රත්‍රන් බිස්කට් මිල මාරි බිස්කට්වලට වඩා අඩුවෙයිද? | සිළුමිණ

රත්‍රන් බිස්කට් මිල මාරි බිස්කට්වලට වඩා අඩුවෙයිද?

බිස්කට් මිල අහස උසට නැඟ ඇති හෙයින්, දැන් බිස්කට් කන්නට පුළුවන් කමක් නැත. අඩු මිලකට බඩගින්න නිවාගන්න තිබූ බිස්කට් එක, මේ ආකාරයෙන් මිල ඉහළ යෑම ගැන පාරිභෝගිකයා වෙතින් අප්‍රසාදය පළ වෙමින් තිබේ.

මෙරට බිස්කට් ඇතුළු රසකැවිලි කර්මාන්තකරුවන් නියෝජනය කරන, ලංකා රස කැවිලි නිෂ්පාදකයින් ගේ සංගමය සභාපති, එස්.එම්.ඩී. සූරිය කුමාර, බිස්කට් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

" බිස්කට් හදන්න ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි, ඒ ශ්‍රේණියේ තිරිඟු පිටි, සීනි සහ එළවළු තෙල්. ඉතාම කෙටි කාලයක් තුළ තිරිඟු පිටි මිල 276% කින්, එළවළු තෙල් 195% කින් සහ සීනි මිල 180%කින්, විදුලි බිල 180%කින් ඉහළ ගොස් තිබෙනවා. නමුත්, බිස්කට් මිල ඉහළ දමා තිබෙන්නේ 171% කින් පමණයි. වසරක් ඇතුළත පිටි මිල 11 වතාවක් ඉහළ දැමුවා. බිස්කට් ඇසුරුම් සඳහා යොදා ගන්නා ඇල්ෆොයිල් මිල 300% කින් ඉහළ ගිහින්. බිස්කට් කිලෝ 100ක් හදන්න අවම වශයෙන් පිටි කිලෝ 60- 65 ත් අතර ප්‍රමාණයක් ඕනේ. ඒ කියන්නේ 65% ක් පිටි. සීනි කිලෝ 15-18 ත් අතර ප්‍රමාණයක් ඕනේ. එළවළු තෙල් කිලෝ 10-12 අතර ඕනේ. මේදය, කොකෝ පවුඩර්, බටර්, බිස්කට් රස ගන්වන විවිධ රස වර්ග, ආදී අවශ්‍ය වෙනත් අමුද්‍රව්‍ය සඳහා තවත් 10%ක නිෂ්පාදන වියදමක් වැය වනවා.

දැන් අපිට වෙලා තියෙන්නේ ඩොලර් දීලා ඩීසල් ගන්න. ඊළඟට, බැංකුවලින් අපිට ඩොලර් ලැබෙන්නේ නැහැ. ඒවත් වැඩි මිලට ම ගන්න වෙලා. සේවකයන් ගෙන්වා ගැනීමේ දී විශාල අමතර ප්‍රවාහන ගාස්තුවක් වෙන් කරන්න වෙලා. කොවීඩ් සදහා අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් කර්මාන්ත ශාලා පරිශ්‍ර තුළ අමතර වියදමක් දරමින් ක්‍රියාත්මක වනවා.

අවුරුදු 30ක් මෙරට ක්‍රියාත්මක වන පැරැණි ව්‍යාපාරික එකමුතුවක් වන, ලංකා රසකැවිලි නිෂ්පාදකයින් ගේ සංගමය නියෝජනය කරන්නේ බිස්කට්, කුකීස්, වේෆර්ස්,චොක්ලට්, අයිස්ක්‍රීම්, ජෙලි ඇතුළු රසකැවිලි හදන මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් තිස් දෙදෙනෙක්. මේ අතරින් පහළොවක් ම බිස්කට් නිෂ්පාදකයින්. මේ සියලු දෙනා දේශීය කර්මාන්තකරුවන්. ඒ විතරක් නෙවෙයි කුරක්කන්, සහල්, මුං ඇට වැනි අමුද්‍රව්‍ය සපයන 20,000කට අධික ගොවීන් පිරිසක් මේ බිස්කට් කර්මාන්තය වටා සිටිනවා. බිස්කට් කර්මාන්තය කඩා වැටෙනවා කියන්නේ, මේ සියලු දෙනාගේ ත් ආර්ථිකය කඩා වැටෙනවා.

ඒ වගේම, සෘජු හා වක්‍රව ලක්ෂ පහමාරක් මේ ක්ෂේත්‍රයේ නියැළී සිටිනවා. පොඩි පෙට්ටි කඩයේ පටන්, සිල්ලර වෙළෙඳුන් 150,000ක් සිටිනවා. පහුගිය කාලේ වැඩිවුණු විදුලි බිල, මේ මිල වැඩි කිරීමට එකතු කර නැහැ. එහෙම කළේ, ව්‍යාපාර මෙන්ම මේ සියලු දෙනාගේ ත් රැකියා අවස්ථා බේරාගත යුතු නිසයි.

දේශීය බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය බිඳ හෙළමින් විදේශ නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ කුමන්ත්‍රණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන බවක් පේන්නට තිබෙනවා. බිස්කට් කර්මාන්තය කියන්නේ, වසරකට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක පමණ විදේශ විනිමය ලබා දෙන කර්මාන්තයක්. ..."

මෙරට ප්‍රධාන පෙළේ බිස්කට් සමාගමක් වන මන්චි - CBL නියෝජනය කරමින්, එහි අධ්‍යක්ෂ ආචාර්ය සමිත පෙරේරා මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

" පසුගිය මාස 9ක කාලය තුළ පිටි මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. ඩොලරයේ මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ අපිටත් සිද්ධ වෙලා තිබෙනවා, ලංකාවට පිටි ගෙන්වන ප්‍රධාන සැපයුම් සමාගම මත රැඳෙන්න. සීනි සහ එළවළු තෙල් මිල ඉහළ යෑමත් ඒ වගේ.

කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේ දී ඒවායේ නඩත්තු වියදමත් 300% කින් පමණ ඉහළ ගිහින්. බිස්කට් නිෂ්පාදනයේ දී බහුලව යොදා ගන්නා, කර්මාන්තශාලාව තුළ බිස්කට් ගමන් කරන බෙල්ට් සාමාන්‍යයෙන් මාසෙකට වතාවක් මාරු කරන්නට ඕනේ. ඒවායේ මිලත් 300%කට වඩා ඉහළ ගිහින්. එහෙම මිල ඉහළ ගියා කියලා ඒ බෙල්ට් මාරු නොකර ඉන්න බැහැ.

අනික, බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත්, කිසිම අවස්ථාවක අපි එහි ගුණාත්මකභාවය හෝ තත්ත්වය අඩු කර නැහැ. දේශීය වෙළෙඳපොළට සපයන බිස්කට් එකමයි, අපි ජාත්‍යන්තරයට යවන්නෙත්. විදේශීය වෙළෙඳපොළට යන බිස්කට් කියලා වෙනම කොලිටියක් නැහැ. ඒ නිසා ඇසුරුම වෙනස් වුණාට කුමන තත්ත්වයක් යටතේ වුණත් බිස්කට්වල කොලිටිය අපි බාල කරන්නේ නැහැ.

පසුගිය වසර 5 ක් ආපස්සට බැලුවත් බිස්කට් මිල ඉහළ ගියේ සියයට 5- 8% දක්වා ඉතා සුළු ප්‍රමාණයකින්. බිස්කට් කියන්නේ, පරිමාණය මත පදනම් වූ කර්මාන්තයක්.ඒ නිසා තමයි, අද කුඩා බිස්කට් කර්මාන්තකරුවන් වැසී ගොස් තිබෙන්නේ. වියදම් ටික බේරාගෙන, ආයතනය පවත්වා ගෙන යෑම සඳහා ගත් අමාරු තීන්දුවක් මේක...."

බිස්කට් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිබඳ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් සහ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එස්. ටී. කොඩිකාර පැවසුවේ මෙවැනි අදහසකි.

" සාකච්ඡාවකට යන්න කලින්, බිස්කට් නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා යන සැබෑ පිරිවැය විශ්ලේෂණයක් අප විසින් කළ යුතුයි. ඉදිරි සති දෙක තුළ විශේෂයෙන් බිස්කට් සඳහා මෙන්ම සිමෙන්ති, වයර් සහ යකඩ සඳහාත් මේ පිරිවැය විශ්ලේෂණය සිදු කෙරෙනවා. එවිට තමයි, මේවාට යන සැබෑ නිෂ්පාදන වියදම සොයා ගන්නට පුළුවන් වන්නේ. මේ නිෂ්පාදන කිහිපයේ ම සැබෑ පිරිවැය අප විසින් විශ්ලේෂණය කර ගත් පසු එම නිෂ්පාදකයින් ගෙන්වා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර, පාරිභෝගිකයා ගේ පැත්තෙනුත් සලකා බලා එකඟතාවකට එන්නයි අප බලාපොරොත්තු වන්නේ..."

මේ අතර වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීම මුල් කරගෙන ජාතික නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව විසින් කොන්දේසි විරහිතව සැලකිල්ලට ගත යුතු උපාය මාර්ගික වශයෙන් වැදගත් වන මූලික ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක්, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

එයට අනුව, ජාතික ආර්ථිකයට දායක වන සෑම නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳවම ඔහු විසින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර විශේෂයෙන් සඳහන් කර නැතත්, බිස්කට් කර්මාන්තයට බලපාන වෙළෙඳපොළ තුළ වැඩි බලපෑමක් සහිත තිරිඟු පිටි, සහල්, ආහාරයට ගන්නා තෙල් වර්ග මෙන්ම, කිරි ආශ්‍රිත නිෂ්පාදනවල පවතින මිල විකෘතීන් නිවැරැදි කිරීම සඳහා බදු පැනවීමේ දී කෙටිකාලීනව ආනයනික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මඟින් ඇති විය හැකි මහජන විරෝධය සමනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිලි කර තිබේ. 

මේ අතර, බිස්කට් මිල ඉහළ යෑම සම්බන්ධයෙන්, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, අසේල සම්පත් පවසා සිටියේ මෙවැන්නකි.

" බිස්කට් කියන්නේ මේ රටේ කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ මහලු වැඩිහිටියන් දක්වා උදේට, දවල්ට, හවසට බඩගිනි නිවා ගත් අත්‍යවශ්‍ය කෙටි ආහාරයක්. මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, නිධන්ගත රෝගීන් බිස්කට් දෙක තුනක් කාලා තේ එකක් බීලා නිදා ගන්න පුරුදු වී තිබුණා. දැන් ඒ මිනිසුන්ට බිත්තරයක් මාළු කෑල්ලක් නෙවෙයි, බිස්කට් පැකට් එකවත්, මිලදී ගන්න බැරි තැනට ඇවිත්..."

Comments