දරුවන් අපයෝජනය කළ දේවගැති කපුවා කපෝති | සිළුමිණ

දරුවන් අපයෝජනය කළ දේවගැති කපුවා කපෝති

හාස්කම් ඇතැයි කියමින් ගාල්ල උණවටුනේ දේවාලයක් පවත්වා ගෙන යමින් මල් කැකුළුවන් අහිංසක පිරිමි දරුවන් සිය පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට යොදාගත් කපුවකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගන්නේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

කීර්ති කුමාර බටේගොඩ යැයි කියන මේ මුර්ගයා සිය පහත් ආශාවන් පිරිමි දරුවන්ගෙන් සන්තර්පනය කරගත්තා පමණක් නොව, ඒවා වීඩියෝගත කර ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙඩ් අඩවිවලට පවා විකුණා ඇත්තේ ඒ තුළින්ද යහමින් මුදල් උපයමිනි.

සිය දේවාලය ඔහු විසින් පවත්වා ගෙන යන්නේ මැටරඹ සතර මහා දේවාලය නමිනි. දේවාල කරන්නේ කපුවන්ය. එහෙත් තමාට කපුවා යැයි කියනවාට ඔහු අකමැතිය. ඒ නිසා කීර්ති කුමාර පෙනී සිටින්නේ දේවගැතිවරයෙක් ලෙසිනි. ඒත් එක්කම ඔහු සිය නම ඉදිරියේ පට්ටම් කිහිපයක්ද එල්ලාගෙන ඇත. ඒ දේශමාන්‍ය, ආචාර්ය ආදී වශයෙනි. හැබැයි මේ පට්ටම් ඔහුට දුන්නේ කවුරුන්දැයි කියන්නේ නැත. පෙනී යන්නේ ඔහුම තම නම ඉදිරියේ මෙම පට්ටම් එල්ලා ගෙන නැති තත්ත්වයක් මවා පෙන්වා ගෙන සිටින බවකි. බොහෝ අය මොහුට රැවටෙන්නේ මෙම පට්ටම් ටික දැකීමෙනි. ඒ විතරක් නොව, ඔහු ජාත්‍යන්තර ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂකයෙක් ලෙසද පෙනී සිටී. ජාත්‍යන්තරයේ ඔහු කළ ජ්‍යොතිෂය පර්යේෂණයක් ගැන නම් කිසිවක් මෙතෙක් එළියට එන්නේ නැත.

ජාත්‍යන්තරය සමඟ ඔහුකර ඇති එකම ගනුදෙනුව වන්නේ පිරිමි දරුවන් සමඟ එකට සිටින දර්ශන පිටරට අසැබි වෙඩ් අඩවිවලට විකිණීම පමණි.

කීර්ති කුමාර බටේපොලගේ දේවාලය ඔහු පවත්වාගෙන යන්නේ කාලයක් තිස්සේය. කියැවෙන ආකාරයට අනුව අණවින කොඩිවිනවලට මේ තැන හොඳටෝම ප්‍රසිද්ධය. ඊට අමතරව සෙත් ශාන්ති කර්ම කර ගන්නටද බොහෝ අය ඇදී එති. එසේ මේ තැනට ඇදී එන්නවුන් අතර නමගිය දේශපාලනඥයන්ද නැතුවාම නොවේ. වැඩි හරියක් එන්නේ එවැනි අයයි. එසේම පොලීසියේ සහ හමුදාවේ ලොකු ලොක්කෝද මෙහි එන්නේ වැල නොකැඩීය. ඇතැම් පොලිස් ලොක්කෝ සිය ස්ථාන මාරුවීම් සකස් කර ගන්නත්, උසස්වීම ලබා ගන්නත් එන්නේ මෙම දේවාලයටය. එතැනට ගිය බොහෝ අය නම් කියන්නේ ගිය හැම වැඩක්ම හරි ගියේ යැයි කියාය. හැබැයි ඒ හැම වැඩක්ම හරි ගියාට දේවගැති කීර්ති කුමාරට නම් වැඩ වැරදුණේය. එසේ ඔහුට වැඩ වරදින්නේ වැරදි මඟ යන විට දෙවියොත් අහක බලා ගත් නිසා විය හැකිය. දැන් ඔහු හිර ගෙදර කූරු ගණන්කරමින් සිටින්නේ එබැවිනි.

මේ කියන දේවගැතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාගත් විට එහි ලොක්කන්ට වැඩිපුරම දුරකතන ඇමතුම් ආවේ දේශපාලනඥයන්ගෙන් සහ පොලීසියේ ලොකු උදවියගෙනි. ඒ ඔවුන් ඉතා භක්තියෙන් දෙපතුල ලෙවකන දේවගැතිවරයාව නිදහස්කර ගන්නටය.

මෙම ස්ථානය ජනතාව අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශාල හාස්කම් ඇති ස්ථානයක් ලෙසිනි. වැල නොකැඩී එහි විශාල පිරිස් ඇදී එන්නේ ඒ නිසාය. හැබැයි ඒ ප්‍රසිද්ධිය පිටුපස ඇත්තේ සංවිධානාත්මකව සිදුකරන ප්‍රචාරණ ක්‍රියාවලියක් බව දන්නේ ඔහුත් ඔහුගේ ගෝලබාලයනුත් පමණි. සමාජ මාධ්‍ය ජාලාවලට අමතරව දේවාලය ගැන, එහි හාස්කම් ගැන රූපවාහිනී වැඩසටහන්වලට පවා ඔහු සම්බන්ධ වන්නේ මුදල් ගෙවමිනි. රටේ ජනප්‍රිය රූපවාහිනී නාළිකාවල ඔහු විකාශන කාලය පවා ඒ වෙනුවෙන් වෙන්කර ගෙන ඇත්තේ විශාල මුදලක් ගෙවමිනි. මිත්‍යාවට වහ වැටුණු පිරිස් වැල නොකැඩී මෙම දේවාලයට ඇදී යන්නේ එම වැඩසටහන් මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් බව නොදැනය.

මෙම දේවගැතිවරයා පාතාලයේ ලොකු නම් අැති පුද්ගලයන්වද හොඳින් දැන හඳුණති. ඇතැම් පාතාල අපරාධකරුවන්ට වෙඩි නොවදින සුර මෙන්ම පොලීසියට හසු නොවී සිටීමට ශාන්තිකර්ම පවා කර දී ඇති බව කියති. මාකදුරේ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි ප්‍රබලයෙක් වන කැවුමා නැමැති අපරාධකරුට මොහු වෙඩි නොවදින සුරයක් පවා සකස්කර දී තිබුණේ රුපියල් ලක්ෂ 37ක මුදලකටය. ඒ අනුව මෙම දේවගැතිවරයාගේ තරම සිතා ගැනීමට හැකිය.

මෙතැනට සමාජයේ විවිධ තරාතිරම්වල උදවිය පැමිණෙති. අන්ත අසරණ දුප්පත් මනුෂ්‍යයාගේ සිට කෝටි ප්‍රකෝටිපතියන් දක්වා උදවිය පැමිණෙති. දත ගලවන්න හැකි සෑම අයෙකුගෙන්ම ඔහු දත් ගලවන්නේ ලොකු ගණන් වලිනි. මේ දේවගැතිවරයා රූපවාහිනී වැඩ සටහන් ඇතුළු සිය ප්‍රචාරණ යාන්ත්‍රණයට කෝටි ගණන් වියදම් කරමින් ප්‍රභූවරයෙක් ලෙස මෙතෙක් කලක් වැජඹුණේ ඒ නිසාය.

කාලයක් තිස්සේ ඉතා රහසිගතව සිදුවූ මේ දේවගැතිවරයාගේ තුච්ඡ රහස් ජීවිතය එළියට එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරට ලැබුණු නිර්නාමික ලිපියක් මාර්ගයෙනි. එම ලිපියේ තැබූ සටහන්වලට අනුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යොමුකර ඇත්තේ දෙමාපියන් යැයි සඳහන් පිරිසකි. එහි සඳහන්ව ඇත්තේ මේ කියන දේවගැතිවරයා පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් යොදාගෙන කරන අස්වාභාවික ක්‍රියාවන් ගැන දීර්ඝ හෙළිදරව්වකි. මේ කියන දේවගැතිවරයා ඒවා වීඩියෝ ගත කරන බවක්ද එහි සඳහන් විය. ඒත් එක්කම පාසල් කිහිපයක් ගැන යම් සටහනක්ද වූයේ යම් විමර්ශනයක් සිදු වන්නේ නම් එම විමර්ශනය ඉදිරියට කරගෙන යාමට මඟ කියා දෙමිනි.

දෙමාපියන් පිරිසක් යනුවෙන් සඳහන් කරමින් එවා තිබුණු මෙම නිර්නාමික පැමිණිල්ල කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකරගේ විශේෂ අවධානයක් යොමු වන්නේ එහි ඇති බරපතළකම ගැන යම් වැටහීමත් තිබුණු බැවිනි. ඒ නිසාම ඔහු මේ ගැන යම් විමර්ශනයක් කිරීමේ වගකීම පවරන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්නටය. සිය කණ්ඩායම සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ගාල්ල බලා පිටත්ව යන්නේ සතියකට පෙරය. මුලින්ම මෙම කණ්ඩායම සිය විශේෂ අවධානයට යොමු කරනුයේ දෙමාපියන් පිරිසක් යනුවෙන් සඳහන් එම නිර්නාමික පැමිණිල්ලෙහි සඳහන් වූ ගාල්ලේ පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි විද්‍යාලයක් වෙතය. එහි ගොස් විදුහල්පතිවරයාව මුණ ගැසුණු විමර්ශන නිලධාරින්ට පෙනී ගියේ පිරිමි දරුවන් බිලි ගන්නා ඒ කාමතුර දේවගැතිවරයා ගැන විදුහල්පතිවරයාද යමක් දැන සිටි බවය. එහිදී විමර්ශන නිලධාරීන් අතට විදුහල්පතිවරයා පත්කරනුයේ ස්මාට් ජංගම දුරකතනයකි. එය වෝහාරික විශ්ලේෂණයකට ලක්කිරීමේදී ඒ තුළින් මතුවන්නේ මේ කියන කාමාතුර දේවගැතිවරයා පිරිමි දරුවකු සමඟ කාමරයක කෙරෙන ලිංගික ක්‍රියාවන්ගෙන් පිරුණු අසැබි දසුන් ගොන්නකි.

මේ කියන ජංගම දුරකතනය විදුහල්පති අතට පත්වන්නේ වැඩිමහල් සිසුවකුගෙනි. එම සිසුවාට එම දුරකතනය හසුවී ඇත්තේ පහළ පන්තියේ සිසුන් දෙදෙනෙක් එම දුරකතනයෙන් ඇසැබි දසුන් නරඹමින් සිටියදීය. ඒ ගැන කෙරුණු දීර්ඝ විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යන්නේ දේවගැතිවරයා විසින් දරුවන්ට තෑගි බෝග දෙමින් ඔහුගේ මේ පහත් ආශාවන් සඳහා දරුවන් යොදා ගන්නා බවය.

මේ ක්‍රියාවට ඔහු ඇරඹුමක් තබන්නේ සිය දේවාලය කේන්ද්‍රකර ගනිමින් දරුවන්ට පාපැදි බෙදා දෙමිනි. අලුත්ම පාපැදි එහිදී ඔහු බෙදා දෙන්නේ මිලියන ගාණක් මුදල් වැය කරමිනි. එය ඔහුට එතරම් ලොකු ගාණක් නොවන්නේ වැඩකරන සේවකයින්ට පමණක් මාසයකට ඊට වඩා වැටුපක් ඔහු ගෙවන බැවිනි.

තවමත් 44 වියේ පසුවන මේ දේවගැතිවරයාගේ ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ එදා වේල කන්න පවා නැතිව දැඩි ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළුණු අයෙක් බවය. පුද්ගලික ආයතනයක කම්කරුවෙක් ලෙසත් පුද්ගලික රෝහලක ශාත්තු සේවකයෙක් ලෙසත් කටයුතු කර ඇති ඔහු දේවාලයක් ගොඩනගා ගනිමින් හිටි හැටියේම අණවින, කොඩිවින හා සෙත්ශාන්ති කරන්නට පටන් ගන්නේ සිය පියාගේ මරණින් පසුවය. ඒ සිය පියා ඔහුට වැහෙන බව කියමිනි.

ප්‍රචාරණ යාන්ත්‍රණයේ බලවත්කමත් ඔහුගේ නිර්මාණශීලී වැඩත් නිසා අද වන විට ඔහු සිටින්නේ අපේ රටේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේය. ඔහු ගමන් බිමන් යන්නේ ප්‍රභුවරයකුට නොදැවෙනි ලෙසිනි. සිය පුද්ගලික ආරක්ෂකයන් පිරිවරාගෙන ඩිපෙන්ඩර් රථ දෙකක් පෙරටු කරගෙන ඔහු ගමන් කරන්නේ ප්‍රාඩෝ රථයකිනි. නැතිනම් ඔහුට අයත් බී. එම්. ඩබ්ලිව්. රථ දෙකින් එකක නැඟීය. මේ සියලුම වාහනවල හිමිකරු ඔහුය. ඒ හැරුණු කොට නිවසක් ලෙස සකස් කළ නාන කාමර සහිත අධිසුඛෝපභෝගී බස් රථයක ද ඔහු හිමිකරුවෙකි. මේ දේවල් හැරුණු කොට ඔහු කෝටි ගණන් මුදල් හෝටල් ක්ෂේත්‍රයේත් ඉඩම් හා බැඳුණු ව්‍යාපාරවලත් ආයෝජනය කර ඇති බව කියති. සමාජය හමුවේ ප්‍රභුවරයෙක් ලෙස ඒ වන විටත් පෙනී සිටි මේ පුද්ගලයාව කොටුකර ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් වඩාත් පරිස්සම් විය. තවදුරටත් ඔවුන් මේ පුද්ගලයා කොටුකර ගැනීමට සාක්ෂි රැස්කළේය. එහිදී විමර්ශකයන්ගේ විශේෂ අවධානයට ලක්වන්නේ මේ පුද්ගලයා ඇසුරු කරන පිරිමි දරුවන් කෙරෙහිය. එම දරුවන්ව හඳුනා ගනිමින් ඒ අය භාවිත කළ ඩිජිටල් උපාංග පවා දරුවන්ටත් නොදැනෙන්නට වෝහාරික විශ්ලේෂණයකට ලක්කරනුයේ ජාල පරීක්ෂාවක් ඔස්සේය.

එහිදී මේ කියන කාමතුර දේවගැතිවරයා සහ දරුවන් අතර හුවමාරු වූ වට්ස්ඇප් පණිවුඩ රාශියක් මතුවන්නේ කිසිදු අවස්ථාවක නීතියේ හැඩැස් වලින් රිංගා බේරෙන්නට ඔහුට ඉඩක් නොතබමිනි.

“ඔයාට බැරිද මට ඔයාගේ යාළුවෙක් සම්බන්ධ කරදෙන්න.“

“ මම කැමති විදිහට ඔයාගේ යාළුවත් ඉදියි නේද?“

“ඔයාගේ යාළුවගේ ෆොටෝ එකක් මට එවන්න“

“ඉස්සෙල්ලා ඔය දෙන්න එකට ඉදල මට වීඩියෝවක් එවන්න“

“යාළුවා ආවා කියල මම ඔයාව අත්අරින්නේ නැහැ.“

“ යාළුවට කියල දෙන්න මම කැමති විදිය“

මේ වගේ වට්ස් ඇප් පණිවුඩ රාශියක් එහිදී වෝහාරික විශ්ලේෂණය ඔස්සේ විමර්ශන නිලධාරීන් මතුකර ගත්තේය. මෙවැනි සුළු පණිවුඩ කිහිපයක් හැරුණු කොට එහිදී මතු වූ බොහෝ දේවල් මෙහි සටහන් කිරීමට නොහැකි තරම් ජුගුප්සාජනකය.

එපමණක් නොව ඇතැම් දරුවන් සිය මිතුරන් ඔහුට ගොදුරු කිරීමට කළ උත්සාහ දැරීම් ගැනද පණිවුඩ ගොන්නක්ම එම වෝහාරික විශ්ලේෂණයේදී මතුකර ගත්තේය.

“ඔයාට ඒක ගන්න රුපියල් 5000යි නේ මදි. ඔයාට මම 30,000ක්ම අරන් දෙන්නම්. මම කියන විදිහට හිටියොත්“

“ එයා ඔයාට කැමතියි. එයා 30,000ක් දෙන්න කැමති වුණා. හැබැයි ඔයාට ඕනේ 5000ක්නේ. ඒ නිසා මට 20,000 ඕනේ වැඩේ සෙට් කළාට. ඉතිරි 10,000 ඔයා තියාගන්න“ යනුවෙන් හුවමාරු වූ වට්ස්ඇප් පණිවුඩ ගොන්නක්ද විමර්ශකයන් මතුකර ගත්තේය.

පරියේෂණාත්මක සාක්ෂි ගොන්නක්ම මෙසේ සොයාගත් විමර්ශන නිලධාරීන් කාමාතුර දේවගැතිවරයාට අත තියන්නේ ඔහුගේ පහත් ආශාවන් වෙනුවෙන් බිලිගත් පිරිමි දරුවන් 09 දෙනෙකුවම හඳුනා ගැනීමෙන් අනතුරුවය. එම දරුවන් අතර ගාල්ලේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් මෙන්ම ජා-ඇල, කඩුවෙල, කඩවත, පාදුක්ක, තිස්සමහාරාමය වැනි පැතිවල දරුවන්ද සිටියේය.

සිය විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් තිබුණේ මෙම කාමාතුර දේවගැතිවරයා මුල්ම දරුවන් කිහිප දෙනා සිය පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට යොදා ගන්නේ පාපැදි බෙදා දෙන විට ඔහුගේ බහට නම්මා ගැනීමට හැකි දරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමකින් පසුව බවය. එම දරුවන්ව විටෙන් විට ඔහු සිය දේවාලයට ගෙන්වා ගෙන පොත් පත්, ටැබ් පරිගණක, අයි ෆෝන් වැනි දරුවන් වඩාත් ඇලුම්කරන දේ දෙමින් සිය බහට නතුකරගෙන ඇත. සිය පහත් ආශාවන් ඉටුකර ගැනීමට දරුවන් යොදාගෙන ඇත්තේ දේවාල භූමියේ පිහිටි මහල් ගොඩනැගිල්ලෙහි ඇති සුඛෝපභෝගී කාමරවලදීය.

“ඔයා අර කාමරයට එන්න එපා. ඒකෙ යාළුවා ඉන්නවා. එයාව යවල මම ඔය කාමරේට එන්නම්.“ වැනි වට්ස්ඇප් පණිවුඩද ඒ අවස්ථාවන්වලදී හුවමාරු වූ වට්ස් ඇප් පණිවුඩද විමර්ශකයන් වෝහාරික විශ්ලේෂණයේදී සොයාගෙන තිබුණේය. ඒ මේ කාමාතුරයාට එරෙහිව බලවත් සාක්ෂි ලෙසිනි.

මේ හැරුණු කොට ඔහුට අයත් සුඛෝපභෝගී බස් රථයද මේ සඳහා යොදා ගෙන තිබුණේ හිරිකිත විදිහට දරුවන්ව අපචාරයට යොමු කරමිනි. අතුරුගිරියේ පිහිටි ඔහුට අයත් සුවිසල් නිවස ද ඔහු වැඩිහරියක් භාවිත කර තිබුණේ මේ කටයුත්තටය. ජා-ඇලින්, කඩුවෙලන්, කඩවතින් සහ පාදුක්කෙන් හමුවූ දරුවන්ගෙන් ඔහු සිය පහත් ආශාවන් ඉටුකරගෙන ඇත්තේ එහිදීය.

මේ සෑම අවස්ථාවක්ම වීඩියෝගත කරමින් ඒවා පිටරට වෙඩ් අඩවිවලට අලෙවිකර ඇති බවද විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. එම වෙඩ් අඩවි මොනවාදැයි තවමත් පැහැදිලි තොරතුරක් නැතත් ඒ ගැන ඉදිරි විමර්ශන පැවැත්වීමට තීරණය වී ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ සහය ද ඇතිවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මේ නරුමයාගේ දෑතට මාංචු දමා නීතිය හමුවට රැගෙන යන්නට උණවටුනේ පිහිටි දේවාලයට ඇතුළු වන්නේ ඉකුත් 10 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ අවස්ථාවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ලොකුකම් කියාපාන්නට වූයේ පොලීසියේ ඔහු ඇසුරු කරන ලොක්කන්ගේ හයිය ඇතිවය. ලයිෂන් තුවක්කුවක් පවා ඔහු ඒ වන විට තබාගෙන සිටියේ එකී පොලිස් ලොක්කන්ගේ ආශීර්වාදයෙනි. ඒ ඔහුට පාතාලයේ තර්ජන ඇතැයි කියමිනි. සැබෑවටම ඔහුට කිසිදු පාතාල අපරාධකරුවකුගෙන් තර්ජන නම් තිබුණේ නැත. එසේ නම් පාතාල අපරාධකරුවෝ ලක්ෂ ගණන් දෙමින් වෙඩි නොවදින සුර හදන්නට ඔහුගේ දෙපතුලට එන්නේ නැත. තර්ජනයක් තිබුණේ නම් ඒ ඔහුට නොව, ඔහුගෙන් කුඩා පිරිමි දරුවන්ටය. විශේෂයෙන් වයස අවුරුදු 9ත් 12 ත් අතර වයසේ පිරිමි දරුවන්ටය.

බොඩි ගාඩ්ලා යැයි කියාගත් කළු ඇඳුම් ඇදගත් මැරයන් 09 දෙනෙක්ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලොකුකම් පාන්නට ගත්තේය. ඒ අයත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඔට්ටු වෙමින් සිටියදී හතර වටින් පැමිණි පොලිස් හමුදාවක්ම දේවාලය වටකරන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගෙන් දේවගැතිවරයාව ආරක්ෂා කර ගන්නටය. ඒ පොලිස් ලොක්කන්ගේ අණටය. හැබැයි ඒ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් දේවගැති නරුමයාව අත හැරියේ නැත. දේවගැතිවරයාගේ දෙපතුල ලෙවකමින් විවිධ වරදාන භුක්ති විඳිමින් සිටි ඒ පොලිස් ලොක්කෝ බලුකරමින් දේවගැතිවරයාව අත්අඩංගුවට ගත්තේ සුදු පිරුවට හැඳි ඔහුගේ නිරුවතද රට හමුවේ දිගහරිමිනි.

 

Comments