
ඇසු දුටුවන්ගේ හද කම්පා කරවන පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පට්ටිපොල පොලිස් වසමට අයත් අඹේවෙල ප්‍රදේශයෙනි.
ඒ හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන ගෝනුන් අඹේවෙල ඉස්මත්තේ රක්ෂිතයේදී දඩයම් කිරීම සඳහා උන් පසුපස හඹා යන සුනඛ රංචුවකින් ගෝනුන්ට සිදුවන ජීවිත හානිය පිළිබඳය. එසේ සුනඛයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා අබේවෙල ජලාශයට පනින ගෝනුන් එහි පීනා යද්දී දියේ ගිලී මිය යන බව සඳහන් පුවතට විශාල ප්‍රචාරයක් ලැබෙන්නේ නුවරඑළියේ වනජීවී නිලධාරින්ගේ අවධානය ද ඒ සඳහා යොමු කරමිනි.
සුනඛයන්ගෙන් බේරී දිවි ගලවා ගැනීම සඳහා මෙසේ අඹේවෙල ජලාශයට පනින ගෝනුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජලාශයේ ගිලී මිය ගොස් සිටින බව ද උන්ගේ සිරුරු ජලාශයේ පාවෙමින් ඇති බව ද මාධ්‍ය වාර්තාවලින් අනාවරණය විය.
ගෝනුන් දස දෙනකුගේ සිරුරු අඹේවෙල ජලාශයේ ඇති බව ද වැඩි දුරටත් කියැවිණි.
අඹේවෙල ප්‍රදේශයේ වෙසෙන දඩයක්කරුවන් විසින් දඩයම සඳහාම ඇති කරන ලද සුනඛයන් පසුව අතහැර දැමීමෙන් අනතුරුව එම සුනඛයන් රංචුවක් වශයෙන් එකතුවී අඹේවෙල වැව ඉහත්තෑවේ රක්ෂිතයට ගොස් එහි සිටින ගෝනුන් පසුපස හඹා ගොස් උන් දඩයම් කිරීම සඳහා ගන්නා උත්සාහයේදී සුනඛයන්ගෙන් බේරීම සඳහා අඹේවෙල ජලාශයට පනින ගෝනුන් ජලාශයේ ගිලී මිය යන බවට තොරතුරු මාධ්‍ය මඟින් මෙසේ හෙළිකර තිබිණි. මෙහි සුවිශේෂි කාරණය වූයේ අඹේවෙල ජලාශයෙන් නිකුත් කරන ජලය වැලිමඩ රේන්දපොල පට්ටිෙපාල මීපිළිමාන උෟවපරණගම ඩයගම ආගරපතන සහ ලිඳුල ප්‍රදේශවල පානීය ජලය ලෙස සහ වගාවට භාවිත කිරීමයි. ජලාශයේ ගිලී මිය යන ගෝනුන්ගේ සිරුර නරක්වීම නිසා එම අපවිත්‍ර ජලය ද අදාළ ප්‍රදේශවල පානීය ජලය ලෙස භාවිතයට ගැනීම බරපතළ ප්‍රශ්නයක් විය. මේ ගැන මුල්වරට තොරතුරු හෙළිවූ අවස්ථාවේම ඒ ගැන සොයා බලා තොරතුරු වාර්තා කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර උපදෙස් ලබා දෙන්නේ නුවරඑළිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයටය. නුවරඑළිය වනජීවී නිලධරයන්ට මුල් තොරතුරු ලැබී තිබුණේ 18 වැනිදාය. වනජීවි නිලධරයෝ මේ ගැන වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර ද දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.
මේ අතර මේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ද ආරම්භ වී තිබුණි. නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් මත පට්ටිපොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත ධනපාල ඇතුළු කණ්ඩායමක් බුද්ධි අංශ නිලධාරින් ද සමඟ එහි ගොස් විමර්ශන සිදුකරන ලදි.
ගෝනුන් දියේ ගිලී මිය ගිය ස්ථානය දින තුනකදී නිරීක්ෂණය කරන වන ජීවී නිලධාරින් එසේ දියේ ගිලී මිය ගිය ගෝනුන් දස දෙනකුගේ සිරුරු සොයාගෙන තිබිණි. ඉන් එක් ගෝනකුගේ හිස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් කපා ඉවත්කරගෙන තිබුණේ වැඩිදුර විමර්ශන සඳහාය.
ගෝනුන් මෙසේ දියේ ගිලී මියගොස් සිටියේ සුනඛයන් උන් පසුපස හඹා ඒමේ ප්‍රතිඵලයක් වශයෙන් බව වනජීවී නිලධාරින් නිගමනය කරන්නේ ඉන් අනතුරුව සිදුකරන ලද විමර්ශනයේදීය. ඇතැම් ගෝනුන්ගේ සිරුරුවල සුනඛ සපාකෑම්වලින් සිදුවූ තුවාල ද නිරීක්ෂණය කෙරිණ.
මේ සුනඛයන් කලක් දඩයක්කරුවන් සමඟ කැලේ කොලේ ගැවසුණු උන් බවට සැක කැරේ. මේ සුනඛ රංචුවේ සුනඛයන් 8 - 10 අතර සංඛ්‍යාවක් සිටින බවට වනජීවී නිලධරයෝ සැක කරති. උන් අඹේවෙල ගමේ සහ ප්‍රදේශයේ ප්‍රකට ගොවිපොළක සිටින සතුන් බවට ද සැක කැරේ. එහෙත් ඉන් එක් සුනඛයකුවත් සොයා ගැනීමට වන ජීවී නිලධරයන්ට හැකියාව තිබුණේ නැත. මේ සුනඛයන් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් දැමීම නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ වගකීම බව වනජීවී නිලධරයන්ගේ අදහසයි.
හෝටන්තැන්නේ සිටින ගෝනුන් මෙසේ සුනඛ ප්‍රහාරයට ලක්වීමෙන් දිවි ගලවා ගැනීම සඳහා අඹේවෙල ජලාශයට පැමිණිමෙන් පසු දියේ ගිලි මිය යන බව මාධ්‍ය වාර්තා පළවී තිබුණත් එය එසේ නොවන බව වන ජීවී නිලධරයන් සිදු කරන ලද මූලික විමර්ශනයේදී හෙළිවිය. ඒ අදාළ ස්ථානයේ සිට කිලෝමීටර 8 - 9 ක් පමණ ඈතින් හෝටන්තැන්න පිහිටා තිබීම නිසාය. ඒ අනුව හෙළිවන්නේ අඹේවෙල ජලාශය අවට වනසංරක්ෂණයට අයත් අක්කර ගණනක රක්ෂිතයේ සිටින ගෝනුන් අතරින් කීපදෙනකු මේ සන්තැසියට මුහුණ පා ඇති බවකි.
අක්කර 996කින් සමන්විත අඹේවෙල ජලාශයේදී ගෝනුන් මරුමුවට පත්වීමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබුණේ එය පටු බෑවුම් සහිත සහ ගැඹුරින් වැඩි ජලාශයක් වීමයි. ජලය ද අධික ශීතලෙන් යුක්තය. සුනඛයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා ජලාශයට පනින ගෝනුන්ට නැවත ඉන් ගොඩ ඒම මේ නිසා අපහසුය. ජලාශයට පනින ගෝනාගේ බරවැඩි වීම, ජලාශය බෑවුම් සහිත වීම නිසා ගෝනාට ගොඩ ඒමට ඇති අවස්ථාව අඩු බව වන ජීවී නිලධාරින්ගේ මතයයි.
අඹේවෙල ජලාශයේ එක් පැත්තක් වන සංරක්ෂණයට අයත් වනාන්තරයට නිව්සීලන්ඩ් ගොවිපොළට සහ අඹේවෙල පට්ටිපොල ප්‍රධාන මාර්ගයට මායිම් වන අතර එහි දෙපැත්ත කිලෝමීටර 6ක් පමණ දිගින් යුක්තය.
අඹේවෙල වැව අසල වන සංරක්ෂණ රක්ෂිතයේ කොටියා, ඉත්තෑවා, වැලිමුවා, වඳුරන්, ගෝනුන් ඇතුළු වන සතුන් වෙසෙති. දඩයක්කරුවන්ගෙන් මේ වන සතුන් රැක ගැනීම සඳහා නුවරඑළිය වන ජීවී නිලධාරින් ගන්නා වෙහෙස අපමණය.
පට්ටිපොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්. පාලිත ධනපාල ඇතුළු කණ්ඩායමක් වන ජීවී වන සංරක්ෂණ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සමඟ අදාළ ස්ථානයට ගොස් විමර්ශන සිදු කරන්නේ පසුගිය සතියේ සිටය 24දා කළ මෙහෙයුමේදී සුනඛයන් 5දෙනෙකු පොලිසිය විසින් නිරීක්ෂණය කෙරිණි.
මේ විමර්ශනවල පහසුව සඳහා අඹේවෙල ජලාශය ඉහත්තෑවේ පිහිටි වන සංරක්ෂණ රක්ෂිතයට කිසිම පුද්ගලයකුට අවසර නොමැතිව ඇතුළුවීම පට්ටිපොල පොලිසිය විසින් තහනම් කර තිබිණි.
ගෝනුන් මිය යාමට ප්‍රධාන හේතුව සුනඛයන්ගේ ක්‍රියාව බවට පැතිරෙන තොරතුරුවල එතරම් සත්‍යතාවක් නොමැති බව පට්ටිපොල පොලිස් ස්ථානාධිපති එම් එම් පාලිත ධනපාලගේ අදහසයි. අදාළ රක්ෂිතයේ කොටියා ද ගැවසෙන බැවින් සුනඛයන් එහි නොයන බව ඔහුගේ අදහසයි.
නුවරඑළිය දිසාවේ වන සංරක්ෂිත කැලෑ භූමි ප්‍රමාණය හෙක්ටයාර පනස්දහසක් පමණය. ඉන් හෙක්ටයාර 4350ක් වනජීවී රක්ෂිතයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය ගැල්වේස්ලැන්ඩ් සහ හග්ගල දැඩි ස්වාභාව රක්ෂිතය මේ අතරට අයත් වේ.
මිය ගිය ගෝනුන් වන ජීවී රක්ෂිතයට අයත් නොවන ප්‍රදේශයක ජීවත් වුවත් වන සතුන් නිසා උන්ගේ ආරක්ෂාව පැවරී ඇත්තේ වන ජීවී නිලධාරින්ටය. නුවරඑළිය වන ජීවී නිලධාරින් ද එම සත්‍යය බැහැර කරන්නේ නැත.
නුවරඑළිය අඩවි වන ආරක්ෂණ බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 300ක් අයත්ය. වන සතුන් සුනඛයන් විසින් සපා කෑමේ සිදුවීම් මාසයකට 15 - 25 අතර වාර්තා වන බව වන ජීවී ආරංචි මාර්ග සඳහන් කරයි. ගෝනුන්, වැලිමුවන්, හාවුන්, වඳුරන් වැනි සතුන් සුනඛයන්ගේ ප්‍රහාරයට වැඩිපුර ලක්වෙති. පසුගිය මාස 6ක කාලය ඇතුළත මේ සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට තිබිණි. මේ කලාපයේ වන සතුන් දඩයම් කිරීමේ සිදුවීම් 15ක් සම්බන්ධ යෙන් වන ජීවී නිලධාරින් විසින් පුද්ගලයන්ට නඩු පවරනු ලැබ ඇත.
පසුගිය හත්වැනි මාසයේ විසි දෙවැනිදා සුනඛයන් රංචුවක් විසින් සපා කෑමට ලක් කරන්නට ගිය ගෝනකු වනජීවී නිලධරයන් විසින් බේරාගෙන තිබිණි.
ගෝනුන්ගේ සිරුරු අඹේවෙල ජලාශයේ කුණුවීම නිසා සිදු වි ඇති පරිසර හානිය ද සුළු පටු නැත. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය අඹේවෙල ජලාශයේ පිරිසිදු ජලයට එකතු කරන ලද රේන්බෝ ටුවිට් මිරිදිය මසුන්ද මෙහි ජීවත් වෙති. හෝර්ටන් තැන්නෙන් පසු එම මත්සයන් දැක ගත හැකි එකම තැන අඹේවෙල ජලාශයයි. ජයන්ට් කාෆ් මසුන් මෙහි සිටින අතර එම මිරිදිය මත්සයින්ට ලොකු ඉල්ලුමක් ඇත්තේ ප්‍රදේශවාසි ජනතාවගෙන් සහ ප්‍රදේශයේ සංචාරක හෝටල් වලිනි. මේ වන විට අදාල ජලාශයේ ජලය ගෝන සිරුරු නරක් වීම නිසා දුර්ගන්ධය හැමීමෙන් ධිවර කර්මාන්තයට ද එල්ලවී ඇත්තේ නරක කල දසාවකි.
ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරි ආර්.එම්.බී. කුෂාන් විජේරත්න
අඹේවෙල ජලාශයේ ගෝනුන් මිය යාම නිසා එහි ධීවර කර්මාන්තයට බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. ගෝන සිරුරු 15ක් පමණ ජලයේ පාවෙමින් තිබෙන නිසා ජලය අපවිත්‍රවෙලා. මේ ගැන කෘෂිකර්ම කමිටුවේදිත් අවධානය යොමු කළා.
අඹේවෙල ජලාශයේ ධිවර කර්මාන්තයේ නිරතව සිටින මොහොමඩ් රිෆාඩ්
මම මේ ජලාශයේ ධිවර කර්මාන්තයේ නිරතව සිටිනවා අඹේවෙල ප්‍රදේශයේ ඇතැම් නිවාසවල ඇති කළ සුනඛයින් එම නිවෙස්වලින් පන්නා දැමු පසු එම සුනඛයින් අඹේවෙල රක්ෂිතයට හුරුවෙලා 25 ක් පමණ සිටිනවා. උන් ගෝනුන්, මුවන්, හාවුන් දඩයම් කරනවා.
කේ.එම්. රසික්
අඹේවෙල ජලාශයේ මේ වන විට විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතිනවා. කිසිවකුගේ අවධානය යොමු වී නෑ. ගෝන සිරුරු රැසක් ජලාශයේ තවමත් තියෙනවා.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි සමන්ත ජයසුන්දර
මේ සිද්ධිය දැනගත් වහාම මම වනජීවි නිලධාරින් ඒ ගැන දැනුම්වත් කළා. ඒත් තවමත් නිසි විසඳුම් නෑ. මම පට්ටිපොල පොලිස් ස්ථානාධිපති පාලිත ධනපාල සමග අඹේවෙල ජලාශයේ සංචාරය කළා මිය ගිය ගෝනුන්ගේ සිරුරු තැන තැන තිබුණා. සමහරුන්ගේ ගෙලේ මදු පැටලිලා තිබුණා.
ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ