අතින් කයිට් නොවී චීනෙ­ටත් ණය නොවී අපිත් හද­මුද සරුං­ගල් | සිළුමිණ

අතින් කයිට් නොවී චීනෙ­ටත් ණය නොවී අපිත් හද­මුද සරුං­ගල්

 

ගාලු මුවදොර අරගලකරුවන්ට ඉවත්වන්නට කල් දුන්නේ අගෝස්තු මුල් සතියේදීය. මේ ඉවත්වීමේ නිවේදනයෙන් සංතෝෂයේ ඉහළටම ගමන් කරන පිරිසක් වේ. ඒ මෙරට සරුංගල් ලෝලින්ය. සරුංගල් අරින්නට ලංකාවේ නම් දරාපු තැන 'ගෝල්ෆේස් ' එකය.

පසුගිය දා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් කඩා පැන්න අරගලකරුවන්, ජනාධිපති පුටුවේ ඉඳගත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථා දැන් වාර්තා වෙමින් පවති. ආර්.එල්. බ්‍රෝහිර්ගේ පුරාවෘත්තයක ජනපති මැදුර නොහොත් රජගෙදරට කඩා වැදුණ ආගන්තුකයකු ගැන සඳහන් වේ.

රජගෙදර නොහොත් කිංග්ස් හවුස් පිටුපස හා මුහුද අතර තීරුවේ සරුංගල් ඇරි දරුවන් සිවු දෙනකු උඩ ගිය සරුංගලය ගොහින් පැටලුණේ රජගෙදරට ඇතුළු වන තැන ගහකය. ඔය කියන සන්දියේ රජගෙදර තාප්පය කඩන් යන තරමේ ‘විලිසංගේ‘ නැති එවුන් හිටියේ නැත. එයින් එක කොලුවකු කළේ ආණ්ඩුකාරතුමා ගේ ලේකම්ට ලියුං කරදාසියක් යොමු කරවීමයි. ටික දිනකින් රජ ගෙදරත් සරුංගල් යැවූ හාදයාට ලියුමක් ලැබුණි.

“ශ්‍රීමත් ආණ්ඩුකාරතුමා ඔබගේ ලිපිය දැක මහත් සංතෝෂයට පත්විය. ඔබගේ රජගෙදර සරුංගලය නැවත ලබාගැනීමට අවසර ලබා දෙන අතර මින් ඉදිරියට ඔබ සරුංගලය මනා සංයමයකින් යුතුව හොඳ හැසිරීමකින් රජගෙදර ඉහළින් ගමන් කරවනු ඇතැයි සිතමි!

සරුංගල් ගැන කියන විට හිටපු ජනාධිපතිතුමාගේ පලායාම මතකයට ගෙන එන්නේ හැං රාජ්‍යයයි. එහි ආරම්භකයා වූයේ ලියු හැංය. සතුරු හමුදා හැං බලකොටුව වට කළ විට එතුමා පැනගිය බවට ඉතිහාසයේ සඳහන් වන්නේ සරුංගලයක ආධාරයෙනි. ඒත් ඉතින් සරුංගල් යවන්නට නම් දරපු 'ගෝල්ෆේස්' එකේ අරගලකරුවන්ගේ ඔත්තු සොයන්නට සරුංගල් යොදාගත් බවට දැනගන්නට නැත. එහෙත් ඔත්තු හොයන සරුංගල් ගැන වාර්තාවන්නේ ලෝක යුද්ධ දෙකේදීය. ජර්මන් හා බ්‍රිතාන්‍ය හමුදා හතුරු යානා ගැන සෙවූ සරුංගල් හැදු බව ඉතිහාසයේ සඳහන් නිසාය.

දැන් රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ 'ඩොලර්' නැති බවය. එම නිසා හිටපු ජනාධිපතිවරයා වරක් ආනයනික භාණ්ඩ 30ක් තහනම් භාණ්ඩ බවට පත් කළේය. එහිදී සරුංගල් අයත් වූයේ toys නම් වර්ගීකරණයටය. toys නමින් හැඳින්වෙන්නේ සෙල්ලම් බඩුය. සෙල්ලම් බඩුවලට කොළඹ නම් දරාපු පාරවල් වන්නේ ප්‍රින්ස් ස්ට්‍රිට්, චයිනා 'ස්ට්‍රිට් හා ඩැම් ස්ට්‍රිට්ය. මේ සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු තහනම ගැන අප සමඟ ප්‍රින්ස් ස්ට්‍රිට් ව්‍යාපාරිකයකුගේ අදහස්ය.

“පොඩි දරුවගේ පළවෙනි සෙල්ලම් බඩුව මැරිගෝ රවුන්ඩ් එක. ඒක එල්ලන්නේ බබාගේ ඇඟ උඩින් ඇස් මට්ටමෙන් පේන්න. ඒක වයින් කරන අයිටම් එකක්. ඉස්සර තොග මිල රුපියල් 100/ට අඩුයි. දැන් තොග මිලම රුපියල් 300/- ක්. මේ තහනම නිසා අධ්‍යාපනයට යොදා ගන්න සෙල්ලම් බඩු දැන් ගිනි ගණන්.

දැන් ඔය චීන සරුංගල් එන්න ආවේ කොයි කාලේද? අපට ඉතිහාසය දැන ගැනීමට අවශ්‍ය විය.

මුලින්ම ලංකාවට චීන සරුංගල් ඇවිත් තිබුණේ නොබැඳි සමුළුවට කියලයි කියන්නෙ. විල්මට් පෙරේරා චීනයේ පළවැනි ලංකා තානාපති වෙලා චීනයට ගියාමත් චීන සරුංගල් වගයක් එවල තිබුණා. චීන සරුංගල් වැඩිපුරම ආවේ කොරෝනාවලට කලින්. අන්තිමට රුපියල් 50ටත් චීන සරුංගල් තිබුණා. ගෝඨාභය ජනාධිපති සරුංගල් එක්ක සෙල්ලම් බඩුත් තහනම් කළා.

එතකොට මේ සැරේ සරුංගල් වාරෙට එන සරුංගල් ආවේ කොහොමද?

සරුංගල් මාසේ පටන්ගන්නත් කලින් චීන සරුංගල් පිටකොටුවේ බසාර් එකට ආවේ. ගොඩක් අය මේක දැන් හොර රහසේ විකුණන බඩුවක් වෙලා!

මේ තොග ව්‍යාපාරිකයන් පවසන පරිදි සෙල්ලම් බඩු ආනයනය තහනම් වුවත් ගාමන්ට් ඇසසරීස් කියන ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි - ප්ලාස්ටික් අංගෝපාංග තහනම් වූයේ නැත. සමහර සරුංගල්වල මුද්‍රිත රෙද්ද වෙනමත් ‘අටුව‘ වෙනමත් පැමිණේ. තොග වෙළෙන්දා කරන්නේ ඒ දෙක එකලස් කොට පොලිතින් බෑග් එකකට දැමීමය.

චීන සරුංගල් සොයන ගමන ආරම්භයේදී බොහෝ දෙනා පැවසුවේ සිල්ලරට මිලදි ගන්න නම් යා යුත්තේ ‘පිපල්ස් පාක්‘ එකට බවයි. සරුංගල් තිබුණත් බොහෝ දෙනා බොහෝ ඒවා චීනයෙන් ගෙනා ඒවා බවට කියන්නට මැළිකමක් දැක්වීය. ඇතැම් චීන සරුංගල්වල ලේබල්වල එහි පැහැදිලි ලෙස made in china ලෙස සඳහන් නොවීය. තවත් සරුංගල්වල ඉතා කුඩාවට බාර්කෝඩ් එකේ සඳහන් වූයේ ඉංග්‍රීසියෙන් made in Roc යනුවෙනි. එහි Roc යනුවෙන් කියවෙන්නේ Repubic of china බවට පෙන්නන්නට කිසිදු තොග වෙළෙන්දකුට වුවමනාවක් තිබුණේ නැත.

පිටකොටුවේ චීනය ගැන මතක් වන අපූරු වීදියක් ඇත. එහි නම ‘චයිනා ස්ට්‍රිට්ය‘. චයිනා ස්ට්‍රිට් වෙත ගියේ චීනෙන් ගෙනා සරුංගල් ගැන සොයන්නටය. තෙල් ගේන්න ඩොල්ර් නැති රටේ චීනෙන් සරුංගල් ගේන්නට ඩොලර් කොහෙන්දැයි අහන්නට අපි ගියේ නැත.

මේ චයිනා සිට්‍රිට් එකත් පොදුවේ සමස්ත පිටකොටුවත් තුළ ඇති භාණ්ඩ නිරීක්ෂණයේදී පෙනී යන්නේ ලංකාවට තවත් චීනයෙන් ආනයනය කිරීමට ඩොලර් හිඟවී ඇත්තේ මොනවාටද යන පැනයයි.

චීන සරුංගල්වලටත් වඩා චීනයෙන් ගෙනා භාණ්ඩ දැන් උපන්දිනවලට පත්තු කරන වයස අනුව ඉලක්කම් ඉටිපන්දම්, හැපි බර්ත්ඩේ මුද්‍රණය කළ ෆොයිල් බැනර්, බල්බ්, විසිතුරු වර්ගයේ තොප්පියේ සිට ඩොලර් ලංකාවේ නැති වුණත් නැති චීන බඩුවක් නැත. ඉතින් චීන සරුංගල් කියන්නේ එක් භාණ්ඩයක් පමණි යයි සිත සනසන්නට අපට සිදුවිය. ඒවායේ බැලුම් බෝල ඇත්තේද චීන ඒවාය. වාහනවල ගහන කුඩා සිංහ කොඩියද made in china ය. වෙ‍ෙළඳපොළේ එදා රුපියල් 50 ට 100 ට තිබූ චීන සරුංගල් දැන් නැත. ඒවා ඔක්කොම තොග මිල රුපියල් 325/-ට වැඩිය. ඒ අතරින් නයා සරුංගලය විශේෂය මිල වැඩිම එකයි.

"මේ සරුංගල් ගොඩක් පොට පැටලෙනවා. ලංකාවේ ලෝකල් සරුංගල් වගේ නෙමෙයි. ගොඩක් අය කරන්නේ එතකොට දිග නැට්ටක් හයි කරන එක. නයා සරුංගලයක් අඩි 6 - 7 දිග වෙනවා. එකක් ගත්තම ඔක්කොම ඉවරයි. නියමෙට බැලන්ස්

චයිනා වීදියෙන් චීන සරුංගල් තොගයක් ඉල්ලු විට යන්නට වූ වේල්ල විදිය නොහොත් ඩැම් ස්ට්‍රට් පසුකර සුදු ලූනු ගබඩාවකටය. සුදු ලූනු ගෝනියේ ගසා තිබුණේ Garlic NO 1 made in china කියා ය. මේ ව්‍යාපාරිකයාට සුදු ලූනු කිලෝ 25 ක මුට්ටයක් සුදු ලූනු කිලෝවක් රුපියල් 400ට විකුණනවාට වඩා සුදු ලුනු ගෝනියේ සරුංගල් ටිකක් ඔබාගෙන ඒවා ඉතා ලාබදායකය. චීන සරුංගල් 3ක බර කිලෝවක්වත් නැත. සුදු ලුනු කිලෝවක් විකුණනවා වගේ තුන් ගුණයක ලාභයක් සරුංගල් අලෙවියෙන් ලැබිය හැකිය. ආනයනය කරන භාණ්ඩ ගෝනි එකින් එක කඩා බලන නීතියක් ලංකාවේ නැත. මේ ඒ ගැන එතැන සිටි කන්ටේනරයක බඩු බාර ආයතනයේ නිලධාරියකු කී කතාවකි.

“දැන් සීනි බානකොට අපිට තේරෙනවා සමහර ගෝනි සීනි නොවේ මත්ද්‍රව්‍ය කියලා. අපි පොලිසියට කිව්වාම පොලිසිය ඒවා අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පොලිසිය මීඩියාවලට ප්‍රකාශ කරන්නේ පොලිසිය දැඩි පරික්ෂණයකින් පස්සේ කුඩු තොගය අත්අඩංගුවට ගත්තා කියලා. ඔත්තුව දීපු අපේ නමක් වත් නෑ“ දැන් අල - ලූනු අස්සේ බඩු එන එක සාමාන්‍ය දෙයක්.

ලංකාවේ සරුංගල් ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ මුල් කාලයේ එය කුඩා දරුවන්ගේ නොව විශේෂයෙන් වැඩිහිටි මරක්කල පුද්ගලයින් ඔට්ටු පිණිස කළ ක්‍රීඩාවක් බවය. 1964 දී ලංකාවේ මුල්ම සරුංගල් ප්‍රදර්ශනය මොරටුව, ලුනාව පවත්වා ඇති අතර එහි ප්‍රදර්ශනය කළ කුඩාම සරුංගලය රැගෙන විත් තිබුණේ එදා 'අලියා ගිනි' පෙට්ටියකය. ලොකුම සරුංගලය ලොරියක දමාගෙනවිත් උඩ ඇර ඇත්තේ නූලේ කොන විලිස් වර්ගයේ ජීප් එකක ගැට ගැසීමෙනි. සරුංගලයේ දැවැන්තකමට නූල අල්ලන් ඉන්න හාදයත් උඩු ගුවනට පාවී යාම මීට හේතුවය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ‘සරුංගලේ‘ නමින් චිත්‍රපටයක් නිපදවා ඇත. එහෙත් ඒ චීන සරුංගල් ගැන නොවේ. එහි ඇත්තේ නඩරාජා නම් පුද්ගලයකු අසල්වැසි සිංහල දරුවකුට ආදරය කරන කතාවකි. නඩරාජා යන්නේ දරුවාට සරුංගලයක් ගෙන ඒමටය. ඒ අවස්ථාවේ නඩරාජා ජාතිවාදී ප්‍රශ්නයකට ලක්වේ. ලේ එනතුරු ප්‍රහාරයකට නඩරාජා ලක්වූයේ සරුංගලයක් ඇතැතිවය.

අසල්වැසි දරුවා සරුංගලය ගැන අසත්දී නඩරාජා මෙසේ පිළිතුරු දේ

සරුංගල් ගෙනාවා පුතා ඒත්. ඒත්

සරුංගලේ - ලේ

අප දැන් කතා කරන්නේ ‘චීනයෙන්‘ ලංකාවට සරුංගල් ආනයනය කිරීම ගැනය. මේ එක් සරුංගල් ව්‍යාපාරිකයකු අපට කිව්වේ ඊට වෙනස් කතාවකි.

“දැන් ඔය චීනෙන් සරුංගල් ගෙනාවට ඩොලර් නෑ කිය කියා අඩන්නැතුව ලංකාවට පුළුවන් ලංකාවේ සරුංගල් ඇමරිකාවට, කැනඩාවට, එංගලන්තයට අපනයනය කරන්න. 1989 දී ක්‍රීඩා අමාත්‍යාංශය ඕක කළේ ලංකාවේ. කැනඩාවේ ධටාරා නුවර සරුංගල් ප්‍රදර්ශනයකට ලංකාවේ හබර්ට් කිංස්ලි පෙරේරා හදපු සරුංගල් 6ක් යැව්වා. සරුංගල් හයම ලොකු ගාණකට වෙන්දේසි වුණා.

“ඒ වුණාට ඒවා හදපු කෙනාට ආණ්ඩුවෙන් කැනඩාවෙන් දීපු සල්ලි දුන්නේ නෑ නේද?

“එහෙම දෙයක් නම් සිද්ධ වුණ. ඒත් 1981 දී ලෝකයේ පොඩිම සරුංගලය හදලා ලෝක වාර්තාව තිබ්බෙත් ඔය පුද්ගලයා. විදේශ විනිමය ගේන්න ලංකාව විසිතුරු සරුංගල් - බතික් සරුංගල් හොඳ ඉල්ලුමක් තියෙනවා“.

මේ ලංකාවෙ පුද්ගලයන් චීන සරුංගල් සොයාගෙන ඒමට ඇති රහසක්ද අපට එක් වෙළෙන්දකු විස්තර කළේ මෙසේය. එහෙත් එවැනි කතාවක් අප නම් අසා සිටියේ මුල් වරටය.

“ඔය චීන - ජපන් ‘ෆෙන්ෂුයි‘ වගේ ක්‍රම තියෙනවනේ, ඒවායේ එක කෙමක් වගේ ඒක සරුංගල් ජාතියක් චීනෙන් ගේනවා ෆුල් ඩිසයින්ස් ඒක අරින්නේ හවස අඳුරු වැටුණාම. තමන්ගේ ගේ උඩින් ඒ ගෙදර තියෙන භූත බලවේග, වාස්තු දෝෂ ඉවත්වෙනවා කියලා ලෝකු විශ්වාසයක් තිබුණා. මෙහේ උන්දලාගේ චීනයෙන් ගේන සරුංගල් අතර විශේෂ සරුංගල් වර්ග තිබේදැයි දැනගැනීමටද අපිට අවශ්‍ය විය.

“සමහර සරුංගල් තාමත් එනවා 'Kite Fiting' වර්ගයේ සරුංගල් අතර සටනක් උඩදි සිද්ධ වෙනවා. ඒ සරුංගල්වල වීදුරු කටු - පිගන් කටු අලවලා එවන්නේ. ඒවා ගැටුනාම එක සරුංගලයක් රැලි කැපිලා හොට පැටලෙනවා. 2013 දී මේ සරුංගල් පංජාබ්වල තහනම් කළා. පුස් බයිසිකලේක ගිය කෙනෙක්ගෙ බෙල්ල කපාගෙන සරුංගල් දෙකක් ගිහින් මැරිලා. ඊට පස්සේ ‘බෝරා බායිලා‘ Fiting Kite ගේන්න බය වුණා.

අප මේ ලිපියට කරණු සොයමින් ගියේ තෙල් ගේන්න ඩොලර් නැති රටේ චීනෙන් සරුංගල් ගේන්න ඩොලර් කොහෙන්ද යන දෙගිඩියාවෙනි. ඒත් චීන සරුංගල්වලින් ඩොලර් ගේන හැටි අපට එක් ව්‍යාපාරිකයකු විස්තර කළේ ඇහි බැමි උඩට ගනිමිනි.

දැන් ඔය ඩොලර් නැතුව චීනෙන් සරුංගල් ගේන්නෙ කොහොමද අහනවා. දැන් ඔය හික්කඩුව, අහුංගල්ල, ගාල්ල පැතිවල පුළුවන් චීන Kite sufing දියුණු කරන්න. චීනෙන් අපි කාලයක් ගෙනාවා ඔය වර්ගයේ සරුංගලයකින් දිය මත ඇදගෙන යන Kite sufing. එය ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවකි. ලංකාවට නැති ඩොලර් හොයන්න පුළුවන්. ඒ තියා බලන්නෙ සුද්දකුට‍ ඇවිල්ලා සල්ලිවලට ගන්න රටේ අනන්‍යතාව තියෙන කිතුල් පිත්තක් දාපු ලස්සන සරුංගලයක් ගන්න ගන්න තියෙන්නෙ කොහෙන්ද? අපේ කඩවලට සමහර සුද්දො ඇවිල්ලා Local kites කියල ඉල්ලනවා. චයිනිස් ඒවා දුන්නාම එපා ඕවා ඕනනම් චීනෙට යනවානෙ කියනවා.

එදා අගෝස්තුවේ අප සරුංගල් බඩු ගන්න ගියේ පිටකොටුවේ කාබිරි මුඩුක්කුවට ය. එහි දැන් සව්කොළ පැකට්ටුවක මිල රුපියල් 4000/- කි. තෙල් කොළ පැකට්ටුවක් රුපියල් 5500/- කි. සරුංගල්වලට යොදා ගන්නා කිතුල් පිති, බට ගැටගහන බයින්ඩින් නූල් බෝලයක් රුපියල් 100සිට ඉහළට ය. ඒත් ඒවා කඩේ සිවිලිම දෙස බලන් ඉන්නේ අද ළමා පරපුර එනතුරු විය යුතුය. මෙතැනදී අපට හමු වන්නේ චිත්‍ර ගුරුවරයෙකි.

“චීනයෙන් සරුංගල් ගේන එක ලජ්ජයි. ඉස්සර ගොයම් කැපුවාම අපි සරුංගල් ඇරියා. දරුවකුගේ මෝස්තර විවිධත්වය, ලලිත කලා කුසලතා, සුළගේ ප්ලාවිත බලය, දරුවා දැනගන්නේ සරුංගලෙන්. ඒවා අමතක කරලා මවුපියෝ චීන සරුංගලයක් අරන් දෙනවා. මේක අද පරම්පරාවට කරන ජාතික අපරාධයක්.

නමුත් අවසානයේ මේ වෙ‍ෙළඳපොළේ කරක් ගැසූ විට පෙනී ගියේ චීන සරුංගල්වලට බැණ බැණ නොසිට අපේ රටට එන සංචාරකයන්ට මෙන්ම අපනයනයට දේශීය සරුංගල් කර්මාන්තයක් බිහි කරනවා නම් රටේ ඩොලර් අර්බුදයට අස්වැසිල්ලක් වනු නියත බවය. මුලින්ම දේශීය අමුද්‍රව්‍යවලින් ඒවා නිෂ්පාදනය කිරීම අතින් kite වීමක් නොවනු ඇති බවත්ය.

ඡායාරූප - රංජිත් අසංක

 

 

Comments