
ඉකුත් මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාදාමයට සම්බන්ධ වූවන්ට හැර රටේ සියලු පුරවැසියන්ට ඒ සිදුවීම් දාමයේ වූ සැහැසි බව හොඳින්ම දැනුණාට කිසිදු සැකයක් නැත. ඒ සිදුවීම් පෙළ බොහෝ දෙනකුට සිහිපත් කළේ මෙරට වෙළාගත් එක්තරා අඳුරු සමයක බියකරු මතක සටහන්ය.
¨මේ සිදුවීම මැයි 9 වැනිදා පමණක් සිදුවූ දෙයක් නෙවෙයි. ඒ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පෙළ ආරම්භ වුණේ අප්‍රේල් 4 වැනිදා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන්ගේ නිවෙස් අසලට ගිහින් විරෝධතා දක්වමින් නිවෙස්වලට ප්‍රහාර එල්ල කිරීමක් සිදු කළා. එදා උදෑසන මගේ පියා, හිටපු ඇමති එච්. බී. සේමසිංහ ගමන් කළ පෞද්ගලික රථයට අනුරාධපුර නගරයේදී ප්‍රචණ්ඩකාරීන් විසින් පහර දුන්නා. වාසනාවකට වගේ එයින් මගේ පියාගේ ජීවිතයට අනතුරක් වුණේ නැහැ. නමුත් කිසියම් පිරිසක් එදා රෑ අනුරාධුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි මගේ නිවෙස අසල රැස්වෙලා නිවෙසට සහ කාර්යාලයට පැය දෙකක් තිස්සේ ගල් ප්‍රහාර එල්ල කර තිබුණා. අප්‍රේල් 27 වැනිදත් කිසියම් පිරිසක් මගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් ඉතා කලහකාරී ලෙස හැසිරුණා. මැයි 9 වැනිදා නිවෙසට සහ කාර්යාලයට ගිනි තැබීම ඒ සිදුවීම් පෙළේ අවසන් ජවනිකාවයි. ඒ අනුව ඉතාම පැහැදිලියි මේ සිදුවීම් දාමය ඉතා හොඳින් සැලසුම් කළ අපරාධයක් බව.¨
හිටපු කැබිනට් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මැයි 9 වැනිදා රටම භීතියට පත්කළ අඳුරු සඳුදා පිළිබඳ මතක අවදි කරමින් එසේ කීවේය.
¨අපි පරම්පරා තුනක් තිස්සේ දේශපාලනය කරනවා. 1977 දිත් මේ වගේ සිදුවීමක් වෙලා තියෙනවා. පිරිසක් ඇවිත් කලබලයක් කරලා අපේ ගෙදරට ගල් ගහලා. එතකොට මම අවුරුද්දක් විතර වයස කුඩා දරුවෙක්. නමුත් එතැනින් එහාට මේ වගේ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දීලා නැහැ.මේ මෙහෙම බරපතළ දෙයක් සිදු වුණු පළවැනි අවස්ථාව. අපේ ගෙවල් ගිනි තියලා, අලාභ හානි කරලා සතුටක් ලබන අය ඉන්නවා නම් ඒ සතුට ලබන්න ඔවුන්ට ඉඩ දෙනවා. මගෙයි තාත්තගෙයි කාර්යාල පවත්වාගෙන ගියේ ගිනි තියලා විනාශ කරපු ගෙදරයි. ඒ වගේම මගේ පදිංචියත් එතැනමයි. මේ වෙද්දිත් මගේ තාත්තා ජීවත් වෙන්නේ ඒ ගිනිතියපු ගෙදර කාමරේක. අපේ ගේ ගිනි තියලා ඒ විනාශය කරපු අය දැන් ඒ දිහා බලලා සතුටු වෙනවා ඇති. සමහර විට ඔවුන්ට කනගාටුවක් දැනෙනවත් ඇති. ඒ මොනවා වුණත් ඒ සිද්ධිය ගැන මම බොහොම උපේක්ෂාවෙන් හිතනවා. මේ කිසිම දෙයක් අපි ජනතාවගෙන් හොරකම් කරලා ඉපයූ දේවල් නෙවෙයි. අපේ පවුලේ දේශපාලන ඉතිහාසය දන්න, ජනතා සේවය සඳහා ඡන්දයෙන් අපිව තෝරා පත්කළ ජනතාව ඒ ගැන හොඳින්ම දන්නවා.¨
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහගේ දේශපාලන උරුමයේ අක්මුල් පරම්පරා දෙකකට එහා අතීතයකට දිවෙන්නෙකි. කේ.බී. රත්නායක හෙවත් කිරි බණ්ඩා රත්නායක ශෙහාන් සේමසිංහ ගේ මවගේ පියා ය. හෙතෙම ප්‍රකට දේශපාලඥයකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් පසුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කළේය. රජරට කුඩා ගම්මානයක ගම්මුලාදෑනියකු ලෙස කටයුතු කළ මුදලිහාමි රත්නායක නම් පියාට දාව 1924 පෙබරවාරි 23 වැනිදා උපන් කේ. බී. රත්නායක දුෂ්කරතා මැද වුවත් මනා අධ්‍යාපනයක් ලැබ 1943 වසරේ ග්‍රාමීය වගා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා ඇත. ඉන් අනතුරුව නගර වැව් වගා නිලධාරියකු විවිධ ප්‍රදේශවල සේවය කොට පසුව මිනින්දෝරුවරයකු ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳී ඇත. අනුරාධපුර සහ පොළොන්නරුව සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමත් සමඟ ඉඩම් නිලධාරි තනතුරට තේරී පත්වූ කේ. බී. රත්නායක මෛත්‍රීපාල සේනානායකයන්ගේ සමීපතම මිතුරකු විය. දේශපාලනයට පිවිසි සේනානායකයන් 1956 දී ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ කේ. බී. රත්නායක1958 දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්විය. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. 1962 අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කේ. බී. රත්නායක 1965 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ 1970 මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලමේන්තුවට තේරී පත් විය. 1970 දී පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් 1975 දී ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත් පත්වූ කේ. බී. රත්නායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ද විය. 1977 මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වුවත් 1989 මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 1994 මහ මැතිවරණයෙන් ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත් විය. 2000 දී පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගත් ඔහු 2001 සිට 2002 දක්වා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කේ.බී. රත්නායක දිවි ගමනට සමුදෙන්නේ 2004 අප්‍රේල් 30 වැනිදාය.
ශෙහාන් සේමසිංහගේ පියා, එච්. බී. සේමසිංහ දේශපාලනයට පිවිසෙන්නේ සිය බිරියගේ පියා වූ කේ. බී. රත්නායකගෙන් ලැබූ පන්නරය හේතුවෙනි.
¨මගේ තාත්තා දේශපාලනයට එන්නේ මගේ සීයා, කේ. බී. රත්නායක නිසයි. තාත්තා නොච්චියාගම ඉතාම ග්‍රාමීය පාසලක් ඇතුළු පාසල් කිහිපයකම ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තාත්තා මුල්වරට දේශපාලනයට පිවිසුණා. 1994 පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහටත් ඇමතිවරයෙක් විදිහටත් කටයුතු කළා. 2004 සිට විසුරුවන අවස්ථාව දක්වා උතුරු මැද පළාත් සභාවේ කටයුුතු කළා. වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති ධුරයත් දැරුවා. එසේ වුවද ශෙහාන් සේමසිංහ දේශපාලනයට පිවිසෙන්නේ එය සිය සීයාගෙන් සහ පියාගෙන් ලැබූ උරුමයක් ලෙස සලකමින් නොවේ. ඔහු උගත් වෘත්තිකයෙකි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. පසුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඇතුළත් වන ශෙහාන් සේමසිංහ වාණිජවේදී උපාධිය ලබන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන ශෙහාන් සේමසිංහ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ සංචාරක ව්‍යාපාරවලට සම්බන්ධ ආයතනවලිනි. මූලික උපාධිය අවසන් කිරීමෙන් පසුව පුහුණු විධායක නිලධාරියකු ලෙස මෙරට ප්රමුඛ පෙළේ සංචාරක සමාගමකට සම්බන්ධ වී සහකාර කළමනාකරුවකු දක්වා ඉහළට ගිය ඔහු පසුව මෙරට ප්‍රකට තරු පන්තියේ හෝටලයක මෙහෙයුම් අධ්යක්ෂවරයා ලෙස ද කලක් කටයුතු කළේය.
"එහෙම වැඩ කරමින් සිටින අතරේ තමයි මම 2010 මැතිවරණයට තරග කරන්නේ. එදා සිට අද දක්වා අපරාජිත මන්ත්‍රීවරයකු විදිහට පාර්ලිමේන්තුවේ සිටිනවා. 2010-2015 ආණ්ඩුව නියෝජනය කළා. 2015-2020 කාලයේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. 2020න් පසුව නැවත ආණ්ඩුව නියෝජනය කළා. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන සහ රාජ්‍ය සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා විදිහටත් පසුව වෙළෙඳ හා සමාජ සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙත් කටයුතු කළා.
ඉකුත් මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරී සිදුවීම සිදු වන්නේ එවැනි පසුබිමක් තුළදීය. මේ, ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කී කතාවයි.
¨එදා ගිනි තියලා විනාශ කරපු ගේ හැදුවේ මගේ තාත්තා. ඔහු ගුරු වෘත්තියේ ඉන්න කාලේ හදන්න පටන් අරගෙන ටිකින් ටික හදපු ගෙයක්. ඒ වගේම මේ ගෙදරට ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මට මතකයි මම කුඩා කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුරාධපුරයට ආවම එතුමිය නවාතැන් ගන්නේ අපේ ගෙදර. එතුමිය භාවිත කරපු කාමරයත් මේ ගින්නෙන් විනාශ වුණා. ඒ වගේම හැම රාජ්‍ය නායකයෙක් වගේ මේ ගෙදරට ඇවිත් තියෙනවා. 2015 ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ නොවැම්බර් 18 වැනිදාට යෙදුණු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ උපන්දිනය සැමරුවෙ ඔය ගෙදර. ඒ වගේම නැවත පක්ෂය සංවිධානගත කිරීම වෙනුවෙන් පළමු රැස්වීම පැවැත්වුණේ අපේ ගෙදර.
පරම්පරා තුනක් තිස්සේ දේශපාලනය කරන අපි මේ කිසිදෙයක් හොරකම් කරලා ගොඩනඟපුවා නෙවෙයි. ඒක අපිත් එක්ක ඉන්න ජනතාව හොඳින්ම දන්නවා. එහෙම අපිට මෙහෙම දෙයක් කරපු දේ ගැන කනගාටු වෙනවා. නමුත් මමවත් තාත්තවත් මේ දේවල් කරපු, කරවපු කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැහැ. අපි මේ දේවල් උපේක්ෂාවෙන් දරාගන්නවා. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය ගැන නම් බරපතළ කලකිරීමක් තියෙනවා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, මේක ඔවුන් දැනුවත්ව සිදුවුණු අපරාධයක් නිසයි. මානව හිමිකම් කොමිසම අරගලකරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් මැයි 9 වැනිදා සිදුවීමෙන් වින්දිතයන් බවට පත්වූ අපේ මානව හිමිකම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. පොදුවේ හැම පුද්ගලයකුගේම මානව හිමිකම් ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න මානව හිමිකම් කොමිසම, ආරක්ෂා කරන්නේ එක් පාර්ශ්වයක අයිතිවාසිකම් විතරක්ද කියන ප්රශ්නය මතුවී තිබෙනවා. "
එසේ වුවත් අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම පොලිසියේ වගකීමක් බැවින් ඒ පිළිබඳ සාධාරණයක් සිදුවේ යැයි යන විශ්වාසය තමා තුළ තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කීවේය.
"ඊටත් වඩා මම ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීමට නීතිය හා සාමය රකින කණ්ඩායම් පියවර ගත යුතුයි කියලයි. අද අපිට වෙච්ච දේ හෙට තවත් කාටහරි වෙන්න පුළුවන්. එදා සිද්ධිය වෙන වෙලාවේ මම කොළඹ හිටියේ. සමහර මන්ත්‍රීවරු මගෙන් ඇහුවා ගේ ගිනි තියනවා කියලා ආරංචි වෙලත් ඔහොම සැහැල්ලුවෙන් ඉන්නේ කොහොමද කියලා. ඒකට හේතුව එය පළවැනි සිද්ධිය නොවීමයි. ඊට කලින් සිදුවුණු සිදුවීම් වළක්වන්න උත්සාහයක් නොගත් පොලිසිය මේ සිදුවීම වළක්වගන්න උත්සාහ කරයි කියල මට විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒ නිසා කනගාටු වෙලා දුක්වෙලා වැඩක් නැති බව මම දැනගෙන හිටියා. මම කරපු එකම දේ අම්මටයි තාත්තටයි කතා කරලා කිව්වා ඉක්මනින් ගෙදරින් පිටවෙලා යන්න කියලා. මට වටින්නේ ඒ දෙන්නගේ ජීවිත විතරයි. අප්‍රේල් මාසේ 4 වැනිදා අපේ ගෙදරට ගහද්දි එහෙම කිසිම කලහකාරී සිද්ධියක් වෙන්නෙ නැහැ කියලා කොළඹට වාර්තා කරපු අනුරාධපුර පොලිසියෙන් මැයි 9 වැනිදා අපිට සාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කළේ නැහැ. ගේ ගිනි තියන්න විනාඩි පහකට කලින් තමයි අම්මයි තාත්තයි ගෙදරින් පිටවෙලා තිබුණේ. ගෙදර සියලුම දේ විනාශ වෙලා තිබුණා. අම්මටයි තාත්තටයි ඇඳිවත විතරයි ඉතිරි වුණේ. අනුරාධපුරේ අපේ පාක්ෂිකයෝ ඒ විදිහේ අපරාධයක් නොකළ බව මට විශ්වාසයි. දේශපාලන වශයෙන් උසිගැන්වීමකට ලක්වුණු පිරිසක් තමයි මේකට සම්බන්ධ වුණේ."
මන්ත්‍රීවරයාගේ නිවෙස ගිනිබත් කළ ප්‍රචණ්ඩකාරීන් ඉන් නොනැවතී නිවෙසේ තිබූ රන් ආභාරණ ඇතුළු බඩුබාහිරාදිය ද සොරකම් කර ඇති බව ද වාර්තා විය.
නිවෙස ගිනිතැබීමෙන් අපහසුතාවට පත්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මෙන්ම ඔහුගේ පියා හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන එච්.බී. සේමසිංහ ද අපහසුතාවට පත්ව සිටී. මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ ඔහු කතා කළේ කම්පාවෙනි.
" මේ ගෙදර මම හැදුවෙ 1970දි. පදිංචි වුණේ 1972දී. එතකොට මම ගුරුවරයෙක්. මට වෙන ගෙවල් නෑ. මේවා හැදුවෙ රටේ මුදල් ගසා කාලා කියලා කවුරු හෝ කියනවා නම් ඔවුන් අපේ දේශපාලන ඉතිහාසය නොදන්නා පිරිසක්. මම පාර්ලිමේන්තුට ගියේ 1994 වර්ෂයේ. එතකොටත් මේ ගෙදර තිබුණා. මම කැබිනට් අමාත්‍යවරයකු වුණේ 1996දි. මේ දක්වා දේශපාලනය කළාට කිසි දිනක මහජන මුදල් හොරාගෙන වැජඹිලා නෑ. පාර්ලිමේන්තුවට යන්න කලින් මට කොළඹ ගෙයක් තිබුණා. ඒකත් විකුණලා තමයි මම දේශපාලනය කළේ. මගේ බිරියට ඇයගේ පියා, කේ.බී. රත්නායක හිටපු කථානායකතුමා දීලා තිබුණු ඉඩමක් විකුණලා ඒ සල්ලිවලින් තමයි 2019දි මේ ගෙදරට අලුතින් කොටස් එකතු කරලා හැදුවේ. ගේ ගිනි තියන්න ආව අය මුලින්ම අපේ නිදන කාමරේ තිබුණු අල්මාරිය කඩල මගේ බිරියගේ රත්තරන් බඩු සියල්ලම හොරකම් කරලා. මගෙ ඇස් පෙනීම දැන් දුර්වලයි. දොස්තර මහත්තයෙක් පසුගිය දවසක මුණගැහුණා. ඒකට ප්‍රතිකාර ගන්න එන්න කියල තිබුණෙ 14 වැනිදට. ඒකට යන්න කියල බැංකුවෙන් රුපියල් 30,000ක් ගෙනත් තිබුණා. ඒකත් ඔවුන් අරගෙන ගිහින්. මගේ බිරිය දැන් දුව ළඟ ඇයගේ ගෙදර ඉන්නේ. මම මේ ගෙදරම තමයි ඉන්නෙ.මට යන්න වෙන තැනක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. මම හම්බ කළේ මිනිස්සු මිස සල්ලි නෙවෙයි. ඒකයි ශෙහාන් සේමසිංහ කියන මගෙ පුතා කැබිනට් අමාත්‍යවරයකු වුණේ. මේ අපරාධයට සම්බන්ධ වුණේ අපිට ඡන්දය දීපු ජනතාව නෙවෙයි. විවිධ දේශපාලන පක්ෂවල කණ්ඩායම් ඊට හවුල් වුණා. මේ අපරාධය කරපු විරුද්ධවාදීන් දැන් සතුටු වෙනවා ඇති. නමුත් රටේ නීතියට අනුව සාධාරණයක් ඉටුවෙයි කියලා විශ්වාස කරනවා. "
නීතිය පිළිබඳ ඒ විශ්වාසය සෑම පුරවැසි හදවතකටම වඩාත් හොඳින් දැනෙන කාලයක් අපි ගෙවමින් සිටිමු. පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ද අවධාරණය කළේ ඒ අදහසයි.
" මේ සිදුවීම කිසියම් කණ්ඩායමක් විසින් කළ දේශපාලන උසිගැන්වීමක්. තමන්ගෙ පුද්ගලික වුවමනාකම් පිරිමහගන්න තරුණයන් ඇතුළු කණ්ඩායම් මෙහෙයවනු ලැබුවා. එහෙම උසිගැන්වීම් කළ අය අද කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නවා. නමුත් ඔවුන්ගේ උසිගැන්වීම්, කුමන්ත්රණවලට මුළාවෙලා ගෙවල්, දේපළ විනාශ කළ පුද්ගලයන් අද පොලිසිවල, උසාවිවල රස්තියාදු වෙමින් කරදර විඳිනවා. ඒ නිසා තරුණයන් ඇතුළු ජනතාවට කියන්න කැමතියි මෙවැනි රාජ්‍ය විරෝධී කුමන්ත්රණවලට අහුවෙලා තීන්දු තීරණ ගන්න කලින් බුද්ධිමත්ව හිතලා බලන්න කියලා "