දරුවන්ගේ මුවේ රන් සිනා මැවූ ගාලු මිතුරන්ගේ අපූරු පින් කටයුත්ත | සිළුමිණ

දරුවන්ගේ මුවේ රන් සිනා මැවූ ගාලු මිතුරන්ගේ අපූරු පින් කටයුත්ත

ප්‍රායෝගික හැකියාවන්ගෙන් පිරිපුන් දරුවන් සැමවිටම ජීවිතය දිනන්නෝය. එපමණක් නොව එවැන්නෝ වැඩිහිටියන් බවට පත්වූ විට තවත් පිරිසකගේ ජීවිත දිනවන්නට තමන්ට හැකි උපරිමයෙන් කැපවෙති. තම පියාගේ ක්‍රියාකාරකම් තුළින් හරි දේ හරි විදියට ඉගෙනගත් ගාල්ල ඉමදූවේ දෙව්සිරි හේවාවිදාන ද එවැනි අයෙකි. ජීවිතය දිනූවකු වන ඔහුතම දරුවන්ගේ ජීවිත පමණක් නොව දැයේ දරුවන්ගේ ජීවිත දිනවන්නට ද කටයුතු කරමින් ලබාදෙන්නේ සැමටම ආදර්ශයකි.

එක්සත් රාජධානියේ ජීවත්වුවද ශ්‍රී ලාංකිකත්වයත් අව්‍යාජ ගැමිකමත් කිසිසේත් හදවතින් බැහැර නොකළ දෙව්සිරි හේවාවිදාන වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. තමා ඉපදුන ගම මෙන්ම තම පියා ඉපදුන ගම ද අමතක කර නැති ඔහු තෝරාගත් ගම්මානවල අසරණ දරුවන් සොයා ඔවුන්ගේ අධ්‍යාපනයට අත හිත දෙන්නේ කුඩා කළ සිය පියාගෙන් ලැබූ ආභාසයනිසි ලෙස ක්‍රියාවට නංවමිනි.

“ගාලු මිතුරු සංසදය” දෙව්සිරි හේවාවිදාන දිළිඳු දරුවන්ට අතදෙන්නට පිහිටුවා ඇති සංවිධානයයි. සුනාමි ව්‍යසනයෙන් කඩා වැටුණු ජන ජීවිතය ගොඩනැංවීමේ අරමුණෙන් ගොඩනැඟුණු “ගාලු මිතුරු සංසදය” අද වන විට ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහාය. ලොව වටා සිටින ඇති හැකිකම් ඇති දානපතියන්ගේ සහාය ද ඇතිව ක්‍රියාත්මක වන මෙකී ගාලු මිතුරු සංසදයේ සමාජ සත්කාර සේවය මඟින් මේ වන විට සෙත සැලසී ඇති සිසු දරු දැරියන් සංඛ්‍යාව දහස් ගණනකි.

“අද අපි මේ ක්‍රියාත්මක කරන වැඩසටහන මගේ නිර්මාණයක් වුවත් ඒ සඳහා මඟ පෙන්වූයේ වතු පාලකවරයකු වූ මගේ තාත්තා. අපිට යන්තම් හය හතර තේරෙන කාලයේදි සිට මම දැක්කේ තාත්තා අනුන් වෙනුවෙන් කළ යහපත් වැඩ. එක දවසක් වත්තේ වැඩකරන කෙනෙක් තමන්ගේ දරුවත් අරගෙන තාත්තා හමුවෙන්න ගාල්ලේ වවුලුගල වත්තට ආවා මට මතකයි.ඒ වතු සේවකයා තාත්තාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ දරුවාට වත්තේ වැඩකරන්න රක්ෂාවක් දෙන්න කියායි. තාත්තා ඒ දරුවගෙන් විස්තර අහලා අන්තිමට ඇහුවේ ඉගෙන ගන්න කැමතිද කියලයි. දරුවා කැමැතියි කිව්වට පස්සේ තාත්තා ඒ දරුවගේ තාත්තා, වතු සේවකයාට කිව්වා මම මේ දරුවට වත්තේ රක්ෂාවක් දෙනවා වෙනුවට හොඳට උගන්වන්නම් කියලා. ඒකට ඒ වතු සේවකයත් කැමති වුණා. එදා සිට ඒ දරුවා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ඉගෙන ගෙන අවසානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබලා උපාධිධාරියකු ලෙස රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙනුත් සමත්වී උප දිසාපතිවරයකු බවට පත්වෙනවා. තාත්තා මියයනතෙක්ම ඔහු තාත්තාව බලන්න අපේ ගෙදරට ආවා. එවැනි දේවල් රාශියක් මගේ පියා සිදුකර තිබෙනවා. අපේ ඇස් ඉදිරිපිට තාත්තා කරපු ඒ හොඳ දේවල් මගේ හිතේ තදින්ම තැන්පත් වුණා. අපි කොළඹ ඉගෙන ගෙන විදේශ රටක රැකියාවක් කරමින් ජීවත් වුණත් ඒ පැරණි මතක හිතේ තියාගෙන නිකම් ඉන්න බැරි ඒ නිසයි.සුනාමි ව්‍යසනයත් සමඟ අපි තාත්තා කියා දුන් මහජන සේවයේ යෙදෙන්න පටන්ගත්තා”

දිළිඳු දරුවන්ට අත දෙන තම ගමනේ ආරම්භය පිළිබඳ දෙව්සිරි හේවාවිදාන ආවර්ජනය කළේ එලෙසිනි. කාලයක් තිස්සේ ඔහු කරගෙන යන මේ සද් කාර්යය ගැන නැවත කරළියට ආවේ ඉකුත් 19 වැනිදාය. ඒ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් පහසුකම් අඩු එහෙත් දක්ෂතා ඇති දරු දැරියන් රැසක් ඉගෙනුම ලබන කඹුරුපිටිය සපුගොඩ රතනපාල විද්‍යාල භූමියේ ඉදිකළ අඩි 20 ක පළලින් හා අඩි 50 ක දිගින් යුතු පිහිනුම් තටාකයක් සිසු අයිතියට පැවරීමත් සමඟය. ගාලු මිතුරු සංසදයේ ඉල්ලීම හා මඟපෙන්වීම මත එංගලන්තයේ නීල් හා හෙලන් කාසන් යන දානපතීන් සහ ඔවුනගේ දියණිය හැනා කාසන් යන අයගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකළ මෙම පිහිනුම් තටාකය සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය දහයකි.

පහසුකම් අඩු ග්‍රාමීය පාසලක දරුවන් වෙනුවෙන් යම් සංවිධානයක් විසින් ඉදිකළ මෙරට ප්‍රථම පිහිනුම් තටාකය ලෙස සැලකිය හැකි මෙම තටාකය ගොඩනැංවෙන්නේ ද දෙව්සිරි හේවාවිදානගේ තවත් එක් සිහිනයක් මල්ඵල ගැන්වීමක් වශයෙනි.

“මම උසස් අධ්‍යාපනය හමාර කර පළමු රැකියාව ලෙස ගුරු සේවය තෝරාගත්තා. මගේ පළමු පත්වීම ලැබුණේ කුඹුරුපිටිය සුපුගොඩ පිරිවෙනටයි. ඒ කාලයේ මහා ගංවතුරක් ඇවිත් බාලවයස්කාර දරුවකු වතුරට හසුව ගසාගෙන ගියා. පිහිනන්න දන්නේ නැති නිසා ඒ දරුවගේ ජීවිතේ මරුවාට බිලිවුණා. දරුවාගේ සිරුර හමුවුණේ ඔහු වතුරට හසුවූ තැන් සිට කිලෝ මීටරයක් තරම් දුරින්. මෙම ප්‍රශ්නය මගේ හිතට ලොකු වදයක් වුණා. ඒ දරුවාට පිහිනන්න උගන්වා තිබුණා නම් ජීවිතය බේරෙන්න තිබුණා නේද කියලා මගේ හිත නිතරම විමසුවා. කඹුරුපිටියේ ගමක පිහිනුම් තටාකයක් හඳන්න ඕනේ කියන හීනේ මගේ හිතේ ඇතිවුණේ ඒ නිසයි. ඒත් එදා මට ඒක කරගන්න බැරිවුණා. ඒ හීනය තමයි අවුරුදු 48ට පසු නීල් හා හෙලන් කාසන් නෝනා මහත්වරු මඟින් මම කඹුරුපිටියේ දරුවන් වෙනුවෙන් හැබෑකර දුන්නේ. ඒ වගේමඅසරණ දරුවන් සිය දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන්නත් අපට හැකියාව ලැබුණා. මේ වන විට කඹුරුපිටියට විශාල වැඩ කොටසක් කර තිබෙනවා” දෙව්සිරි හේවාවිදාන පැවසුවේ දැඩි ආත්ම තෘප්තියෙනි.

පිහිනුම් තටාකය සිසු අයිතියට පත්වූ අවස්ථාවේ මුළු පාසලම උත්සව සිරියක් ගෙන තිබූ අතර දරු දැරියන්ගේ මුවින් නැඟුණු සිනා රැළි වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හැඟුම්බරය. රැස්ව සිටි මවුපියන්ගේ දෑස් අග රැඳී තිබුණේ ද සතුටු කඳුළුය. අව්‍යාජත්වයෙන් පිරි ගැමිකමත් තම දරුවන්ට ලද අවස්ථාව පිළිබඳ ඇතිව තිබූ සතුටත් ඔවුන් සමරනු ලැබුවේරසකැවිිලි සංග්‍රහයකිනි. උත්සවයදරුවන් විසින් ඉදිරිපත් කළ නැටුම් ගැයුම්වලින් ද විචිත්‍රවත් විය.

තම පාසලේ දරුවන්ට ලැබුණු මෙම වටිනා සම්පත පිළිබඳ සපුගොඩ රතනපාල විද්‍යාලයේ විදුහල්පති අරුණ එපිටකටුවනමෙසේ අදහස් දැක්වුවේය.

“එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ දරුවන් තුන්සිය විසිදෙනකු ඉගෙනුම ලබනවා. අධ්‍යාපනයෙන් වගේම ක්‍රීඩාවෙන්ද දක්ෂතා දක්වමින් සිටි මේ දරුවන්ගේ හිත්වල තිබූ පිහිනුම් තටාකයක් අංගසම්පූර්ණ ආකාරයෙන් ඉදිකරදීම වචනයෙන් කිවනොහැකි තරම් වටිනා ක්‍රියාවක්.

සිරිසේන ගමගේ, දෙව්සිරි හේවාවිදාන මහත්වරුන්ගේ ප්‍රධාන මෙහෙයුම යටතේ හා ලක්සිරි හේවාවිදාන හා ආනන්ද හේවාවිදාන මහත්වරුන්ගේ සහායෙන් “ගාලු මිතරු සංසදය” විසින් ක්‍රියාත්මක පාසලේ දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහන යටතේ පාසලේ දරුවන් තුන්සිය විසිදෙනාට මෙන්ම විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයට ද දිවා ආහාරය ලබාදීමට ක්‍රියාකිරීම අද පවත්නා ආර්ථක අපහසුතා හමුවේ ඉතා වටිනා පුණ්‍යකර්මයක්.

මෙම පිහිනුම් තටාකය කඹුරුපිටියේ පිහිනුම් ඉගෙණීමට කැමති ඕනෑම දරුවකුට විවෘතව පවතින අතර එය ක්‍රීඩාවක් ලෙස ප්‍රගුණ කිරීමට ද මෙමඟින් අවස්ථාව උදාකරදී ඇත.

ග්‍රාමීය පාසල්වල දූ දරුවන් පාසල් නොපැමිණීමටත් පාසල් කාලය අතරමගදී හමාර කිරීමටත් ප්‍රධානතම හේතුව වන්නේ ආර්ථික අපහසුතාය. මෙම පිරිසට ඉගෙනුම් හැකියාව සහ ක්‍රීඩා කුසලතා කොතෙකුත් තිබුණද දිළිඳු භාවය හා පහසුකම් නොමැතිවීම හේතුවෙන් අඩු වයසින් රැකියා සඳහා යොමුවෙති. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගත නොහැකිවීම ද ග්‍රාමීය පාසල් දරුවන් මුහුණ දෙන තවත් එක් ගැටලුවකි. මේ ගැටලුවලට කදිම විසඳුමක්“ගාලු මිතුරු සංසදය” මඟින් ලබාදී ඇත්තේ තෝරාගත් ග්‍රාමීය පාසල් සඳහා නොමිලයේම දිවා ආහාරය ලබාදීමට කටයුතු කිරීමෙනි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ දරුවන්ට පමණක් සීමා නොවී ඇතැම් පාසල්වල ගුරු භවතුන් හා අනධ්‍යයන සේවක සේවිකාවන්ට දපාසල් කාලය තුළ දිවා ආහාරය ලබාදීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

විවේක කාලයට ඇති හැකි දරුවන් නිවෙසින් රැගෙන ආ ආහාර වේල බුක්ති විඳිද්දී ආහාර රැඟෙන ඒමට නොහැකිවූ ඇතැම් දරුවන් පන්ති කාමරයෙන් බැහැරවී වතුර ටිකක් පමණක් බී නැවත පන්ති කාමරවලට පැමිණෙන ආකාර දැකීම පවා සිත කීරිගසන තත්ත්වයකි. එහෙත් ගාලු මිතුරු සංසදයේ දිවා ආහාර වැඩසහන ක්‍රියාත්මක වන පාසල්වල එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර,පාසලේ සියලුම දරුවන්ට එකම ආකාරයේ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දේ. ඒ ආහාර වේල බුක්ති විඳින දරුවන්ගේ මුවග රැඳෙන සිනහව දකින විට කාගේ වුවත් සිතට දැනෙන්නේ අපමණ සතුටකි.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ තත්ත්වය හොඳින් තේරුම්ගත් ගාලු මිතුරු සංසදය පසුගිය ජුනි මාසයේ සිට කඹුරුපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයකට දිවා ආහාර දිනපතා නොමිලයේසපයනු ලබයි. අද වන විට මෙම පාසල්වල අධ්‍යාපන මට්ටම ඉහළ යෑමටත් දරුවන්ගේ පැමිණීම ඉහළ යෑමටත් එය හේතුවක් වී ඇත.

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා නංවාලීමේ අරමුණෙන් ගාලු මිතරු සංසදය විසින් ගෙවී ගිය වසර දහ අට තුළ කඹුරුපිටිය හා ගාල්ල ප්‍රදේශයේ පාසල් දාහතක දරුවන් සඳහා අංගසම්පූර්ණ පුස්තකාල පහක්, බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ පහක්, පාවහන් යුගල විසිපන් දහසක්, පොත්පත් ඇතුළු ඉගෙනුම් උපකරණ, පරිගණක යන්ත්‍ර, ප්‍රින්ටර්, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් හා දරුවන් තුන්සිය දහයක් සඳහා මුදල් ශිෂ්‍යත්ව ද පිරිනමා ඇත.

මෙම සියලු සද්කාර්යයන් සඳහා මූල්‍ය දායකත්වය දෙව්සිරි හේවාවිදාන සපයා දුන්නද මෙම සියලු වැඩසටහන් සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම, ඒවා පිළිබඳ සොයාබැලීම සිදුකරනු ලබන්නේ සිරිසේන ගමගේ විසිනි. ඒ සඳහා ලක්සිරි හේවාවිදාන හා ආනන්ද හේවාවිදාන මහත්වරුන්ගෙන් ලැබෙන්නේ ඉහළ දායකත්වයකි.

දෙව්සිරි හේවාවිදාන සිදුකරන්නා වූ මෙම කාර්ය නිදහස් මනසකින් යුතුව කරගෙන යෑමට ඔහුගේ බිරිය, රුවිනි හේවාවිදානගෙන් ලැබෙන සහාය ද අගය කළ යුතුමය. අඩුපාඩු පෙන්වාදෙන්නත්, හොඳ දේ අගයමින් දිරිය දෙන්නටත් ඇය ක්‍රියාකරන්නේ දෙව්සිරිගේ ඉදිරි වැඩසටහන් කළමනාකරණයට මනා සහායක් ලබාදෙමිනි. එමෙන්ම පුතුන් දෙදෙනාගෙන් හා එකම දියණියගෙන් ද ඔහුට ලැබෙන්නේ ඉහළ සහායකි. මෙම වැඩසටහන් වෙනුවෙන් ඉහළම සම්මාන ඇගයීම ලැබෙන්නේ මෙම පිරිසගෙන් වන අතර ඒ තුළින් දෙව්සිරිට ලැබෙන්නේ විශාල ධෛර්යයකි.

“අපිට දිළිඳු ප්‍රදේශවල දරුවන්ට තව ගොඩාක් උදවු කරන්න අවශ්‍යයි. ඒත් හැමදෙයක්ම එක් පිරිසකට පමණක් කරන්න බෑ. ඒ නිසා මම ආරාධනාකරනවා අපි උපයා සපයා ගත් දෙයින් දුප්පත් දරුවන්ට උදවු කරමු කියා. ඒ සඳහා අප හා අත්වැල් බැඳගන්නා ලෙස මම හැමදෙනාටම ආරාධනා කරනවා” ගාලු මිතුරු සංසදයේ නිර්මාතෘ දෙව්සිරි හේවාවිදාන පැවසීය. ඔවුන් විසින් ක්‍රියාමත්මක සියලු සමාජ සත්කාරක සේවා පිළිබඳ වැඩිදුර තොරතුරැwww.ukfgsrilanka.co.uk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර devsiri@hotmail.coමඟින් ඔවුන් හා සම්බන්ධවන්නටත් අවස්ථාව ඇත.

ජයසිරි පේදුරුආරච්චි, ගන්දර සමූහ

 

Comments