ග්‍රහ අපල දොස් නසා සෙත සදන පහන් පූජාවේ ගුණ | සිළුමිණ

ග්‍රහ අපල දොස් නසා සෙත සදන පහන් පූජාවේ ගුණ

 

 අගස්ති ප්‍රනාන්දු

 

ඉකුත් ලිපියේ රවි, චන්ද්‍ර, කුජ, රාහු, කේතු සහ සෙනසුරු ග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රවවලට පහන් පූජා කරන ආකාරය ඉදිරිපත් කළ අතර අනෙකුත් ග්‍රහයන් සඳහා පැවැත්විය යුතු පහන් පූජාවන් සහ එහි ආනිසංස පිළිබඳ මෙවර ඔබ දැනුම්වත් කරමි.

 

ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ අපල උපද්‍රවවලට ඔබ මුහුණ පා ඇත්නම් පෙර පරිදිම පාට 5කින් මල් ජාති 5ක්, ඖෂධ මංජුසාවන් 3ක්, ගිලන්පස 3ක් සහ දැහැත් සූද­ානම් කරගන්න. මෙහිදී පහන් වැටි 7 බැගින් දින 3කට අලුත් පහන් වැටි ද ඒ සඳහා අබතෙල්, පොල්තෙල්, තලතෙල් මිශ්‍රකර සාදාගත් තෙල් දින 3කට පහන් වැටි 7ක් සඳහා සූදානම් කර ගන්න.

පෙර සඳහන් ආකාරයටම මල්, දැහැත්, ගිලන්පස, ඖෂධ පූජා කර පහන් වැටි 7 දල්වා සුවඳ හඳුන්කූරු දල්වා පිරිසුදු වතුරෙන් කළ 7ක් සූදානම් කර එක කළයක් වට 3 බැගින් නුගය වටේ තමන්ගේ ග්‍රහ අපල, දුක් කම්කටොලු අවසන් වේවා, යහපත සැලසේවා යයි සිතින් ප්‍රාර්ථනය කරමින් ගමන් කර එම කළ 7න් නුගය දෝවනය කරන්න. ඉන්පසු දෙවියන්ට ආරාධනය කර පිරිත් තුන් සූත්‍රය 3 වරක් සජ්ඣායනය කර දෙවියන්ට පින් දෙන්න. මෙහිදී ද කතරගම දෙවියන් හට වෙනමම පින්දීමට අමතක නොකරන්න.

ඉන්පසු ඔබගේ ග්‍රහ අපල උපද්‍රව සිදුකරන ග්‍රහයන්ගෙන් සහනය ප්‍රාර්ථනා කරමින් මෙම පහන් දල්වා එම පහන්වල ආලෝකයෙන් තමන්ගේ ජීවිත ද අඳුර පලවා හැර ආලෝකමත් වේවායයි සිතින් ප්‍රාර්ථනය කරමින් සුදු නෙළුම් මල් වට්ටියක් (අවම සුදු නෙළුම් 9ක්) සූදානම් කර එය රැගෙන කිරිවෙහෙර වටා වට 7ක් ගමන් කර එය ද පූජා කරන්න. මෙසේ වට 7 ගමන් කරන අතර "ජයෝමුනින්දස්ස සුබෝධි මූලේ" ගාථාව ද සිතින් සජ්ඣායනා කරන්න. අනතුරුව තමන්ගේ ග්‍රහ දොස්වලට පිළිසරණ ඉල්ලා පහන් දල්වා තමන්ට සහනය ලැබේවා යයි ප්‍රාර්ථනය කර අවසානයේ සියලුම දෙවියන්ගේ පිහිට ලැබීමට සියලු දෙවියන්ට පින් පැමිණවිය යුතුය.

මේ සඳහා ඔබ අලුත් පහන් වැටි 21 තිර සමඟ ඒවා දැල්වීමට අබතෙල්, රන්තැඹිලිතෙල්, පොල්තෙල් සමඟ සුදු හඳුන් තෙල් මිශ්‍ර කර සාදාගත් තෙල් අවශ්‍ය ප්‍රමාණයට සූදානම් කර ගන්න. රතු නෙළුම් මල් 21, සුදු නෙළුම් මල් 21 බැගින් පිරිසුදු වට්ටියක අසුරා සූදානම් කරගන්න. මෙම වට්ටියේ පතුලට බුලත්කොළ 9ක් තබන්නේ නම් ඉතා මැනවි. සුවඳැත් හඳුන් කූරු සමඟ කපුරු ද සූදානම් කර මේ සියල්ල රැගෙන ප්‍රාර්ථනා නුගය අසලට පැමිණ එම පහන් 21 දල්වා එම මල්වට්ටි පූජාසනය මත තබා කපුරු, සුවඳ හඳුන්කූරු දල්වා "සමන්තා චක්ක වාලේසු" ගාතාවේ මුල් දෙපදය පමණක් ගායනා කර සිතින් කතරගම දෙවියන්ට ආරාධනා කරන්න. ඉන්පසු පහත දැක්වෙන ස්තෝත්‍ර ගායනා කරන්න.

ද්වාදස ප්‍රබල හස්තඃ

වස්ත්‍ර ෂඩ්වර්ණ දේහඃ

සහස කිරණ චන්ද්‍රඃ

සංඛ කුන්තායු ධාහඃ

විපුල ජයතු දේහඃ

වාහනං මයුර හේමඃ

කදිර දේවරාජං පාද යුග්මං නමාමි.

කදිරනේ දේව ගෝවින්දඃ

පාලේතු ලෝක ශාසනඃ

ඒතේ දේවානු භාවේන

කන්දස්වාමි නමෝ වරං

බලවර ගුණ ඥානෝ

සූරවීරාභි මානෝ

ත්‍රිභුවන සුඛදානෝ

චන්දිකා ශුනෝ භූතෝ

සිරිදර සිරිලංකා

රක්ඛමානෝ රුතෝජා

ජයජය රඝුනාතෝ කාචරාග්‍රාම නාතෝ.

හේ පාර්වතීය ශිවපුත්‍රක ධානවාරේ

හේ කාර්තිකේය සකුනාසන දීනබන්ධෝ

හේ උග්‍රතේජ හතදුර්ජන මාන දර්ප

හේස්කන්ද මාං කරුණයා

වතරක්ෂ රක්ෂ

මෙම ස්ත්‍රෝත්‍ර දෙක ආදියේ සිටම කතරගම දෙවියන්ගේ වැඩකටයුතු කාරණා සිදුකරන අවස්ථාවල භාවිතයට ගන්නා ලද කතරගම දෙවියන් ඉතාමත්ම කැමත්තක් දක්වන ස්ත්‍රෝත්‍ර දෙකකි. ඔබට ද මෙම ස්ත්‍රෝත්‍ර කටපාඩම් කර ගැනීමට හැකියාවක් ඇත්නම් යම් වැදගත් කටයුත්තකට ගෙදරින් පිටවන විට, දේවාලයක පහන් තැබීමට ගිය විට සිහිපත් කර වැඩකටයුතු කරන්න. එයින් විශිෂ්ට ප්‍රතිඵල ඔබට ලබාගත හැකිය.

මෙම ස්ත්‍රෝත්‍ර දෙක ගායනා කර රිදී කාසියක් කහ වතුරෙන් සෝදා පිරිසුදු රෙදි කඩෙක ඔතා එය දෝතින් ගෙන තමාගේ සියලු ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු ඉටුවේවා සියලුම කරදර බාධක ඉවත්වේවා. කාරණා කටයුතු සියල්ල ඉෂ්ට වූ පසුව තුන් මාසයක් ඇතුළත මේ ආකාරයටම පැමිණ මල් පහන් පූජාකර පින් පමුණුවන බව සිතින් සිතා ගැටගසා නුගයේ අත්තක තදින් ගැටගසන්න. ඉන්පසු නැවතත් කරණීයමෙත්ත සූත්‍රය තුන්වරක් සජ්ඣායනා කර,

 

සම්බුද්ධ සාසනවරං ඉදරෝහණස්මිං

සම්පාලනාය ජිනදත්ත වරෝ මහිද්දී

පුංඥාණු මොදියසලා නැණ දේවරාජා.

පාලේතු මං සතතසාත හිතාවහන්තෝ.

ගාථාව තෙවරක් කියා කතරගම දෙවියන්ට පින් දෙන්න. ඔබ මේ කටයුතු සියල්ල සිදුකරනුයේ අතිශුද්ධ වූ බුදුන්වහන්සේ වැඩියා වූ උන්වහන්සේගේ ජීවමාන කේෂධාතු මෙන්ම ධර්ම දේශනා කරන වැඩවල සිටි, ස්වර්ණ ආසනය ද තැන්පත් කර ඇති කිරිවෙහෙර භූමියේ සිට බව සිතේ තබාගන්න. එසේම ඉතා පිරිසුදුව භක්තියෙන් විශ්වාසයෙන් යුතුව කටයුතු කාරණා සිදු කරන්නේ නම් ඒ හා සමානවම ඔබට මෙයින් ලැබෙන ප්‍රතිඵල ද ඔබව විස්මයට පත්කරනු ඇත. මේ කටයුතු සියල්ල අවසන් වූ පසුව නැවත වල්ලි මාතා දේවාලයට ද ගොස් වල්ලි මෑණියන් ද සිහිකර මල් පහන් පූජා කර පින්දෙන්න. කතරගම දෙවියන්ගේ අඩවිය වශයෙන් කාජරාග්‍රාමය ඇතිවීමටත් උන්වහන්සේගේ එම අඩවියේ ජීවමාන රුව වාසය කිරීමටත් එක් ප්‍රධාන හේතුවක් වූ වල්ලි මාතාව ද අප සිහිපත් කරන්නේ නම් එයින් ද ඔබට සෙත සැලසෙනු ඇත.

**********************

 

හිත රිදෙන ග්‍රහ පිහිටීම්  සහ හිත හැදෙන පිළිවෙත්

මිථුන, මකර, කුම්භ, ධනු ලග්න හිමියන්ට ලබන වසරේ ජනවාරි 17 දක්වා සිත් තැවුල් ඇති වීමේ වැඩි ඉඩක්

 ප්‍රවීණ ජ්‍යේතිෂ්‍යවේදී

පාරින්ද්‍ර සුගතදාස

 

සිත් තැවුල් යනු අප කිසිවකුට ආගන්තුක දේවල් නොවේ. විවිධ කාරණා හේතු කර ගෙන සිත් තැවුල් ඇතිවීම සාමාන්‍ය දෙයක් වන අතර එසේ සිත් තැවුල් ඇති වීමට බලපාන එක් ග්‍රහ පිහිටීමක් ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනට ශනි, රාහු වැනි අසුබ ග්‍රහයන් 4 වැනි භාවය තුළ තැම්පත් වීම හැඳින්විය හැකිය.

 

එයට හේතුව කිසියම් කේන්ද්‍රයක සිත ගැන කියැවෙන්නේ 4 වැනි භාවයෙන් වීමය. එමෙන්ම විශ්ව කේන්ද්‍රයට අනුව සිත නියෝජනය කරන ග්‍රහයා වන්නේ චන්ද්‍ර ග්‍රහයාය. මේෂ ලග්න විශ්ව කේන්ද්‍රයෙහි හතර වැන්න අධිපති ග්‍රහයා චන්ද්‍ර ග්‍රහයා වීමෙන් මෙය තව දුරටත් සනාථ වෙයි. ඒ අනුව චන්ද්‍ර ග්‍රහයා නීච වීමෙන්ද, උත්පත්ති කේන්ද්‍ර සටහන්වල චන්ද්‍ර ග්‍රහයා ශනි, රාහු වැනි අසුබ ග්‍රහයන් සමඟ එක් වීමෙන්ද, චන්ද්‍ර ග්‍රහයාට ශනි, රාහු වැනි අසුබ ග්‍රහයන්ගේ සෘජුවම දෘෂ්ටිය එල්ල වීමෙන් ද සිත් තැවුල් ඇති වීමේ අවදානම ඉහළ යනු ඇත. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනේ සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් කේන්ද්‍ර හිමියාට කර්මානුරූප බලපෑම නොහොත් පෙර ආත්ම බලපෑම් ඇති කරන අංශ පිළිබඳ අදහසක් ලබා ගත හැකි වනු ඇත.

එම කර්මානුරූප බලපෑම් මඟින් ඇති වන සමහර අසුබ බලපෑම් වැළැක්වීම අපහසු වන අතර, ඕනෑම කේන්ද්‍ර හිමියකුට මෙම අසුබ බලපෑම් නිසා සිත් තැවුල් ඇති වීමට ඉඩ ඇත.

විශේෂයෙන් යම් පුද්ගලයකු ප්‍රබල ඒරාෂ්ටක කාල වකවානුවක් ගත කරන විට එම පුද්ගලයාට සිත් තැවුල් ඇති වීමේ ඉඩකඩ වැඩි වනු ඇත. මේ දිනවල මිථුන, මකර, කුම්භ, ධනු යන ලග්න හිමියන්ට අඩු වැඩි වශයෙන් ඒරාෂ්ටක තත්ත්ව ඇත. එම නිසා එම ලග්න හිමියන්ට සිත් තැවුල් ඇති වීමේ ඉඩකඩ 2023 වසරෙහි ජනවාරි 17 වැනිදා දක්වාම සාපේක්ෂව ඉහළ අගයක පවතිනු ඇත. මීට අමතර ලෙස උත්පත්ති කේන්ද්‍ර සටහන්වල චන්ද්‍රයාගේ පිහිටීමට අනුව, අනෙක් ලග්න හිමියන්ට ඉහත ලග්න හිමියන්ට ද වඩා ඒරාෂ්ටක තත්ත්ව නිර්මාණය වී තිබීමට පවා ඉඩකඩ ඇත. එමෙන්ම කෙටිකාලීනව සලකද්දී යම් යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා 8 වැනි භාවය, 12 වැනි භාවය වැනි අසුබ භාවවල ගමන් ගන්නා දින දෙක හමාර තුළ ද සිත් තැවුල් ඇති වීමේ අවදානම උපරිම වනු ඇත.

නිවසේ ඇති කරන සුරතල් සතුන්ට වෙනදාට වඩා හොඳින් සැලකීමෙන් එම සතුන් ආහාරයට ගැනීමට කැමති ආහාර වැඩිපුර දීම තුළින් එම සතුන්ගේ ආශිර්වාදය ලැබී සිත් තැවුල් දුරු වනු ඇත. තවද බොහෝ ලිපිවලින් මීට කලින් දැනුවත් කළ පරිදිම මවුපියන්ගේ දෑස්වල සතුටු කඳුළු උනන දේවල් සිදු කිරීමෙන්ද අපගේ සිත් තැවුල් යම් මට්ටමකට හෝ දිය වී යනු ඇත. එමෙන්ම අපට එදිනෙදා හමු වන සෑම අයෙකුගේම සිත් සතුටු කරවන දේවල් පැවසීමෙන් ද සිත් සතුටු වන දේවල් සිදු කිරීමෙන් ද සිත් තැවුල් දුරු වී යනු ඇත. මීට අමතර ලෙස හැකි සෑම විටම අපට එදිනෙදා හමු වන අයට සුළු හෝ උදවුවක් කිරීමට උත්සාහ කිරීමෙන්ද, අතිශය කාර්යබහුල වීම තුළින්ද අපට අපවම අමතක වීම හේතුවෙන් අපගේ සිත් තැවුල් ද අවම වී යනු ඇත. වෙදාට වඩා ආගමික කටයුතුවලට යොමු වීමෙන් ද චිත්ත පීඩා යම් පමණකට හෝ අඩු වනු ඇත.

බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි සියලු දේවල් අනිත්‍ය වේ. එනම්, සුබ දේවල් මෙන්ම අසුබ දේවල් ද අනිත්‍ය වේ. එනම්, අසුබ දෙයක් වූ සිත් තැවුල් ද අනිත්‍ය වන අතර ඒවා ද දිගටම නොපවතිනු ඇත. මේ අවබෝධය ලැබුණු පසු සිත්තැවුල් නිසා මනසට ඇති වන බලපෑම අවම වී යනු ඇත.

තවද කිසියම් දිනෙක සිත්තැවුල් ඇති වී ඒ නිසා සිතෙහි සතුට ඉවත්ව ගියහොත් ඊට කලින් ඊටත් වඩා විශාල ලෙස සිත්තැවුල් ඇති වූ දිනයක් සිහිපත් කිරීමෙන් එම දිනයට සාපේක්ෂව මෙම ලබා ඇති දිනය කෙතරම් යහපත්දැයි සිතා සිත හදා ගත හැකි වනු ඇත.

පෘතග්ජන මිනිසුන් ලෙස අපට යම් පමණකින් හෝ සිත්තැවුල් ඇති වීම ඒවා නාමික බව සිතීමෙන් ද සිත්තැවුල් නිසා ඇති වන පීඩාකාරී බව යම් පමණකින් හෝ අඩු වී යනු ඇත.

******************

ජන්ම අංකය 9 හිමි ඔබ මෙහෙමද?

ඕනෑම මාසයක 9, 18, 27 උපන් ඔබගේ ජන්ම අංකය අංක 9යි

ගින්දර, විදුලිය සහ පුපුරන ද්‍රව්‍යවලින් පරෙස්සම් වන්න

ඔබ එඩිතර තීන්දු ගැනීමට කැමති අයෙක්

ඔක්තෝම්බර් 13 සිට නොවැම්බර් 14 වැනිදා දක්වා සුබදායක කාලයක්

 ඒ. ජේ. දීපාලෝක

ප්‍රවීණ ජ්‍යේතිර්වේදී

පාඨශාලාචාර්ය

ඉසිවර සහන ජ්‍යේතිෂ්‍යය සේවය

 

ජන්ම අංක නවයෙන් උපන් ඔබ අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මේ අය තම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරයි. හොඳ ශක්ති සම්පන්න බවක් ද තිබේ. බොහෝ ගෞරවය සහ පිළිගැනීම බලාපොරොත්තු වෙයි. තම ගෞරවය ආරක්ෂා කරගැනීමට ද කටයුතු කරයි. කාටවත් යටත් වීමට කැමැති නැත. මහන්සි වී තමන්ගේ කටයුතු කර ගැනීමට උත්සාහ දරයි. තරුණ කාලය තරමක් බාධාකාරී තත්ත්වයන් පවතී. මොවුන්ට හතුරු කරදර පවතින අතර සතුරු බාධකවලට මුහුණදීමට නිරන්තරයෙන් සිදු වෙයි.

 

අනුන්ගෙන් යැපීමට අකමැති මොවුන් ස්වාධීනව ජීවත් වීමට කැමති වෙයි. අවශ්‍ය තැනදී නිර්භීතව තීන්දු තීරණ ගැනීමට දක්ෂ වෙයි. මිනිසුන් මවිතයට සහ පුදුමයට පත් කරන ක්‍රියාකාරකම්වලට මොවුන් වඩාත් කැමැති වෙයි. එවැනි දෙයින් ජනප්‍රියත්වය ද ලබයි. ආක්‍රමණශීලී පුද්ගලයන් ලෙස පිටට පෙනුණ ද ඉතා යහපත් මිනිසුන් හැටියට හඳුනා ගත හැකිය. තම වගකීම් නිසි ලෙස ඉටු කරයි. යහපත් විනයගරුක ගති පවතී. මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 15 දා දක්වා කාලය යහපත් සුබදායක කාලයක් වෙයි. ඔක්තෝම්බර් 13 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා කාලය ද යහපත් කාලයකි.

නායකත්වයට ඉතා හොඳ සහජ දක්ෂතාවක් දක්වන මොවුන් බොහෝ අය ආරක්ෂක සේවාවල නිරත වේ. වැඩක් කරන්නට ගිය පසු අනතුරු, තුවාල සිදු කර ගැනීම සාමාන්‍ය දෙයක් වෙයි. එමෙන්ම ශල්‍යකර්මවලට ද මුහුණ දීමට සිදුවිය හැකිය. මොවුන්ට ඉක්මනින් තරහ එන අතර, කෝපය පාලනය කර ගැනීමට උනන්දු විය යුතුය. හොඳ තාර්කික හැකියාවක් ඇත. තමාගේ අදහස් අන් අයට හොඳින් තේරුම් කර දීමට ද පුළුවනි. පරාර්ථකාමී ගතිය සහ අන් අයට සහයෝගය ලබාදීම මොවුන්ගේ යහපත් ලක්ෂණයකි. ගෘහ ජිවිතය තරමක් ගැටීම් සහිත එකක් වන්නේ තමන් විවේචනය කරනවාට කැමැති නැති නිසාය. ඉතා හොඳ සංවිධාන ශක්තියක් ඇති මොවුන් උපදේශනයට ද දක්ෂතාවක් දක්වයි. විශ්වාසය සහ අනුකම්පාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි. ස්ත්‍රී මායම්වලට පහසුවෙන් හසු වීමේ හැකියාව ඇත.

ඉතා එඩිතර භාවයක් ඇති ජන්ම අංක 9 හිමි ඔබ ජීවිත අවදානමක් ගෙන වුවද ඕන දෙයක් කිරීමට බය නැත. හිත සන්සුන්ව තබා ගැනීමට උනන්දු විය යුතු අතර විවාහ ජීවිත තුළ ඉතා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. වයසට යෑමේදී ඉක්මනින් දුර්වල භාවයට පත්වීමේ හැකියාව පවතින නිසා තරුණ බවත් මනා සෞඛ්‍යයත් ආරක්ෂා කර ගැනීමට මුල සිටම කටයුතු කළ යුතුය. එමෙන්ම තරුණ කාලය තුළදී වසවිස ශරීරගත වීමෙන් ද මොවුන් වඩාත් පරෙස්සම් වීම වැදගත් වෙයි. ගින්දර, විදුලිය සහ පුපුරන ද්‍රව්‍ය වැනි දේවල්වලින් වඩාත් පරෙස්සම් වීම ඉතා අවශ්‍ය වෙයි. ඒ වගේම සතුන්ගෙන්ද පරෙස්සම් වීමට වගබලා ගන්න.

මොවුනට මඟ පෙන්විය හැකි යහපත් මිතුරකු ලැබෙන්නේ වයස අවුරුදු 30න් පසුවය. ඉතා බුද්ධියෙන් සිතා බලා කටයුතු කළ යුතු අතර ආත්ම ගරුත්වය ගැන අනවශ්‍ය ලෙස සිතීම පාලනය කළ යුතුය. ඔබ අනුන්ගේ වැරදි කතා නොකළ යුතු අතර, ප්‍රියමනාප ලෙස ජීවත් වීමට හුරු වීම සුදුසුය. ඡන්ම අංක 9 හිමි අයට 3, 6, 9, 18, 27, 36, 45, 54, 63, 72 යන වර්ෂ ඉතා යහපත් වන අතර, ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා මේ කාලවල යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. එසේම මාසයක් තුළ යෙදෙන ඉහත දිනයන් ද සුබඵල දෙන දින වෙයි.

ආර්ථිකමය වශයෙන් ඉතාමත් වාසනාවන්ත පුද්ගලයන් බවට මොවුන්ට පත්විය හැකිය. මුදල් හම්බ කිරීමට ඉතාමත් දක්ෂ වුවද හිතුමතේ වියදම් කිරීම ද දක්නට ලැබෙයි. විශේෂයෙන් අංක 9න් උපන් පිරිමි ස්ත්‍රීන් වෙනුවෙන් අත දිගහැර වියදම් කරයි. මොවුන්ට දේපළ වෙළෙඳාම්, ඉඩකඩම් වෙළෙඳාම්, යාන වාහන අමතර කොටස් විවිධ තාක්ෂණික යන්ත්‍රෝපකරණ වෙළෙඳාම මෙන්ම ආරක්ෂක අංශය, විශාල ව්‍යාපාරික ස්ථාන පාලන කටයුතු, විධායක ශ්‍රේණියේ තනතුරු, ආදිය ද හොඳින් ගැළපේ. වකුගඩු සහ මුත්‍රා ආබාධ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු අතර හෘදයාබාධ සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.

යහපත් විවාහ සම්බන්ධතාවක් සඳහා ඔබට ගැළපෙන්නේ ජන්ම අංක 9, 3, 6 හෝ ඕනෑම මාසයක 3, 6, 9, 12, 15,18, 21, 24,27, 29 යන දිනවල උපන් අය ද වඩාත් ගැළපෙයි. ජයග්‍රාහී වර්ණ වන්නේ රතු, රෝස සහ රතු පාටට හුරු දම් වර්ණයි. මෙම වර්ණ හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීමෙන් ජීවිතයේ සාර්ථකත්වය සහ සතුට ජයග්‍රහණය උදා කර ගත හැකිය. එමෙන්ම තද කොළපාට වර්ණය ඔබට ඉතා අසුබ වර්ණයක් වන අතර, එය භාවිත කිරීම අවම කරන්න. වාහනයක් මිලදී ගන්නේ නම් වාහනේ අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 3, 6, 9 අංකයක් වේ නම් ඉතා යහපත් වෙන අතර අනතුරුවලින් ද ආරක්ෂාව සැලසේ. වාහනයේ වර්ණය ද ඉහත සඳහන් කළ ඔබට සුභ වර්ණයක් නම් වඩාත් යහපත් වෙයි.

 අගස්ති ප්‍රනාන්දු

 

Comments