
වාරියපොල කොළඹගම
ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිකාරි ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්වහන්සේ
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)
රට තුළ විවිධ ලෙඩරෝග පැතිරී යෑමේ අවදානමක් නැවත මතුවෙමින් පවතින බැවින් එකී වසංගත තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ද ඉවහල් වන සත් බුදු වන්දනාව මෙවර ඉදිරිපත් කරන්නෙමු.
“මේ වගේ වසංගත සමයන්හිදී පැතිරෙන ලෙඩ රෝග, මරණ වැනි ශෝකජකන සිදුවීම් දකින්න පහත් පෙළේ අමනුෂ්‍ය බලවේග ඉතා කැමැත්තක් දක්වනවා. මනුෂ්‍යයන් පීඩාවට පත්වනු දැක දැක සතුටු වීම තමයි එම බලවේගවල ස්වාභාවය. මෙවැනි ලෙඩ රෝග පැතිරෙද්දි ඒ සඳහා නොගෙනම බැරි නිසා ගතයුතු ක්‍රියා මාර්ග නිසා මිනිසුන් ශාරීරික,මානසික වගේම ආර්ථික පීඩාවන්ටත් පත්වෙනවා. නැවතත් එවැනි පීඩාකාරී අවස්ථාවක් නිර්මාණය වෙන බවක් දැනෙන මේ වාගෙ අවස්ථාවල අමනුෂ්‍ය බලවේගවල පීඩාවන් වැඩියි.
අපට පියෙවි ඇසින් දැකිය නොහැකි අමනුෂ්‍ය බලවේග අප වටා සැරිසරන අවස්ථාවලදී ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ඇතුළු මහා දේව මණ්ඩලය මුල් කරගත් දෙවි දේවතාවුන්ගේ පිහිටාධාරය, ඇල්ම බැල්ම ආකර්ෂණය අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි දෙවියන් ප්‍රිය කරන දාන ශීල භාවනා දී කුසලයන්හි වඩ වඩාත් නිරත වෙමින් එම දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි.මේ සඳහා ඉතා සුදුසු අත්දුටු පූජා විධියක් වන්නේ සත්බුදු වන්දනාවයි.
මෙලොව පහළ වූ විපස්සී ,සිඛී,වෙස්සභූ,කකුසද,කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන වීතරාගී,වීතමෝහී බුදුපියාණන්වහන්සේලාගේ උතුම් වූ බුද්ධ බලය මේ විශ්වය තුළ නොනැසී පවතිනවා. ඒ සත්බුදුවරයාණන් වහන්සේලා ගෞරවයෙන් භක්තියෙන් වන්දනා කිරීමට පින් කැමති, සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මහත් ප්‍රියතාවක් දක්වනවා. එම සත්බුදු වන්දනාව නිතර නිතර පවත්වන ස්ථානවලට දේවාකර්ෂණය නිතැතින්ම ලැබෙන බැවින් සත්බුදු වන්දනාව අඛණ්ඩව පවත්වද්දි අපට පීඩා කරන පහත් පෙළේ අමනුෂ්‍ය බලවේග ක්‍රමයෙන් ඉවත් වෙනවා. දෙවියන් අප්‍රිය කරන මේ පිරිස් ඉවත් වුණාම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාධාරය ආරක්ෂාව, ඇල්ම බැල්ම ආකර්ෂණය අපට ලැබෙනවා.එවිට අප වෙළා ගැනීමට බලා සිටින අමනුෂ්‍ය බලවේග අපෙන් ඉවත් වී රෝ බිය,මරණ බිය ද ඉවත්වීමට ප්‍රබල හේතුවක් වෙනවා.
මේ දරුණු වසංගත රෝග තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන අතරම, එයට සමඟාමීව ආධ්‍යාත්මික වත්පිළිවෙත්වල නිරත වීම අත්‍යවශ්‍යයි. එවිට අප අනුගමනය කරන එම සෞඛ්‍යාරක්ෂිත වත් පිළිවෙත්වලින් නිසි ප්‍රයෝජන සහ යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.
ඔබ වෙනදා පුරුදු ආකාරයටම මල් පහන් සුවඳ දුම් ආදී පූජාවන් සූදානම් කරගන්න. ඒවා බුදු පහන තබන ස්ථානයේ තැම්පත් කරන්න. තිසරණ සහිත පංච ශීලය සමාදන් වී තෙරුවන් වන්දනා කර තෙරුවන් සමා කරගෙන දේවාරාධනා ගාථාවෙන් දෙවියන්ට ආරාධනය කළ යුතුයි. ඉන්පසු මෙහි පහත දැක්වෙන ගාථා කියමින් සත්බුදු වන්දනාව පවත්වන්න.
තෙරුවන් වන්දනාව ගැන විමසන අය වෙනුවෙන් පැවසිය යුත්තේ, තෙරුවන් වන්දනාව යනු බුද්ධ, ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම බවයි. බුදු ගුණ නවයක් බැවින් නව අරහාදී බුදු ගුණ කියන්නේ ඒ බුදු ගුණ නවයටයි.
සද්ධර්මයේ ගුණ හයක් වන අතර සඟ රුවනේ ගුණ නවයකි. ත්‍රිවිධ රත්නයේ ගුණ විසිහතරකි.
සූවිසි මහා ගුණ වශයෙන් හැඳින්වෙන්නේ මෙම ගුණයන්. මෙම ගුණයන් වන්දනා කරන්නෙ ඉතිපිසෝ... ස්වාඛ්‍යාතෝ...,සුපටිපන්නෝ... යන ගාථා තුනෙන්.
මේ සත්බුදු වන්දනාවෙන් පසුව ඉතා ගෞරවයෙන් යුක්තව ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ඇතුළු මහා දේව මණ්ඩලයටත් සමස්ත දේව සමූහයාටත් පින් අනුමෝදන් කොට පංච බලය ප්‍රාර්ථනා කරන්න. අනතුරුව පහත සඳහන් මෙම ගාථාවෙන් සෙත් පතන්න.
දේවාරාධනාව
සග්ගේ කාමේ ච රූපේ - ගිරි සිඛර තටේ
චාන් තලික්ඛේ - විමානේ
දීපේ රට්ඨේ ච ගාමේ
තරු වන ගහනේ - ගේහ වත්තුම්හි ඛෙත්තේ
භුම්‍යා ජායන්තු දේවා - ජල තල විසමේ
යක්ඛ ගන්ධබ්බ,නාගා - තිට්ඨන්තා සන්ති ඛේදං
මුනිවර වචනං - සාධවෝ මේ සුනන්තූ
සත්බුදු වන්දනාව
1. අප්ප සන්තේහි නාථස්ස - සාසනේ සාධු සම්මතේ
අමනුස්සේහි චණ්ඩේහි - සදා කිබ්බිස කාරහි
2.විපස්සිස්ස ච නමත්ථු - චක්ඛුමන්තස්ස සිරිමතෝ
සිඛිස්ස පි ච නමත්ථු - සබ්බ භූතානුකම්පිනෝ
3.වෙස්සභුස්ස නමත්ථු - නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස - මාර සේනා පමද්දිනෝ
4.කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී
5.අංගීරස්ස නමත්ථු - සක්‍ය පුත්තස්ස සරිමතෝ
යෝ ඉමං ධම්ම දේසේසි - සබ්බ දුක්ඛා පනූදනං
දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසු මෙම ගාථාව තුන් වරක් සඡ්ඣායනා කරන්න.
නක්ඛත්ත යක්ඛ භූතානං
පාපග්ගහ නිවාරණා පරිත්තස්සානු භාවේන හන්තු තේසං උපද්දවේ
මේ සත් බුදු වන්දනාව උදේ, සවස හෝ හැකිනම් දවසකට එක් වතාවක් හෝ පැවැත්විය හැකි නම් වඩා සුදුසුයි.
පවතින තත්ත්වයන් තුළ එසේ කළ නොහැකි නම් සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවැත්විය හැකියි. මේ තුළින් ඔබ නොසිතූ විරූ පිහිටක්, ආරක්ෂාවක් සෙත් ශාන්තියක් ඔබට, ඔබේ පවුලේ සැමට, ඔබේ සේවා ස්ථානයට, ඔබේ ව්‍යාපාරයට පොදුවේ සමස්ත ලංකා වාසී සැමට නියත වශයෙන්ම ලැබෙනු ඇත.
සකස් කළේ, සුනිල් පොරමඬල
************************