
ජනවාරි, පෙබරවාරි, දෙසැම්බර්, ජූලි මාස ඔබට තරමක් අහිතකරයි
අවුරුදු හතළිහෙන් පසුව ජීවිතය ස්ථාවර වෙයි
හොඳට හොඳයි, නරකට ඊටත් වඩා නරකයි
ජන්ම අංක අටෙන් උපදින අය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සෙනසුරු ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයකු වන අතර, එක රාශියක් තුළ වසර දෙක හමාරක පමණ කාලයක් ගමන් කරයි. ඒ අනුව ජන්ම අංක අටෙන් උපන් අය ද ඉතා සෙමින් කටයුතු කළත් ඉතා හොඳ ස්ථිරසාර භාවයක් මොවුන්ගේ ක්‍රියා කලාපයන් තුළ දැකිය හැකිය. කාටත් කරදරයක් නැති මොවුන් මිතුරන් වෙනුවෙන් සියලු කැපකිරීම් හා උපකාර කිරීමට ඉදිරිපත් වුවද මොවුන්ගෙන් සතුරන්ට ද කිසිම සමාවක් නැත. හොඳට හොඳ වගේම නරකට නරක පුද්ගලයන්ය. අනුන් ගැන විවේචනය නොකරයි. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මොවුන් කාලය නාස්ති කිරීම අපරාධයක් ලෙස සිතයි. තරමක් සැඩපරුෂ මිනිසුන් ලෙස පිටතට දිස් වුවත් ඔවුන්ගේ හදවත ඉතාමත් සෞම්‍ය ගතිවලින් යුක්ත වෙයි. ඉතා සීමිත මිතුරන් ප්‍රමාණයක් ඇසුරු කරයි. ජීවිතේ ඉහළම තැනකට පත්ව සාර්ථකත්වය ලැබීමට මොවුන් අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් උපරිම කැප කිරීම ද කරයි. කරන දේ ලොකුවටම කිරිමට කැමති මොවුන් පුංචි පුංචි දේවල් වෙනුවෙන් කාලය වැය කිරීමට කැමති නැත. මොවුන් සමාජ සේවය හා පොදු වැඩ කිරීම විනෝදාංශයක් මෙන් සලකා කටයුතු කරයි. අසරණ සතුන් හෝ මිනිසුන් වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වෙයි.
පටන් ගත් වැඩක අවසන් වනතුරු නිරතවීම මොවුන්ගේ එකම අභිලාෂයයි. වගකීම් භාර දීමට ඉතා සුදුසු පුද්ගලයන් වෙයි. මොවුන් කරන කියන කටයුතුවලින්ම විනෝදය ලබන අතර වෙනම විනෝදවීමට කියා කාලයක් යෙදවීමට කැමැති නැත. විටෙක වාසනාවන්ත ලෙස ජීවිතය ගොඩනඟා ගන්නා මොවුන් වරෙක අවාසනාවන්ත තත්ත්වයට පත්වනු පෙනේ. ජීවිත කාලය තුළ ඔබට නොයෙක් අර්බුද ප්‍රශ්න ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවුවද ඒ සියලු දේවල් දරාගැනීමේ හැකියාව ඇති ඔබ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ගතියෙන් යුක්ත වෙයි. යහළු මිත්‍රයන්, හිතවතුන් සහ සමාජය වෙනුවෙන් ඔබ කරන කැප කිරීමට සාපේක්ෂව අනිත් පැත්තෙන් ඔබට සාධාරණයක් ඉටු වෙනවා ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. අන් අය කෙරේ සැකමුසු ස්වභාවයෙන් බැලීම සහ හැම අවස්ථාවකදීම අන්තගාමි වීම ඔබේ දුර්වලතාය.
එය හොඳ හෝ නරක විය හැකිය. යහපත හෝ අයහපත විය හැකිය. දියුණුව හෝ අසාර්ථකත්වය විය හැකිය. මේ ඉහළ පහළ යෑම ජීවිතය පුරාම පවතී. ස්වභාවයෙන් තරමක් කාර්යබහුල ගතියක් පෙන්නුම් කරන මොවුන් ආදරය සහ ප්‍රේමය, විවාහය ආදී කාරණාවලදී වඩා සංවේදී ලෙස ක්‍රියා කරයි. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් කාලය යෙදවීම තරමක් අපහසු වෙයි. දේශපාලන කටයුතුවලට ද උනන්දුවක් ඇත. අවුරුදු හතළිහෙන් පසුව ජීවිතය ස්ථාවර වෙයි. තරමක් ගුප්ත ගති මෙන්ම විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් ඔබේ සිතෙහි නිරන්තරයෙන් පවතින නමුත් පිටතින් ඔබ ඉතා වැදගත් ගෞරවනීය පුද්ගලයකු ලෙස අන් අයට පෙනෙයි.
අධ්‍යාත්මික ජීවිතයකට වඩා ලෞකික ජීවිතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් යුක්ත වෙයි. මුදල් ඉපයීමට ඉතා දක්ෂය. තරමක් සිහින් ශරීරයකට හිමිකම් කියයි. ජීවිත කාලය තුළ මොවුන් මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේවල් වලින් දුරස් වී සිටිය යුතු අතර එවැනි දේවල්වලට පහසුවෙන් ඇබ්බැහි වෙන අතර ඇබ්බැහි වූ වු පසු එයින් මිදීමට පහසු නැත.
පිරිස් පාලනයට ආයතන ප්රධානත්වයට සහ පරිපාලනය වැනි කටයුතුවලට ඉතා දක්ෂ වෙයි. හොඳ කථිකත්වයක් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇත. බුද්ධිමත් තීන්දු තීරණ ගන්නා මොවුන් දාර්ශනික අදහස් වලින්ද යුක්ත වෙයි.
නොසිතූ අවස්ථාවන්වලදී සතුරු කරදර ක්‍රියාත්මක විය හැකි වුවත් ඔබ පරාජය කිරීම පහසු නැත. හදිසි ධන වාසනාව පවතින අතර ලොතරැයි ආදිය ජයග්‍රහණය කිරීමේ වාසනාව පවතී. ටිකට් පතේ අංකවල එකතුව අංක 8 නම් වඩාත් සුදුසු වෙයි. ඔබට ජයග්‍රාහී අංක වන්නේ 1, 4, 5, 6, 8, 17, 26, 44, සහ 62 යන අංකයි. ඉඩකඩම් වෙළෙඳාම, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳාම පොළොව හා සම්බන්ධ වෙළෙඳාම් කටයුතු, කෘෂි රසායන ද්‍රව්‍ය වෙළෙඳාම, ගෘහ භාණ්ඩ වෙළෙඳාම, පලතුරු වෙළෙඳාම, සත්ත්ව පාලනය ආදිය වඩාත් පලදේ. එමෙන්ම වෘත්තීන් ලෙස ආරක්ෂක අංශය, බැංකු හා ගිණුම් ආදි කටයුතු සම්බන්ධ රැකියා, නීතිය සම්බන්ධ රැකියා, ක්‍රීඩා සම්බන්ධ රැකියා, ජනමාධ්‍ය හා සම්බන්ධ රැකියා ආදිය ද වඩාත් ගැළපෙන වෘත්තීන් ය.
ජන්ම අංක අටෙන් උපන් ඔබ පපුව හා පෙණහලු ආශ්රිත රෝගාබාධ, හිස කැක්කුම හා හිස ආශ්රිත රෝග, ග්‍රැස්ට්‍රයිටීස් වැනි උදරය ආශ්රිත රෝගාබාධ, හෘදයාබාධ සහ බඩවැල් ආශ්රිත රෝග, අධි රුධිර පීඩනය අක්මා රෝග ආදියට පහසුවෙන් ලක්විය හැකි බැවින් ඒ ගැන වඩාත් උනන්දුවක් ඇතිකර ගැනීම යහපත් වෙයි. මාංශ ආහාර සහ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් අත්මිදීම ඔබගේ මනා සෞඛ්‍යයට ඉතා හිතකර බව මතක තබා ගැනීම වැදගත් වෙයි. ඔබගේ කායික හා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනවාරි, පෙබරවාරි, දෙසැම්බර්, ජූලි මාස තරමක් අහිතකර මාස බැවින් එම කාලවලදී වඩාත් පරෙස්සම් වීම ඉතා වැදගත් වෙන අතර මේ කාල සීමාවන්වලදී මානසික පීඩා සහ සෞඛ්‍ය ගැටලු ද ඇතිවිය හැකිය. ගැඹුරු දියේ නෑම හෝ පිහිනීමත් කඳු මුඳුන්වල නැඟීමත් ඔබට ඉතා අහිතකර බව මතක තබා ගන්න.
ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් ජන්ම අංක 4, 8 හෝ ඕනෑම මාසයක 13, 17, 22, 26, 31 යන දිනවල උපන් අය හොඳ සබඳතාවක් සඳහා ඉතා හොඳින් ගැළපෙයි. සුබදායක වර්ණ වන්නේ කළු, නිල්, අළු, දුඹුරු, දම්, කහ යන වර්ණයි. හැකි සෑම අවස්ථාවකම මෙම වර්ණ භාවිත කිරීම මානසික කායික සෞඛ්‍යයට හා ප්රබෝධයට ජයග්‍රහණයට හේතු වෙයි. සතියේ වාසනාවන්ත දවස සෙනසුරාදා ය. ජීවිතයේ ඉතා වැදගත් වර්ෂ ලෙස 8, 17, 26, 35, 44, 53 , 62, සහ 71 ඉතා වැදගත් සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි වර්ෂ ලෙස පෙන්වා දිය හැකිය. වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි ඉලක්කමක් ලෙස එකතු කළ පසු 1, 4, 8 වේ නම් එය ඉතාමත් යහපත් ඵල දෙන අතර ආරක්ෂාව ද ලබාදෙයි.
ඕනෑම මාසයක 9, 18, 27 දිනවල උපන් අයගේ
පලාපල ලබන සතියේ...
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යේතිර්වේදී පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යෝතිෂ්‍යය සේවය