළියේ ඉතිහාසය සොයාගෙන යද්දි පෙනී යන්නේ මෙම ව්‍යාපාරය ආරම්භය සිදු වී ඇත්තේ මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට බවය. බොහෝ දෙනා මෙම ව්‍යාපාරයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ ප්‍රේමදාස වීරරත්න ය. හැත්තෑව දශකයේදී එවකට ටයිම්ස් ලංකාදීපයට ඔහු සමඟ සාකච්ඡා කොට ලිපියක් පළ කොට ඇත්තේ කිත්සිරි සමරනායක විසිනි. ඔහු ඊට වසර ගණනාවකට පසු මිය පරලොව ගියේය.

"මේ ව්‍යාපාරයේ ආරම්භ වුණේ තිහේ දශකයේදී. මුලින්ම මම කළේ බයිසිකලයකින් ගිහින් ගෙවල්වල තියෙන පරණ පොත් මිලදී ගත්තා. මම ගත්තේ රාත්තල් ගානට නෙමෙයි. ඒ කාලේ ටැලිෆෝන් තිබ්බ ගෙවල් අඩුයි. පොත් විකුණන්න එකතු වුණාම එම්බසිවලින්, බංගලාවලින් පෝස්කාඩ් එකක් එවනවා. මුලින් මුලින් මම බයිසිකලේ ජංගම පුස්තකාලයක් වගේ ගෙවල්වලට ගිහින් කියවන්න පොත් කුලියට දුන්නා. සමහර අය පොත් සල්ලිවලටම ගත්තා. එතකොට මට හිතුණා, අඩු මිලට පරණ පොත් කඩයක් දැම්මොත් හොඳයි කියලා. මුලින්ම කඩේ දැම්මේ මරදාන ස්ටේෂම ඉස්සරහ. වර්ණකුලසූරිය තමයි මට පස්සේ මේ වැඩේ පටන් අරන් මට තරගයක් දුන්නේ.”

මෙම පොත් ව්‍යාපාරය මුලින්ම පටන්ගෙන ඇත්තේ මරදාන දුම්රියපොළ ඉදිරිපිට වුවත් 1975දී නොබැඳි සමුළුවට මෙම මාර්ගය පුළුල් කරද්දී ගාමිණි හෝල් අසල වත්මන් ස්ථානයට මෙම ව්‍යාපාරය ගෙනැවිත් ඇත. පසුව කෙමෙන් විශාල වූ පොත් කඩ ව්‍යාපාරයක් වී අවසානයේ පොත් කඩ 7ක් දක්වා ව්‍යාප්ත විය. පීටර් පොත්හල, වර්ණසූරිය, ප්‍රේමසිරි, සරත්, සුමුදු හා ප්‍රියන්ති පොත්හල යන නමිනි. ගාමිණී හෝල් පොත් කඩ පරයමින් කොළඹ කොටුවේ පරණ පොත් කඩයක් පසු කලෙක බිහිවිය.

එදා කොටුව යෝක් වීදිය සමඟ දිවෙන රෝහල් වීදිය අපට සිහිපත් කළේ දහනව වැනි සියවසේ නටබුන්ය. මේ පාරේ තිබූ මත්පැන්හල්, කෞතුක භාණ්ඩ, විදේශ රැකියා ආයතන අතර කලක් පරණ පොත් කඩයක් ද විය. පොත් කඩයට දමා තිබු නමේ තේරුම වූයේ 'පොත් පිස්සුව' ය. ‘BIBLIOMANIYA’ නමින් හැඳින්වූ මේ පොත් කඩයට විදුලිය හෝ විදුලි පංකාවක්වත් නොතිබිණ. කොළඹ, වායුසමීකරණය කර ඇති පොත් කඩ අතර මේ ‘බිබ්ලිබෝ’ පොත් කඩය ජනප්‍රිය වූයේ පොත්වල අඩු මිල නිසාය. මේ කඩයට පුවත්පත් දැන්වීම් දමා පොත් ලබාගෙන ඇත. ග්‍රන්ථ කතුවරයකු වූ තම පියාගේ මරණයෙන් පසු දරුවන්ට ඔහුගේ පුස්තකාලය 'කසළ' ගොඩකි. මේ පොත් කඩය තිබුණු තැන පසුගිය බදාදා සොයා ගිය මුත් පොත යනු කුමක් දැයි ගාමිණී හෝල් අසල උදවියගෙන් අසා සිටියත් ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණේ නැත.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පොත විග්‍රහ කොට ඇත්තේ කවර ප්‍රමාණයේ හෝ පිටු 49 කට නොඅඩු මුද්‍රිත වෙළුමකි. එයට අමතරව ක්‍රවුත් 8/1 ප්‍රමාණයේ ප්‍රියමනාප පෙනුම නිමාව සහ මුද්‍රණය පොත් ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතියක් ලෙස සැලකේ. එය අපේ ජාතික පොත් ප්‍රමිතියට ද ඇතුළත්ය. ක්‍රවුන් ප්‍රමාණය යැයි කීවේ ඒ කාලේ පොත් මුද්‍රණය කළ කඩදාසියේ ප්‍රමාණය අඟල් 22 1/2 x 30 වීම නිසාය. ඉන්පසු ලංකාවට ආනයනය කෙරුණේ අඟල් 24 x 36 ප්‍රමාණයේ කොළ වීම නිසාය. අද කවුරුත් 1/8 වෙනුවට කියන්නේ A5 ප්‍රමාණයේ පොත් කියාය. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය නිර්වචනය කොට ඇත්තේ වයස 4 - 11 දක්වා ළමයින් සඳහා ප්‍රකාශයට පත්වෙන කවර පොතක් වුවත් පිටු 16ට වඩා නොවැඩි විය යුතු බවය. ගාමිණී හෝල් ඉදිරිපිට මේ පොත් කඩ පේළියේ ඇති ළමා පොත් බොහොමයක් නිරීක්ෂණය කළ විට පෙනී ගියේ ලොකු අකුරු ඇති පොත් 'ළමා පොත්' ලෙස පාඨකයන් පටලවාගෙන ඇති බවය.

ගාමිණී හෝල් අසල මේ පොත් කඩ පේළියේ එහාටත් මෙහාටත් ඇවිද ගිය විට පැහැදිලිව තේරුම් ගියේ අවුරුදු 25න් පහළ කිසිවකු මෙම පොත් අලෙවි කටයුත්තකට නව පරම්පරාවෙන් එකතු වී නැති බවය. අප මුලින්ම කළේ පොත් කඩයක සිටි ගැනුම්කරුවෙකුගෙන් පොත් ගැන විමසීමය.

“මේක පොත් නැව් ආපු රටක්. 2011දී ගාලු වරායට ආව ජර්මනියේ ලෝගෝස් හෝප් (Logos Hop) නෞකාවේ රටවල් 17ක සේවකයෝ හිටියා. මේ නැව පිළිගත්තේ ගාල්ලේ නගරාධිපති මෙත්සිරි සිල්වා කිවුවේ ලංකාවට එදා ආවේ යුද නැව් දැන් එන්නේ පොත් නැව් කියලා.”

අපට මුලින්ම දැන ගැනීමට අවශ්‍ය වූයේ මේ පොත් කඩවලට පොත් ලැබෙන්නේ කොහෙන්ද කියාය. මෙම පොත් කඩවලට පොත් සැපයීමෙන් ජීවත්වන පිරිසක් ද සිටී.

"සමහර වෙලාවට ලොරියටම ගාණක් කියල ගේන්නෙ. දැන් අපි හිතමු තාත්තා ලේඛකයෙක් හරි පොත් රසිකයෙක් කියලා. ඔහු මියගියාට පස්සේ ඔහුගේ දරුවන්ට ඒ පුස්තකාලේ ලොකු වදයක් වෙනවා. අපිට ආරංචිය ඇවිල්ලා එතනට ගියාම සමහර වෙලාවට පොත් ටික පටවාගන්න කියලා අතිනුත් සල්ලි දෙනවා. ඔය සමහර ප්‍රසිද්ධ ලේඛකයන් මිය ගියාම බෝතල් කඩේට දෙන්න යන පුස්තකාල අපි ගාන වැඩියෙන් දීලා අරගෙන ඇවිල්ලත් තියෙනවා.”

මේ පොත් කඩවල පොත් කුලියට දෙන සේවාවක් ද ඇත. රුපියල් දහසක පමණ පොතක් සඳහා තැන්පතු මුදල රුපියල් 400කි. මාසයක් පොත තියාගෙන කියවන්න අය කරන මුදල රුපියල් 100කි. මුල්ම කාලේ පොතක කුලිය වී ඇත්තේ සත 5කි.

“දැන් අයිඩෙන්ටිය තියලා පොත් ගෙනියන්න දෙනවද?”

“අපෝ නැහැ. අයිඩෙන්ටිය තියලා සමහර පොත් ගෙනිච්චා. පරණවිතාන මහත්තයා ලියපු අවුරුදු 75 කට වඩා පරණ පොතක් තිබුණා. ඒ පොතට සුද්දෙක් ලක්ෂ 2ක් ඇඩ්වාන්ස් එකක් දීලා තිබුණේ. අයිඩෙන්ටිය තියලා ඒ පොත අරගෙන ගිය කෙනා අද වෙනකම් පොත ආපහු ගෙනාවේ නෑ. අන්තිමට අපිට ඊටත් වඩා ගාණකට සුද්දට පොතක් හොයල දෙන්න වුණා.”

“අලස්ගේ JVP ගැන පොත කීයක් වෙනවාද?”

“අලුත් ප්‍රින්ට් එකක් එහෙම නෑ. සාමාන්‍යයෙන් පොතේ කොලිටිය අනුව රුපියල් දෙදාහත් අටදාහත් අතර ගාණකට විකිණෙනවා.”

“දැන් කවුරු හරි පොතක් ඉල්ලුවොත් ඒ පොත ෆොටෝකොපි එහෙම ගහල දෙන්නැද්ද?”

“කීයටවත් නෑ. ඒක නීති විරෝධියි. නඩු යන කේස් එකක්. අපිට එහෙම පොතක් විකුණන්න අයිතියක් නෑ.”

කරුණු සොයා බැලීමේදී පෙනී ගියේ වරක් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මහා සභාවේදී ඒකමතිකව සම්මත කළ යෝජනාවක් වූයේ ඡායා පිටපත් නොහොත් ෆොටෝකොපි යන්ත්‍රවලින් කර්තෘ භාගය අයකළ යුතු බවය. මීට හේතු වූයේ සමහර පුද්ගලයන් පොත් ෆොටෝකොපි මඟින් ප්‍රති මුද්‍රණය කිරීම නිසා පොත් අලෙවියට එය අහිතකර ලෙස බලපාන බවය. එහෙත් මෙම තත්ත්වය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුණේ නැත. දැන් අලුත්ම තත්ත්වය නම් පොතක් ෆොටෝකොපි ගහනවාට වඩා මුද්‍රිත පොතක් මිලදී ගැනීම ලාභදායි බවය.

දැන් මේ පොත් කඩ ද තාක්ෂණයෙන් දියුණු වී ඇති බැවින් අවශ්‍ය පොතේ පිටකවරය වට්සැප් මඟින් පොත් කඩ හිමියා වෙත යොමුකර, කොළඹ ඇවිත් රස්තියාදු නොවී කූරියර් සේවය මඟින් ගෙදරටම ගෙන්වා ගත හැකිය. මෙම පොත් අතරින් වැඩිම අලෙවියක් ඇත්තේ ජාත්‍යන්තර පාසල්වල අච්චු පොත්වලටය.

ගාමිණී හෝල් ඉදිරිපිට පොත් කඩ හතක පොත් ගොඩ ගසා තිබුණ ද ලෝකයේ එක පොත් කඩයක්වත් නැති ව්‍යාපාරිකයකුට සම්මාන දුන් අවස්ථා ද ඇත.

ටයිම්ස් සඟරාව මඟින් වරක් ලෝකයේ වැඩිම බලපෑමක් කළ විශිෂ්ට ව්‍යාපාරිකයා තෝරනු ලැබිණ. ටයිම්ස් සඟරාව තෝරාගත්තේ ලෝකයේ ලොකුම හා හොඳම පොත් වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. මේ ව්‍යාපාරිකයා වූයේ ජේෆ් බේසන් ය. ඒත් පරහකට තිබුණේ බේසන්ට එක් පොත් කඩයක්වත් නොතිබීමය. විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවද පොත් විකිණීමෙන් ලෝකය ඇල්ලිය හැකි බව බේසන්ගේ ඇමේසන් කොම් (Amazon Com) පොත් සමාගම ලෝකයට පෙන්වා දුන්නේය. පොත් කඩ නැති මේ ව්‍යාපාරය මුළුමනින් සිදුකෙරුණේ අන්තර්ජාලය මඟිනි.

මේ විකිණීමට ඇති පරණ පොත්වල මුද්‍රිතව ඇත්තේ ඉතා අඩු මිලකි. මේ පොතකට මිල නියම කරන හැටි ගැන කිවුවේ වසර 50 කට වඩා පොත් අලෙවියේ නියුතු අතුල කුමාරසිරි ය.

"පොතේ කන්ඩිෂන් එක බලනවා, කොච්චර මාකට් ද බලනවා. දැන් ඒවායේ පොතක මිල බලනවා. මුද්‍රිත වර්ගය මේ තක්සේරුවේදී ඉතාම වැදගත් වෙනවා"

කුමාරසිරි එසේ කීවද පොතක මුද්‍රිත මිලට වැඩියෙන් පොතක් විකුණු පුද්ගලයකුට අත් වූ ඉරණම කලකට ඉහත පුවත්පතකින් පළකොට තිබුණේ මෙසේය.

“පොත්වල පාලන මිලක් තිබියදී කලකට ඉහතදී පාරිභෝගික අධිකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කළේය. සැකකරුට වූ චෝදනාව කෘෂිකර්ම උපදේශක පොතක් ප්‍රකාශක මිලට වඩා වැඩි මිලට විකිණීමය. චෝදනාවට රුපියල් 10,000/- ක දඩ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කරන ලදි.”

මේ පොත් කඩවල සිටි වියපත්ම අලෙවිකරුවකුගෙන් විමසුවේ මේ පොත් කඩවලින් පොත් මිලදී ගැනීමට පැමිණි විශේෂිත පුද්ගලයන් කවුද කියාය.

“ඉස්සර අනුර බණ්ඩාරනායක එනවමයි. ඩී.බී. වෙලගෙදර, හැරලඩ් හේරත්, එස්. ඒ. වික්‍රමසිංහ, නිතර ආවා. ලලිත් ඇතුළත්මුදලි ඉස්සරහ තියෙන සමාගම් මැදුර හදනකොට ඒ ගැන තියෙන පොත් ඔක්කොම අරන් ගියා. එතකොට ටී.බී. ඉලංගරත්න, මෙරිල් කාරියවසම් වගේ අයත් ආවා. දැන් නම් ආසාවකට දේශපාලනඥයෙක් පොතක් ගන්න මෙහෙට එන්නේ නෑ. පිටරට ඉඳන් එන අය ගොඩක් එනවා, ඒ අයගේ මවුරට ගැන පළවෙච්ච පොත් තියෙනවද බලන්න.”

“ නළු නිළියො එහෙම එන්නෙ නැද්ද?”

"ගාමිණි ෆොන්සේකාගේ වයිෆ් හරියට පොත් බලනවා. ගාමිණිත් එහෙමයි. ගාමිණි ඉස්සරහ ෆිල්ම් හෝල් එකේ දර්ශනයකට ආවොත් ගාමිණිගේ වයිෆ් මෙතැනින් පොත් ගොඩක් අරගෙනමයි යන්නේ. ටෝනි රණසිංහ හරියට පොත් ගන්නවා. විජය කුමාරතුංග - චන්ද්‍රිකා බැන්ද අලුත ඉංග්‍රීසි පොත් ගෙනිහින් තිබුණා. රෝහණ විජේවීර මාක්ස්වාදය ගැන පොත් අරන් ගිහින් තියෙනවා.”

ඔහු කීවේ අතීත මතක දිගහරිමිනි. බොහෝ සොයා ගන්නට නොහැකි පොතක් සොයා බොහෝ දෙනා පැමිණෙන්නේ මෙතැනටය. පාපැදියේ සිට කෝටි ගණන් වටිනා V8 ජිප් එක දක්වා රථවල එන පාඨකයෝ මෙම පොත් කඩවලට එති.

“ඒ කාලේ නම් පොත් මිල හරි අඩුයි. පිටරට පොත් නම් යම් හේතු නිසා ප්‍රතික්ෂේප වුණාම අපි ඒ කාලේ රාත්තල් ගානට ගත්තා. කොරෝනා කාලේ ගෙවල්වලට යන්න බැරි වුණා. එම්බසිවලට, සමාගම්වලට ඇතුලු වෙන්න බැරි වුණා. ඊට වැඩිය අපි පොත් ගේන්නත් බය වුණා, ඒවා අස්සේ කොරෝනා ඇති කියලා. දැන් පරණ පොතුත් ගිනි ගණන් කියනවා. මොකද බෝතල් පත්තරවලටම ලොකු ගාණක් ගෙවනවා. අපටත් ගන්න බැරි ගාණකට දැන් මේ පරණ පොත් මාකට් වෙලා අන්තිමට අපට ගන්න බැරි ගාණට පොත් මිල ඉහළ ගිහින්”

“ආණ්ඩුවෙන් සම්මාන එහෙම ලැබිල නැද්ද මේ පොත් කඩවලට?”

“මොන සම්මානද? ඇඳිරිනීතිය දාන්නැතුව රට වහන්නේ නැතුව තිබ්බ නම් අපිට ඇති. මේක මහා ලොකු බිස්නස් එකක් නෙමෙයි. මේකට ඉන්නේ අමුතුම පාරිභෝගිකයෝ ටිකක්. ඒ කාලේ පොතක් දොරට වඩින උත්සවයට කලින් දවසේ කොච්චියේ කොළඹට ඇවිල්ලා ඉස්ටේසමේ නිදාගන්නවා වගේ පොත් රසිකයන් තාමත් මේ පොත් කඩවලට එනවා. අපිට ඉතින් තියෙන සම්මාන මහජන සම්මාන තමයි.”

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් වරක් මෙරට පොත් හල් 3කට ‘ගුරුළුගෝමි’ සම්මානය පිරිනමන ලදි. අගනුවරින් විජිත යාපා, නගරාසන්නයෙන් නුගේගොඩ සරසවි සහ ප්‍රාදේශීය වශයෙන් මහනුවර සීවලී පොත්හලට ගුරුළුගෝමි සම්මානය පුදන ලැබුවේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි රිචඩ් පතිරණ ය.

ගාමිණී හෝල් ඉදිරිපිට මේ පොත් කඩ අතර ඇවිදින විට හොඳින්ම තේරුම් ගත් කරුණක් වූයේ 'පොත්'‍ තවමත් ජනතාවගෙන් දුරස් වී නැති බවය. මිනිසා අලුත් තාක්ෂණය සමඟ කොතරම් පෑහුණ ද පොතක් කියවීමෙන් ලැබෙන මානසික සුවය, අවබෝධය, අධ්‍යාපනය අන් කවර මාධ්‍යයකින්වත් ලබාගත නොහැකිය. ඉකුත් වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගත තත්ත්වයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙනි. ඊට පෙර වසරේ ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවය. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ද කොවිඩ් පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය. එහෙත් මොන කොරෝනා උවදුර නිසාවත් මේ පොත් කඩ පේළිය නම් වසා දැමුණේ නැත. ඔවුනට වසරේ දවස් 365ම සාහිත්‍ය දිනයන්ය. අලුතෙන් 'ප්‍රදර්ශන' පවත්වා තමන් ගැන සංදර්ශන පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය නැත්තේ ද ඒ නිසා විය යුතුය.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments