
මේ දිනවල ආහාරපාන මිල ඇතුළු ජීවන වියදම අහස උසට නැඟ ඇති බව ඕනෑම අයකු දන්නා කරුණකි. එවැනි පසුබිමක නැතිබැරි අයකුට නොමිලේ ආහාරවේලක් ලබාදිය හැකි නම් එය පුණ්‍යකර්මයක්ම වනු ඇත. පිළියන්දල - මහරගම මාර්ගයේ මාවිත්තර පිහිටි ‘ආයුබෝවන් ෆැමිලි රෙස්ටුරන්ට්’ හෝටලය ඕනෑම නැති බැරි අයකුට නොමිලයේ ඕනෑම කැම වේලක් නොමිලයේ ලබාදෙන පුවතක් වාර්තා විය. මේ හෝටලයේ හිමිකරු උපාධිධාරියකු වන තිලක් කුමාර ගමගේ ය.
මෙම ව්‍යාපාරය මීට වසර 12 පමණ පෙර ආරම්භ කොට පවත්වාගෙන ගොස් ඇත්තේ නාරාහේන්පිට කිරුල පාරේ ආසිරි රෝහල ආසන්නයේය. තිලක් කුමාර ගේ ගම් ප්‍රදේශය වන්නේ හංවැල්ල දිද්දෙනිය යි. ආර්ථික සවියක් නොවූ පවුලක උපන් ඔහු කුඩා කල ආච්චි අම්මා සහ සීයා භාරයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර ඇති අතර, හංවැල්ල දිද්දෙනිය කනිටු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුව නාරාහේන්පිට ආසිරි රෝහලෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරන තිලක්, එම කාලයේ අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවකට ඔහුගේ වියදමින් වෛද්‍යවරුන් වෙත යොමු කොට ප්‍රතිකාර ලබාදුන් බව පැවසුවේ නිහතමානීවය. ඒ අතීතය සිහිපත් කරමින් ඔහු මෙසේ ද කීවේය.
“ඒ කාලෙත් මට පුළුවන් විදිහට අසරණ අයට උදවු උපකාර කළා. ආසිරි රෝහලේ සේවය කරමින් සිටින අතරේ ඉන් ඉවත් වී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මූල්‍ය කළමනාකරණ උපාධිය ලබාගන්නත් මට හැකිවුණා. ඊට පසුව තමයි මම පළමු වතාවට නාරාහේන්පිට කිරුල පාරේ ආසිරි රෝහල අසල මෙම හෝටලය ආරම්භ කළේ. ඒ විදිහට නැති බැරි අයට වසර 12ක් තිස්සේ නොමිලේ ආහාරපාන ලබාදෙමින් මේ ව්‍යාපාරය කරගෙන ගියා.”
ඒ අනුව නාරාහේන්පිට ප්‍රදේශීය ලේකම්ගේ අනුමැතිය ඇතිව දිනකට 30ත් 40ත් අතර සංඛ්‍යාවකට නොමිලේ ආහාරපාන ලබා දෙන අතර, ඊට අමතරව තවත් 10ක් 15ක් පමණ නොමිලේ ආහාර ලබාගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
“ එහෙම කෑම දෙන කාගෙවත් තත්ත්වයක් තරාතිරමක් බලන්නෙ නැහැ. කෑම ඉල්ලන ඕනෑම කෙනෙකුට තමන් කැමති කෑමක් ලබාගත හැකියි. මෙම හෝටලය උදේ 10. 00 සිට රාත්‍රි 10.30 දක්වා විවෘතව තිබෙනවා. කවුරුහරි කෙනෙක් දුරකථන ඇමතුමක් දීලා කෑම එකක් ඕනේ කිව්වොත් කෑම ටික ගෙදරටම ලබාදෙන්නත් කටයුතු කරනවා ”
තිලක් කුමාර පැවසුවේ මනුෂ්‍යත්වයට සීමා මායිම් නැති බව පසක් කරමිනි. නාරාහේන්පිට සිට ඔහුගේ හෝටලය පිළියන්දලට රැගෙන එන්නේ නාරාහේන්පිට හෝටලය පවත්වාගෙන ගිය ස්ථානයේ බදු කාල සීමාව අවසන් වීම නිසාය. ඒ අනුව හෝටලය පිළියන්දල මාවිත්තර ප්‍රදේශයට රැගෙන විත් දැන් වසර 3ක් පමණ වේ. මෙම කාලයේ ආහාරපාන ලබාදීමේ ජංගම සේවාවක් ද ආරම්භ කොට ඇත. මෙම හෝටලයේ ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, මාළු, මස්, බිත්තර, එළවළු ආදී ඕනෑම කැම වර්ගයක් කැමති ආකාරයෙන් ලබාගත හැකිය. එපමණක් නොව කෑමට යමක් සපයාගත නොහැකි අසරණ මිනිසුන් සැතපුම් 10,15 දුර ගෙවාගෙන මෙම හෝටලයෙන් ආහාර ගැනීමට පැමිණෙන බවත් එසේ පැමිණෙන අයට මඟ වියදම් ලබාදීමට තරම් තිලක් කුමාර නම් මේ මිනිසාගේ හදවත කාරුණික ගුණයෙන් පොහොසත්ය. දිනක් තිලක් ගමගේ මොනරාගල යන අතරතුරදි පන්සලක ධර්මදේශනාවක් පැවැත්වෙනු දැක එහි සිටි සියලු දෙනාට කෙසෙල්, බිස්කට් හා තේ පැන් සංග්‍රහයක් ද ලබාදී ඇත.
හතළිස් හැවිරිදි තිලක් කුමාර ගමගේ දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බිරිය ශාලිකා කෝදාගොඩ ය. පුතා සෙනිරු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබන අතර සෙනුති සහ සනුති යන දියණියෝ නුගේගොඩ සමෘද්ධදේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබති. තම පවුලේ සියලු දෙනාම මෙම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට සහයෝගයෙන් කටයුතු කරන බවත් තිලක් කුමාර කීවේය. දැනට මෙම ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන යන්නේ කුලී පදනම මත වන අතර ඔවුහු පදිංචිව සිටින්නේ ද කුලී නිවෙසකය. පසුගිය දිනවල ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල සිටි 2,000 කට පමණ පිරිසකට කෙසෙල්,බිස්කට් සහ බීම වර්ගවලින් සංග්‍රහ කිරීමට ද තිලක් කුමාර කටයුතු කර තිබිණ. ඉකුත් දිනක විශ්ව කලා ක්‍රීඩාංගණයට ගෘහස්ත ගෑස් ලබාගැනීම සඳහා පැමිණ සිටි 2,500 - 3,000 අතර ජනතාවට ද බිස්කට්,කෙසෙල් සහ බීම වර්ගවලින් සංග්‍රහ කළ බව ද ඔහු අප සමඟ පැවසුවේය.
“පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගත කාලයේ නැතිබැරි, යමක් කමක් නැති පුද්ගලයන් 2,800 කට පමණ ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් කෑම පාර්සල් බෙදා දුන්නා. ඒ සඳහා ප්‍රදේශයේ රජයේ උසස් නිලධාරින්ගේ පූර්ණ සහයෝගයත් ලැබුණා. කොවිඩ් නිසා රට වසා තිබුණු කාලයේ පවා ව්‍යාපාරය නතර නොකර අසරණ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිම සේවය ලබාදුන්නා.”
තිලක් කුමාර පැවසුවේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව පසක් කරමිනි. ඔහුගේ හෝටලයෙන් අවශ්‍ය ඕනෑම අයකුට මුදල් ගෙවා ද ආහාරපාන ලබාගත හැකි අතර, මුදලට වඩා සේවාවක් වශයෙන් මෙය සිදු කරන බව ද පැවසීය.
‘ආයුබෝවන් රෙස්ටුරන්ට්’ හෝටලයෙන් නොමිලයේ ආහාර ලබා ගැනීමට දිනකට 10 - 12 අතර සංඛ්‍යාවක් පැමිණේ. පසුගිය කාලයේ තිබූ ගෑස් හිඟයට පිළියමක් ලෙස කුඩු ලිප් භාවිත කිරීමෙන් ගෑස්වලට යන වියදම පාලනය කර ගැනීමට හැකිවූ බව ද තිලක් කුමාර පැවසීය. දැනට රටේ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආහාරවල මිල වැඩි නොකර වියදම් කළමනාකරණය කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය. ඔහුගේ සද් කාර්යය අගය කරමින් සිය විදේශීය හිත මිතුරන් නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ආධාර උපකාර කිරීම සඳහා බැංකු ගිණුම් අංකය ලබාදෙන ලෙස ඉල්ලා සිටියද දැනට එවැනි කිසිදු ආධාරයක් අවශ්‍ය නොවන බව තිලක් පැවසුවේ නිහතමානීවය. මෙතෙක් කිසිවකුගේ ආධාර උපකාර ලබානොගෙන ලැබෙන ලාභයෙන් මෙම ව්‍යාපාරය කරගෙන යන බව ද ඔහු කීවේය.
‘ආයුබෝවන් රෙස්ටුරන්සි’ වෙතින් නොමිලේ ආහාර ලබාගැනීමට පැමිණි සිටි කහතුඩුව පුදේශයේ එච්.එම්.රණසිංහ අපට පැවසුවේ මෙම හෝටලයේ කෑම ඉතා රසවත් බවත් මෙය මිල කළ නොහැකි පුණ්‍යකර්මයක් බවත්ය. මෙම සද් ක්‍රියාව ඉතා යහපත් සමාජයට ආදර්ශයක් බවත් ඒ වෙනුවෙන් හෝටලයේ අයිතිකරුට පින් අනුමෝදන් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ආර්ථික දුෂ්කරතා රැසකින් පීඩා විඳින සමයක මෙවැනි කාර්යයක නිරත වන්නේ කෙසේදැයි අපගේ පැනයට පිළිතුරු දෙමින් තිලක් කුමාර ගමගේ පැවසුවේ ව්‍යාපාරය තුළින් ලැබෙන ලාභයෙන් කොටසක් වැයකර නොමිලේ ආහාර ලබාදෙන බවත්ය.
“කිසිවිටෙකත් ඉවුම්පිහුම් සඳහා පරණ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය එදිනෙදා ගේනවා.ඉතිරි වීමට හෝ නාස්ති වීමට ඉඩ නොදී කෑම පිළියෙල කරනවා. නිසි කළමනාකරණය තමයි මූලිකම දේ. මම මේ දේ කරන්නේ ප්‍රසිද්ධිය හෝ වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මගේ පවුලේ අය සහ සේවක පිරිස එකා මෙන් එකමුතුව කැපවීමෙන් මේ සඳහා මට සහාය වෙන නිසයි මේ තරම් කාලයක් මට මේ දේවල් කරගෙන එන්න හැකිවුණේ. ඒ නිසා ඒ සියලුදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.”
ෂෙල්ටන් විදිසිංහ, පිළියන්දල