
මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන පිළිබඳව පසුගිය දිනවල බොහෝ කතා බහට ලක්විය. එසේම ඇතැමුන් මේ ආයතනයන් පෞද්ගලීකරණය කළයුතු බවටත් ප්‍රතිව්‍යුහගත කිරිම තුළින් කාර්යක්ෂමතාවය වැඩි කළයුතු බවටත් නොයෙක් මතවද පළ කර තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන යන නිර්ණායකය සම්බන්ධයෙන් සංවාදයට බඳුන් කිරීමේදී එය ගොඩ නැඟීමට පෙර රාජ්‍ය ආයතන යන්නෙන් අදහස් කරනුයේ කුමන ආයතන ද යන්න පිළිබඳව පැහැදිලි කරගත යුතුයි. එනම් සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, අධිකාරි හා දෙපාර්තමේන්තු ද යන්න වෙන්ව හඳුනාගැනීම වැදගත් වෙයි. රාජ්‍ය ආයතනයන් පාඩු ලබන්නේ නම් එම ආයතන කාර්යක්ෂම කිරීමට පියවර ගත යුතු බවට කිසිදු විවාදයක් නැත. මේ ආයතන නඩත්තු වන්නේ මහජන බදු මුදලිනි. මේ රටේ රාජ්‍ය බදුවලින් 80%කට වැඩි ප්‍රමාණයක් අය වෙන්නෙ වක්‍ර බදුවලින් වන අතර, වක්‍ර බදු දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනා විසින් ගෙවනු ලබයි. ඒනිසා රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ පරම වගකීමක් ආණ්ඩුව සතුව ඇත.
පාඩු ලබන රාජ්‍ය ආයතන අකාර්යක්‍ෂම වූවහොත් ලාභ ලබන ආයතනවල ලාබය අඩුවීමක් සිදුවෙයි. පාඩු විඳින ආයතනවල පාඩුව වැඩිවීමක් සිදුවෙයි. ඒ අනුව ආදායම් සෙවීමකින් තොරව රාජ්‍ය සේවා සපයන ආයතනවල සේවා සැපයීමේ පිරිවැය වැඩිවෙයි. රාජ්‍ය ආයතන තුළ සේවා සපයන ඇතැම් ආයතන අදායම් ලැබීමකින් තොරව පවත්වාගෙන යයි. ඇතැම් ආයතනවල කාර්යක්ෂමතාව තහවුරු නොවුණේ නම් ඒවා පවත්වා ගෙන යාමට අදාළ පිරිවැය වැඩිවෙයි. ඒනිසා එවැනි රාජ්‍ය ආයතන කාර්යක්ෂම වීම අනිවාර්ය අවශ්‍යතාවකි. ආයතන අකාර්යක්‍ෂම නම් කාර්යක්ෂමතාවය ලබාගැනීමට අපහසු හේතු සොයා බලා එයට පිළියම් කළ යුතුයි.
කාර්යක්ෂමතාව
අප මුලින් සෙවිය යුත්තේ මේ ආයතනයන් පාඩු ලබන්නේ අකාර්යක්ෂමතාව නිසාවෙන් බව පැවැසෙයි. එම අකාර්යක්ෂමතාවය නැති කිරීමට හා පාඩුව වැළැක්වීමට සමහර අංශ වෙතින් පුද්ගලීකරණය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වෙයි. ඒ යෝජනාවේ පදනම කුමක්ද? ඉන් ගම්‍ය වන අර්ථය අප විසින් පැහැදිලි කරගත යුතුයි. එහි ගැබ්ව ඇත්තේ පුද්ගලික අංශයට යොමු කිරීමෙන් මේ ආයතනවල කාර්යක්ෂමතාව වැඩි වෙයි යන අදහසද? පෞද්ගලීකරණය කිරීමෙන් වෙනස් වන්නේ පාලන අධ්‍යක්ෂක මණ්ඩලයයි. සේවකයන්, ආයතනය, රැකියාව, වෘත්තීයකයන් ආදිය සියල්ල ම නොවෙනස් ව පවතිද්දී කළමනාකරණය වෙනස් කිරීමෙන් පමණක් කාර්යක්ෂමතාව ළඟා කරගත හැකි නම් නැවත නැඟිය යුතු තර්කය වන්නේ; නිසි කළමනාකාරිත්වයක් නැති වීමේ වරද කවරකුගේද යන්නයි. එසේ නම් ඒ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළේ කවුද මේ රාජ්‍ය ආයතනය පාලනය කළේ ආණ්ඩුවයි. එසේනම් වැරදිකරු ආණ්ඩුවයි. අකාර්යක්‍ෂම වී තිබී ඇත්තේද රාජ්‍ය ආයතන නොව ආණ්ඩුවයි.
පසුගිය කාලය පුරා රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට වගකිව යුත්තේ ද පැවැති සියලු ආණ්ඩු ය. එසේ නම්, එය නිවැරදි කිරීමට යෝජනා නොකරන , ඇතැමුන් පෞද්ගලිකරණයක් යෝජනා ගෙන එන්නේ ඇයි? රාජ්‍ය ආයතනයන් පුද්ගලික අංශයට දිය යුතුයි; යන මතය ලිබරල් ආර්ථික න්‍යායයට කොටු වී ගෙනෙන අදහසකි. එය පාඩුව ලබන ආයතනයන් වෙනුවෙන් දෙනු ලැබිය හැකි පිළිතුරක්ද නොවෙයි. රාජ්‍ය ආයතන ඇති කළේ ආර්ථිකයේ බර ඉසිලීමට සමත් කණු ලෙස ක්‍රියා කිරීමටයි. එහෙත්, ඒ ආයතන අකාර්යක්ෂමව ආණ්ඩු විසින් කළමනාකරණය කිරීමෙන් මහජනතාගේ බර ඉසිලිය යුතු කණු මහජනතාවගේ ම හිස මත පැටවීමක් සිදු වී ඇත.
පාඩු ලබන රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමේ වගකීම මහජනතාව විසින් පත් කරන ආයතනය පාලනය කිරීමට සිටින දේශපාලනඥයන් සහ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සතුයි. ඒ වගකීම පැහැර හැරීම ගැන මහජන මුදලින් නඩත්තුවෙන කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව විසින්ම වගකිව යුතුයි. එයට පිළිතුරු ලෙස මහජනතවගේ අයිතිය උදුරාගෙන පුද්ගලික අංශයට දී වැරදි නිවැරදි කිරීමට යාම අතාර්කික යෝජනාවකි.
රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට නම් ඒවා අනිවාර්යෙන්ම නිර්දේශපාලනීකරණය කළ යුතුයි. ඒ සඳහා මෙතෙක් කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නොමැත. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යුහයේම ඇති ගැටලුවකි. කැබිනට් මණ්ඩලය යනු විධාකයයි. ඒ ඉසඳහා තේරී පත්වන අයගේ අරමුණ වී ඇත්තේ තම විධායකයේ බලය තව තවත් තහවුරු කරගැනීම සහ ඒ බලය පාවිච්චි කර ඊළග ඡන්දය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන කථිකාව මිස රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම නොවේ. යම් සැලැස්මක් ඇති ව ක්‍රියාකරන හා නිර්දේශපාලනිකව කටයුතු කරන නිලධාරීන්ට පැවැත්මක් ද නැත.
දේශපාලන අධිකාරී බලය
රාජ්‍ය ආයතන ඒවායේ පොදු අයිතිකරුවන් උදුරා ගෙන පුද්ගලික අංශයට නොවිකුණා මේ ආයතනයන් ගොඩනඟන්නේ කෙසේද යන කරුණ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. එහිදී රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර ව්‍යුහය හා කළමනාකරණය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. ප්‍රතිව්‍යුහකරණය යන්නෙන් අදහස් කරනුයේ එපමණක් නම්, ඊට එකඟ විය හැකියි. අයිතිය අන්‍යකරණයෙන් තොරව ඒ ප්‍රතිසංවිධානය කිරීම හා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී වැදගත් වන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය හැකිවන්නේ රාජ්‍ය අයිතිය ඉවත් නොකරමින් ඒ පියවර ගැනීමක් සිදුවුවහොත් පමණි.
උපායමාර්ගික ව්‍යසාය
මේ ආයතනයන් තුළ කාර්ක්ෂමතාව ගොඩනැඟීමට එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ බලය ඇමතිවරුන්ගෙන් ඉවත් කළ යුතුයි. එය නොකිරීමට ප්‍රධාන හේතුව දේශපාලන අධිකාරි බලය විසින් පුද්ගලික හිතවතුන් එම ආයතනවලට පත්කීරිමට ඇති අපේක්ෂාවයි. මෙහිදී හොඳම උදාහරණය නම් සිංගප්පුරුවේ තමාසෙක් ආකෘතියයි; ඒ ආකෘතිය තුළ වෘත්තීය කළමනාකාරීත්වයක් යොදවා තමන් යටතට පත්කෙරෙන රාජ්‍ය ආයතනවලට අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීමේ බලය ලබා දිය හැකියි. එහිදී අමාත්‍යංශය කුමක් හෝ වේවා එම අමාත්‍යංශය යටතේ ඇති ඕනෑම ආයතනයක් මෙවැනි නිර්දේශපාලනික හා වෘත්තියමය කළමනාකරණ උපරි ව්‍යුහයක් යටතට පත් කළහොත්, එනම් තමාසෙක් වැනි ආකෘතියකින් පාඩම් ඉගෙන සුදුසු පරිදි අප රටට ගැළපෙන සේ සකසා ගත් ආයතයනක් ඇති කර ඒ යටතට රාජ්‍ය ආයතන පත් කළහොත්, එවැනි රාජ්‍ය ව්‍යවසාය ස්වාධීන සහ ලාභ ලබන ආයතනයන් බවට පත් කළ හැකියි.
මෙවැනි ව්‍යුහයක් සකසා ක්‍රියාත්මක කරන ලෙස අපේ ආණ්ඩුවලට අදහස් ඉදිරිපත් කළෙමු. ඒ උදෙසා උපායමාර්ගික ව්‍යවසාය කොමිෂන් සභාවක් ඇති කරන ලෙස අපි යෝජනා කළෙමු. ඒ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වග කියන ලෙස නෛතික ප්‍රතිපාදන සැකසිය හැකියි. ඒ කොමිෂන් සභාවට ඇති වගකීම නම් තමන් යටතට පත් කරන්නාවූ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම සහ ඒ අධ්‍යක්ෂ මණ්ඩල හරහා මේ ආයතන කාර්යක්ෂමව හා ලාභශිලතාවයෙන් පවත්වාගෙන යාමයි. තව ද, ඒ කොමිෂන් සභාව තමන්ට පැවරෙන වගකීම ඉටු කිරීමට අසමත් වුවහොත් ඒ නිසා රාජ්‍ය ආයතන වල සැබෑ හිමිකරුවන්ගේ හිමිකාරත්වයේ අයිතියට අගතියක් සිදු වෙයි.
කාර්යක්ෂමතාවය මැනිය හැකි ප්‍රධාන සාධකයක් වන්නේ ලාභයයි. ඒ නිසා ඒ ආයතන ලාභශිලතාවෙන් යුතුව පවත්වා ගෙන යායුතුයි. උදාහරණයක් ලෙස දුම්රියක් ධාවනයට කොතරම් පිරිවැයක් යනවා ද යන්න ගණන් බලා ඒ කාර්යක්ෂම පිරිවැය කැපීමට ප්‍රමාණවත් ආදායමක් ගාස්තුව හරහා දුම්රියට ලැබීය යුතුයි. වඩාත් පැහැදිලි කරන්නේ නම්, දුම්රියේ පිරිවැය කාර්යක්ෂම විය යුතු අතර ඒ කාර්යක්ෂම පිරිවැයට ගැළපෙන ගාස්තුවක් ද අයවිය යුතුයි. යම් හෙයකින් ඒ ගාස්තුව අනුමත කිරීමට යම් ප්‍රතිපත්තිමය හේතුවක් නිසා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එසේ අනුමත කෙරෙන ප්‍රමාණය හා ඉහතින් සඳහන් කළ පිරිවැය කාර්යක්ෂම ගාස්තුව අතර වෙනස රජය විසින් දුම්රියට ගෙවිය යුතුයි. උපායමාර්ගික ව්‍යවසායකත්වය සකස් විය යුතුවන්නේ ඒ සඳහායි. මෙමඟින් අකාර්යක්ෂමතාවක් තිබුණහොත් එය සමාජ සුබසාධන කඩතුරාව පසුපස හැංගිය නොහැකි වෙයි. කාර්යක්ෂමතාව ඇති කිරීමේ මූලික දොරටුව ඒ අනුව විවර වෙයි.
මෙසේ යෝජිත ප්‍රතිසංවිධානය සිදු නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි.ඒ වගකීමෙන් බැඳිසිටින පාර්ශ්වයන් එයට උත්තර නොදී ආයතනවලට ඇගිල්ල දික්කර පාඩු ලබන ආයතනයන් විකුණා දැමීම පිළිතුර ලෙස මහජනතාවට ඒත්තු ගැන්වීමට යාම නුසුදුසුය. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පොදු ජනතාවගේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරිමක් මෙයින් සිදුවෙයි. ඒ නිසා ප්‍රතිසංවිධානය හා ප්‍රතිසංස්කරණය කුමක්ද ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කර ගත යුතුයි. මේ ආයතනයන් රාජ්‍ය අංශයේ තබාගෙන කාර්යක්ෂම ලෙස කළමනාකරණය කළ යුතුයි.
මේ රටේ ආයතනය විකිණීමට ඒවායේ සැබෑ අයිතිකරුවන් වන මේ රටේ මහජනතාව ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ අවසරයක් හෝ එකඟතාවක් ලබාදි නැත. මේ රටේ රාජ්‍ය ආයතනවල අයිතිය ඇත්තේ ජනතාව සතුවයි. රාජ්‍ය ආයතනයන් මනා ලෙස ලාබශීලතාවෙන් යුතුව පවත්වාගෙන යන මොඩලයන් ඇති රටවල් ලෝකයේ ඇත. කලින් සඳහන් කළ සිංගප්පූරු තමාසෙක් ආකෘතිය සහ මැලේසියානු මොඩලයක් ද ඊට ආදර්ශ ලෙස ගත හැකි ය. පොදු අයිතිය ඇති සමාජවාදී රටවලින් ද මේ සඳහා වෙනස් වූ ආකෘතිවලින් උදාහරණ සපයා ගත හැකිය. ලෝකයේ රටවල් එසේ සිදුකරද්දී ලංකාවේ මිනිස්සු තමන්ගේ බදු මුදලින් මේ ආයතනයන් නඩත්තු කරමින් පවත්වාගෙන යති.
කළ යුත්තේ කුමක්ද?
යථාර්ථය එසේ නම් කළ යුත්තේ කමක් ද? රාජ්‍ය ආයතනයන් විකිණීම නොව ඒවා නොවිකුණා ප්‍රතිසංවිධානය කිරීමයි. රාජ්‍ය අයිතිය තබා ගනිමින් කාර්යක්ෂමව කාර්ය සාධනය ඇතිවන ආකාරයට කළමනාකරණ ක්‍රමවේද සැකැසීමයි. ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල තාවකාලිකව එවැනි ක්‍රමවේදයන් අනුගමනය කළ අවස්ථා අපට හමු වෙයි. ආණ්ඩු මාරු වූ විගස මෙන්ම, ඇමතිවරුන් මාරු වුණු විට පවා අදාළ කාර්යක්ෂම අධ්‍යක්ෂ මණ්ඩල ඉවතට විසිවිය. ඒ තත්වයන් තිරසාරව පවත්වා ගැනීමට නම් ඒ ආයතනයන්වල අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීම් නිර්දේශපාලනික විය යුතුයි.මෙවැනි බලතල දේශපාලනඥයන්ගෙන් ඉවත් කළ යුතුයි. එවිට ඉදිරියේදී දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට අපෙක්ෂාවෙන් සිටින සියලු පාර්ශ්වයන් පවා ඒ අලුත් සංස්කෘතියට අනුගත වනු ඇත.
දේශපාලනික හස්තයන්ගේ බලපෑම් ඉවත් කළවිට, එනම් මේ බලය දේශපාලනික අධිකාරියෙන් ඉවත් කළ විගස, එයින් අත්වන තවත් වාසි රැසක්ද වෙයි. මේ ආයතන ඇමතිවරුන්ගේ පාලනයෙන් තොරවූ කල්හි ඇමැතිධූරවලට ඇති තරගය අවමවෙයි. ඇමැතිවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ ප්‍රතිපත්ති තීන්දු ගැනීම විනා ආයතන පාලනය කිරීම නොවෙයි. එනම් තම ක්ෂේත්‍රයේ සංවර්ධන දිශානතිය කෙබදු විය යුතු ද? රටේ සුබසාධනය කෙබඳු ලෙස බෙදී යා යුතු ද? රටේ සමාජ ආරක්ෂාව හා යහපාලනය තහවුරු කිරීමට කුමක් කළ යුතු ද? වැනි කරුණුයි. රටේ සංවර්ධනයට තාක්ෂණය යොදාගත හැක්කේ කිනම් ආකාරයටද විශ්වවිද්‍යාල අධ්‍යපනය පුළුල් කිරීම හා ඊට අදාළ ප්‍රතිපත්ති කවරාකාර විය යුතු ද යන ඉහළ තළයේ ප්‍රතිපත්ති තීන්දු ගැනීමයි. එහෙත්, ඇමති වරුන් විසින් ඒවාට අවධානය යොමු කිරීමට පෙළඹෙන බවක් නොපෙන්වන්නේ ඒවා සමහර විටෙක තම දේශපාලන ඉදිරිගමනට ඍජුව උදව් නොකරන නිසා විය හැකියි.
තමාසෙක් වැනි ආකෘතියක් ඇති කර ගැනීමෙන් අප රටේ ද බොහෝ රාජ්‍ය ආයතන විකුණා දැමීමකින් තොරව කාර්යක්ෂම කර ගත හැකියි. ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ලංගම, දුම්රිය, වරාය වැනි ආයතන ස්වාධීන හා වෘත්තීයමය කළමනාකාරීත්වයක පාලනයට නතු කිරීමෙන් මේ සාර්ථකත්වය ළඟා කර ගත හැකියි. ශ්‍රී ලංකන් පාඩු ලබද්දී සිංගප්පූර් එයාර්ලයින්ස් ලාභ ලබන්නේ ඒ වෙනස නිසායි.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ බැනරය යටතේ මේ කිරීමට උත්සාහ කරන්නේ කවරක්ද යන්න සලකා බැලිය යුතුයි. එහිදි යහපත් චේතනාවෙන් ආයතන කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හා මහජන හිස මත ඇති පාඩු අඩු කර ගැනීමට අරමුණු කරන්නේද එසේ නොමැති නම් වෙනත් අරමුණක් මෙ පසුපස තිබිය හැකි ද යන්න සැලකිලිමත් වියයුතුය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමෙන් ඩොලර් බිලියන ගණනක් සොයාගන්නේ කෙසේ ද? පළමුකොට, ඒ තුළින් ඒ ආයතන වල අයිතිය විකුණා මුදල් කිරීමකට සැරසෙන බවක් පෙනී යයි. එසේ නම් එය මහජන අයිතියට - අනාගත පරපුරේ පොදු අයිතියට - කෙරෙන හානියකි. එහෙත්, එවැනි ආයතන දේශීය පෞද්ගලික අංශයට විකුණා ඩොලර් උපයා ගන්නේ කෙසේද යන ගැටලුවද මතුවෙයි. ජාතික ආර්ථික ස්වෛරීත්වය යළිත් වටයක් විදේශ ප්‍රාග්ධනයට යට කිරීමේ උත්සහයක් ද යන්න ගැටලුවක් මතුවේ. පාලකයින්ද රූකඩ බවට පත්කරමින් රට ගමන් කරවීම විදේශික ප්‍රාග්ධන බලවේග විසින් සිදු කෙරෙන දිශාවට තල්ලු වෙනු ඇත.
පොදු දේපොළ අයිතිය පිටතට දීමට ආණ්ඩුවට අයිතියක් නැත. මේ රටේ රාජ්‍ය ආයතනවල සැබෑ අයිතිකරුවෝ මහජනතාවයි. ජනතාවගේ අයිතිය උදුරාගෙන එය පුද්ගලික අංශයේ භාරකාරත්වයට යොමු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. මහජනතාවගේ දේපොළ බදු දීමට අන්සතු කර විකුණා දැමීමට හෝ ආණ්ඩුවකට කිසිදු බලයක් මහජනතාව විසින් දී නැත. මහජනතාව විසින් මේ පිළිබඳව සවිඥානිකව සිටිය යුත්තේ ඒ නිසායි.