නායකත්ව ලක්ෂණ සහජයෙන්ම පිහිටන නිසා කොතැන ගියත් බබළයි | සිළුමිණ

නායකත්ව ලක්ෂණ සහජයෙන්ම පිහිටන නිසා කොතැන ගියත් බබළයි

දෛව අංකය, වාසනා අංකය නමින් ද හඳුන්වන අතර පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර ගනියි

ජ්‍යෙතිෂය හා අංක විද්‍යාව අතර පවතින සබඳතාව ගැන මේ වන විට ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි ඇතැයි සිතමු. පුද්ගලයකු උපදින මොහොතේ ග්‍රහ තාරකාවන් පිහිටන ආකාරය යම් ශාස්ත්‍රීය නියමයකට අනුව අඳින අහස් සිතියම දෙස බලා (කේන්දරය) දෛවය පිළිබඳ ප්‍රකාශ කරනවා සේම කෙනකු උපදින අවුරුද්ද, මාසය, දිනය නමේ අකුරු ආදිය යම් ශාස්ත්‍රීය ක්‍රමයකට ගණනය කර අංක විද්‍යාව තුළින් ද පුද්ගලයකුගේ ජීවිතය සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත හැකිය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ඔබගේ ජන්ම අංකය සොයා ගන්නා ආකාරයත් එමඟින් හෙළිවෙන ඔබේ ජීවන තොරතුරුත් පිළිබඳ පසුගිය ලිපිවලින් දැනුම්වත් කළෙමු. ඕනෑම මාසයක ඔබ ඉපදුන දිනයට හිමි තනි අංකය ජන්ම අංකය බව ඔබ දැන් දනී.

අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ ද වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ.

සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර ගනියි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම අයකුට දෛව අංකය පහසුවෙන් සොයාගත හැකිය. එය සොයාගනු ලබන්නේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කිරීමෙනි. මෙම උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.

උදාහරණයක් ලෙස ඔබ උපන්නේ 1985.03.12 වැනිදා නම් ඒ අංක 1+9+8+5+3+1+2 මේ ආකාරයට එකතු කිරීමෙන් ලැබෙන අගය 29යි. එය ද මෙලෙස 2+9 එකතු කළ විය ලැබෙන අගය 11යි. එය ද තනි අංකයක් ලැබෙන ලෙස මෙසේ 1+1 එකතු කළ විට ලැබෙන අගය 2 යි. මේ අනුව ඔබගේ දෛව අංකය වන්නේ 2යි. ඔබගේ උපන් දිනයට අනුව මේ ආකාරයෙන් දෛව අංකය සොයා ගන්න.මුලින්ම දෛව අංක එකෙන් උපන් අයගේ සුවිශේෂී තොරතුරු විමසා බලමු.

දෛව අංක එකෙන් උපන් අය සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන සූර්යයාගේ බලපෑමට විශේෂයෙන් ලක් වන අයයි. ග්‍රහ මණ්ඩලයේ නායකයා රවි වෙයි. ඒ අනුව දෛව අංක එකෙන් උපන් අය තුළ නායකත්ව ලක්ෂණ සහජයෙන්ම පිහිටනු ලැබෙයි. සූර්යයා අනිකුත් සියලු ග්‍රහයන් අභිබවා ක්‍රියාත්මක වන ආකාරයට ස්වාධීන චින්තනයකට අනුව මොවුන් ක්‍රියාත්මක වන අතර, තමාගේ අදහස් නිදහසේ ක්‍රියාත්මක කරයි. වඩාත් නිවැරදි හා ස්ථාවර තීන්දු තීරණ ගනියි. අලුත් විදිහට හිතන පුද්ගලයෙකි. කාලයට තැනට අනුව වෙනස් වීම මොවුන්ගේ සිරිතයි. එනම්, නිතරම නවීකරණය වෙයි.

ඉතා යහපත් නිර්මාණාත්මක සිතුවිලිවලින් යුක්ත වෙයි. අනාගත අභියෝග සඳහා ධනාත්මකව මුහුණ දෙයි. කිසි විටෙකත් පසුපසට යෑමට කැමති පුද්ගලයන් නොවේ. තමන් පිළිබඳ ඉතා ඉහළ ආත්ම විශ්වාසයක් මොවුන්ට පවතී.

තමන් සිතන දේ සහ ගනු ලබන තීරණ නිවැරදි යැයි මොවුන් සිතයි. කිසිවකුට පහසුවෙන් යටත්වීමට මොවුන් කැමති නැත. ඒ වගේම මොවුන් යටත් කර ගැනීමද පහසු නැත. තම ආත්ම ගරුත්වය ගැන ඉහළින්ම සිතන පුද්ගලයන් වෙයි. මොවුන් අවශ්‍ය තැනදී නම්‍යශීලී වීම අවශ්‍ය වන අතර, සමහර අවස්ථාවල තම තනි මතයට ක්‍රියාත්මක වීම දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකිය. මොවුන් ජීවිතයේ බොහෝ වගකීම් සහගත පුද්ගලයන් ලෙස ජීවත් වෙයි.

ඉතා විවෘත සිතුම් පැතුම් සහ අදහස් ඇති පුද්ගලයෙක් වෙයි. කිසිවක් නොසඟවා සෘජුව තම අදහස් ප්‍රකාශ කිරීමට ද ඉතා දක්ෂ වෙයි. තම මිතුරන් වෙනුවෙන් ද යුතුකම් නොපිරිහෙළා ඉටු කරයි. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමට හැකියාවක් පවතින අතර, ආදායම සහ වියදම තුලනාත්මකව පවත්වාගෙන යෑමට ද දක්ෂ වෙයි. සමාජය තුළ යහපත් තත්ත්වයක් ඇතිව ජීවත්වීමට නිතරම උත්සාහ ගන්නා අතර සමාජය තුළ කැපී පෙනෙන පුද්ගලයෙක් ද වෙයි.

ස්ථාවර සිතුම් පැතුම් ඇති ඔබ ඔබගේ අදහසට ප්‍රතිවිරුද්ධ ඔබ බලාපොරොත්තු නොවන අදහසක් මතු වු විට කේන්ති ගනියි. සමහර විට එය රණ්ඩුවක් දක්වා දුරදිග යා හැකිය. ඔබගේ ඉක්මන් කෝපය පාලනය කර ගැනීමට ඔබ සමත් විය යුතුය. ඔබ කිසිවක් හිතේ තබාගෙන ඉන්නේ නැත.

මොන තරම් කලබල වුණත් එය ඒ අවස්ථාවට පමණි.ඉන්පසු නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙන ඔබ සුපුරුදු පරිදි කටයුතු කරයි. ඔබගේ වෘත්තීය ජීවිතයේ හෝ රැකියා ව්‍යාපාර සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ බොහෝවිට ඔබමය. එනම්, ඔබ විසින්ම තෝරා ගත් වෘත්තීයක හෝ හෝ ව්‍යාපාරයක නිරත වීම දක්නට ලැබේ. ජීවිතයේ ඉහළ අපේක්ෂා ඇති මොවුන් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලැබිය හැකි පුද්ගලයන්ය.

දෛව අංක 2 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී 
පාඨශාලාචාර්ය, ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

Comments