
හූනු බිජු, බුල්ටෝ, සීනිබෝල නැති වුණත් රටටම බොම්බයි මොටයි හදන ගෙන්දගම් පොළොවේ එකම තැන මෙන්න
“සිලිං බිලිං
කූරු වළලු පාට හතේ මාල පබළු
වෛවාරණ අරුමෝසම් වටේට එල්ලා රෝද දෙකේ මාලිගාව
පොළට ඇවිල්ලා“
මේ සිංදුව අද දරුවෙකු ඇසුවහොත් මේ සිංදුවේ කියන 'තොරොම්බල් වෙළෙන්දා' ගැන දැනගන්නට පරණ හෝඩි පොතක්, තොරොම්බල් වෙළෙන්දකුගේ පිංතූරයක් බලාගත යුතුය. ඒවගේම අද මාල, වළලු, බෝනික්කන්, කණ්ණාඩි එල්ලා ගත් පුෂ් බයිසිකල් නොහොත් රෝද දෙකේ මාලිගාවල් දැක ගන්නට නැත.
මෑතක් වන තුරු තරුණ පරම්පරාව අතර ජනප්‍රිය පැණිරස කෑම වූ හූණු බිජු, නාරං බික්, බුල්ටෝ මෙන්ම සීනි බෝල ද දැන් දැක ගන්නට ඇත්තේ කලාතුරකිනි. කොළඹ දැන් දැන් ආනයනික පැණිරස කෑම ජෙලි වර්ග, ලොලි පොප්, ටොපි, චොකලට් වර්ගවලින් පිරී යන්නේ දේශීය රසකැවිලි නිෂ්පාදකයන්ට ඔලොක්කුවට මෙනි. කිසිදු ප්‍රමිතියකින් තොර අධික සීනි ඇති චීනයෙන් හා අරාබියෙන් ගෙනා මේ රසකැවිලි තොග පිටින් ඇති තැනක් නම් ගෑස්පහ හංදිය හා රැජින වීදියයි. ගෑස්පහ හන්දියේ කඩවල පිරී ඉතිරී යන විදේශීය පැණිරස කඩයකට ගොවැදී මිල විමසමින් සිටියේ අරාබියෙන් ගෙනා අල පෙති ඇති ඩප්පිය අතට ගැනීමෙනි.
බෝධිරාජ මාවත දෙසින් ඇසුණේ කුඩා සීනුවක් නාදවන හඬකි. රසකැවිලි කඩේ 'නනා' උස් හඬින් “බොම්බයි මොටයි" යනුවෙන් අඬ ගැසීය. බෙල් එකකුත් හොලවමින් ආවේ පරණ තාලේ බොම්බයි මොටයි වෙළෙන්දෙකි. අමුඩ ලේන්සුව තුන්හුලස් කොට ඔළුවේ ගැටගසාගෙන, බීඩියක් බොමින් අලි බැනියමක් හා කොටු සරමක් ඇඳ සිටි බොම්බයි මොටයි වෙළෙඳුන්ගේ රූපය මා මගේ බාල කාලයේ මතකයට ගෙන යන්නට සමත් විය. ඔහු බොම්බයි මොටයි ගෙනා අසුරනය අපි පොඩි කාලේ දැක තිබූ බොම්බයි මොටයි ගෙනා මංජුසාවමය. එහි වෙනසක් තිබුණේ නැත.
රසකැවිලි කඩේ නනා බොම්බයි මොටයි වෙළෙන්දා අත රුපියල් 20ක් තැබීය.
“අයියෝ චී - චී බොසා දැන් 20ට බොම්බයි මොටයි නෑ. අඩුම දෙන්නේ රු. 50 ට.
මේ මහත්තයා පුදුම වෙලා බලන් ඉන්නේ ඇයි? බොම්බයි මොටයි දැකල නැද්ද? ලොක්කා මේ මහත්තයටත් එක්ක දෙනව බොම්බයි මොටයි 2ක්. මෙන්න සීයක්.“
බොම්බයි මොටයි කාපු කාලයක් මතක නැහැ. ඊටත් වඩා බොහෝ දෙනකු සිතා සිටින්නේ මේ “බොම්බයි මොටයි“ දැන් වඳවී ඇති රස කැවිල්ලක් බවය.
“දැන් ඔය 'බොම්බයි මොටයි' ගේන්නේත් චීනෙන් ද? ඒත් නැත්නම් ෂුවර් එකට ඉන්දියන් වෙන්ටෑ!"
“නෑ! නෑ!! මහත්තයාට මම හදන තැන කියන්නම්."
බොම්බයි මොටයි වෙළෙන්දා කියූ ගමන් විස්තරය අනුව ඉසව්ව සොයා ගත්තෙමි. වේල්ල වීදිය කච්චේරිය දෙසින් මේ පාරේ දකුණට හැරුණොත් හමුවන්නේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ නිවහන වූ 'සැනසුමය' ය. වමට මේ බොම්බයි මොටයි පාරට හැරෙන තැන ආරම්භ වන්නේ ප්‍රේමදාස මහතාගේ ගුරුවරයකු වූ සාගර පලන්සූරිය පවුලේ ආරම්භක ව්‍යාපාරයකිනි. ඒ ව්‍යාපාරය ලංකා බ්ලොක් මේකර්ස් ය.
මේ පාරේ ටික දුර ගොස් දකුණට හැරී නැවත වමට හැරී බොම්බයි මොටයි ව්‍යාපාරය සොයා ගත්තෙමි. ව්‍යාපාරයට ඇතුළු වනවිටත් බොම්බයි මොටයි මැෂිම නාද වෙමින් පැවතුණි. එක් සේවකයකු ඒවා රැගෙන ඉලෙක්ට්‍රික් තරාදියට දමා 'සෙලෝපේන්' බෑග්වල අසුරන්නේ ඒවායේ වාතය ඉවත්වන ලෙසය. තරාදියට වඩා හොඳට සේවකයාගේ අත කිලෝව හඳුනයි. තරාදියට දැමූ පසු එය හරියටම ග්‍රෑම් 1,000කි. එක ග්‍රෑමයක් අඩු වෙන්නේ හෝ වැඩි වන්නේ නැත.
මේ බොම්බයි මොටයි ව්‍යාපාරය ආරම්භය 1943 තෙක් ඈතට දිව යන්නකි. මේ ආරම්භකයා මොහොමඩ් ෆාරුක් ය. ෆාරුක්ගේ උපන් ගම වූයේ බේරුවලය. වැලි ගොඩ දැමීම, කුලීවැඩ ආදිය කළත් ෆාරුක්ට යා දුන්නේ නැත. ෆාරුක් විවාහ වූයේ මට්ටක්කුලියේය. පවුලගේ ගෙදර යනවිට දිනක් ෆාරුක්ට රුකියාවක් ගැන ඉඟියක් ලැබුණේ කැලණියෙනි. පසුදිනම ව්‍යාපාරික ස්ථානයට ගිය ෆාරුක්ට පෙනී ගියේ ව්‍යාපාරය හිමියා ඉන්දියාවේ සිට පැමිණි මලයාලි පුද්ගලයකු බවය. ඒ.ජේ. අග්නි නම් වූ ඔහුගේ ව්‍යාපාරය වූයේ ඉන්දියාවේ මොම්බායේ සිට බොම්බයි මොටයි ඉන්දියන් බෝඩරයට කරත්තවල පටවා ගෙනත් එතැන් සිට වල්ලම්වලින් ලංකාවේ ගොඩ බෑමය. ඇත්තෙන්ම එදා බොම්බායෙන් ගෙනා නිසා 'බොම්බයි මොටයි' විය යුතුය. එහෙත් එදා බොම්බයි මොටයි අද මෙන් පුළුං වගේ තිබී නැත. ඒවා ඇවිත් තිබුණේ 'නූඩ්ල්ස්' වගේ කෙළින් කූරු ය.
මොහොමඩ් ෆාරක් සමඟ බොම්බයි මොටයි වැඩපළේ වැඩ කළ පිරිස හයකට වැඩිය. එය පිහිටියේ කැලණියේ දළුගම ය. බොම්බායෙන් ගෙනා බොම්බයි මොටයිවලට විවිධ වර්ණ ගැන්වීම, රස ගැන්වීම, රාත්තල් ගානට කිරීම සහ තොරොම්බල් පෙට්ටි වලට අසුරා හවස මුදල් ගෙවන පොරොන්දුවට දීම ද මෙම ව්‍යාපාරයේදී කෙරෙන කටයුතුය. ඒත් 'බොම්බයි මොටයි' මුල් නිෂ්පාදනය සිදුකෙරුණේ බොම්බායේදීය. මේ කියන වකවානුවේ බොම්බයි මොටයි රාත්තලක මිල රුපියල් 2කි. ඒ කාලේ කරදාසියක ඇසුරූ බොම්බයි මොටයි අලෙවි කොට ඇත්තේ සත ඉලුක් තාලයකටය. ඒ කියන්නේ සතයකටත් අඩු මිලකටය.
සිරිමා, ශාස්ත්‍රි ගිවිසුමට ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් තැබෙන්නේ මේ අතරය. මේ නිසා බොම්බයි මොටයි ලංකාවේ නිර්මාතෘ මලයාලම් ව්‍යාපාරිකයාට නැවත තම මවුබිම වූ ඉන්දියාවට යන්නට සිදුවිය.
ආනයන තහනමත් සමඟ ෆාරුක් ඇතුළු 60කට අධික පිරිසකට ජීවත් වෙන්නට නොහැකිව යන එන මං නැති වූයේ බොම්බයි මොටයි ලංකාවට ගෙන ඒම තහනම් කටයුත්තක් වූ නිසාය. අවසානයේ තම ගුරා වූ මලයාලම් ජාතිකයා සමඟ මොම්බායට ගිය වෙලාවක බොම්බයි මොටයි හදන ෆැක්ටරියේ හදපු මාත්තුව හොයාගෙන ලංකාවේ බොම්බයි මොටයි හදන්නට පටන් ගත්තේ තම බඩවියත රැක ගැනීමටය. මුලින් මුලින් හැදූ බොම්බයි මොටයි පදම වැරදීම නිසා ඒවා ෆැක්ටරියේ අතහැරදා තිබූ පාළු ළිඳකට හලන්නට සිදුවිය. එහෙත් ෆාරුක් අවසානයේ තම 'බොම්බයි මොටයි' පදම අල්ලා ගත්තේය. බොම්බයි මොටයි ඉන්දියාවේ සිට ආවේ 'නූඩ්ල්ස්' මැෂිමකින් අඹරා දිග කූරු ලෙසය. ෆාරුක් හැදූ 'බොම්බයි මොටයි' පුළුන් මෙන් සුමුදුය. කටට දමාගත් විට නොදැනුවත්වම දියවන බැවින් ඉන්දියන් බොම්බයි මොටයිවලටත් වඩා ජනතාව අතර ඉතා ජනප්‍රිය වන්නට විය.
මොහොමඩ් ෆාරුක් අසූව දශකයේ මිය ගිය විට එම ව්‍යාපාරය තම අතට ගන්නේ ෆාරුක්ගේ බිරිය ය. ඒ වන විට එය ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වී තිබුණේ දැන් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන සැටියටය. ෆාරුක්ගේ බිරිය සෙයිට්හුන් බිබීට අමුතුවෙන් බොම්බයි මොටයි හදන්නට ඉගෙන ගැනීමට අවශ්‍යව තිබුණේ නැත. ඊට හේතුව තම සැමියාට ඇය නිතිපතා බොම්බයි මොටයි හදන්නට උදවු වූ නිසාය.
දැන් මේ ව්‍යාපාරයේ රජ කරන්නේ ෆාරුක්ගේ තුන්වැනි පරම්පරාව ය. එහි ලොක්කා නොහොත් ‘බොසා’ මොහොමඩ් අස්වර් ය.
අප බොම්බයි මොටයි කිව්වට මෙම ව්‍යාපාරය ඔවුන්ගේ නාම පුවරුවේ ඇත්තේ බොම්බයි මිට්ටායි (BOMBAY MITTAI) ලෙසය. අස්වර්ගේ සහායට කළමනාකරු ලෙස කටයුතු මෙහෙය වන්නේ ඔහුගේ මස්සිනා නිසාම් ය. නිසාම් කියන්නේ 'ම්ට්ටායි' කියන්නේ sweet වර්ගවලට නොහොත් පැණි රසවලට බවය.
‘රෝස පාටින් බබළන බොම්බායි මොටයි 'යටත් විජිතයේ' උඩිනුත් මොටයි - වමෙත් මොටයි - දකුණෙත් මොටයි ගොඩගසාය. ඒ මැදින් මාව අස්වර් කැඳවාගෙන යන විට මට හිතුණේ අපට 'මොටැයි' කියාය.
“1982 බොම්බයි මොටයි රාත්තලක් සත 10යි. දැන් කිලෝව රුපියල් 800/=යි. සිල්ලරට විකුණන්නේ කිලෝව 1,500යි, ගෙවල් ගානේ විකුණන වෙළෙඳුන්ට පාඩුවක් වෙන හින්දා"
කරුණු සොයා බැලීමේදී අපට පෙනී ගියේ ලංකාව පුරාවටම බොම්බයි මොටයි බෙදා හරින්නේ මෙතැනින් බවය. ඒ බෙදාහැරීම් සඳහා කිලෝ 10, 15 පෙට්ටි කොරියුගේටඩ් මුද්‍රණය කොට ඇත. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටම බොම්බයි මොටයි බෙදන්නේ බස්වල ලැගේජ් හරහා සහ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් හරහාය.
යාපනේ නල්ලූර් කෝවිල උත්සව පැවැත්වෙන අගෝස්තු සිට සැප්තැම්බර් අග දක්වා බොම්බයි මොටයිවලට ඇත්තේ දැඩි ඉල්ලුමකි. නුවර පෙරහැර, සීනිගම, කැලණිය, බෙල්ලන්විල මෙන්ම සමන් දේවාලය සිරිපා වන්දනා යුගය මෙන්ම කතරගම පෙරහර යුගයට ද මේ බොම්බයි මොටයි ෆැක්ටරිය පැය 24 වැඩ කළත් ඉල්ලුම සපුරාගත නොහැකිය. ගෝල්ෆේස් අරගල භූමිය පැවති යුගය බොම්බයි මොටයිවලට පැවතියේ අධික ඉල්ලුමකි.
“ඉස්සර රුපියල් 10 ට 20ට දුන්නට දැන් අඩුම දෙන්නේ රු. 50ට. අලුතින් බොම්බයි මොටයි රස්සාවට එන අයට ඔය කැටයම් භාජනේ අපි නොමිලේ දෙන්නේ." අස්වර් නැවතත් අපට කීවේ භාජනය පෙන්වමිනි.
“දැන් ඔය බොම්බයි මොටයි හදන මැෂිම හදපු රට මොකක්ද?"
“අවුරුදු 8කට කලින් තුර්කි මැෂිමක් එක්කෝටි හැට ලක්ෂයයි. මේ මැෂිම මම හැදුවේ. තුර්කි මැෂිම OIL Nometric, මම හදපු මැෂිම කොම්ප්‍රෙෂර් එකෙන් (හුළං බලයෙන්) වැඩ කරන්නේ, මම මේ මැෂිම හදන්න සල්ලි ගන්න ගෙවල් දෙකක් විකුණුවා!"
උදේ පාන්දර තුනේ සිට දිනපතා මෙතැනට පැමිණෙන ජංගම වෙළෙන්දන් සංඛ්‍යාව 200කට අධිකය. උදේ පාන්දර එන්නේ යාපනය, අනුරාධපුර, මාතර, නුවර වැනි ප්‍රදේශවල ජංගම වෙළෙන්දන්ය. මේ වෙළෙඳාම අවුරුදු 40 කළ වෙළෙන්දන් සිටී. ණයට ගෙනියන බොම්බයි මොටයිවල විකිණූ සල්ලි හවස් වන විට අනිවාර්යයෙන්ම 'බොම්බාය මුට්ටායි' ගිණුමට වැටෙන්නේ දැඩි විශ්වාසය නිසාමය.
“සාමාන්‍යයෙන් බොම්බයි මොටයි වෙළෙන්දෙක් දවසකට හැතැප්ම විස්සකට වැඩිය ඇවිදිනවා. අපේ ගණන් බේරල දවසකට රු. 4,000ක් විතර අඩුම ගානේ හොයනවා."
“ඒ කියන්නේ මාසික ආදායම බොම්බයි මොටයි වික්කොත් රු. 120,000ට වැඩියි."
එහෙත් පසුගිය කොරෝනා යුගය බොම්බයි මොටයි වලට අඳුරුම යුගයක් විය. කොරෝනා උවදුරට බයේ බොම්බි මොටයි වෙළෙන්දකු ගෙදරකට වැද්ද ගත්තේවත් නැත.
පාරවල් අයිනේ තියාගෙන හදන බොම්බයි මොටයි අප දැක ඇත. ඒත් අස්වර් කියන්නේ ඒවාට යොදන්නේ සීනි පමණක් බවය. ඒවා කල්තියා ගැනීමට ද නොහැකි අතර අතින් ගැසූ විට චප්ප වී යයි. ඒත් මේ බොම්බයි මොටයි හදන්නට යොදා ගන්නේ ඉහළම තත්වයේ නොම්බර එකේ සුදු පොල්තෙල්, ප්‍රිමා සුපිරි පිටි සහ සුදු සීනි ය. සුදු සීනි ද හොඳම එකෙන් තෝරා ගත්තේ නැත්නම් නිෂ්පාදනයේ ඇති 'ඩිමාන්ඩ්' එක අඩු වන්නේ 'කොලිටිය' නොහොත් තත්ත්වය බාල වන නිසාය. ලයිමෝල් ටිකක් දාන්නේ රස වැඩි වන්නටය.
දැන් අලුත්ම තත්ත්වය නම් රස කැවිලිවලට යොදාගන්න අමුද්‍රව්‍යවල මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යෑමය. තිරිඟු පිටි මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 276කි. එළවළු තෙල් මිල මෙන්ම පොල්තෙල් මිල ද සියයට 200කින් මිල ගොස් ඇත. බොම්බයි මොටයිවලට අත්‍යවශ්‍ය සීනි මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 181කි. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ බොම්බයි මොටයි නිෂ්පාදනයට වැය වන විදුලි බිල ය. විදුලි බිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 180කි.
අස්වර් පවසන්නේ මේ ව්‍යාපාරය ආරම්භ කළ යුගයේ බොම්බයි මොටයි වෙළෙදාමට පිවිසි පුද්ගලයන් 4දෙනකුට වඩා තවමත් සේවයේ යෙදී සිටින බවය. ඔවුන් දැන් අසූවැනි විය ද පසුකර සිටී.
“අපි වගේ ව්‍යාපාරවලට ආණ්ඩුව උදවු කළොත් ඔය නිකං ඉන්න කොල්ලෝ ලක්ෂයකට විතර රස්සා දෙන්න පුළුවන්. මේක කාටවත් අතපාන්න ඕන් නැති රස්සාවක්. ආණ්ඩුව අපට සහාය දුන්නොත් තුර්කියෙන්, මැලේසියාවෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් මැෂින් ගෙනල්ල නිෂ්පාදන වැඩි කළා නම් පවුල් ලක්ෂ 20කට වඩා මේ කර්මාන්තයෙන් යැපෙන්න පුළුවන්. අපට අද වෙනකම් කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබිල නැහැ.”
මුහුණු පොතේ “බිස්කට් කන්න එපා” යැයි ව්‍යාපාරයක් ගෙනිච්චත් 'බොම්බයි මොටයි' කන්ට එපායයි කවුරුත් ව්‍යාපාරයක් ගෙන යන්නේ නැත. කොරෝනා නිසා යටපත්ව ගිය මේ ව්‍යාපාරය දැන් නැවතත් අළු ගසා නැඟී සිටිමින් සිටී.
ඉන්දියාවෙන් ලංකාවට බොම්බයි මොටයි ආවද දැන් ලංකාවේ බොම්බයි මොටයි ඉන්දියන් වෙළෙඳපොළට යවන්නට තරම් ඉහළ ප්‍රමිතියෙන් යුතු බවට අප තේරුම් ගත්තේ එතැනට පැමිණි ඉන්දියන් සංචාරකයන්, චීන සංචාරකයන් මෙන්ම රුසියන්, එංගලන්ත සංචාරකයන් පවා මඟතොට සොයාගෙන විත් තොග පිටින් තම රටවලට ගෙන යන්නට බොම්බයි මොටයි මිලදී ගන්නා නිසාය.
“අපි ලෝකේ ඕනම රටකින් ගෙන එන රසකැවිලි එක්ක සටන් කරන්න සූදානම්. ආණ්ඩුවට කියල අපට සහයෝගයක් දෙන්න. ලක්ෂ ගාණකට මේකෙන් රැකියා උපද්දන්න පුළුවන්." අප සමුගන්න විට ලංකාවේ බොම්බයි මොටයි තුන්වැනි පරම්පරාවේ අස්වර් අපට පැවසුවේ දැඩි බලාපොරොත්තු සහගතවය.
ඡායාරූප - සුදත් නිශාන්ත