හරක් කටා බේරා ගන්න ඩුබායි කුඩු පාතාලය ගහන ගේම | සිළුමිණ

හරක් කටා බේරා ගන්න ඩුබායි කුඩු පාතාලය ගහන ගේම

- මුල්ම ඔත්තුව ලැබුණේ මිදිගම කොල්ලා නමින් ගත් පාස්පෝට් එකෙන්
- මේ වෙනකොටත් කෝටි 07ක් වියදම් කරලා 
- කොන්ත්‍රාත්තුව ලොකුම නීති සමාගමකට
- බේරා ගැනීමේ මෙහෙයුමට කුඩු සලිඳු කර දීලා
- ඩුබායිවල පෙනී ඉන්නේ ආයෝජකයෙක් හැටියට

මෙරටින් පලාගොස් පිට රටක රැඳී සිටි මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ජාතන්තර මෙහෙයුමකින් කොටුකර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් වූ සාර්ථකම මෙහෙයුම බවට පත්වන්නේ නඳුන් චින්තක නොහොත් හරක් කටා කොටුකර ගැනීමයි. එය කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයකි. 

ඊට පෙර මෙවන් මෙහෙයුමක් සැලසුම් කෙරුණේ නම් ඒ මාකදුරේ මධුෂ්, වෙලේ සුදා සහ සිද්ධික් කොටුකර ගැනීම හා සම්බන්ධයෙන් පමණි. කුඩු පාතාලයේ පතාකයන් වන වෙලේ සුදා සහ සිද්ධික් අල්ලන්නට මෙහෙයුම් සැලසුම් වන විටත් ඔවුන් සිටියේ පකිස්තානු ආරක්ෂක අංශ අත්අඩංගුවේය. ඒ මත්කුඩු තොගයක් ඇණවුම්කරන්නට ඩුබායි සිට පකිස්තානයට ගොස් සිටියදීය. ඔවුන් පකිස්තානයේදී අත්අඩංගුවට පත්වන්නේද මත්කුඩු ජාවාරම්කරුවන් අතර ගැටුමකට මැදිවෙමිනි.

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකරුවන් වූ ඔවුන් දෙදෙනාව එදා මෙරටට රැගෙන එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමත් පකිස්තානයට ගොසිනි. ඒ 2015 වසරේදීය එදා පකිස්තානයෙන් මෙරටට රැගෙන ආ වෙලේ සුදා අද සිටින්නේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ලෙසිනි. මොහොමඩ් සිද්ධික්ටත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියමවූවත් අභියාචනාධිකරණයෙන් ඔහු නිදහස උරුමකර ගත්තේය. ඒ ලද නිදහසත් සමඟ ඔහු පැන්නේ ඩුබායිවලටය.

හැබැයි මධුෂ්ව කොටුකර ගැනීමට කොතරම් සැලසුම් සකස් කළද පහසුවෙන් ඔහුව කොටුකර ගැනීමට නම් කිසිවකුටත් ඉඩක් නොවීය. අඩුම තරමින් මධුෂ් ඩුබායි හි රැඳී සිටි විදෙස් ගමන් බලපත්‍රයේ අංකයක් තබා ඔහු පෙනී සිටි නමක්වත් සොයා ගැනීමට හැකියාවක් නොවීය. ඒ නිසාම මධුෂ්ගේ නම ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ගොන්න අතර කාලයක් තිස්සේම රැඳී තිබුණේ වැඩකට නැති ලියැවිල්ලක් ලෙසිනි.

මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇවුළුණු ගින්නක ප්‍රතිඵලයක් ලෙස කිරුළපොන මොරිල්ගේ දහන් ගැටයකින් මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට කොටු නොවන්නට ඔහු අද මෙරට පාතාලයේ රජු ලෙස වැජඹෙන්නේ ඉන්දියාවේ ඩාවුඩ් ඊබ්‍රාහිම්ට නොදැවෙනි ලෙසිනි.

මොරිල්ගේ සැලසුමකින් ඩුබායි පොලීසියට මධුෂ් කොටුවන විට එහි ගෞරවය හිමිකරගන්නට ඇතැම් ආරක්ෂක අංශ ලොක්කෝ එදා උත්සාහ ගෙන තිබුණේ ආරක්ෂක මණ්ඩලයේ පවා නොමඟ යවමිනි. එසේ ලකුණු දාගත් අය මාකඳුරේ මධුෂ් ගම්පහ පැත්තේ කොල්ලකුගේ නමින් හැදූ විදෙස් ගමන් බලපත්‍රයකින් පෙනී සිටි බවක් නම් ඩුබායි පොලීසිය අපිට ඒ ගැන කියනතුරුම දැන සිටියේ නැත.

හැබැයි හරක් කටා කොටුකර ගැනීමට මුල්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නම් හරක් කටා ඩුබායි හි රැඳී සිටින්නේ මිදිගම පැත්තේ කොල්ලෙකුගේ නමින් බව නම්කල්තියාම දැන සිටියේය. එය දැන ගන්නේද හරක් කටා කොටුකර ගැනීමට කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. හරක් කටා මාලදිවයින පැත්තේ සැප ගැනීමට ගිය ගමනකදී ජාත්‍යන්තර තොරතුරු ඒජන්සියක සහය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හරක් කටාගේ විදෙස් ගමන් බලපත්‍රයෙන් එම තොරතුරු සොයා ගන්නේ ඉකුත් මාර්තුවේදීය. ඒ වන විට ජාත්‍යන්තර පොලීසිය මඟින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි හරක් කටාව අල්ලන්නට හැකියාවක් නොවූයේ ඔහු පෙනී සිටියේ හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉසංක නම් වූ වෙනත් පුද්ගලයකුගේ නමින් සැකසූ විදෙස් ගමන් බලපත්‍රයකින් වූ බැවිනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒ නම සහ විදෙස් ගමන් බලපත්‍ර අංකය ජාත්‍යන්තර පොලීසියට දැනුම් දී නිවැරදි නොකරන්නට අදත් හරක් කටා ඉන්නේ නිදැල්ලේය.

ඩුබායි හි දී අත්අඩංගුවට ගත් හරක් කටා ගැන තාමත් අපිට එරටින් නිල දැනුම් දීමක් නම් කර නැත. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාව මරා දමා ඩුබායි පැන්න ඇල්ටෝ ධර්මේ නැමැති පාතාල අපරාධකරුව පවා ඩුබායි පොලීසිය අල්ලා නිදහස් කරන්නේ අපිට ඒ ගැන හාන්කවිස්සියක්වත් නොදන්වාය. ඒ රතු වරෙන්තුවක් පවා ඔහුට එරෙහිව නිකුත්කර තිබියදීය. අනාවරණයවන ආකාරයට අනුව ඇල්ටෝ ධර්මේ ඩුබායි හි රැදී සිටියේ ඔහුගේ නමින් ඇති විදෙස් ගමන් බලපත්‍රයකින් මිස අන අයකුගේ නමින් ද නොව එසේ තිබියදීත් ඔහුව අල්ලා නිදහස් කළේ ඔහු ඩුබායි හි දී වරදක් කර නැති බව සිය නීතීඥවරුන් මඟින් කළ කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙසිණි.

මාකඳුරේ මධුෂ් ද අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උත්සාහයක නිරත වූයේ එවැනි තර්ක ඉදිරිපත්කර එරටම රැඳී සිටීමටය. ඇල්ටෝ ධර්මෙට ලැබුණු අවස්ථාව එදා මධුෂ්ට නොලැබෙන්නේ සිය දියණියගේ උපන් දින සාදයයේ තිබී මත්ද්‍රව්‍ය සොයා ගැනීම නිසාය. එසේ නොවන්නට වරෙන්තු පිට වරෙන්තු ඔහුට නිකුත්කර තිබුණද මෙරටට පිටුවහල් කිරීමක් නම් සිදුවන්නේ නැත.

හරක් කටාද දැන් ඩුබායි සිට ගේමක් ගසන්නේ ඒ කියන තර්කය ඉදිරියට දමාගෙනය. ඒ වෙනුවෙන් ඔහු කෝටි හය හතක්ම මේ වන විට වියදම්කර ඇති බව සඳහන්ය. හරක් කටා මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන්නේ යැයි කියැවෙන්නේ කුඩු සළිඳුය. මෑතක් වන තුරු කුඩු සළිදු රැඳී සිටියේ යැයි කියනුයේ ඩුබායිවලින් පිටය. පානදුර පැත්තේ කුඩු පාතාලයේ ලොක්කා ලෙස සැලකෙන්නේ කුඩු සළිදුය. පොලීසියේ නොමනා ක්‍රියාකාරකම් මත පාතාලයට වැටුණු සළිදු අද පොලීසිය පවා අල්ලේ නටවමින් සිටින්නේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිය මුදල් බලයෙන් යටකරගෙන බව පොලීසියම දන්නා ප්‍රසිද්ධ රහසකි. කුඩු සළිදු මෑතකදී පානදුර පැත්තේ දරුවන්ට සිය ගෝලබාලයින් මඟින් සුපිරි ‍වෙ‍ෙළඳ සැලකින් බඩු ගන්න රුපියල් 5000ක් වටිනා වවුචර පත් බෙදා දී තිබුණේ ජර්මනියේ සමාගමක හිමිකරුවෙක් ලෙස පෙනී සිටිමිනි. අතේ සතේ නොමැතිව සිටි සළිදු අද ජර්මනියේ සමාගම් හිමිකරුවෙක් ලෙස පෙනී සිටින තරමට ඉහළ ගොස් ඇත්තේ කුඩු සල්ලිවල බලයෙනි.

මේ කියන තැනට සළිදු එසවෙන්නේ හරක් කටාගේ ආශිර්වාදය ඇතිවය. හරක් කටාගේ නිදහස වෙනුවෙන් අද ඔහු පෙරමුණ ගෙන සිටින්නේ එබැවිනි. හරක් කටා නිදහස් කර ගැනීම වෙනුවෙන් සළිදු තෝරාගෙන ඇතැයි කියැවෙන්නේ ඩුබායි හි ඇති හොඳම නීතීඥ සමාගමයි. මාකදුරේ මධුෂ්ද ලංකාවට පිටුවහල් කිරීම වළක්වා ගැනීමට සහය පතා තිබුණේ ඒ කියන නීතීඥ සමාගම බව කියයි.

මේ වන විට හරක් කටාගේ නිදහස වෙනුවෙන් ඒ අය සටන් කරන්නේ හරක් කටා ඩුබායි වෙත නීත්‍යානුකූලව ඇතුළු වී එරට රැදී සිටින ආයෝජකයෙක් බව පෙන්වමිනි. සැබෑවටම හරක් කටා ඩුබායි හි රැඳී සිටින්නේ ආයෝජකයෙක් ලෙසිනි. මෙතරම් කාලයක් ඔහුට එරට නිදහසේ රැදී සිටීමට හැකියාව ලැබී ඇත්තේ එබැවිනි. ඩුබායි සිට ඔහු රට රටවල් වල සංචාරයේ නිරතවන්නේද ආයෝජකයෙක් ලෙසිනි. ඩුබායි රජයට ඔහු බදු පවා ගෙවන බව සඳහන්ය. එම බදු ගෙවීමේ ලේඛන පවා ඔහු වෙනුවෙන් මේ වන විටත් එරට පොලීසියට ඉදිරිපත්කර හමාරය.

ඒ අතර ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට එරට නීති ප්‍රධානීන් හමුවේ පෙත්සමක්ද ගොනුකර ඇති බව කියයි. එම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමාව ශ්‍රී ලංකාවට රැගෙන ගියහොත් මරා දමාවි යැයි කියාය. ඊට හොඳම උදාහරණයක් ඔවුන් පෙන්වා දෙන්නේ මාකදුරේ මධුෂ්ව ඩුබායි සිට රැගෙන ගිය පසු පොලිස් අත්අඩංගුවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වූ ආකාරයයි.

ඒ අතර කටාගේ ගෝල බාලයින් මේ ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැනුවත් ඒ අය හරහාට මේ වන විට ඩුබායි රජයට යම් බලපෑමක් කරමින් සිටින බවද එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. ඒ අය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේද ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටි හරක් කටා ඩුබායි වෙත එන්නේ මරණීය තර්ජන හේතුවෙන් බවය. ඩුබායි හි ආයෝජකයෙක් ලෙස රැඳී සිටියත් ඒ අතර ඔහු ප්‍රංශයේ දේශපාලන රැකවරණයද ඉල්ලුම්කර තිබී ඇතැයි ඒ අය පෙන්වා දෙන්නේ හරක් කටාව යම් හෙයකින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමකින් පසු ඔහුගේ ජීවිතයට හානියක් වුවහොත් ඊට ඩුබායි රජය වගකිව යුතු බවට චෝදනා කරමිනි.

මේ ආකාරයට හැම පැත්තකින්ම හරක් කටාගේ ගෝල බාලයන් ලොකු සටනක නිරත සිටින්නේ ඔහුගේ නිදහස වෙනුවෙනි. දිගින් දිගටම ඒ අය ඩුබායි රජය මෙන්ම ඩුබායි පාලකයාව ද විවිධ මාර්ග ඔස්සේ දැනුම්වත් කරමින් සිටින්නේ හරක් කටා ඩුබායි හි මෙතෙක් රැඳී සිටි කාලය තුළ කිසිදු නීති විරෝධි ක්‍රියාවක නිරතව නැති බැවින් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

මෙසේ ඩුබායි පොලීසියට හැම පැතකින්ම හරක් කටාගේ නිදහස වෙනුවෙන් එල්කරනුයේ දැඩි පීඩනයකි. එහෙත් ඒ පීඩනයට ප්‍රති පීඩනයක් මාකදුරේ මධුෂෟව මෙරටට ගෙන්වා ගැනීමට තිබුණු තරම්වත් හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට තවමත් එල්ලවනවාදැයි ඇත්තේ ගැටලුවකි.

මෙතෙක් සිදුව ඇති එකම ක්‍රියාවලිය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පිහිටි ජාත්‍යන්තර පොලීසියේ මෙරට ශාඛාව මඟින් හරක් කටාගේ අත්අඩංගුවට ගැනීම ගැන නිල තොරතුරු ඉල්ලා සිටීමක් පමණි. ඒ යැයි කියා එම නිල තොරතුරු මෙරටට තවමත් ලැබී ඇති බවක් නම් දැනගන්නට නැත. හැබැයි හරක් කටා ඩුබායි පොලිස් භාරයේ තාමත් සිටින බව නම් නිල නොලත් තොරතුරුවලින් නම් ඒ අය තහවුරු කරගෙන හමාරය. හැබැයි මේ යන විදිහට නම් හරක් කටා හෙට අනිද්දා දිනක ඩුබායි වීදියක සැරිසරනු දුටුවේ යැයි යමෙක් පැවසුවොත් එය පුදුමයට පත්වන කාරණාවක්ද නොවනු ඇත.

“ ඩුබායිවල හැටි ඔහොම තමයි. අපිට ඒ ගැන උනන්දුවක් තිබ්බට හරියන්නේ නැහැ. නිල වශයෙන් ඒ අය අපිට තොරතුරු දැනුම් දෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මාකදුරේ මධුෂ්ව අල්ලල මාසයකට විතර පස්සෙයි අපිට ඒ අය නිල වශයෙන් ඒ ගැන දැනුම් දීමක් කළේය. හැබැයි ඒ කාල සීමාව තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයයි, නීතිපති දෙපාර්තමේන්තුවයි ලොකු වැඩ කොටසක් කළා. ඒ උත්සාහය නොවන්නට මාකඳුරේ මධුෂ් තාමත් ඉන්නේ ඩුබායිවලයි“ යැයි මෙසේ කියන්නේ මාකඳුරේ මධුෂ් මෙරටට රැගෙන ඒමට මුල්වූ කණ්ඩායමේ සිටි පොලීසියේ ඉහළම නිලධාරියෙකි.

හරක් කටාව බොහොම අමාරුවෙන් කොටුකර දීමට මුල්වුණු පොලීසියේ අයද දැන් බලා සිටින්නේ ඩුබායි වලින් හෝ ජාත්‍යන්තර පොලීසියෙන් ඒ ගැන නිල දැනුම් දීමක් කරන තුරුය. ඒ ඉදිරි පියවර තැබීමටය. ඒ අතර ලහිලහියේ හරක් කටාට ඇති අපරාධ මෙන්ම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ ගොනු සම්පූර්ණ වෙමින් ඇත්තේ මෙරටට ඔහුව රැගෙන පැමිණි පසු නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටය.

පොලීසියේ අභ්‍යන්තර තොරතුරු විමර්ශනයේදී පෙනී යන්නේ මේ වන විට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත්කර සිටින මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවන් සිටින්නේ 16 දෙනෙක් පමණක් බවය. ඊට අමතරව පාතාල අපරාධවලට සම්බන්ධ වූවෝ රැසක්ද රතු වරෙන්තු ලාභීන් අතර සිටිති. ඒ සියලුදෙනා අතර ඉදිරියෙන්ම සිටි පාතාලයේ අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූයේ හරක් කටාය.

ඔහු හැරුණු කොට වැල්ලෙ සුරංග, කළු සාගර, ගිහාන් ෆොන්සේකා, යෝගු, බුම්මා, කොනාකෝවිලේ අංජු, කෙසෙල්වත්තේ ධනුක, ඇල්ටෝ ධර්මේ, පූකුඩිකන්නා, ධනේෂ්, කිඹුලා ඇල ගුණා, රූබන් ,සළිදු, මුජහිඩ්, රත්ගම විදුර, මොරිල්, කොස්ගොඩ සුජී , මතුගම ශාන්,මැගසින් පාරේ ප්‍රදීප්, කොට ගාමිණි, මාකිලන්ගමුවේ සංජීව, ලඩියා වැනි පාතාල අපරාධකරුවෝ රොත්තක්ම ජාත්‍යන්තර පොලීසියෙන් නිකුත් කළ රතු වරෙන්තුකරුවන් අතර සිටිති.

මෙම වරෙන්තු කරුවන්ගෙන් වැඩි දෙනෙක් රැඳී සිටින්නේ ඉන්දියාවේය. ඒ අය අද වන විට එරට ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බවට පත්ව ඇති බව කියති. ඒ පකිස්තානය සමඟ ඔවුන් ඉන්දියාවේ සිට කෙරන මත්කුඩු ජාවාරම හේතුවෙනි. එම ජාවාරම්කරුවන් අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කොළඹ පුරහල් භූමියේදී මිනිස් බෝම්බය පත්තුකරන්නට සහය දුන් කිඹුලා ඇල ගුණාද සිටින්නේය.

ඉන්දියානු පොලීසියේ කිව් අංශ විසින් මෑතකදී කළ මෙහෙයුමකින් ගුණා ඇතුළු ඉන්දියාවේ රැඳී සිටි මෙරට කුඩු පාතාලයේ බොහෝ පිරිසක් කොටුකර ගත්තේය. ඒ අය දැන් සිටින්නේ තමිල්නාඩුවේ හිර ගෙදරකය. එම හිරගෙවල්ද අපේ රටේ හිර ගෙවල්වලට නොදැවෙනිය. ජංගම දුරකතත නිදහසේ පරිහරණය කරමින් කමින් බොමින් සාද පවත්වමින් විනෝද වෙන්නට ඇති ඉඩකඩ බොහෝය. මෑතකදී කොට ගාමිණිගේ උපන්දින පවා සැමරුවේ යැයි කියැවෙන්නේ හිර ගෙදර ලොකුවට සාදයක් පවත්වාය.

ඉන්දියාවේ කොටුවී සිටින පාතාලයේ වැඩි දෙනෙක් දෙමළ පාතාලයට සම්බන්ධ කුඩු ජාවාරම්කරුවන්ය. ඒ හැරුණු කොට ඩුබායි පනින්නට බැරිවූ කුඩු පාතාලයේ කිහිප දෙනෙක්ම ඉන්දියාවේ රැදී සිටිති. ඒ සමයංව මරා දැමූ අතුරුගිරියේ ලඩියා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නියොමාල් රංගජීවට පිළියන්දලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරූ ආමි අසිත වැන්නවුන්ය.

ඉන්දියාවේ රැදී සිටින්නවුන් මෙන් නොව, ඩුබායිහී රැදී සිටින්නේ වැඩිහරියක් කුඩු පාතාලයේ දැවන්තයින්ය. ඒ හැම කෙනෙකුම පාහේ රතු වරෙන්තු කරුවන්ය. එහෙත් ඔවුන් ඩුබායි සිට ඔවුන් ලෝකෙ වටේ කරක් ගසමින් සිටිති. කුඩු සළිදු ඩුබායි සිට ජර්මනියට යති. නැවත ඩුබායි එති. කුඩු අංජු ප්‍රංශයේ සිට නිතර ඉතාලියටත් ඩුබායි වෙතත් යති එති. මොරිල් යුරෝපයේ හැම රටකම සැරිසරති. රූබන් ප්‍රංශයෙන් එංගලන්තයට යති. නැවත ඩුබායි එති. හරක් කටාත් මාලදිවයි, මලයාසියාව , ප්‍රශය, සීෂෙල්ස් ආදී රටවල් බොහොමයකම වසර දෙකක් තිස්සේම කරක් ගැසුවේ රතු වරෙන්තුවක් තබාගෙනය. හැබැයි ඒ කිසිවෙක් අල්ලාගන්නට කිසිදු රටකට හැකියාවක් නොවීය. ඒ ඔවුන් සෑම අයෙක්ම පෙනී සිටිනේ සිය සැබෑ මුහුණුවරින් නොවන බැවිණි. මෙවර හරක් කටා ප්‍රංශය බලා යන්නට පැමිණි අවස්ථාවේදී ඩුබායි ගුවන් තොටුපොළේදී පවා කොටුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඔහු ඒ වන විට පෙනී සිටි නම් ගම් ඇතුළු තොරතුරු යාවත්කාලීන කිරීම නිසාය.

මෙසේ හරක් කටා කෙරෙහි විශේෂ අවධානයක් යොමුවන්නේ දිගින් දිගටම ඔහු පාතාලයේ භීෂණයක් පසුගිය කාලය තුළ රටේ පතුරුවන්ට ගත් නිසාය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පසුගිය කාලයේ වැඩි හරියක් ඇල්ලුවේ හරක් කටාගේ මත්කුඩුය. එම ප්‍රමාණය ටොන් එකකට වැඩිය. ඒ නිසා හරක් කටාට සිදුවූ පාඩුව සිළුපටු නැත. ඒ කෝටි 1000කට වැඩි වෙළෙඳ පොළක් ඇති මත්කුඩු තොගයක් වූ බැවිණි.

හරක් කටා කුලී ඝාතකයින් යොදවා එකදිගටම ඔහුගේ කුඩු අල්ලන්නට පොලීසියට තොරතුරු දුන් ඔත්තුකරුවන් මරා දමන්නට පටන්ගත්තේ ඒ නිසාය. මාකදුරේ මධුෂ්ට මෙන්ම හරක් කටා කෙරහි ද පොලීසියේ වැඩි අවධානයක් යොමු වන්නේ එබැවිණි. එසේ නොවන්නට හරක් කටාද සෙසු අපරාධකරුවන් මෙන්ම අදත් සිටින්නේ නිදැල්ලේය.

හරක් කටා හැරුණු කොට බුද්ධි අංශ විසින් කර ඇති තක්සේරුවට අනුව ක්‍රියාකාරී පාතාල අපරාධකරුවෝ මෙන්ම ඔවුන්ගේ ගෝල බාලයින් 50 කට වැඩි පිරිසක් රැදී ඉන්නේ ඩුබායි වලය. ඒ අයට ආරක්ෂක නවාතැන් පොළක් බවට ඩුබායි පත්ව ඇතත් කුඩු පාතාලයේ රජවරු රැසක්ම දැන් උත්සහ දරමින් සිටින්නේ යුරෝපීය රටවලට පැන ගන්නටය. ඒ හරක් කටාගෙන් පසු ඊළඟ ගොදුර බවට තමන් පත්වේවි යැයි බියෙනි. ඒ අය බොහෝ දෙනෙක් මේ වන විට උත්සහ දරමින් සිටින්නේ තමන් ගැන දන්නා වැඩි පිරිසක් නොසිටින රටවලට ගොස් සැඟවුණු ජීවිතයක් ගතකරන්නටය.

මාකදුරේ මධුෂ් පවා එදා කොටුවන්නේ එසේ ස්විස්ටර්ලන්තයේ රැකවරණය ලබන්නට අවශ්‍ය ලියකියවිලි පවා සකස්කරමින් සිටියදීය. මත්කුඩු ජාලයේ දැවැන්තයෙක් වන මොරිල් ද සිය අඹු දරුවන් සමඟ රැදී සිටින්නේ යැයි කියන්නේ ඉතාලියේය. රත්ගම විදුරත් සිටින්නේ යැයි කියැවෙන්නේ ඉතාලියේමය. කාලයක් දකුණේ නම කියැවුණු එස්.ටී.එෆ්. නදුන්ද සිටින්නේ ඉතාලියේය. ගොනාකෝවිලේ අංජු මෙන්ම රූබන් ද සිටින්නේත් ප්‍රංශයේය ඒ හැරුණු කොට එංගලන්තයේත් කුඩු පාතාලයේ පතාකයෝ රැදී සිටිති.

ඩුබායි අතහැර යුරෝපී ය රටවලට පලායාමට සූදානමින් සිටින කුඩු පාතාලයෝ අතර ඉදිරියෙන්ම කියැවෙන නමක් බවට පත්ව ඇත්තේ කොස්ගොඩ සුජීය. ඇල්ටෝ ධර්මෙත් සූදානමින් සිටින්නේ ඉතාලිය පැත්තට පැන ගන්නටය. මලයාසියාවේ පුරවැසි භාවය පවා හිමිව සිටි මුජහිට් නැමැති ප්‍රකෝටිපතියාද මාන බලමින් ඉන්නේ ඩුබායි වලින් අතුරුදන් වන්නටය. ඒ අය වගේම හරක් කටා කොටුවන්නේ ද ප්‍රංශය සිය නවාතැන් පොළ බවට පත්කර ගැනීමට සූදානමින් සිටියදීය.

Comments