කිරි බොන පැටව් උන් - නුඹලට නැතුවද සෙනෙහස් කිරිකැටි මුවේ පිපිරෙයි අද හක්කපටස් | සිළුමිණ

කිරි බොන පැටව් උන් - නුඹලට නැතුවද සෙනෙහස් කිරිකැටි මුවේ පිපිරෙයි අද හක්කපටස්

- වැඩියෙන්ම මියැදෙන්නේ කිරිබොන පැටවුන්
- 2021 වසරේ අනුරාධපුර වන ජීවි කලාපයේ අලි ඇතුන් 27ක් හක්කපටස්වලට බිලිවෙලා
- හොරොව්පතාන කහටගස්දිගිලිය කැබිතිගොල්ලෑව සිදුවීම් වැඩියි

මෙරට වනාන්තරවල සිටින අලි ඇතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ මිය පරලොව යාමට සිදුව ඇති බව දිනෙන් දින අසන්නට දකින්නට ලැබීම කනගාටුවට කරුණකි.

කැලේ කොලේ වෙසෙන අලි ඇතුන් ඝාතනය කිරීමේ සිදුවීම් අලුත් වටයකින් කරළියට පැමිණ මහජනතාව අතර කතාබහ කරන මාතෘකාවක් බවට පත්වන්නේ පසුගිය මාසයේ කැබිතිගොල්ලෑවේදී නබඩවැව කැලෑවක පණ අදිමින් සිටි මහේශාඛ්‍ය ඇතුගේ වම් දළය සතා වේදනාවෙන් දඟලද්දීම කිසියම් පිරිසක් විසින් කපාගෙන යෑමේ සිදුවීමත් සමඟය. 

විදුලි සර වද්දවා අලි ඇතුන් ඝාතනය කරන අයුරින්ම හක්කපටස් යොදා අලි ඇතුන්ගේ දිවි අහිමි කිරිමේ ප්‍රවණතාවක්ද පෙනෙන්නට ඇත. ඒ අනුරාධපුර වන ජීවි කලාපයට අයත් ප්‍රදේශවලිනි. මේ සිද්ධියේ ඛේදනීයම පැත්ත කිරිබොන අලි පැටවුන් පවා හක්ක පටස් ආහාරයට ගැනීම නිසා අකාලයේ මිය යෑමයි. අනුරාධපුර වන ජීවි කලාපයට අයත් හොරොව්පතාන, මැදවච්චිය, කහටගස් දිගිලිය,විලච්චිය, කැකිරාව, කැබිතිගොල්ලෑව, පලුගස්වැව, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවල හක්කපටස් යොදා පුංචි පැටවුන් ඇතුළු අලි ඇතුන් ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් ඇති බව පෙනෙන්නට ඇතැයි අනුරාධපුර කලාප වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. එස්. කේ. චන්ද්‍රසේන සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල කැලෑවල අලි ඇතුන්, පැටවුන් ඝාතනය කිරීමේ අරමුණින්ම ඇතැමුන් මේ හක්කපටස් අලි ඇතුන් ආහාරයට ගන්නා වට්ටක්කා ගෙඩි වැනි ආහාරවල සඟවා තැන තැන තැබීම නිසා ඒවා ආහාරයට ගන්නා අලි ඇතුන්ගේ මුඛයේ ඇතුළේ හක්කපටස් පුපුරා ගොස් බරපතළ තුවාල සිදුවී මිය යන බව වන ජීවී සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ කනගාටුවෙනි. හක්කපටස් නිෂ්පාදනය සඳහා වෙඩි බෙහෙත් සේම කිරිවානා ගල්කැටද යොදා ගැනෙන අතර ඒවා ආහාරයට ගන්නා අලි ඇතුන් මුඛය ඇතුළේ ඒවා පුපුරා යාම නිසා මිය යන්නේ සැලකිය යුතු කාලයක් දුක් විඳිමින් අනතුරුවය. හක්කපටස් කෑ අලි ඇතුන් ට වන ජීවි පශු වෛද්‍යවරු කොතෙකුත් ප්‍රතිකාර කළත් එම අලි ඇතුන්ගේ දිවි බේරා ගැනීමට නොහැකි වීමද සුවිශේෂි කාරණාවකි. අලි ඇතුන් ඇතුළු වන සතුන් ඝාතනය කිරීම සඳහා හක්කපටස් නිෂ්පාදනය කරන පුද්ගලයන් දෙතුන් දෙනකු අනුරාධපුර වනජීවි කලාපයට අයත් අදාළ ප්‍රදේශවල සිටින බව වනජීවි නිලධරයන්ගේ මතයයි. මේ පුද්ගලයන් පිළිබඳව බුද්ධි තොරතුරු මාර්ගයෙන් සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරෙන්නේ පොලිසියටය. අනුරාධපුර වනජීවි නිලධරයන් මේ පිළිබඳව පොලිසිය දැනුම්වත්කර ඇත්තේ එලෙස හක්කපටස් නිෂ්පාදනය කරන්නේ කවුදැයි සොයා ගැනීමේ අරමුණෙනි. හක්කපටස් සහිත වට්ටක්කා ආහාරයට ගැනීම වැඩිපුරම සිදු කරන්නේ කිරිබොන පුංචි අලි පැටවුන්ය. මේ අලි පැටව් සැම තැනකම දුව පැන ඇවිදිමින් සියලු දේ අවුස්සා බලමින් මුව තුළට දමා ගැනීම සිරිතකි. ඒ අතරේ තිබෙන හක්කපටස් මේ පුංචි අලි පැටවුන්ට අත්කර දෙන්නේ ඛේදනීය මරණයකි.

අනුරාධපුර වනජීවි කලාපයට අයත් හොරොව්පතාන, මැදවච්චිය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, පලුගස්වැව, කැකිරාව, මිහින්තලේ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 2021 වසරේ වාර්තා වූ වන අලි මරණ 78 කි. ඉන් 25ක්ම හක්කපටස් ආහාරයට ගැනීම නිසා සිදු වූ වන අලි ඝාතනයි. ඊට අමතරව විදුලි කම්බිවල ගැටී මිය ගිය වන අලින්ගේ සංඛ්‍යාව 22කි. විෂ යොදා ඝාතනය කරන ලද වන අලි සංඛ්‍යාව 02කි. බඳින කඳන්වලට හසු වී මිය ගිය වන අලින්ගේ සංඛ්‍යාව 09කි. මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් නිසා අනුරාධපුර වන ජීවි කලාපයේ 2021 වසරේ මිය ගිය අලි ඇතුන්ගේ සංඛ්‍යාව 56කි. 

2011 වන අලි සංගණනය යටතේ අනුරාධපුර වන ජීවි කලාපයේ සිටි අලි ඇතුන්ගේ සංඛ්‍යාව 1142කි. ඉන් 78 ක් මේ වන විට ජීවිතක්ෂයට පත් වී සිටිති.

මේ කලාපයේ වන අලි මරණ වැඩිවීමට පළමු හේතුව එහි වෙසෙන වන අලින්ගේ සංඛ්‍යාව වැඩි වීමයි. හොරොව්පතානේ පිහිටි වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින අලි ඇතුන් රටේ විවිධ ප්‍රදේශවලින් මේ ස්ථානයට ගෙනැවිත් දැමු දරුණුම ගණයේ අලි ඇතුන් බව එම ප්‍රදේශවල ජනතාව විශ්වාස කිරීමද අදාළ ප්‍රදේශවල වන අලි මරණ වැඩි වීමට තවත් හේතුවකි. වන අලි ජාතික ප්‍රතිපත්තිය යටතේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙසට බෝග පාළු කරන අලි ඇතුන් පලවා හැරීම සඳහා ජනතාවට අලි වෙඩි ලබා දුන්නත් ඒවායේ වෙඩි බෙහෙත් පාවිච්චි කරමින් හක්කපටස් හදා ඒවා මාර්ගයෙන් වන සතුන් ඇතුළු අලි ඇතුන් ඝාතනය කිරීමට ඇතැම් අය පෙලඹී සිටින බවටද තොරතුරු ලැබී තිබිණි.

මේ වසරේ මේ දක්වා අනුරාධපුර වන ජීවි කලාපයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් ඇතුළත මිය පරලොව ගොස් ඇති අලි ඇතුන්ගේ සංඛ්‍යාව 43කි. ඒ හොරොව්පතානෙන් 11ක් කහටගස්දිගිලියෙන් 11 පලුගස්වැව 8ක් කැබිතිගොල්ලෑව 7ක් කැකිරාව 6ක් මිහින්තලේ 6ක් මහ විලච්චිය 5ක් ලෙසය. 

මුලින් වල් ඌරන් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කැරුණු හක්කපටස් මේ වනවිට කිරිබොන අලි පැටවුන් විශාල සංඛ්‍යාවකටද අත්කර ඇත්තේ අතිශය කනගාටුදායක ඉරණමකි. හක්කපටස් යොදා කිඹුලන්ද ඝාතනය කරන බවට වනජීවි නිලධරයන්ට මේ වන විට ලැබී ඇති තොරතුරු පරික්ෂාවට ලක්කරන බව සඳහන් කළේ අනුරාධපුර කලාප වන ජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. එස්. කේ. චන්ද්‍රසේනය.

2010 වසරේ සිට 2022 ජූලි 11 දක්වා මිය ගිය වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව 3561 කි. ඒ අතරින් වෙඩි තැබිම් නිසා අලි ඇතුන් 667 ක් විදුලි සැර වැදීම නිසා 350 ක් හක්කපටස් ආහාරයට ගැනීමෙන් 611ක් වස විෂවලින් 88ක් දුම්රිය අනතුරුවලින් 96ක් සහ මාර්ග අනතුරුවලින් අලි ඇතුන් 11 දෙනෙකු මිය පරලොව ගොස් ඇත. මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙලෙස මිය පරලොව ගිය අලි ඇතුන් සංඛ්‍යාව 1725කි.

මේ අතර අනවසර විදුලි රැහැන් යොදා අලි ඇතුන් ඝාතනය කිරිමේ සැලසුමක් ගැන වනජීවි නිලධාරින් තොරතුරු හෙළි කරගෙන ඇත.

ප්‍රධාන විදුලි පද්ධතියෙන් අනවසරයෙන් ලබා ගන්නා විදුලි රැහැන් යොදා මෙලෙස අලි ඇතුන් ඝාතනය කිරීමට ඇතැමුන් සැලසුම් කර ඇති බවද කියති.


හක්කපටස් නිෂ්පාදනය කරන අය අත්අඩංගුවට ගත යුතුයි
- අනුරාධපුර කලාප වනජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්. එස්. කේ. චන්ද්‍රසේන

හක්කපටස් ආහාරයට ගැනීම නිසා සිඳුවන වන අලි මරණවල ප්‍රවණතාවක් අනුරාධපුර වන ජීවි කලාපයට අයත් ප්‍රදේශවල පෙනෙන්නට තිබෙනවා.

අලි ඇතුන් ප්‍රියකරන ආහාර විශේෂයෙන් වට්ටක්කා ගෙඩි වැනි දෑ ඇතුළට හක්කපටස් දමා අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල දමනවා. ඒවා ආහාරයට ගන්නා අලි ඇතුන් මරණයට පත්වන්නේ ඉතා ඛේදනීය විදියටයි. විශේෂයෙන් මේ අපරාධයට මුහුණපාන්නේ කිරිබොන පුංචි පැටව්. 2021 හක්කපටස් ආහාරයට ගත් අලි ඇතුන් 25 දෙනකු පමණ මරණයට පත්ව තිබෙනවා.

මේ සිඳුවීම්වල ඇති විශේෂත්වය නියමිත සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම, හක්කපටස් තැබූ කෙනා නැවැරදිව හඳුනාගත නොහැකි වීම මේ ගැන වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට අපි පොලිසිය දැනුම්වත් කරලා තියෙනවා. මේ කලාපයේ හක්කපටස් හදන පුද්ගලයන් දෙතුන් දෙනෙක් වත් ඉන්නවා. ඒ අය බුද්ධි තොරතුරු මාර්ගයෙන් හෝ සොයා ගැනීම තමයි අවශ්‍යම.


හක්කපටස් ආහාරයට ගැනීමෙන් අලි පැටවුන්ට හිමි වන්නේ ඛේදජනක මරණයක්
- අනුරාධපුර කලාප වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ

හක්කපටස් ආහාරයට ගන්නා අලි ඇතුන්ගේ මුඛය, තල්ල, දත්, හනු සහ දිව හොඬවැල විනාශ වෙනවා. ඉන් අනතුරුව සතා ජීවිතක්ෂයට පත්වෙන්නේ ඉතාම ඛේදනීය විදියට. ඇත්තම කියනවා නම් මේ තුවාල නිසා සතා ලොකු වේදනාවකින් පසු වෙනවා. ආහාර ගන්න බැරිකම ප්‍රධාන ප්‍රශ්නයක් බේත් කළත් එයින් පලක් වන්නේ නෑ.

අලියාගේ බඩවැල් එකට ඇලී ආසාදිත වීමත් තවත් කාරණාවක්. වතුර බොන්න බෑ. හක්කපටස් ආහාරයට ගන්නා අලි ඇතුන්ගෙන් 90% කට පමණ අවසානයේදී හිමි වන්නේ වේදනාබර මරණයක්. ඇත්තටම ඒක නම් කිසිවකුට දරාගන්න බැරිබවයි මගේ අදහස.

මේ තත්ත්වය වඩාත් සුවිශේෂී වන්නේ කිරිබොන වයස්වල පසුවන ඒ කියන්නේ මාස 2සිට අවුරුදු 3 - 4 වයස්වල පසුවන පැටවුන් හක්කපටස්වලට බිලිවීමයි. ඊට වඩා වැඩි වයස්වල පසුවන ප්‍රමාණයෙන් විශාල අලි ඇතුන් හක්කපටස්වලට බිලිවීම ඉතා අල්පයි. මීට ප්‍රධාන හේතුව මේ පැටවුන් සෑම තැනකම ඇවිදීම ඒ වගේම සෑම තැනක්ම අවුස්සමින් කෑමට යමක් සෙවීම විශේෂයෙන් කුණු ගොඩවල් වගේ මේවායේ හක්කපටස් දමා තිබෙන අවස්ථාවක පැටවා එය කටේ දමා ගන්නවා ඉන් අනතුරුව එය දත්වලට හසුවීමෙන් පසු පුපුරා යනවා පැටවාගේ මුඛය ඇතුළේම මේවාට යොදා ඇති වෙඩිබෙහෙත්, කිරිවානා ගල් කැබලි නිසා සිදුවන හානිය විශාලයි.

දඩයක්කරුවන් හක්කපටස් විශේෂයෙන්ම දමා තිබෙන්නේ වැව් පිටිවල හාල් මැස්සන්, මාළු බොකු වගේ දේවල් මිශ්‍ර කරලා. වල් ඌරන් මරන්න.

වැව් පිටිවල අලි ඇතුන් පැටවුන් රංචු පිටින් ගැවසෙන අවස්ථාවල විශේෂයෙන් අලි පැටවුන් මේවා ආහාරයට ගැනීමෙන් මරණය ළඟා වෙනවා.

මා දන්නා හැටියට මේ කලාපයේ හක්කපටස් ආහාරයට ගැනීම නිසා අලි පැටවුන් 25 - 30 මිය ගොස් තිබෙනවා.

Comments