
ආසියාවේ පෙරමුණට පිය මනින කොලොම්පුර අගනුවර වෙත, සදාතනික සිහිවටනය ලෙසින් දායාද කළ පුරාතන සුන්දරත්වයේ හා නූතන තාක්ෂණයේ අපූරු සංකලනයෙන් ඉදි වූ බේරේ වැව වෙළෙඳ තොටුපළ ලෙසින් විරුදාවලිය ලත් අගනුවර florting market වෙළෙඳ සංකීර්ණය ඉදිකර මේ මස 25 වැනිදාට වසර 8ක් සම්පූර්ණ වේ.
බේරේ වැව් කොමලියට සමීපව, අක්කර තුනකට ආසන්න බිම්කඩක කොළඹ අගනගර සංවර්ධන වැඩසටහනට සමඟාමීව 2014 වසරේ විවෘත කෙරුණු ෆ්ලෝටින් මාකට් එහි යන එන කොයි කාටත් නෙතට රසඳුනක්ම විය. දිවා රාත්‍රී සුවහසක් ජනතාව අරක්ගත් පාවෙන වෙළෙඳසැල් සමුහය රාත්රියේදී බේරේ වැව මධ්‍යයේ නෙක විසිතුරු විදුලි බුබුළින් වර්ණවත් විය. ඔබ මොබ පාවෙන බෝට්ටුවල ඇති කුඩා අවන්හල් සමුහය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරි ඉතිරිණි. විවිධ කෑම වර්ග, නෙක විසිතුරු භාණ්ඩ, රෙදි පිළි, පොත්පත්, එළවළු, පලතුරු මෙකී නොකී භාණ්ඩ එකල සුලභ විය. විවිධ දෑ මිලදී ගැනීමට සේම, බෝට්ටු සංචාර හා මෙය දැක බලා ගැනීමට දිනපතා ඇදී එන පිරිස් ද අඩු නොවීය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදු වූ විවිධ රජයන් මාරුවීම් හමුවේ පාවෙන වෙළෙඳසැලට ද ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඒ නිසා දිනෙන් දිනම මේ පරිශ්‍රය අභාවයට පත්වන්නට විය. කොටින්ම කියතොත් අගනගරයට එන සියල්ලෝම පාහේ පාවෙන වෙළෙඳසැල දෙස නොබලාම යන්නට ගියහ. ඒ එදාය. ෆ්ලෝටින් මාකට්හි වත්මන් තත්ත්වය පිළිබඳ විමසනු වස් පසුගිය දා අපි එහි සැරිසැරුවෙමු.
අවරගිරින් බැසයන හිරු කුලුනේ මනරම් දසුන ඈත පෙනෙන නෙළුම් කුළුණේ අසිරිය දෙගුණ තෙගුණ කරයි. මඳ සුළගේ ලෙලදෙන පාට පාට බෝගන්විලා යාය බේරේ වැවට මුසු කළේ නවමු සුන්දරත්වයකි. ප්‍රධාන මාර්ගය පසෙකට වන්නට බේරේ වැවේ මාළු බාන කිහිපදෙනකි. බේරේ වැවේ බෝට්ටු සියල්ල ගැට ගසා නැංගුරම් ලා ඇත. තැන් තැන්වල ඉදි වූ ගල් බංකු මත තුරුලු වී පෙම්බස් මුමුණන තරුණ යුවළ මෙන්ම තරුණ කණ්ඩායම් කිහිපයක් ද විඩාව නිවාගන්නට එහි පැමිණ සිටිනු දක්නට ලැබිණ. කොළඹ නගර සභාවේ සේවකයන් කිහිපදෙනකු ද තැන තැන නිල් තණ තීරුවේ විඩා නිවාගනු දක්නට ලැබුණි.
මෙහි කඩ සාප්පු 100 කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ෆ්ලෝටින් මාකට් හි අංක 01 මුල්ම කඩයේ පොත් මැදුරක් සහිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන කිරිබත්ගොඩ ප්‍රියංගා බණ්ඩාරනායක (37) පැවසුවේ තමන් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන නිසා මෙය ඊට හොඳම නිදහස් තැනක් බවයි. සාප්පුව සමීපයේ විශාල මාර ගස සෙවණේ පුස්තකාලයක් ඇරඹීමට සුදානම් වන බවත්, පොත් මිලදී ගැනීමට නොහැකි අයට පොත් කියවා භාරදීමේ වැඩසටහනක් අරඹන බවත් කීවාය. "අපි මෙතෙන්ට ඇවිත් අවුරුද්දයි. පොත් තොග අලෙවි කිරීම නාට්‍ය වැඩමුළු සංවිධානය නිදහස් මානසිකත්වයෙන් කළ හැකියි. බේරේ වැව හරහා පාරට තවත් පාලමක් හදන්න හැකිනම් මෙහාට පැමිණෙන පිරිස වැඩි කරගන්න පුළුවන්. ආරක්ෂාව හා අමතර පහසුකම් වැඩි කළොත් විදෙස් සංචාරකයෝ එයි. චිත්‍ර අඳින්න, නිර්මාණාත්මක කුසලතා එළිදක්වන්න, තරුණ පිරිසගේ නව නිර්මාණවලටත් මෙහි ඉඩක් දුන්නට කමක් නැහැ. එමඟින් තරුණ අසහනය අඩුවෙන්න පුළුවන්. "
ෆ්ලෝටින් මාකට්හි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන බදුල්ලේ ශෂිකා සුජානි(36) පවසා සිටියේ, තම ව්‍යාපාර කටයුතු මෙහි සාර්ථකව පවත්වාගෙන යන බවයි. මිනිසුන්ට ගඟෙන් මෙතෙර වීමට තවත් කුඩා පාලමක් හෝ දැමිය යුතු බවත් වැසිකිළි පහසුකම් ලබාදිය යුතු බවත් ඇය ද පැවසුවාය.
මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දැක්වූ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ භාණ්ඩාගාරික හා ෆ්ලෝටින් මාකට්හි කඩ කීපයක් පවත්වාගෙන යන ඩබ්.ජී. විමලරත්න (65) මෙසේ කීය.
"පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පළ අසල අපිට තිබුණු කඩ කඩලා ඒ වෙනුවට තමයි මෙතන ලැබුණේ. වර්ග අඩි 100 ලක්ෂ 10 ට ගත්තේ. ඒත් මාසෙකට රුපියල් 8,700 කුලිය ගෙවනවා. 2014 පටන් ගැන්මේදී නම් බිස්නස් හොඳයි. මේකට දැනට තියෙන්නේ එක පිවිසුමයි. තවත් පිවිසුම් කිහිපයක් හදනවා නම් වැඩි පිරිසක් මෙතැනට එයි”
මෙහි ආහාර කුටියක් පවත්වාගෙන යන අතුරුගිරියේ සන්ධ්‍යා ශිරෝමාලි පැවසුවේ ෆ්ලෝටින් මාකට් පරිශ්‍රය එදා යුද හමුදාව මඟින් නියමාකාරයෙන් පාලනය කළ බවත් වර්තමානයේද ඒ තත්ත්වය ඇතිකළහොත් මෙහි ගුණාත්මක බව තවත් ඉහළ නැංවිය හැකි බවයි.
ෆ්ලෝටින් මාකට්, පරිශ්‍රයේ උප තැපැල් කාර්යාලයක්, බැංකුවක්, විදේශිකයන් සඳහා දේශීය ලී කැටයම් හා වෙනත් විසිතුරු නිර්මාණ අලෙවි කුටියක්, අවන්හලක් ඇතුළු විවිධ වෙළෙඳ කුටි ඇත. කැලෑ පොළ අන්තයේ දිවා රාත්‍රී අවන්හල් වෙළෙඳාම නම් ජයටම කරගෙන යනු දක්නට ලැබුණි. මහ පාරට ආසන්නව පිහිටි නිසා වැඩි පිරිසකට කඩිනමින් ළඟාවිය හැකි පහසුව ඊට හේතු වූවා විය හැකිය. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රසාද් රණවීර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ෆ්ලෝටින් මාකට් වෙළෙඳසැල් හි වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදී ඇති බවයි.
ඡායාරූප - සමන්ත වීරසිරි