
- ගුවන් හමුදාවේ අපේ කණ්ඩායමේ හොඳම කැඩෙට් නිලධාරියා වුණේ මමයි
- සරසවියේ සියලු අංශවලින් කැපී පෙනෙන ක්‍රීඩකයා හැටියටත් තේරුණා
- නිතරම මගේ සේවකයන්ට ඉහළ වැටුපක් දුන්නා
- සේවකයන්ට නොදැනෙන්න මූල්‍ය ගැටලු කළමනාකරණය කරගන්න ඕනෑ
නාලක හේවාමද්දුම කළමනාකරණ හා මානව ඵලදායිතාව පිළිබඳ ප්‍රකට දේශකයෙකි. ඉංජිනේරුවරයෙකි. ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිධාරියෙකි. LA BELLE නමින් ගෘහ භාණ්ඩ ආනයනික හා අපනයනික ව්‍යාපාරයක් අරඹමින් ස්වාධීන ව්‍යවසායකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට පෙර හේ යුනිලිවර් ආයතනයේ හා සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ වෘත්තිකයකු ලෙස කටයුතු කෙරූවෙකි. කැනඩාවේ පදිංචියට ගිය ද ඔහු ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයේ හා මානව ඵලදායිතා ක්ෂේත්‍රයේ නිරන්තර කියැවෙන නාමයකට හිමිකම් කියන්නෙකි. මේ ඔහුගේ දිවිසැරිය ඔස්සේ කියැවෙන සාර්ථකත්වයේ කතාවයි.
සම්පූර්ණ නම - මම භාවිත කරන්නේත් මගේ සම්පූර්ණ නාමයමයි. නාලක හේවාමද්දුම
උපන්දිනය - 1965 අගෝස්තු 30 වැනිදා
උපන් ගම - අනුරාධපුරය
මාතරත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?
මගේ තාත්තාගේ තාත්තා, සීයා අසනීප වීම නිසා අපි මාතරට යනවා. ඒ මට අවුරුදු දෙකේදී. මම අනුරාධපුරේ ඉපැදුණාට ඇත්තට ම මගේ ගම මාතර.
අම්මා, තාත්තා රැකියාව වශයෙන් මොකද කළේ?
මගේ තාත්තා උපතිස්ස හේවාමද්දුම. ඔහු රැකියාව කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. මව අනුලා හේවාමද්දුම. මට ගජබා නමින් බාල සහෝදරයෙක් හා රසිකා නමින් බාල සහෝදරියක් ඉන්නවා.
පාසල් යන්නේ
මම මාතර රාහුල විද්‍යාලයට ගියා 6 වසර වෙනකම්. ඊට පස්සෙ සාමාන්‍ය පෙළ තෙක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ගියා. තාත්තා ආයෙත් අනුරාධපුරයට ආව නිසා තමයි 6 වසරෙදි නැවතත් අනුරාධපුර ආවෙ. උසස් පෙළ කරන්න කොළඹ ආනන්දෙට ආවා.
අනුරාධපුරේ ඉඳපු ඔබ කොළඹ ආනන්දෙට එන්න පාර කැපෙන්නෙ කොහොමද?
සාමාන්‍ය පෙළට මට තමයි උතුරු මැද පළාතේ හොඳ ම ප්‍රතිඵල ලැබුණේ. ඒ නිසයි මට ආනන්දෙට එන්න පාර කැපුණෙ.
පාසලේදී ඔබ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්
ඔව්. මම මලල ක්‍රීඩා කළා. මීටර් 100, 200 තමයි මගේ ඉසව්. 15න් පහළ ජාතික පාසල් ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වුණා. ආනන්දෙදිත් මම කථික තරගවලට, විවාද තරගවලට විවිධ සමිති සමාගම්වලට සහභාගී වුණා. ඇත්තට ම පාසල් වැඩවලට වඩා බාහිර වැඩ කළා.
පළමුවර ම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍ය හිමි නොවන්නෙත් මේ නිසා ද?
ගණිත අංශයෙන් මම උසස් පෙළ කළේ. පළමුවර විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ ලකුණු නම් මදි වුණා තමයි. ඒත් මම දෙවැනි වර මොරටුව විශ්වවිද්‍යාලයට තේරෙනවා.
ඔබ විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ රැකියාවක් කරමින් සිටියදී
මම උසස්පෙළ කරලා ගුවන් හමුදාවට බැඳුණා. ඒ පුහුණු ගුවන් නැවියෙක් විදියට. ගුවන් හමුදාවෙ අපේ කණ්ඩායමේ හොඳම කැඩෙට් නිලධාරියා වෙන්නෙත් මම. මගේ පුහුණුවේ අවසාන කාලෙදි තමයි මාව මොරටුව විශ්වවිද්‍යාලෙට තේරිලා කියලා පණිවිඩේ ආවෙ.
විශ්වවිද්‍යාලෙට නොගිහින් ඉන්නයි මුලින් ම කල්පනා කරන්නෙ
ඔව්. ඇත්තටම. මම හිතුවෙ විශ්වවිද්‍යාලෙ නොගිහින් ඉන්න. ඒ කාලෙ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වෝල්ටර් ප්‍රනාන්දු මගේ ඒ තීරණේ දැනගෙන මාව ගෙන්නුවා. ගෙන්නලා ඉංජිනේරු උපාධියේ තියෙන වටිනාකම කියලා දුන්නා. කියලා දීලා කිව්වා උපාධිය ගන්න යන්න කියලා.
ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද
අපේ තාත්තා රජයේ සේවකයෙක්. එයා අපි ඉගෙන ගන්න ඒවට වියදම් කළා. අපි කිව්වා නම් වෙන ඕනම දේකට වියදම් කරාවි. ඒත් මම එහෙම කරදර කළේ නෑ. තාත්තට දරන්න පුළුවන් වියදම් සීමාව ඇතුළත ඉන්න මම උත්සාහ කළා.
විශ්වවිද්‍යාල කාලෙත් ක්‍රීඩා කළාද?
ඔව්. මම ජාතික තලයේ ක්‍රීඩා 2ක් කළා. ඒ මලල ක්‍රීඩා සහ බර ඉසිලීමේ ඉසව්. මම විශ්වවිද්‍යාලෙ සියලු අංශවලින් කැපී පෙනෙන හොඳ ම ක්‍රීඩකයා ලෙසත් තේරුණා. මම ක්‍රීඩා 7ක් වෙනුවෙන් විශ්වවිද්‍යාලෙදි වර්ණ අරන් තියෙනවා.
ඔබ උපාධිය කරන කාලෙ 89 ජවිපෙ කලබල. කොහොමද ඔබේ විශ්වවිද්‍යාල ජීවිතයට ඒක බලපෑම් කළේ
මගේ විශ්වවිද්‍යාල අවුරුදු 4 අන්තිමට අවුරුදු 7ක් වෙලා තමයි නතර වුණේ. අවුරුදු 3ක් විශ්වවිද්‍යාලෙ මුකුත් ම කළේ නෑ. ගොඩක් අය විවිධ දේ ඒකාලෙ කළා. මම නම් ඒ කාලෙ කළේ ක්‍රීඩා කටයුතු ම තමයි. මම විශ්වවිද්‍යාලෙන් එළියට එද්දි මට අවුරුදු 27 යි.
අවුරුදු 3ක් විශ්වවිද්‍යාලෙ හැදෑරීම් කරද්දි අපතේ යද්දි අපරාදෙ කියලා හිතුණෙ නැද්ද?
මම නිතරම හිතපු දෙයක් තමයි ඒ අතහැරුණු ටික නැවත ගන්න ඕන කියන එක. ඒකයි විශ්වවිද්‍යාලෙන් එළියට එද්දිම ඉලක්කයක් තියාගෙන ආවෙ. අවසන් වසරෙදි මට දෙවන පෙළ ඉහළ සාමාර්ථ්‍යයක් ලැබුණා. බාහිර වැඩ වගේම අධ්‍යාපන කටයුතුත් මම සාර්ථක ව කළ නිසයි ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන් වුණේ.
විශ්වවිද්‍යාලෙන් එළියට එන ඔබ වෘත්තිය ජීවිතය පටන් ගන්නෙ කොතනින්ද?
මම මුලින්ම පුහුණු කළමනාකරුවෙක් විදියට යුනිලිවර් ආයතනයට බැඳෙනවා. ඒ කාලෙ යුනිලිවර් එකට යනවා කියන්නෙ ලොකු දෙයක්. ගොඩක් අයගෙ සිහිනයක් ඒක. මොකද අනෙක් ආයතන එක්ක බැලුවහම යුනිලිවර් එකේ වැටුප් හරි ඉහළින් තිබුණෙ.
එතැනින් ඔබ යන්නෙ සිංගර් ශ්‍රී ලංකා ආයතනයට
ඔව්. මම නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් විදියට සිංගර් ශ්‍රී ලංකා ආයතනයට එකතු වුණා. සිංගර් ආයතනයේ ගෘහ භාණ්ඩ අංශයේ ආනයනික අපනයනික ඵලදායිතාව වැඩි කරන්න මම ගොඩක් කාර්යක්ෂම ව වැඩ කළා.
ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය කරන්න ඔබ යොමු වෙන්නෙ ඒ කාලෙද?
මම සිංගර් ඉදිද්දි ම තමයි ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයට යන්නෙ මගේ ව්‍යාපාර කළමනාකාර පශ්චාත් උපාධිය හදාරන්න. මට ඒ සඳහා සම්පූර්ණ පිරිවැය දරන්නෙත් සිංගර් ආයතනයේ සභාපති වුණු හේමක අමරසූරිය මහතා විසින්. ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරන්න ගිහින් තමයි මගේ ජීවිතේ එක්තරා කඩඉමක් මට උදා වෙන්නෙ.
මොකද්ද ඒ කඩඉම
එතනදී මට හමුවෙනවා ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් වුණු මහාචාර්ය ගුණපාල නානායක්කාරයන් ව. එතුමා නිරන්තරයෙන් අප ව දිරිමත් කළා ව්‍යවසායකයන් වීමට. ඒ දිරිමත් කිරීම නිසා ම අවුරුදු 5කට පස්සෙ මම සිංගර් ආයතනයෙන් ඉවත් වෙලා මගේ ම ආයතනයක් පටන් ගන්නවා.
ඔබට පළපුරුදු ක්ෂේත්‍රයමයි ඔබ තෝරා ගන්නේ ස්ව ව්‍යාපාරයටත්
ඔව්. මට තිබුණා ගෘහ භාණ්ඩ ගැන හොඳ දැනුමක් ඒ වෙද්දි. ඉතින් මම පටන් ගත්තා 1998 අවුරුද්දෙ ඒ සම්බන්ධ ව්‍යාපාරයක්. සේවකයන් 5කගෙන් බොහොම පොඩියට තමයි අපි මේ ව්‍යාපාරය පටන් ගත්තෙ. අවුරුදු 5ක් යද්දි ලංකාවේ ගෘහ භාණ්ඩ වෙළෙඳපොළේ ප්‍රධාන සන්නාම 5ට එන්න අපට හැකි වුණා. අලුත් මෝස්තර, සිත් ගන්නා සුළු ගෘහ භාණ්ඩ අපි දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් වෙළෙඳපොළට දුන්නා.
මොකද්ද ඔබේ ව්‍යාපාරයේ නම
ඒක ප්‍රංස නමක්. LA BELLE කියලා ප්‍රංස භාෂාවෙන් කියන වචනයේ ඉංග්‍රීසි තේරුම BEAUTIFUL කියන එක. සිංහලෙන් අලංකාරයි කියන අර්ථය.
ව්‍යාපාරයක් පටන් ගනිද්දි ප්‍රාග්ධනයක් ඕන. කොහොමද ප්‍රාග්ධනය හොයා ගත්තෙ
ඇත්තටම එහෙම යට කරන්න තරම් ප්‍රාග්ධනයක් මට තිබුණෙ නෑ. මම ණය මුදලක් ජාතික සංවර්ධන බැංකුවෙන් ඉල්ලුම් කළා. මගේ ව්‍යාපෘතියේ වැදගත්කම නිසා ජාතික සංවර්ධන බැංකුව මට ඒ ණය මුදල දුන්නා. ඇත්තටම තනියම නැගිටින ව්‍යවසායකයන්ට දෙන අතහිත නිසාම සංවර්ධන බැංකු කියන දේ ගොඩක් වටිනවා.
මොනවද මුහුණ දෙන්න වුණු අභියෝග
මේ වගේ ව්‍යවසායකයෙක් වෙද්දි තමන්ගේ තනතුර වැදගත්. මම ඉංජිනේරුවෙක්, ඒ වගේ ම ඉහළ කළමනාකරුවෙක්. ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිව්වම කට්ටිය හිතන්නෙ වඩු වැඩ කියලා. උදාහරණයක් විදියට මම ගෙදරක පැන්ට්‍රියක් හදන්න යනවා නම් ඒ ගෙදර අය දන්නෙ නැහැ, මම ඉංජිනේරුවෙක් කියලා. ඒ අය මට සලකන්නෙ වඩු බාස් කෙනෙක් විදියට. මම ඒ තත්ත්වයට මුහුණ දෙන්න ඕන.
ඒවගේම තමන්ගෙ ආයතනයක් කරද්දි තමන් සියලු ම වැඩ බේදයකින් තොරව ඕනෑම වෙලාවක කරන්න පුරුදු වෙන්නත් ඕන. නිහතමානී බව හා කැපවීම කියන දේ අත්‍යවශ්‍යයයි.
ඒ වගේම මූල්‍ය ගැටලුවලදි අපි අපේ සේවකයන්ට නොදැනෙන පරිදි ඒවා සමබර කරගන්න ඕන. ඉලක්කයක් ඇතිව වැඩ කරන්න ඕන.
කොහොමද ඔබ කළමනාකරණ හා මානව ඵලදායිතාව පිළිබඳ දේශකයකු ලෙස කරලියට එන්නෙ
ඒක පටන් ගන්නෙ මගේ මිතුරෙක්ගෙන්. ඔහු මේ වනවිට කොමර්ෂල් බැංකුවේ මානව ප්‍රාග්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉසුරු තිලකවර්ධන. ඒ කාලෙ ඉසුරු වැඩ කළේ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ. ඔහු මට ආරාධනා කළා මගේ අත්දැකීම් ඇසුරෙන් දේශනයක් කරන්න කියලා තමන්ගෙ කණ්ඩායමට. මුලින් මම ඇකැමැති වුණත් පසුව මම ඒ දේශනය කළා. ගොඩක් අය කැමැති වුණා. පස්සෙ ඉසුරු ම මට යෝජනා කළා වෘත්තීය මට්ටමේ දේශනයක් කරන්න කියලා යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මධ්‍යම කළමනාකාරීත්වයට. එතැනින් තමයි මම අද ඉන්න මේ ක්ෂේත්‍රයට පාර කැපුණෙ. කළමනාකරණය හා නායකත්වය ගැන මම පුහුණු වැඩසටහන් කරන්න පටන් ගත්තා.
මේ ක්ෂේත්‍රයේ ඔබේ ස්වර්ණමය කාලෙදි ඔබ රට හැර යනවා. අපරාදෙ කියලා හිතුණෙ නැද්ද
මගේ පුතා ඉල්ලීමක් කළා අපි කැනඩාවෙ පදිංචි වෙමු කියලා. ඒකයි මම මගේ වෘත්තිය ජීවිතේ හොඳ ම කාලෙ ලංකාව හැර යන්නේ. වෘත්තිය මට්ටම ඉහළම තැනක තියෙද්දි ඒක අතහරින එක අභියෝගයක්. ඒක හැමෝටම කරන්න බෑ. කැනඩාවෙත් මම කළමනාකරණ හා නායකත්ව පුහුණු උපදේශකයෙක් විදියට වැඩ කළා. පුද්ගල ඵලදායීතාව නැංවීම මගේ විෂයය.
ඔබට ලැබෙනවා පේටන්ට් බලපත්‍ර හිමිකමක්
කැනඩාවේ ආයතනයකින් මට ආරාධනයක් ලැබෙනවා ඔවුන්ගේ ආයතනයට සම්බන්ධ වෙන්න. එහිදී කරන්න තිබුණෙ සීතල හා උණුසුම කියන පාරිසරික හේතු අභ්‍යන්තරයට ඒම වළකන්න වීදුරුවට ගාන්න පුළුවන් කෙමිකල් එකක් හදන්නයි. මම ඉංජිනේරුවරයෙක් විදියට වගේම ගෘහ භාණ්ඩ නිපදවන්නෙක් විදියට කළ වැඩ සහ අත්දැකීම් මෙහිදී මට ප්‍රයෝජනවත් වුණා. ඒකට තමයි මම ඇතුළු පස්දෙනකුට පේටන්ට් බලපත්‍රය ලැබුණෙ.
කැනඩාවෙදි ඔබේ ක්ෂේත්‍රයට අදාළ ව වැඩ කරන්න අවස්ථාව ලැබෙනවද?
මම එහේදී පටන් ගත්තා පුහුණු හා පර්යේෂණ ආයතනයක්. ඒකෙන් මම ආයතනවල කළමනාකරුවන් ව පුහුණු කිරීමකුත් පුද්ගල ඵලදායීතාව වර්ධනය කිරීමකුත් තමයි කරන්නෙ. 2014 දි මට කැනඩාවේ පුරවැසිකම ලැබෙනවා. මම විවිධ ක්‍රියාකාරකම්වල කැනඩාවේදීත් නිරත වෙනවා. ඒ සඳහා මට කැනඩා අගමැතිතුමාගෙන් ඇගැයුම් සම්මානයක් පවා ලැබුණා.
මට හොඳ අවස්ථාවක් ලැබුණා මේ සම්බන්ධව වැඩ කරද්දි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සංවර්ධන වැඩසටහන් මම කරනවා. ඒ සඳහා විවිධ අය එකතු වෙනවා. මට පසුගිය දවසෙක ටොරෙන්ටෝ නගරයේදී සම්මානයක් හම්බු වුණා. පසුගිය 2021 වසර වෙනුවෙන් ඔලිම්පික් 200M තරගය දිනපු ඇන්ත්‍රො ඩිගාස් තමයි මට ඒ සම්මානය දුන්නෙ. ඒක ඔලිම්පික් දුවන්න භාවිත කළ සපත්තුවේ අනුරුවක් ඔබ්බා හදපු එකක්. මගේ මානසික සංවර්ධන වැඩසටහනට සහභාගී වී ලැබූ මානසික උත්තේජනය වෙනුවෙන් තමයි මට එය ඔහු විසින් ලබා දුන්නේ
ජීවිතේ හැරිලා බලද්දි හැරවුම් ලක්ෂ්‍යය මොනවාද?
එහෙම කිහිපයක් තියෙනවා. මම සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන් කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න කියන පෙලඹවීම ඇති කළේ මගේ කරාතේ ගුරුවරයා වෙන නන්ද සිරිවර්ධන මහත්මයා. ආනන්දෙට ආව එක මගේ ජිවිතේ පළමු හැරවුම් ලක්ෂ්‍යය.
දෙවැනි එක ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා විශ්වවිද්‍යාලයට ගිය එක. තුන්වැන්න සිංගර් සභාපති හේමක අමරසූරිය මට ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරන්න ප්‍රතිපාදන දුන්නු එක.
සිවුවැන්න මහාචාර්ය ගුණපාලගේ මෙහෙයවීමෙන් ව්‍යවසායකයෙක් විදියට තනියම ව්‍යාපාරයක් පටන් ගත්ත එක. අන්තිම හැරවුම් ලක්ෂ්‍යය පුතාගෙ ඉල්ලීමට කැනඩාවට පදිංචියට ඒම. 2013 දී මගේ පොතක් ඇමෙරිකන් ප්‍රකාශන සමාගමකින් ප්‍රකාශනය කර ගන්න පුළුවන් වීමත් ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.
කොහොමද සේවකයන් සමඟ ගනුදෙනු කරන්නෙ
මම නිතරම මගේ සේවකයන්ට ඉහළ වැටුපක් ලබා දුන්නා. ඒ වගේ ම ඒ අයට වැඩ පැවරුවා. වගකීම් බාර දුන්නා. මූල්‍යමය විශ්වාසවන්තකම් හා ගනුදෙනු සඳහා අවශ්‍ය පහසුකම් දුන්නා. මම ඒක කළේ මගේ අවදානම ගණනය කරලා. හැබැයි ඒකෙන් මට ස්වාධීන ව තීරණ ගන්න පුළුවන් හොඳ සේවක පිරිසක් ඇති වුණා.
කවුද ඔබේ ජීවන සහකාරිය
ඇය ඉනෝකා දේවනාරායන. මට ඉනෝකා හමු වෙද්දි ඇය සාමාන්‍ය පෙළ හදාරන පාසල් ශිෂ්‍යාවක්. අනතුරුව ඇය මොරටුව විශ්වවිද්‍යාලෙ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශිකාවක් විදියට කටයුතු කළා. අපි 1992 නොවැම්බර් 20 විවාහ වුණා. වසර හයක ප්‍රේම සම්බන්ධයකින් පසුව තමයි මමයි ඉනෝකායි විවාහ වුණේ. විවාහයෙන් පසුව ඇය රැකියාවෙන් ඉවත් වුණා. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතා අභීත. දුව චාමි මදාරා.
පොත් කියවන්න කැමැතිද?
ඔව්, මම ගොඩක් කැමතියි පොත් කියවන්න. විෂයානුබද්ධ පොත් තමයි වැඩිපුර කියවන්නෙ. ඊට අමතර ව බුදු දහම, දර්ශනය හා යෝගා ගැන ලියැවුණු පොතුත් මම කියවනවා.
චිත්‍රපට බලනවද?
මම කැමැතියි චිත්‍රපට බලන්න. ඉඩ ලැබුණු ගමන් මම චිත්‍රපට බලනවා. ටෙම් කෘෘස්ගෙ චිත්‍රපටයක් මේ ළඟදිත් බැලුවා.
සංචාරය කරන්න කැමැති කොහේද?
ලංකාවට ආවම මම අනුරාධපුරේ යන්න තමයි වැඩියෙන් ම කැමැති.
සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ
බොහෝවිට එහෙමයි. මම ඒවා පාවිච්චි කරන්නෙ කරුණු දෙකක් නිසා. එකක් ඒවායේ ගුණාත්මක බව. අනෙක කල්පවතින බව හා නිමාව නිසා.