ඔරි­ජි­නල්, ඩුප්ලි­කේට් කතා­ව­කට කිරි­ඇල්ල - දයා­සිරි පැට­ලෙති | සිළුමිණ

ඔරි­ජි­නල්, ඩුප්ලි­කේට් කතා­ව­කට කිරි­ඇල්ල - දයා­සිරි පැට­ලෙති

2022 වසරේ අය - වැයට ඉදිරිපත් කරනු ලබන සංශෝධිත යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 30 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

30 වැනිදා අය - වැය සංශෝධනවලින් කුමක් වෙයිද?

මෙම අය - වැය සංශෝධිත යෝජනාව සැකසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමු වී තිබුණි.

කොවිඩ් ලෝක වසංගතය සමඟ ඇතිවූ ‍ලෝක ආර්ථීක අර්බුදයෙන් ජනතාව දැඩි ආර්ථීක අර්බුදවලට මුහුණ පා සිටින නිසා එම පොදු මහජනතාව වෙනුවෙන් යම්කිසි වැඩි අවධානයක් යොමු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

  රනිල්, ‍ගෝඨාභයට කිව්වේ මොනවාද?

පසුගිය සතියේ දිනක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තායිලන්තයේ සිටින ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. මුලින්ම රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගෙන් විමසුවේ සුවදුක් පිළිබඳවයි. දැනට තමා හොඳින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතිචාර දක්වා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීමට තිබෙන සූදානම ගැන විමසූ රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙන්නේ පූර්ණ ආරක්ෂාවක් සැලසූ පසුව යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

ඒ අනුව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ තවත් මාසයක පමණ කාලයකින් පසුව ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණෙනු ඇති බවයි.

 

‘නිධානය‘ ගන්න උදව් කරන ලෙසට රනිල්ට ඉල්ලීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සති අන්තය ගත කළේ අනුරාධපුර පෞරාණික රාජධානියේය. ඒ ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ගත් තීන්දුවේ දිගුවක් ලෙසනි. ඉකුත් සෙනසුරාදා අනුරාධපුරයට ගිය ජනාධිපති රනිල් ජයසිරි මා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ප්‍රථම අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

ජයසිරි මා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට උඩමළුවට යද්දී තමන් පසුපසින් විශාල පිරිසක් පැමිණෙනු දුටු ජනාධිපතිවරයා මහමළුවට නොගොස් දෙවන මළුවේ සිට ජයසිරි මා හාමුදුරුවන් වැද පුදා ගත්තේය. ඔහුත් සමඟ එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් හා ජාතික සංවිධායක සාගල ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් එක් වූහ.

රුවන්වැලි සෑය, ලංකාරාමය වැදපුදාගත් ජනාධිපතිවරයා මිරිසවැටියට ගොස් වැද පුදා ගැනීමෙන් පසු දිවා ආහාරයට එකතු විය. දිවා ආහාරයෙන් අනතුරුව මිරිසවැටිය විහාරාධිකාරි ඊතල වැටුණු වැවේ ඤාණතිලක නාහිමියන් හා සුහද කතාබහකට එක්විය. එහිදි උන්වහන්සේ පුරාණ කතාවක් සිහිපත් කළේ සැමගේ දෑස් පාදමිනි.

“අතීතයේ හිටපු එක හිඟන්නකුට පෙට්ටියක් හම්බ වුණා. ඒක ලී පෙට්ටියක් නිසා මනුස්සයා මේක භාවිතා කළේ වාඩි වෙන්න පමණයි. මෙතනින් ගිය එක පඩිතුමෙක් මේ පෙට්ටිය දුටු විගස එය කුමක්ද එහි ඇතුළත ඇත්තේ කුමක් ද යන්න දැනගෙන හිටියා. ඔබ ඔය පෙට්ටිය ඇරලා බලන්න කියමින් ඔහු එතනින් ගියා. මේ පෙට්ටිය ඇතුළේ තිබුණේ මුතු මැණික්. අපිත් මහා නිධානයක් උඩ වාඩි වෙලා ඉන්න අය. ඔබතුමා තමයි පුරාණ කතාවේ පඩිතුමා වගේ මේ නිධානය ගැන දන්නේ. ඒ නිසා මේ නිධානය ගන්න අපට උදව් කරන්න“ ඤාණතිලක හිමියෝ කී විට ජනාධිපතිවරයා හිස සලා එය අනුමත කළහ.

 

සේනානායක සහ විජයවර්ධන

එහි සිටි නියෝජ්‍ය නායක රුවන් හා සාගල දුටු උනවහන්සේ ඔවුන් පෙන්වා ජනාධිපතිවරයාට කීවේ පක්ෂයට හොඳ නායක පරපුරකුත් ඉන්න නිසා මේ වැඩේ පහසු වෙයි කියා ය.

“සේනානායක හා විජයවර්ධන පවුලේ සුසංයෝගයත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනියන්න ඒ ශක්තියත් හොඳයි.“ නියෝජ්‍ය නායක රුවන් දෙසට ඇගිල්ල දිගු කරමින් මිරිසවැටිය විහාරාධිකාරි හිමියෝ ජනාධිපතිවරයාට කීහ.

 

රත්වූ වැල්ලේ රනිල් ඇවිදියි

දිවා ආහාරයෙන් පසු ජනාධිපති රනිල් ගියේ ථූපාරාමයට ය. දහවල නිසා ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයාගේ ගමන ථූපාරාම ආවාස ගෙට සීමා කර තිබුණි. විහාරාධිපති හිමියෝ බැහැදැකීමෙන් පසු ජනාධිපතිවරයා කිීවේ තමන් විහාරය වැද පුදා ගැනීමට යන බවය.

“ජනාධිපතිතුමා දවල් නිසා වැල්ල රත්වෙලා තියෙන්නේ. මල් වට්ටි නම් තියෙනවා.“ ථූපාරාම විහාරාධිකාරි හිමියෝ කීහ.

ඊට සිනහවකින් සංග්‍රහ කළ ජනාධිපතිවරයා උන්වහන්සේ දුන් මල් වට්ටිය ද රැගෙන පා වහන් ද නොමැතිව රත්වූ වැල්ලේ කිසිම චකිතයකින් තොරව ගමන් කොට ථූපාරාමය වැද පුදා ගත්තේය. එහෙත් ඒ ගමන අනෙක් පිරිසට යාමට සිදුවූවේ උඩ පනිමිනි.

ජේතවනාරාමයේදි අපූරු කතාවක් ජනාධිපතිවරයාට අසන්නට ලැබුණි. ඒ ජේතවනාරාම විහාරාධිකාරි ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන්ගෙනි. “ඔබතුමා රටේ නීතිය හා සාමය නැවත ප්‍රතිස්ඨාපනය කිරීම ගැන අපි සතුටු වෙනවා. තව ටික කාලයක් මෙහෙම ගියා නම් හාමුදුරු කෙනෙකුටවත් පාරට බහින්න වෙන්නේ නෑ.“ උන්වහන්සේ කී විට රැස්ව සිටි අය ඊට හූ මිටි තැබූහ.

ජනාධිපතිවරයා සාරානන්ද පිරිවෙනට ගියේ ඉන්පසුවය. එය ඔහු අතීතයේ නිතර ආ ගිය තැනකි. මන්ද ජාතික භික්ෂු පෙරමුණේ සභාපති අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියෝ වැඩ සිටියේ සාරානන්ද පිරිවෙනෙහි ය.

ජනාධිපති රනිල් ඉසුරුමුණි විහාරයට ගොස් වන්දනා කොට පිටතට පැමිණෙද්දී වන්දනා නඩයක පිරිසක් මුණ ගැසිණි. ඔවුන් තමන්ගේ ප්‍රශ්න ජනාධිපතිවරයාට පැවසූ අතර ඒ ගැන සොයා බලන ලෙස ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක දැනුම්වත් කළේය.

ජනාධිපතිවරයා අසලට තවත් දරුවන් පිරිසක් පැමිණි අතර ඔවුන් කවුරුන්දැයි ජනාධිපතිවරයා විමසා සිටියේය.

“සර් අපි කෑගල්ලේ ඉදලා ආවේ. අපි පන්සලට නෙමෙයි සර් ඉන්නවා කියලා දැනගත් නිසයි මෙතනට ආවේ. අපි ක්‍රීඩා තරඟයකට යන ගමන්“ දරුවෝ කීහ.

“ඒක තමයි මාත් බැලුවේ. ඔයාලා එනවා කියලා දන්නවා නම් මාත් වෙන ඇඳුමක් ඇදගෙන එනවා.“ ජනාධිපතිවරයා කියද්දී සැවොම සිනාසුණහ.

පසුවදා ජනාධිපති රනිල් මිහින්තලේ රාජමහා විහාරස්ථානයට පැමිණියේය. දහවල් අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ය.

 

ජනපති රනිල් සමඟ සෙල්ෆි ගැහුවේ කවුද?

දිවා ආහාරයට පෙර ඔහු මන්ත්‍රීවරුන් සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන් හා කතා බස් කරන්නට වූහ. එහිදි සැමට දැකගත හැකි විශේෂත්වයක් වූවේ පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි ඡයාරූපවලට පෙනී සිටින අයුරුය. එහි පැමිණ සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වූ එස්.එම් චන්ද්‍රෙස්න, ශෙහාන් සේමසිංහ ආදී මැති ඇමතිවරු පිරිසක් රුවන් විජයවර්ධන හා සාගල රත්නායක සමඟ කදේට වැටුණේ ඒ අතරතුරය.

“රනිල් කියන්නේ කවුද කියන එක අපිට මේ දවස් ටිකට හොඳටම තේරුණා. මොකද එතුමව අපි මීට පෙර ළඟින් ආශ්‍රය කරලා නෑනේ. දැන් තමයි තේරෙන්නේ එතුමගේ දැනුම හා බුද්ධිය ගැන.“ එස්. එම්. චන්ද්‍රෙස්න කීවේ රුවන් සමඟය. “එතුමා එක්ක කතා කරන්න යනවා නම් හොඳට පොත් කියවලා යන්න වෙනවා. නැත්නම් එතුමා අහන දේවල්වලට උත්තර දෙන්න බැරිව අපිට ඇඹරෙන්න වෙනවා.“ ශෙහාන් කී විට සැමට සිනහව නවතා ගත නොහැකි විය.

 

අලියා 76ට සැරසෙයි

දිවා ආහාරය එම ස්ථානයේදී ඔවුන් හා එක්ව ගත් ජනාධිපතිවරයා සවස කොළඹ බලා පැමිණියේය. එක්සත් ජාතික පක්ෂ 76 වන මහා සම්මේලනය ගැන පක්ෂ නියෝජිතයන් ඉකුත් සඳුදා ජනාධිපතිවරයා දැනුම්වත් කළේය. පසුදා පක්ෂ සම්මේලනය ගැන විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊට පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක හා පක්ෂ විධායක නිලධාරී ශමල් සෙනරත් සහභාගී වි සිටියහ. මාධ්‍ය අංශය වෙනුවෙන් ධනුෂ්ක රාමනායක සමඟ ශානුක කරුණාරත්න ද එක්ව වූහ.

එහිදි පක්ෂ 76 වෙනි සංවත්සරය ලබන 06 දා කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට තීන්දු කෙරුණු අතර “එක්වෙමු“ යන තේමාව යටතේ මෙය පැවැත්වීමට නියමිතය. පක්ෂ සම්මේලනයට සමගාමීව සැප්තැම්බර් 04 වන ඉරුදින ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාශයකම ආගමික වතාවත් පැවැත්වීමට ද තීන්දු කෙරිණි. පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ පක්ෂ සමුළුවක් එක්සත් ජාතික පක්ෂය සමරන්නේ අවුරුදු 28 කට පසුවය.

 

සර්ව පාක්ෂික ප්‍රගති වාර්තාව දිනේෂ්ගෙන්

සදුදා සවස අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අතර ඊට අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් වූ ප්‍රගති වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබීය. එහිදි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ සියලු පක්ෂ වෙතින් සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ඔවුන්ගේ ස්ථාවරය හැකි ඉක්මණින් දැනගෙන ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසටය.

 

මංගල වෙනුවෙන් රනිල්, හර්ෂ හා ඉරාන් එක්වෙති

හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වී වසරක් ගතවීමේ වර්ෂ පූර්ණ පින්කම ඉකුත් බදාදා සවස බොල්ගොඩ පිහිටි රේන්බෝ එන්ඩ් නිවසේදී පැවැත්විණි. ඊට ජනාධිපතිවරයා ද එක්වූ අතර හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ටිරාන් අලස්, කාංචන විජේසේකර යන මැති ඇමතිවරු මෙන්ම රවි කරුණානායක වැනි දේශපාලකයන් ඇතුළු මංගලගේ හිතවතුන් රැසක් එක්ව සිටියහ. ජනාධිපතිවරයා ද බොහෝ රෑ බෝ වන තුරු පැමිණි පිරිස සමඟ සාකච්ඡා කරනු ලැබීය.

බදාදා පෙරවරුවේ ජනාධිපතිවරයා මුණ ගැසීමට ජපන් තානාපතිවරයා පැමිණියේ ජපන් අධිරාජ්‍යයාගේ සන්දේශයක්ද අතැතිවය. ඒ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදි ජපානය ගැන කළ කතාවට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයක් ගැන දැනුම්වත් කිරීමට ය. සැප්තැම්බර් 06 ද එම උත්සවය ජපන් රජයේ පරිත්‍යාගයක් වන ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ද ලබන මස අගදී ජපානයේ සංචාරය කිරීමට නියමිතය.

 

ඔරිජිනල් විපක්ෂය කාගෙද?

කතානායක මහින්ද යාපා අබේවර්ධන විදේශගතව සිටි බැවින් මෙවර පක්ෂ නායක රැස්වීම පසුගිය බදාදා පර්ලිමේන්තුවේදී පැවැත්වුණේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව පක්ෂ නායකයන් දැනුම්වත් කළහ.

පාර්ලිමේන්තුව හෙට (29) රැස්වීමට නියමිත අතර එදින දවස පුරාම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ විවාදය පැවැත්වීමටද පක්ෂ නායකයෝ තීන්දු කළහ.

එමෙන්ම අනිද්දා (30) පාර්ලිමේන්තුව පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

අනතුරුව අන්තර් කාලීන අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමටද ඔව්හු තීන්දු කළහ.

එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මහබැංකු අධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටද නියමිතය. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහභාගී කරවීමටද පක්ෂ නායකයෝ එකඟතාව පළ කළහ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර් කාලීන අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම සිකුරාදා පැවැත්වීමට පක්ෂනායක රැස්වීමේදී එකඟතාවය පළවිය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම්වලට අදාළව මන්ත්‍රීවරුන්ට කාලය වෙන්කිරීමේදී තමන් මුහුණදී සිටින උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී අණාවරණයක් කළේය.

“ අපේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විපක්ෂයේ වාඩි වෙලා තමන් ස්වාධීන මන්ත්‍රීවරුන් විදියට අඳුන්වා ගන්නවා. මේ අය වික්ෂයේද නැත්නම් ආණ්ඩුවෙද කියල හොයා ගන්න බෑ. ”

ඇමති ප්‍රසන්න කීවේය.

“ අපොයි ඇමතිතුමා, අපි නම් ඔරිජිනල් විපක්ෂයේ ”

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කිවේය.

“මෙතන ඔරිජිනල් විපක්ෂයක් කියල එකක් නෑ. අපි ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියනවා. නරක දේ නරකයි කියනවා”

කිරිඇල්ලගේ එම කතාවට ශ්‍රී.ල.නි.ප මහලේකම්, දයාසිරි ජයසේකර තරමක කේන්තියෙන් කීවේය.

“ ඇත්තටම මන්ත්‍රීතුමා, මන්ත්‍රීවරුන්ට විවාදවලදී කාලය වෙන්කරන්න ගියාම මගේ ඔළුව කකියනවා. ඔබතුමන්ලා දෙපැත්තෙ කකුල තියාගෙන ඉන්නැතුව එක්කො ආණ්ඩුවෙ ඉන්න, නැත්නම් විපක්ෂයේ ඉන්න”

ඇමති ප්‍රසන්න රණතුංග දයාසිරිට කීවේය.

කතානායකවරයා දිවයිනට පැමිණි පසු මේ සම්බන්දයෙන් අවසන් තීන්දුව ගැනීමට පක්ෂ නායකයෝ එහිදී එකඟතාවය පළ කළහ.

 

රන්ජන් අලියා පිට නගීද? දුරකතනය අතට ගනීද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඩුවම් ලබා සිටි රන්ජන් රාමනායකට ජනාධිපති සමාව පසුගිය 26 වැනිදා සවස 2.30 ට පමණ හිමිවිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නියමය පරිදි කොන්දේසි සහිතව රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමට ක්‍රියා කළේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂය.

 

හරීන් හා මනූෂගේ දායකත්වය

රන්ජන් නිදහස් කරගැනීම සඳහා සමඟි ජනබලවේගයේ සිටින විටදීත් එම සටන ආරම්භ කළ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ආණ්ඩුවට එක්වූ පසුවද එම සටන අත් නොහැරීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුවද රන්ජන් නිදහස් කරගැනීමේ මෙහෙයුම හරීන්, මනූෂ අත්හැරියේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ රන්ජන් ජනාධිපති සමාව හිමිවීමයි.

රන්ජන් නිදහස් වන අවස්ථාවට සිරගෙදර අසලට දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. සමඟි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණ සිටි අතර මනූෂ නානායක්කාරද එහි විය.

රන්ජන් අලියාට යයිද සජබයට යයිද යන පැනයට සෘජු පිළිතුරක් ලබා නොදුන් රන්ජන් කියා සිටියේ ඔහු ජනතාවගේ පැත්තේ සිටින බවයි.

 

වාසු, ප්‍රසන්න සොයාගෙන අවේ ඇයි?

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුඳා පැවැති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මහජන දිනයට අමුත්තකු සහභාගී විය.

ඒ අනෙකකු නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ය.

මන්ත්‍රීවරයා පැමිණ තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ ගැටලුවක් අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමටය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විනාඩි කිහිපයක් ඇතුළතදී එම ප්‍රශ්නය විසඳීමට පියවර ගත්තේය.

 

විමල් - වාසුලා කරන්න යන්නේ මොකක්ද?

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවනු ලබන නව සභාගය ලබන ඉරිදා, එනම් සැප්තැම්බර් 4 වැනිදා සවස 3:00ට ඇරැඹෙන එහි මංගල මහා සමුළුවත් සමග ජනගත වීමට නියමිතය. එහිදී සභාගයේ නාමය මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ ද ජනගත වනු ඇත. පසුගිය අඟහරුවාදා (23) ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් සුපුරුදු පරිදි බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස්වූයේ නව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටය.

"දැනට අපේ සියලු පක්ෂ වෙතින් ලැබී ඇති යෝජනා ද සැලකිල්ලට ගෙන සකසමින් තිබෙන නව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. නිශ්චිත උපායමාර්ගික දැක්මකට අනුකූලව සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන වැඩපිළිවෙළ මගින් මේ රට අභිවෘද්ධිය කරා රැගෙන යාම අපේ අරමුණ වී තිබෙනවා. ජනතා ප්‍රශ්න පුනරුච්ඡාරණය කරමින් දේශපාලන වේදිකාවල රැඩිකල් සටන් පාඨ ඉදිරිපත් කළාට වැඩක් නැහැ. පළමුව ඒ ප්‍රශ්නවලට උත්තර සපයන දේශපාලන සංවාදයක් ගොඩනැඟීම තමා ඉතා වැදගත්. එතැන් සිට ක්‍රමිකව ජනතාවට ජයග්‍රහණ ලබා දෙමින් අපට සභාගයක් ලෙස පෙරට යා හැකියි" ජානිපෙ නායක විමල් වීරවංශ සඳහන් කළේය.

"අප යෑමට බලාපොරොත්තු වන 'ගමන' පිළිබඳව සම්පූර්ණ අදහසක් රට හමුවේ තැබීමට මේ මංගල මහා සමුළුව යොදාගත යුතුව තිබෙනවා." විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

"අපි විපක්ෂයේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයන වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කරද්දී ආණ්ඩුවට තිබෙන්නේ IMF සාකච්ඡාව හා ඇමති තනතුරු බෙදාගැනීම පිළිබඳව සාකච්ඡාවක් පමණයි." ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා කනස්සල්ලෙන් යුතුව සඳහන් කළේය. මෙසේ ඉදිරියට ගිය දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ වැඩපිළිවෙළෙහි අවසන් කෙටුම්පත් ලබන අඟහරුවාදා වන විට ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුව වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය විය.

 

සජිත් කලාකරුවන් වෙනුවෙන් සති දෙකක් තුළ කරන්න යන වැඩේ!

තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කලාකරුවන් පිරිසක් විපක්ෂ නායක සජිත් ගෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ ඉල්ලීම දෙදිනක් ඇතුළට ඉටු කිරීමට කටයුතු කළ සජිත් එම පිරිස කැඳවීමේ වගකීම ජාතික සංවිධායක තිස්සට බාර දුන්නේය.

තිස්ස අත්තනායකගේ මෙහෙයවීමෙන් මේ දිනවල ජාතික මහජන සභාව ක්‍රියාත්මක වෙමින් පවතින අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලබයි.

කලා ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු රැසක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම සිනමා කර්මාන්තය, ටෙලිනාට්‍ය කර්මාන්තය, මෙන්ම ඇසිදිසි කලා ක්ෂේත්‍රය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු විණි.

" ප්‍රේමදාස ජනාධිපතිතුමා කලාකරුවන් වෙනුවෙන් කරපු මහා විශාල සේවය ඉතිහාසගත වෙනවා. එතුමා කලාකරුවන් පිළිබඳව හොඳට තේරුම් අරගෙන හිටියා. ඒ විතරක් නෙමේ, කලාකරුවන් සුබසාධනය කරන්න ඕන සියලු දේවල් කළා. ඊට පස්සේ හැමෝම කලාකරුවන්ව පාවිච්චි කළේ තමන්ගේ දේශපාලන අරමුණුවලට විතරයි"

එතැනට පැමිණි කලාකරුවන් බොහෝ දෙනෙක් කීවේ එහෙමය.

"අපිට මතකයි හැත්තෑ හතේ ඉඳලා සෑහෙන කාලයක් කලාකරුවෝ හිටියේ අපිත් එක්ක. මං හිතන්නේ 95% කට වඩා කලාකරුවෝ හිටියෙ අපි එක්ක. අපි මේ රටේ කලාකරුවෝ වෙනුවෙන් කැපවෙනවා. ඒ වෙනුවෙන් ප්‍රඥප්ති සහගත වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරනවා. එනිසා අපි ගැන විශ්වාසය තියන්න."

සජිත් සහතිකයක් දුන්නේය.

 

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නාමල්ගෙන් ඉල්ලපු දේ

පසුගිය සතියේ කොළඹ එක් ස්ථානයකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සාකච්ජාවක නිරත වූහ.

“මේපාර කැබිනට් එක දිවුරුම් දෙනකොට නාමල් මන්ත්‍රීතුමා ඇමතිකමක් ගන්න. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතිකම හොඳට කරගෙන ආවානේ. ඒක නිසා ඇමතිකමක් අරගෙන වැඩකරන්න” යනුවෙන් ඉන්දික අනුරුද්ධ, ශෙහාන් සේමසිංහ, ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් නාමල්ගෙන් ඉල්ලා සිටියහ.

“රාජපක්ෂවරුන් මේ රට වෙනුවෙන් ඕනතරම් කැපවීම් කරලා තියෙනවා. මේ පාර ජනාධිපතිකම, අගමැතිකම පවා කැප කළා.

ඒක නිසා තනතුරු නැතුවත් රට වෙනුවෙන් සේවය කරන්න පුළුවන්. ‍කොහොමත් මට අවශ්‍ය පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් වෙනුවෙන් යමක් කරන්න. ඒ වගේම පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ඉදිරියට පැමිණ ජනතා සේවය සිදුකිරීමටත් අවස්ථාවක් හිමිවිය යුතුයි. තනතුරු තිබුණත් නැතත් ජනතා සේවයට මං කැපවෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

අරගලකරුවන්ට වජිරගෙන් දේශනයක්

ජනතා ගැටලු විසඳීම සඳහා වජිර අබේවර්ධන දියත්කර තිබෙන වැඩපිළිවෙල බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට මේ වන විට ලක්ව තිබේ. සිරිකොතට පැමිණි ජනතාව අතර ගෝල්ෆේස් අරගල භූමියේ නවාතැන් ගනිමින් අරගලය සමඟ එක්ව සිටි කණ්ඩායමක් පසුගිය බදාදා සිරිකොත වජිරගේ කාමරයට පැමිණියේ ඔවුන්ගේ අපේක්ෂාවන් හා ඒවා ඉටුකීරීමට වත්මන් රජය අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳව දල අවබෝධයක් ලබාගැනීමටය. තරුණයන් නැඟූ විවිධ ප්‍රශ්නවලට සවන්දුන් වජිර රටේ පැවති අරගල හා ඒවා විසඳීමට ගත් පියවර මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ අනාගත දැක්ම පිළිබඳව ද සිය අදහස් තරුණයන්ට ඉදිරිපත් කළේය.

 

Comments