
මම මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ වුණේ මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවා චමෝද්යාගෙ ඉල්ලීමට
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය නිමා වූයේ ලෝක සිතියමේ පුංචි තිතක් ලෙස පෙනෙන ශ්‍රී ලංකාවට සුවිශේෂ ජයග්‍රහණ රැසක් හිමි කරදෙමිනි.
එංගලන්තයේ බර්මින්හැම් නගරයේ දී පැවැති මෙම තරගාවලියේ දී මල්ලව පොර KG 57 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට වයඹ සත්කෝරලයේ පන්නල වෙල්පල්ල පදිංචි පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සමත් වූවාය.
තවමත් ගිරි/වෙල්පල්ල මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය 18 හැවිරිදිය. ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල රටක් නියෝජනය කරමින් 10 - 0 ලෙස තම ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ශ්‍රී ලංකාවට මෙම මහා ගෞරවය රැගෙන ආ නෙත්මි අහිංසාගේ කතාව සිළුමිණට ලියන්නට අප ඇයගේ නිවස පිහිටි වෙල්පල්ල ඉඳිමින්න ගම්මානයට යන විට නෙත්මි ආපසු සියරට බලා පැමිණ ගත වී තිබුණේ හෝරා දෙක තුනක් පමණි.
ගමට පැමිණෙන පාර දෙපස ජාතික කොඩිවලින් සරසා තිබූ අතර තැන තැන ඉදිවූ තොරණ ද කිහිපයකි. ඒ වන විට නිවසට පැමිණ නොසිටි ඇය ගෞරව බහුමානයෙන් ගමට කැන්දන් ඒම සඳහා ඇයගේ දෙමාපියන් නෑ හිත මිතුරන් සියල්ලම පාහේ මාකඳුර ප්‍රදේශයට ගොසිනි.
අපට මඟ පෙන්වන පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන තුසිත චන්ද්‍රතිලක ඒ වනවිට නෙත්මි සිටින ස්ථානය දැන සිටි හෙයින් අපහසුවකින් තොරව එම ස්ථානයට පැමිණියෙමු.
සිනහවකින් මුව සරසා ගෙන අප වෙත පැමිණි ඇය සිය කර පැලඳ තිබූ ලෝකඩ පදක්කම ගලවා තුසිත චන්ද්‍රතිලකගේ කර පලඳවා ඔහුව උණුසුම් ලෙස වැලඳ ගත්තාය.
අනතුරුව ඔහුට දණගසා වැන්දාය.
“මේ පදක්කම මගෙ මාස්ටර්ටයි, තුසිත සර්ටයි කියන දෙන්නටත් අයිතියි.
එසේ පැවසූ ඇය මා සහ කුලියාපිටිය දිනමිණ සමූහ වාර්තාකරු තාරක විජේවර්ධන පිළිගත්තේ ද දණ ගසා වඳිමිනි.
මේ සා විසල් ජයග්‍රහණයක් රටට හිමි කර දුන් නෙත්මිගේ ඒ නිහතමානි බව ඇයගේ සිහිනය වූ ඔලිම්පික් රන් පදක්කම දක්වා යන ගමනේ පෙරමඟ ලකුණක් සේ අපට දැනුණි.
තවත් හෝරාවකින් පමණ රිය පෙරහරකින් ගම බලා එන්නට සූදානමින් සිටි නෙත්මි අහිංසා නම් වූ මෙම සම්මානනීය ක්‍රීඩිකාව අප හමුවේ දිගහැරි ඇගේ කතාව අපි මෙසේ සිළුමිණ පිටු අතර සටහන් කරන්නෙමු.
මම ඉපදී හැදුණු වැඩුණු මගේ ගම වෙල්පල්ලේ ඉඳිමින්න. මගේ පියා නිශාන්ත පුෂ්පකුමාර (47) තාත්තා මේසන් වැඩ කරන්නෙ. අම්මා රම්මලී ශ්‍රියානි වසුන්දරා (40) මට වැඩිමල් අක්කා කෙනකුයි, මට බාල මල්ලි කෙනකුයි, නංගියි තමයි අපේ පවුල. මම පාසල් යන්නේ ව/ගිරි/වෙල්පල්ල මහ විදුහලට. ඒ පාසලෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා මම ඒ සාමාර්ථ තුනක් ද සමඟ එම විභාගයෙන් සමත් වෙලා එම පාසලේම 12 ශ්‍රේණිය කලා පන්තියේ ඉගෙන ගන්නවා
මම මේ මල්ලව පොර ක්‍රීඩාවට එක්වන්නේ 2018 අප්‍රේල් 02 දා. මම මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ වුණේ මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවා එම්. ඩී. චමෝද්‍යා කේෂාණිගෙ ඉල්ලීමට. එයා මගෙන් ඇහුවා අපිත් රෙස්ලින් කරමු ද කියලා පස්සෙ මම අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා එයාලගෙ කැමැත්තත් අරන් මල්ලව පොර ක්‍රීඩාව හදාරන්න පටන් ගත්තා. නෙත්මිලාගේ පුහුණුකරු සුරංග කුමාර ය. ඉඳිමින්න ගමේම පදංචි කරුවකු වූ ඔහු හිටපු හමුදා සෙබළෙකි.
මේ නෙත්මිගේ පුහුණුකරු කියන කතාවයි.
ආමි එකේ ඉන්න කාලෙ මම රිය අනතුරකට ලක්වෙලා මගෙ කකුල කැඩුණා ඊට පස්සෙ මම ආමි එකෙන් අයින් වුණා ඒ ඉන්න කාලෙ මම යුද හමුදා මල්ලව පොර ක්‍රීඩාව කළා. මම රැකියාවෙන් අයින් වුණාට පස්සෙ මට හිතුණා මගේ ගමේ ළමයින්ට මල්ලව පොර උගන්නන්න ඕනෑ කියලා. ගමකට ටිකක් ආගන්තුක වූ ක්‍රීඩාවක් නිසා බොහෝ දරුවන් මේ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. බහුතරයක් දෙමව්පියන් තමන්ගෙ දරුවන් මේ ක්‍රීඩාවට යොමු කරන්න මැළි බවකුත් දැක්වූවා.
කොහොම වෙතත් දරුවන් 20 ක් සොයා ගන්න මට පුළුවන් වුණා. ඒත් අපට පුහුණු වෙන්න තැනක් තිබුණෙ නැහැ. පරණ මෙට්ට ටිකක් හොයාගත්තා. නමුත් මේ දරුවන් පුහුණු කරන්න තැනක් නැහැ.
පස්සෙ මම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියලා පන්සලේ බණ මඬුවේ අර පරණ මෙට්ටා ටික දාගෙන පුහුණු කිරීම් ආරම්භ කළා. මාසයක් දෙකක් පුහුණු වෙනකොට මේ ළමයි කෑ ගහන ශබ්දය වැඩියි කියලා ආපු විරෝධයත් එක්ක ලොකු හාමුදුරුවන්ට සිද්ධ වුණා එතන පුහුණු වීම් නතර කරවන්න.
ඊට පස්සෙ මේ පුහුණු වන දරුවකුගෙ කමතේ මේ මෙට්ටා ටික දාගෙන පුහුණු වීම් කළා. වැහි කාලෙට එතන පුහුණු වෙන්න බැහැ. අර මෙට්ට තෙමෙනවා. ඒවා වේළා ගන්න සතියක් විතර ගතවෙනවා. එහෙම ඉන්නකොට අපි දන්න මිස් කෙනෙක් ඒ මිස්ට අයිති ගොඩනැඟිල්ලක් දුන්නා. එතන ඉන්න හම්බ වුණෙත් ටික දවසයි. ඉතින් මෙහෙම තැනින් තැන යමින් බොහොම අමාරුවෙන් පුහුණුවීම් කටයුතු කරගෙන ගියේ.
බැරිම තැන මගේ ගෙදර මිදුලේ පුහුණුවට එන දරුවන්ගෙ දෙමාපියන්ගෙ මූල්‍ය දායකත්වයත් අරන් ටකරන් මඬුවක් හදාගෙන එතැන දී තමයි මේ දරුවන් පුහුණු කළේ
මම කෝච් කෝස් එකක්වත් කරගෙන නැහැ. ආමි ඉන්න කාලෙ ඉදලම මම හරිම ආසාවෙන් මල්ලව පොර ක්‍රීඩාව කළේ. එයින් ලබපු ප්‍රායෝගික දැනුමට මා න්‍යායාත්මක දැනුම එකතු කර ගත්තෙ රෙස්ලින් වීඩියෝ නරඹලා. මේ ක්‍රීඩාව ගැනත් එහි විවිධ පැතිකඩවල් ගැන හොඳට මම හදාරා ගත්තා. මම ලබන දැනුම බදා නොගෙන මේ දරුවන්ට බෙදා දුන්නා.
අපි මේ ගමන මෙතෙක් දුර ආවෙ වනමල් පියලි විල්ලු බුමුතුරුණු උඩින් නෙමෙයි; ඇණ උල් තියුණු ගල් මුල්වල මුණත මැඬ ගනිමින්.
සුරංග කුමාර සහ මෙම දරු පැටව් ටික මුහුණ දුන් මෙම අභියෝග හමුවේ සමහර දරුවන් මල්ලව පොර ක්‍රීඩාවට සමු දුන්න ද දරුවන් තිදෙනෙක් ඒ සියලු බාධක ආශිර්වාද කර ගනිමින් දිගින් දිගටම එම ක්‍රීඩාව ප්‍රගුණ කළහ.
ඒ නෙත්මි,චමෝද්‍යා සහ නිපුනිය.
මෙම දරුවන් තිදෙනා ජාතික තලයට ගෙන යාම සුරංග කුමාර නම් මේ දහිරියවන්ත පුහුණුකරුවාගේ ඒකායන බලාපොරොත්තුව විය.
ඔහු මෙම දරු තිදෙනා දිගින් දිගටම පුහුණු කළේය. පුරා වසරක අඛණ්ඩ පුහුණුව අතර රටේ කොහේ හෝ මල්ලව පොර තරගයක් හෝ සංදර්ශනයක් ඇත්නම් මේ දරුවන් ඒවා නරඹන්නන්ට කැඳවාගෙන යමින් සුරංග තව තවත් මෙම දරුවන් දිරිමත් කළේය. “මාස්ටර් අපව රෑ දවල් නොබලා පුහුණු කළා පැරා එක කඩන්න. 2019 ජාතික මල්ලව පොර මහා තරගාවලිය සඳහා අප තුන් දෙනාම ඉදිරිපත් කළා“ නෙත්මි කීවාය.
එම තරගාවලියේදී KG 55 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මා එහි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණා. මේ තරගාවලියේ KG 53 බර පන්තියේ ප්‍රථම ස්ථානය සහ දක්ෂතම ක්‍රීඩිකාව සහ ප්‍රථම ස්ථානය චමෝද්‍යා හේෂානි හිමි කර ගත්තා. 50 KG බර පන්තියේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ නිපුනි වාසනා ධර්මදාස.
ගමේ පාසලට පමණක් නොව වයඹ සත්කෝරලයටම මහත් ගෞරවයක් අත් කර දෙමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාසල්වලට පවා දිනා ගත නොහැකි වූ ඉහත බර පන්ති තුනේම ජයග්‍රහණ හිමි කරගත් මෙම ක්‍රීඩිකාවන් තිදෙනා ශ්‍රී ලංකා මල්ලව පොර ජාතික සංචියතයට තේරී පත්වීම මේ අපූරු පුහුණුකරු එතෙක් කළ කැපවීම්වල ප්රතිඵලයකි.
ජාතික සංචිතයට තේරුණාට පස්සෙ අපට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගි වීමට වරම් ලැබුණා. 2021 රුසියාවේ පැවති ලෝක මල්ලව පොර තරගාවලියට මමත් චමෝද්යාත් ඉදිරිපත් වුණා. එම තරගාවලියෙ KG 57 බර පන්තියේ අටවන ස්ථානය හිමි කරගන්න මට පුළුවන් වුණා. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් KG 57 බර පන්තියේ ප්‍රථම ස්ථානය හිමි කරගත් නෙත්මිටත් චමෝද්යාටත් හංගේරියාවේ දෙමසක පුහුණුවකට සහභාගි වීමේ අවස්ථාව ද හිමිවිය.
ඔවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වන්නේ ඉන් ලැබූ පන්නරය ද සමඟිනි. මුළු ගම් ප්‍රදේශයම මෙම හපනියන් ගෞරවයෙන් සහ සෙනෙහසින් පිළි ගැනීමට ලක ලෑස්ති වෙද්දී අප වෙල්පල්ල ඉඳිමින්නේ පිහිටි නෙත්මිගේ නිවස සොයා ගියෙමු.
දරු හතර දෙනෙකු ද සමඟ ජීවන සටනේ යෙදෙන නෙත්මිගේ මව සහ පියා එක්ව ගොඩනැඟූ පුංචි නිවසේ නෙත්මිගේ කාමරයේ බිත්ති පුරා ඇයගේ ඉලක්ක ඇය විසින්ම සටහන් කර තිබුණි.
මම ,O/L වලින් D නවය ගන්නවාමයි. මගේ අවසන් ඉලක්කය ඔලිම්පික් රන් පදක්කම වැනි පාඨ එම බිත්ති පුරාය. පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ඔලිම්පික් සංකේත ඇය විසින්ම සිතුවම් කර බිත්තිවල අලවලාය.
නෙත්මිගේ අක්කා නිපුනි ඉමාෂාය. ඇඟලුම් කම්හලක සේවය කරන ඇය 26 හැවිරිදිය. මේ ලොවක් දිනූ තම නැඟණිය දෝතින් ඔසවා නඟා සිටුවන්නට තම මව පියා සමඟ එක්ව කැපවූ අයුරු පැවසුවේ මෙලෙසය.
දරු හතරදෙනෙකුගෙ කටයුතුත් කරගෙන නංගි මේ තැනට ගේන්න අපේ අම්මයි තාත්තයි මහ පුදුම කැපවීමක් කළා. මමත් රැකියාවට ගියාට පස්සෙ මට පුළුවන් හැටියට ඒ බරෙන් කොටසක් බාර ගත්තා. අපේ අත කණ කර වැඩි හරියක් තියෙන්නෙ අපි ළඟ නෙමේ බැංකුවල.
රුසියාවෙ තරගයට යන්න රුපියල් 1,68,000 ඕනෑ බව දැන ගත්තෙ යන්න දවසකට පෙර. මගෙයි අම්මගෙයි රත්තරන් බඩු බැංකුවට උගස් කරලා සල්ලි ටිකක් හොයා ගත්තා රුපියල් ලක්ෂයක්. මෙයා එක්ක එකට රෙස්ලින් කරන චමෝද්යාගෙ තාත්තා තමයි ඉතිරි මුදල දුන්නෙ. තාමත් ඒ මාමට ඒ මුදල ආපසු දෙන්න බැරි වුණා.
අපට උදව් කරන්න හිටියෙ අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිසක්. මුල් කාලයේ ඉඳලම තුසිත චන්ද්‍රතිලක සර් උදව් කළා. නංගි ඇතුළු මේ දරුවන් දිරිමත් කළා. අද ගම ම, රට ම, සුබ පතන නෙත්මිලාගේ ගමනේ ආරම්භය එහෙමය. නෙත්මිලාගේ උසස් පෙළ ගුරුවරයෙක් වන කේ. කේ. නවීන් පෙරේරා ද තම විශිෂ්ට ගෝලයන්ට සුබ පතන්නට පැමිණ සිටියේය.
නෙත්මි කියන්නෙ ඉලක්ක සමඟ ඉදිරියට යන දරුවෙක්. ඇය දිවා රෑ නොබලා පුහුණු වීම් කරලා අධික වෙහෙසට පත්වෙලා හිටියත් දිනපතාම පාසලට එනවා. පන්තියෙ වැඩ ටික හරියටම කරනවා ඇය සාමාන්‍ය පෙළ ඉලක්කය ජය ගත්තා වගේම උසස් පෙළ ඉලක්කයත් ජය අරගෙන සරසවි වරම් ලබනවා. ඇය කවදා හරි දවසක අපේ රටට ඔලිම්පික් රන් පදක්කම අරගෙන එනවා.
නෙත්මිලාගේ දායක පන්සල වෙල්පල්ල පුරාණ රාජමහා විහාරයයි. විහාරාධිපති ඔක්කම්පිටියේ ඤාණරතන හිමියන්ද තම දායක පවුල්වලින් ලෝකය දිනූ මෙම දරුවන්ට ආශිර්වාද කරන්නට වැඩම කොට සිටියහ. එම දරුවන්ට පුහුණු වන්නට අවස්ථාව සලසා දෙමින් මුල්ම අතදීම කළේ උන්වහන්සේය.
මැල්ලව කණිටු විදුහල සහ වෙල්පල්ල මහ විදුහල යන ගමේ සාමාන්‍ය පාසල්වලින් අධ්‍යාපනය ලබමින් ගමේ පුංචි පාසල්වලට මහා ගෞරවයක් ගෙන දුන් නෙත්මි ක්‍රීඩිකාවක් ලෙස පාසලෙන් මතුවන්නේ යගුලිය සහ කවපෙත්ත යන අංශවලිනි. පාසලෙන් එහා ජයග්‍රහණ කරායන්නට නොහැකි විය. ඇයගේ සිරුර තුළ සැඟව සිටි මල්ලව පොර ශූරිය මතු කර ගත්තේ පුහුණුකරු සුරංග කුමාරය.
නර්තනයට දක්ෂ නෙත්මි එම අංශයෙන් කලාප සහ පළාත් ජයග්‍රහණ දක්වා ගියාය. පාසලේ නිවේදන කටයුතුවලට ද දායක වන ඇය පාසල් තූර්යවාදක කණ්ඩායමේ නායිකාව මෙන්ම ශිෂ්‍ය නායිකාවක් ද වේ.
එවන් අපූරු හැකියා රැසකින් පොහොසත් මේ දිරිය දියණිය හෙට දින ඇගේ අවසන් ඉලක්කය වන ඔලිම්පික් රන් පදක්කම ද රටට ගෙන එනු නොඅනුමානය.
ඡායාරූප - තාරක විජේවර්ධන - කුලියාපිටිය සමූහ
මම මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ වුණේ මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවා චමෝද්යාගෙ ඉල්ලීමට